2018 වසරේ ජූලි 1 වැනිදා මුළු ඉන්දියාව ම කම්පාවට පත් කළ සිදුවීමක් නව දිල්ලියේ බුරාරි ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන සිදු වුණා. එක ම පවුලේ 11 දෙනකු නිවසක් තුළ ගෙල වැල ලා ගෙන මිය ගොස් සිටි අන්දම අනාවරණය වීමත් සමඟ ජාත්‍යන්තර මාධ්‍ය පවා තම අවධානය බුරාරි ප්‍රදේශයට යොමු කළා. බැලූ බැල්මට එය සමූහ සිය දිවි නසා ගැනීමක් ලෙස පෙනුණත්, පොලිස් පරීක්ෂණවලදී මරණවල පසුබිම නොසිතූ ගැඹුරකට විහිදෙන්න පටන් ගත්තා.
වසර තුනකට පසු බුරාරි මරණවල වේදනාත්මක මතකය ඉන්දියාව පුරා නැවතත් පැතිරීමට පටන් ගෙන තිබෙනවා. ඒ පසුගිය ඔක්තෝබර් 8 වැනිදා “House of Secrets: The Burari Deaths” නමැති වාර්තා වැඩසටහන නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වීමත් සමඟ යි.
භාටියා පවුලේ ඛේදවාචකය
ඛේදවාචකය සිදුවූ බුරාරි ප්‍රදේශයේ නිවසට ඇතුළු වූ පළමු පොලිස් නිලධාරියා වන්නේ රජිව් ටොමාර්. වෘත්තිය ජීවිතයේ අඳුරුත ම දිනයක් සනිටුහන් කරමින් රජීව් පවා එම සිද්ධියෙන් කම්පනයට පත් වුණා.
“වසර 17 වෘත්තීය ජීවිතය තුළ මෙවැනි අපරාධ සිද්ධියක් මං දැකලා තිබුණේ නැහැ. මා එතන රැඳී සිටියේ තත්පර දහයක් හෝ පහළොවක් පමණ යි. අනතුරුව මං ජ්‍යෙෂ්ඨයන් ඇමතීමට පහළ තට්ටුවට දිව ගියා. දෑත් බැඳ තිබෙන මිනිසුන්, ඇස් ආවරණය කර ඇති මිනිසුන්, මේ කිසිදෙයක් ඒ වේලාවේ මා දැක්කේ නැහැ. මං දැක්කේ ගහක අතු මෙන් බොහෝ සිරුරු එල්ලී තිබෙන අයුරු පමණ යි!’
රජීව් ටොමාර් තම අත්දැකීම එලෙසින් විස්තර කොට තිබුණා.
සමූහ සිය දිවි නසා ගැනීමකට ලක්වුණායැ යි ප්‍රථම ව සැලකූ මේ පවුල හැඳින්වූයේ චන්දාවත් පවුල වශයෙන්. එහෙත්, බුරාරි ප්‍රදේශය තුළ ඔවුන් “භාටියා පවුල” ලෙස ප්‍රචලිත ව සිටියා. මරණයට පත්වූ 11 දෙනා අතරින් වැඩිමහලු ම පුද්ගලයා 77 හැවිරිදි වියේ පසු වූ අතර ළා බාලතමයන්ගේ වයස අවුරුදු 15 ක් පමණ යි.
වයෝවෘද්ධ මව ඇතුළු ව ඇයගේ පුත්‍රයන්, දියණිය සහ ඔවුන්ගේ බිරියන්, දරුවන් ඉතා අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබුණා. සිරුරු දහයක් එක ම ස්ථානයක තිබුණත්, නාරායනි දේවි නමැති වයස්ගත කාන්තාව වෙන ම කාමරයක මරණයට පත් ව තිබුණා. ඔවුන් සියල්ලන්ගේ ම අත් පා බැඳ තිබූ අතර, කන්වල පුළුන් පුරවා තිබුණා. මීට අමතර ව, සියලු දෙනාගේම මුහුණු රෙදි කඩකින් වසා තිබුණු බවත් සඳහන්. නිවසේ ජීවතුන් අතර සිටි එකම සාමාජිකයා වන්නේ පවුලේ සුරතල් සුනඛයා යි.
භාටියා පවුලේ පසුබිම
භාටියා පවුලේ සාමාජිකයන් සතු ව සිල්ලර බඩු කඩයක් සහ ප්ලයිවුඩ් ව්‍යාපාරයක් තිබුණා. ඔවුන් සාර්ථක ව්‍යාපාරික පවුලක් ලෙස බුරාරි ප්‍රදේශයේ යම් ස්ථානයක් හිමි කරගෙනත් සිටියා. ප්‍රදේශයට පොදු වූ ආර්ථික අගහිඟකම් මේ හේතුවෙන් භාටියා පවුල වටා තිබුණේ නැහැ. සෑම දිනක ම උදෑසන 6 ට ඔවුන් තම වෙළඳසල විවෘත කළත්, තීරණාත්මක දිනයේ දී වෙළඳසල 7.30 වෙනතුරුත් විවෘත නොවීම නිසා කරුණු විමසා බැලීමට ගිය අසල්වැසියකු හරහා යි ඔවුන්ගේ මරණ මුලින් ම හෙළිදරව් වුණේ.
පවුලේ සාමාජිකයන්ට හොඳ අධ්‍යාපන පසුබිමක් තිබූ බවත් පැවසෙනවා. උදාහරණයක් ලෙස ඛේදවාචකයට මුහුණ දුන් භවනේෂ්ගේ දියණියන් පශ්චාත් උපාධිය හදාරමින් සිටි අතර, ලලිත්ගේ බිරිය සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරිණියක්.
චන්දාවත් පවුලේ (“භාටියා” යනු මව් පාර්ශවයෙන් පැමිණි පෙළපත් නාමය යි.) සම්භවය සිදුවන්නේ රාජස්ථානයෙන්. ඛේදවාචකයට මුහුණ දුන් වයස්ගත ම කාන්තාව වන නාරායනි දේවි සහ ඇයගේ සැමියා වූ බෝපාල් සිං, තම ඉඩකඩම් විකුණා 1989-90 කාලයේ දී නව දිල්ලියේ බුරාරි ප්‍රදේශයට සංක්‍රමණය වුණා.
ඔවුන් රාජස්ථානයෙන් කෙළින් ම දිල්ලියට සංක්‍රමණය වුණේ නැහැ. නරායනි-බෝපාල් දෙපළ හර්යානා ප්‍රාන්තයේ සැලකිය යුතු කාලයක් ගත කරමින් යම් ධනයක් එක්රැස් කිරීමෙන් පසුව දිල්ලියට සංක්‍රමණය වී තිබෙනවා. ඔවුන් මෙලෙස සංක්‍රමණය වුණේ “ලලිත්” නමැති තම පුත්‍රයකු සමඟ යි.
බුරාරි හදවත් දිනාගත් පවුල
බුරාරි ප්‍රදේශයට පැමිණ ජීවිත ස්ථාවර කර ගැනීමෙන් පසු බෝපාල් සිං සහ නාරායනි දේවි විසිරී සිටි තම දරුවන් කැඳවා ගැනීමට උත්සහ කළා. භවනේෂ් සහ ප්‍රතිභා එලෙස පැමිණි දරුවන් වන අතර, ඔවුන්ගේ ආවාහ විවාහ සහ බිහි වූ දරුවන් සමඟ භාටියා පවුලේ සාමාජිකයන් ගණන 11 දක්වා ඉහළ ගියා.
“The Hindu” පුවත්පත මෙම පවුලේ පසුබිම සහ ඔවුන් අසල්වැසියන් සමඟ පවත්වා ගෙන ගිය සබඳතා ගැන දීර්ඝ ගවේෂණයක් සිදු කර තිබෙනවා. එහිදී හෙළිදරව් වුණේ ඔවුන් අසල්වැසියන්ට ඉතා හොඳින් සැලකූ යහපත් පවුලක් බව යි. අවශ්‍ය සෑම විටෙක ම ඔවුන්ගේ සහයෝගය අසල්වාසීන්ට නොඅඩුව ලැබුණා.
ඉන්දියාවේ තැන තැන විසිරී සිටියත්, භාටියා පවුලේ සාමාජිකයන් එකිනෙකා අතර ඉතා හොඳ සබඳතාවක් පවත්වා ගෙන ගියා. බුරාරි නිවසේ වුණත් කිසිදාක ගැටලුකාරී වාතාවරණයක් අසල්වැසියන්ට දැනී හෝ ආරංචි වී නැහැ. ඉතා හොඳ ආදායම් මට්ටමක් තිබූ අය ලෙස එම සිය දිවි නසාගැනීම් ආර්ථික පීඩනය ඔස්සේ උත්තේජනය වූවක් ලෙස පිළිගත නොහැකි යි. එසේ නම් සිදු වූයේ කුමක් ද?
පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
අත් පා සහ ඇස් ගැට ගසා පසු ව මුහුණු පවා වසා තිබීමෙන් පොලිසිය මුලින් ම සැක පහළ කළේ මෙය සාහසික මිනීමැරුම් දාමයක් බව යි. එහෙත්, පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වුණේ මිය ගිය 11 දෙනා ගෙන් හය දෙනකු දිවි බේරා ගැනීම සඳහා කිසිදු අරගලයක් සිදු කර නොමැති බව යි. මරණයට පත් ව සිටි 15 හැවිරිදි දරුවන් පවා ජීවිතය වෙනුවෙන් කිසිදු පරිශ්‍රමයක් දරා තිබුණේ නැහැ. සරල ව ම කිසිදු බලහත්කාරකමක් සිදු වී නොමැති බව පරීක්ෂණවලින් හෙළි වුණා. අසල්වැසියන්ට පවා කිසිදු කලබලයක සළකුණක් දැක හෝ හඬක් ඇසී තිබුණේ නැහැ. සියල්ල ම නිහඬ ව සිදුවී තිබුණා.
භාටියා පවුලේ සාමාජිකයන් ස්ව කැමැත්තෙන් මරණයට මුහුණ දුන් බව තහවුරු කරන සාක්ෂි පමණක් පොලිසියට ලැබුණා. නමුත්, මෙලෙස බරපතළ සමූහ සිය දිවි නසා ගැනීමක් කරා යෑමට තරම් භාටියා පවුල තුළ ක්‍රියාත්මක වූ පීඩනය කුමක්දැ යි පොලිසියට ආරම්භයේ දී වැටහුණේ නැහැ. ලෝකයේ කිසිදු පොලිස් සේවයක් මුහුණ නොදුන් අන්දමේ සිදුවීමකට තමන් මැදිහත් වී ඇති බව ඉන්දීය පොලිසිය තේරුම් ගත්තා.
බරපතළ අපරාධ කටයුත්තක් නිසා පොලිස් නිලධාරීන් දැඩි මානසික ආතතියට පත්වූ අතර, මහ ඇමතිවරයා ම අදාළ ස්ථානයට ගොස් මූලික වාර්තාවක් ලබා ගන්නා තරමට ම බුරාරි මරණ ඉන්දියාව සසල කළා. මරණ සම්බන්ධ න්‍යායන් දහස් ගණනක් බිහිවෙන පසුබිම තුළ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් පොලිසියට දොස් පැවරීම ආරම්භ වුණා.
දේශපාලන පක්ෂ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් තම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යෑමත් සිදු කළා. ගොඩනැඟෙමින් පවතින සමාජ පීඩනය හමුවේ කෙසේ හෝ මරණ පිටුපස තිබෙන අබිරහස විසඳා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශවල ඉහළ ම නිලධාරීන් පවා පරීක්ෂණයට දායක වුණා. අවසානයේදී ඔවුන්ට අස්වැසිල්ලක් ලැබුණා.
සියල්ල විස්තර වූ දිනපොත් එකොළහ
පරීක්ෂණවලදී වසර එකොළහක් තිස්සේ ලියවුණු දිනපොත් එකොළහක් භාටියා නිවසෙන් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. මීට අමතර ව, ඔවුන් තව විශේෂ දෙයක් නිරීක්ෂණය කොට තිබුණා. මෙම පවුල අංක 11 ත් සමඟ විශේෂ බැඳීමකින් සිටි බවක් පෙනෙන්නට තිබුණා. ප්‍රධාන ගේට්ටුවේ පවා යකඩ කූරු 11 ක් ඇතුළත් ව තිබූ අතර, නිවසේ බිත්තියක පිටතට නෙරා එන ලෙස සවි කර තිබූ නළ 11 ත් මෙහි දී විශේෂ සැලකිල්ලකට බඳුන් වුණා.
නළ හතරක් කෙළින් අතටත්, නළ හතක් නැවුණු ස්වභාවයෙන් තිබෙන අන්දමටත්, ඒවා සැකසී තිබුණා. මියගිය 11 දෙනාගෙන් සිව්දෙනෙක් පුරුෂයන් සහ ඉතිරිය කාන්තාවන් වීම නිසා එම නළවලින් ස්ත්‍රී-පුරුෂ භාවය නිරූපණය වන බව නිගමනය වුණා. එල්ලී තිබූ මළ සිරුරු එම නළ සහිත බිත්තිය දෙසට හැරී තිබුණු බවත් සඳහන්.
දිනපොත් පරීක්ෂා කිරීමේදී තත්ත්වය තවත් බැරෑරුම් වුණා. ඒ දිනපොත්වල කිසියම් පූජා කර්මයක් ක්‍රමික ව විස්තර කොට තිබුණා. 2007 ඇරඹුණු ප්‍රථම දිනපොතේ සිට 2018 දක්වා එකම පුද්ගලයෙක් එහි සටහන් තබා තිබුණා. මේ සටහන් සියල්ල ම තබා තිබුණේ නාරායනි-බෝපාල් යුවළගේ පුත්‍රයකු වූ ලලිත් භාටියා යි.
දිනපොතේ කරුණු අකුරට ම පිළිපැද්දා
තීරණාත්මක දිනයේ දී මරණය සඳහා සූදානම් විය යුතු ආකාරය, ඒ සඳහා භාවිත කළ යුතු ද්‍රව්‍ය, උපදෙස් ආකාරයෙන් දිනපොතේ සඳහන් ව තිබුණා. මීට අමතර ව, දෛනික චර්යාව, ආහාර ගැනීමේ පුරුදු, වෙනත් ලෞකික ක්‍රියාකාරකම් ඇතුළුව පවුලේ මූල්‍ය හා සාමාන්‍ය යහපැවැත්ම පවා සිදුවිය යුතු අන්දම අණ පණත් ආකාරයෙන් ඒ දිනපොත්වල විස්තර වුණා.
මුළු පවුල ම දිනපොතේ කරුණු අකුරට ම පිළිපැද්ද බවත් පසුකලෙක අනාවරණය වුණා. උදාහරණයක් ලෙස නිර්මාංශ නොවන ආහාර පිසීම හා අනුභවය භාටියා පවුල නවතා දැම්මා. භවනේෂ් නිවස තුළ මත්පැන් පානය කිරීමේ පුරුද්දත් අතහැරියා. පූජා නිතිපතා සිදු කිරීම ඉතා සාමාන්‍ය දෙයක් බවට පත්වූ අතර, ඔවුන්ගේ ව්‍යාපාරත් වර්ධනය වුණා.
නමුත්, මේ සියල්ල ම ලලිත් භාටියා සිතාමතා ලියූ දේවල් නොවන බවක් පෙනෙන්නට තිබුණා. ඒවා ඔහු ලියා තිබුණේ ඔවුන්ගේ පියා වූ බෝපාල් සිං පවසන අන්දමට යි. බෝපාල් සිං 2007 වසරේ දී මිය ගිය අතර, ලලිත් භාටියා දිනපොත ලිවීම ආරම්භ කළෙත් ඒ වසරේදී ම යි.
භාටියා පවුලේ අමුතු සාමාජිකයා
බෝපාල් සිං යනු භාටියා පවුලේ කොඳු නාරටිය බඳු පුද්ගලයා යි. පවුලේ සියලු කටයුතු සහ ව්‍යාපාර සිදුවුණේ ඔහුගේ පාලනයට යටත් ව යි. බෝපාල් සිංගේ මරණයෙන් භාටියා පවුල යම් දුෂ්කර කාලයකට මුහුණ දුන් අතර, එය වඩාත් ම බලපෑවේ ලලිත් භාටියාට යි. බෝපාල් සිංගේ ඇවෑමත් සමඟ ම ඔහුගේ ආත්මය තමාගේ ශරීරයට ආවේශ වී ඇති බවත්, ඉක්මනින් ම පවුලේ ප්‍රධානියා ලෙස තමා පිළිගත යුතු බවත්, ලලිත් භාටියා පවුලේ අනෙකුත් සාමාජිකයන්ට දැනුම් දුන්නා.
පවුලේ සාමාජිකයන් එය පිළි ගත් අතර, බෝපාල් සිංගේ තැන ලලිත්ට හිමි වුණා. පියාගේ වියෝවෙන් ඇතිවූ හිඩැස පිරවීම ඔහු ඉතා සාර්ථක ව කළ බව පරීක්ෂණ හරහා හෙළි වුණා. 2007 ජූලි මාසයේ දී දිනපොත්වල සඳහන් අමුතු චාරිත්‍ර ක්‍රම ඇරඹී තිබෙන්නේ ලලිත් භාටියාගේ ආවේශයත් සමඟ යි. දිනපොතේ චාරිත්‍ර ක්‍රමයෙන් භාටියා පවුලට සීමාවූ ඇදහිල්ලක් (Cult) බවට පත් වුණා.
ලලිත්ගේ මානසික ස්වභාවය
ලලිත් යනු පවුලේ සිටි සංකීර්ණ චරිතයක්. 1988 දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටින අතරතුර ලලිත් භාටියා අනතුරකට මුහුණ දුන්නා. එයින් ඔහුට කණිෂ්ඨ වසරේ විභාග කටයුතු මඟ හැරුණා. ජ්‍යෙෂ්ඨ වසරේ දී නැවතත් රෝගතුර වූ නිසා ලලිත්ට විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු නවතා දැමීමට සිදු වුණා. අනතුරෙන් ඔහුගේ හිසට හානි වී තිබූ අතර, සුවය ලැබීමන් පසුව ඔහු නිතර නිදා ගැනීමට පුරුදු ව සිටියා.
2004 වසරේදී ලලිත් එක්තරා ප්ලයිවුඩ් කම්හලක සේවය කළ අතර, කම්හලේ ඇති වූ ගින්නකට ඔහු මැදි වුණා. එයින් සිදුවූ කම්පනය හේතුවෙන් ලලිත්ට තමාගේ කටහඬ තාවකාලික ව අහිමි වූ බව කියවෙනවා. සමීපතමයන් එය විශ්වාස කළත්, බුරාරි මරණවලට සම්බන්ධ වූ විද්වතුන් දරන්නේ වෙනස් ම අදහසක්.
1988 සිදු වූ අනතුරේ බලපෑම් සමඟ 2004 දී නැවතත් අනතුරට පත් වීමෙන් ලලිත් ගැඹුරු මානසික කම්පනයකට පත් වුණා. කම්පනයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු තවදුරටත් කතා නො කිරීමට තීරණය කළ බව මනෝ විද්‍යාඥයන් විශ්වාස කරනවා. ලලිත්ට භෞතික ව සුවපත් වීම සඳහා කොතරම් උපකාර ලැබුණත්, මානසික ප්‍රතිකාර ලැබුණේ නැහැ. සරල ව ම ඔහුගේ PTSD තත්ත්වයට විසඳුමක් ලබාදීමට භාටියා පවුලේ සාමාජිකයන්ට අවබෝධයක් තිබුණේ නැහැ.
බුරාරි මරණවල පර්යේෂණ
යම් පුද්ගලයකු සැලකිය යුතු මට්ටමක මානසික කම්පනයකට මුහුණ දුන් පසුත්, ඔහු හෝ ඇයට නිසි ප්‍රතිකාර නොලැබේ නම්, එම තත්ත්වය සයිකෝසියාව නම් සංකූලතා මට්ටම දක්වා වර්ධනය විය හැකි බව බුරාරි මරණවල පර්යේෂණයන්ට සම්බන්ධ වූ පර්යේෂකයන් පවසනවා. සයිකෝසියාවෙන් පෙළෙන පුද්ගලයකුට තම ජීවිතයේ සිදුවෙමින් පවතින දේ ගැන තර්කානුකූල ව සිතා කටයුතු කිරීමේ හැකියාව අහිමි වෙනවා. එවැනි පුද්ගලයන් යම් විශ්වාසයක් මත තදින් ම එල්බ ගෙන සිටින අතර, ඔහුට හෝ ඇයට අද්භූත හඬවල් (ශ්‍රව්‍ය භ්‍රාන්තිය) පවා ඇසෙන්නට පුළුවන්.
අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ තමාගේ ජීවිතයට වැඩි ම බලපෑමක් එල්ල කළ ලලිත්ගේ පියා දිවි සැරිය නිමා කරනවා. ඔහුගේ ආත්මය තමාගේ ශරීරයට පැමිණ ඇති බව ලලිත් භාටියා තදින් විශ්වාස කරන්න පටන් ගන්නවා. නැවත කතා කිරීමේ හැකියාව එම කාල පරාසය තුළ ලලිත්ට ලැබීමෙන් මැරුණු පියාගේ ආගමනය විශ්වාස කිරීමට අනෙකුත් සාමාජිකයන් පෙලඹුණා. කාලයත් සමඟ භාටියා පවුලේ සාමාජිකයන් ලලිත්ට දැඩිව අවනත වී දිනපොතේ කරුණු ඇදහිල්ලක් ආකාරයෙන් පිළිපැද්දා. එහෙත්, දිනපොත් මාලාව යනු ලලිත් විසින් ගොඩනඟා ගත් මනෝ ලෝකයක් පමණ යි!
සියදිවි නසාගැනීමක් නොවෙයි!
කාලයත් සමඟ ලලිත්ගේ මානසික ස්වභාවය පවුලේ අනෙක් සාමාජිකයන්ටත් ආරෝපණය වූ බව විෂය ප්‍රවීණයන් අනුමාන කරනවා. ඔවුන් එය හඳුන්වන්නේ “Shared psychosis” තත්ත්වයක් ලෙසට යි. එහිදී සයිකෝසියා තත්ත්වයෙන් සිටින පුද්ගලයා තම සමීපතමයන් අතර තමාගේ මායාව හෝ මුළාව බෙදා ගැනීම තුළින් නිරෝගී පුද්ගලයන්ටත් බලපෑම් එල්ල කරනවා. නමුත්, “Shared psychosis” තත්ත්වය ඉතා දුර්ලභ බව සැලකෙනවා. අවාසනාවට භාටියා පවුල ඒ දුර්ලභ සංසිද්ධියට හසු වුණා.
එම තීරණාත්මක දිනයේ දී ඔවුන් සිය දිවි නසා ගැනීමට කිසිදු උත්සාහයක් නොගත් බව පරීක්ෂණ හරහා නිගමනය කෙරුණා. මිය ගිය පියා හරහා ඔවුන්ට යම් ආත්මීය ගැලවීමක් හෝ අනාගතය වඩාත් සුරක්ෂිත කර ගැනීමක් සඳහා තීරණාත්මක ආගමික වතාවතකට සහභාගී වී එය වැරදීමෙන් මෙම මරණ සිදුවූ බව අනුමාන කළා. එසේ නම්, මෙය සිය දිවි නසා ගැනීමක් ලෙස හැඳින්විය නොහැකි යි. අවසානයේදී බුරාරි ප්‍රදේශයේ සිදුවීම “අහඹු වශයෙන් සිදුවූ සමූහ මරණ” ලෙස පොලිස් වාර්තාවලට ඇතුළත් වුණා.
මිත්‍යාව නිසා සිදුවූ ඛේදවාචකයක්
බුරාරි මරණ හුදු මිත්‍යාව නිසා සිදුවූ ඛේදවාචකයක් ලෙස ප්‍රසිද්ධ වුණත්, ඒ පිටුපස ඉතා ගැඹුරු මනෝ විද්‍යාවක් තිබෙනවා. සරල ව ම, මානසික සෞඛ්‍යය කිසිදා අවතක්සේරු නොකරන ලෙස බුරාරි මරණ ලෝකයට ඉගැන්වූවා. සාම්ප්‍රදායික පශ්චාත් මරණ පරීක්ෂණයකට වඩා මෙම මරණ පිටුපස තිබූ හේතුව විසඳුණේ පශ්චාත් මනෝවිද්‍යාත්මක පරීක්ෂණයකින්. “House of Secrets: The Burari Deaths” නමැති වාර්තා වැඩසටහන හරහා මේ සියලු කරුණු ඉතා විශිෂ්ට අන්දමින් ඉදිරිපත් කරනවා.