ෆිදෙල් කැස්ත්‍රෝ – ජීවිතය, මරණය සහ ඇමරිකානු ඝාතන ප්‍රයත්න

CIA සංවිධානය විසින් සැලසුම් කරන ලද ඝාතන උත්සාහයන් 600කට අධික ප්‍රමාණයකින් දිවි ගලවාගැනීමට සමත්වූ කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ එරට වේලාවෙන් නොවැම්බර් 25 වන දින රාත්‍රී 10.29ට පමණ අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ සොහොයුරු රාවුල් කැස්ත්‍රෝ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සිටියා. ඒ ඔහු අවුරුදු 90ක් ආයු වළඳා අවසන් වූ පසුවයි.

කැස්ත්‍රෝගේ මරණයෙන් ශෝකයට පත් වී ඇති කියුබානු වැසියන්/SBS

කැස්ත්‍රෝගේ මරණයෙන් ශෝකයට පත් වී ඇති කියුබානු වැසියන්/SBS

ලෝක දේශපාලන ඉතිහාස පොතෙන් කිසිදා ඉවත් කළ නොහැකි පරිච්ඡේදයක් තමන්ගේ නමට ලියූ මේ නායකයා 1959 වසරේ සිට 2008 වසර දක්වා ගතවූ අවුරුදු 50කට ආසන්න කාලය තුල කියුබා රජයේ මුල් පුටුව හෙබවූවා. කියුබාවට සැතපුම් 90ක පමණ දුරකින් පිහිටා ඇති ඇමරිකා එක්සත් ජනපදයෙන් එල්ල වූ අනේකවිද සම්බාධක සහ වෙනත් සියළුම ආකාරයේ තර්ජනයන්ට නොසැලී මුහුණ දීමට ඔහු ප්‍රමුඛ කියුබා රජයට හැකිවීම විශේෂත්වයක්.

ෆිදෙල් කස්ත්‍රෝගේ ජීවිතය කෙටියෙන්

ෆිදෙල් කුඩා වියේදී/Trinity University

ෆිදෙල් කුඩා වියේදී/Trinity University

කාලයට සාපේක්ෂව අතමිට සරු ගොවි පවුලකට දාව 1926 අගෝස්තු මස 13 වනදා උපත ලද ෆිදෙල් ඇලෙක්සැන්ඩ්‍රෝ කැස්ත්‍රෝ විප්ලවීය වාමාංශික අදහස්වලින් පන්නරය ලැබුවේ කියුබාවේ හවානා සරසවියේ ඉගෙනුම ලබන කාලයේදීයි. ඔහු සරසවියේදී හැදෑරුවේ නීති විෂය ධාරාවයි.

සරසවිය තුල ශිෂ්‍ය ක්‍රියාකාරකයෙකු ලෙස ප්‍රකට වූ කැස්ත්‍රෝ කැරබියන් කලාපයට එල්ල වූ ඇමරිකානු බලපෑම් දැඩිව විවේචනය කළා. එමෙන්ම එවකට කියුබානු ජනපති වූ රමොන් ග්‍රාවූ ප්‍රමුක රජය ගෙනගිය වංචා දුෂනවලින් ගහණ, මර්ධනකාරී ක්‍රියා පිළිවෙත විවේචනය කිරීමටත් ඔහු පසුබට වුණේ නැහැ. කියුබානු ශිෂ්‍ය ව්‍යාපාරයේ සභාපති ධුරයට තරඟ කර පරාජය වූ නමුත් සිසු අරගලවලදී ඔහුගේ චතුර කථිකත්වය කැපී පෙනුණා. 1946 නොවැම්බර් මස රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ඔහු කළ කතාවක් ජාතික වශයෙන් අවධානය දිනා ගැනීමට සමත් වුණා. එය කියුබානු ජාතික පුවත්පත්වල මුල් පිටුවල පළ කිරීමටත් මාධ්‍ය විසින් ක්‍රියා කළා.

ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ පාලනයට එරෙහිව කැස්ත්‍රෝ ප්‍රමුඛ විප්ලවවාදීන් මුල්වරට කැරලි ගැසුවේ 1953 වසරේදීයි. ඒ මොන්කාඩා බැරක්කයට පහර දීමෙන්. අසාර්ථක ප්‍රහාරයක් වූ එම මෙහෙයුම අවසානයේ කැස්ත්‍රෝ අත්අඩංගුවට පත්වූ අතර ඔහුට නඩු විභාගයකට පෙනී සිටීමට සිදුවුණා. මෙම නඩු විභාගයට නොබියව මුහුණ දුන් ඔහු තමන්ගේ චතුර කථිකත්වය රට හමුවේ තැබීමට එය අවස්ථාවක් කරගත්තා. නඩු විභාගය අවසානයේදී කැස්ත්‍රෝ කළ කතාව පසු කාළයක දී ‘ඉතිහාසය විසින් මා නිවැරදි කරනු ඇත!’ යනුවෙන් කුඩා පොතක් ලෙස මුද්‍රණය කර ලොව පුරා  හැරීමට කටයුතු කරනු ලැබුවා.

ෆිදෙල්, රාවුල් සහ චේ/Getty Images

ෆිදෙල්, රාවුල් සහ චේ/Getty Images

නඩුව විභාගයට ගැනීමෙන් පසු වසර 15 කට බන්ධනාගාරයට නියම වූ කැස්ත්‍රෝ පසුව කියුබාවෙන් පිටුවහල් කරනු ලැබුවා. ඒ 1955 වසරේදී. ඉන්පසු 1956 වසරේදී සහෝදර රාවුල් සහ ආර්ජන්ටිනා ජාතික විප්ලවවාදියකු වූ චේ ගුවේරා ඇතුලු පිරිසක් සමඟ ග්‍රැන්මා නම් බෝට්ටුවකින් යළි කියුබාවට ආ කැස්ත්‍රෝ බැටිස්ටාට එරෙහි ගරිල්ලා සටනක් ආරම්භ කරනු ලැබුවා. 1959 ජනවාරි 1 වනදා බැටිස්ටා රටින් පළා ගිය අතර කැස්ත්‍රෝ ඇතුළු විප්ලවවාදීන් පිරිස ජයග්‍රාහී ලෙස හවානා අගනුවරට පැමිණුනා.

වර්ෂ 1959 සිට 1976 දක්වා කියුබාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන්ද 1976 සිට එරට ජනාධිපති ලෙසින්ද කැස්ත්‍රෝ සේවය කළා. එමෙන්ම කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස ඔහු 2011 තෙක් කටයුතු කරනු ලැබූ අතර 2008 දී රාජ්‍ය නායකත්වය සහෝදර රාවුල් කැස්ත්‍රෝට පවරනු ලැබුවා.  2011 වසරේදී පක්ෂයේ සියළුම තනතුරුවලින් සහ අනෙකුත් සියළුම දේශපාලන ක්‍රියාකාරකම්වලින් ඈත් වී නිහඬ දිවියක් ගත කිරීමටත් කැස්ත්‍රෝ ක්‍රියා කළා.

කැස්ත්‍රෝ අවසන් වරට ප්‍රසිද්ධ කතාවක් පැවැත්වූවේ මෙම වසරේ අප්‍රේල් මස පැවති කියුබානු කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදීයි. ඔහු එහිදී, “තව නොබෝ දිනකින් මට වයස අවුරුදු අනූව සම්පුර්ණ වෙනවා. වැඩි කල් නොගොස් මමත් අනෙක් අය වගේ වේවි. අපි හැමෝටම අපේ කාළය එනු ඇති..” යනුවෙන් ප්‍රකාශ කර සිටියා.

ෆිදෙල්ගේ අවසන් ප්‍රසිද්ධ රැස්වීම අතරතුර සොයුරු රාවුල් සමඟ/BBC

ෆිදෙල්ගේ අවසන් ප්‍රසිද්ධ රැස්වීම අතරතුර සොයුරු රාවුල් සමඟ/BBC

කියුබානු – ඇමරිකානු සබඳතා

සමාජවාදී කඳවුර සහ ධනවාදී කඳවුර අතර සෑම විටම පැවතුණේ සීතල යුද්ධයක් බවට ඉතිහාසය සාක්ෂි දරනවා. ඉතින් මේ මූලික හේතුව නිසාම එකිනෙකාට කොතරම් ආසන්නයෙන් පිහිටා තිබුණත් ෆිදෙල්ගේ සමාජවාදී කියුබාවත් ධනවාදයේ මහගෙදර ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයත්  අතර කිසි දිනෙක හොඳ හිතක් පැවතුණේ නැහැ.

කැස්ත්‍රෝ 1963 දී රුසියානු නායක නිකිතා කෘෂෙව් සමඟ/Getty Images

කැස්ත්‍රෝ 1963 දී රුසියානු නායක නිකිතා කෘෂෙව් සමඟ/Getty Images

විශේෂයෙන්ම සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව සමඟ කියුබාවේ පැවති කිට්ටු සම්බන්ධය නිසා ඇමරිකා එක්සත් ජනපදය කියුබාව දෙස සැක සහිතව බලන්නටයි හුරු වී සිටියේ. ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල ඇතිවෙන සමාජවාදී විප්ලවයන්ට කියුබාවෙන් ලැබුණ නොමසුරු ආධාර උපකාරයන්ද ඇමරිකාවේ කෝපයට හේතු වුණා.

ෆිදෙල් බලයට පත්වී කෙටි කලකින් CIA සංවිධානයේ ආධාර ඇතිව ඇමරිකාව විසින් කරනු ලැබූ  ‘බේ ඔෆ් පිග්ස්’ ආක්‍රමණය සහ රුසියානු න්‍යෂ්ටික මිසයිල පිහිටවීම සඳහා කියුබාවේ ඉඩ ලබා දීමට කැස්ත්‍රෝ ගත් තීරණය නිසා ඇතිවූ මිසයිල අර්බුධය දෙරට අතර සබඳතා තව තවත් පළුදු කිරීමට බලපෑ ප්‍රබල හේතූන් වූවා. 1961 සිට ඉතා මෑතක් වනතුරුම මේ දෙරට අතර තානාපති සබඳතා පවා පැවැත්වූවේ නැති බව ඔබ දන්නවාත් ඇති.

ඒ නිසා කියුබාවට ආර්ථික හා වෙළෙඳ සම්බාධක පැනවීමෙන් නොනැවතී ෆිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කර එම රජය පෙරළා දැමීමටත් ඇමරිකාව අවස්ථා ගණනාවකදීම උත්සාහ දරණු ලැබූ බව නොරහසක්.

නමුත් ඒ ඝාතන ප්‍රයත්නයන් සියල්ලන්ගෙන්ම සිය දිවි ගලවා ගැනීමට කැස්ත්‍රෝ සමත් වූවා. එමෙන්ම සම්බාධක මගින් කියුබාව තුල දිවෙන සමාජවාදී දර්ශනය මුලිනුපුටා දැමීමට ගත් ඇමරිකානු ප්‍රයත්නයන් ද සාර්ථක වූවේ නැහැ.

මේ නොහොඳ නෝක්කාඩුව කොතරම් උඩු දුවා තිබුණාද යන්න පැවසුවහොත් කැස්ත්‍රෝ වරක් ප්‍රකාශ කර සිටියේ ඇමරිකාව සහ කියුබාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති වනු ලබන්නේ කළු ඇමරිකානුවෙකු ඇමරිකානු ජනපති ධුරයට පත්වන සහ ස්පාඤ්ඤ ජාතිකයෙකු පාප් තනතුරට පත්වන දිනයක බවයි.

ඔහුගේ ඒ ප්‍රකාශය සැබෑවක් බවට පත් කරමින් වත්මන් ඇමරිකානු ජනපති බැරැක් ඔබාමා මෙම වසරේ මාර්තු මස කියුබාවේ නිල සංචාරයක යෙදුණ අතර ස්පාඤ්ඤ ජාතිකයෙකුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සැප්තැම්බර් මස කියුබාවට පා තැබුවා.

පාප් වහන්සේ හමුවීමට ක්‍රියා කළත් ඔබාමා හමුවීමට කැස්ත්‍රෝ ක්‍රියා කළේ නැහැ.

ඝාතන ප්‍රයත්නයන්

“ඝාතනයන්ගෙන් ගැළවීම ඔලිම්පික් ක්‍රීඩාවක් විදිහට නම් කර තිබුණානම් නිසැකවම එහි රන් පදක්කම හිමි වන්නේ මටයි.”

කැස්ත්‍රෝ තමා ඝාතනය කිරීමට වූ සැලසුමක් වාර්තා කළ පුවත්පතක් කියවමින්/Daily Mail

කැස්ත්‍රෝ තමා ඝාතනය කිරීමට වූ සැලසුමක් වාර්තා කළ පුවත්පතක් කියවමින්/Daily Mail

කියුබානු රහස් ඔත්තු සේවයේ  හිටපු ප්‍රධානියෙකු වන ෆාබියන් එස්කලන්තේ 1996 වසරේදී එම ධුරයෙන් සමුගත් පසු ඇමරිකාව විසින් දරණු ලැබූ ෆිදෙල් කැස්ත්‍රෝ ඝාතන ප්‍රයත්නයන් පිලිබඳ අළලා  Executive Action: 634 Ways to Kill Castro නමින් කෘතියක් රචනා කළා. සුප්‍රකට නාලිකාව විසින් 2007 වසරේදී විකාශනය කළ  638 Ways to Kill Castro වැඩසටහනට පාදක වූවේත් මෙම කෘතියයි.

එහි සඳහන් වන අන්දමට ඇමරිකාව විසින් ෆිදෙල් ඝාතනය කිරීමට උත්සාහ දරණු ලැබුවේ 1959 කියුබන් විප්ලවය ජයගැනීමත් සමගමයි එස්කලන්තේ පවසන අන්දමට ඩ්වයිට් හයිසෙන්හවර් පාලන සමයේදී 38 වරක්, ජෝන් එෆ්. කෙනඩි පාලන සමයේදී 42 වරක්, ලින්ඩන් බී. ජොන්සන් පාලන සමයේදී 72 වරක්, රිචර්ඩ් නික්සන් පාලන සමයේදී 184 වරක්, ජිමී කාටර් පාලන සමයේදී 64 වරක්, රොනල්ඩ් රේගන් පාලන සමයේදී 197 වරක්, ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) පාලන සමයේදී 16 වරක් සහ බිල් ක්ලින්ටන් පාලන සමයේදී 21 වරක් බැගින් වූ වාරයන් ගණනකින් කැස්ත්‍රෝ ඝාතනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය උත්සහ දරා තිබෙනවා.

එවන් ඝාතන සැලසුම් කිහිපයක් ගැන දැන් කියවා බලමු.

හිටපු පෙම්වතියක ලවා වස දීමට තැත් කිරීම

ෆිදෙල් - මරීටා (1959)/AP

ෆිදෙල් – මරීටා (1959)/AP

කැස්ත්‍රෝගේ පෙම්වතියක ලෙස සිටි මරීටා ලොරේන් ගර්භණී බවට පත් වූ පසු ඇමරිකාව බලා යනවා. එහිදී හදිසියේ රෝගාතුරවන ඇයට CIA සංවිධානය පවසන්නේ කැස්ත්‍රෝගේ මෙහෙයවීමෙන් පසුව ගබ්සාවක් වන පරිදි ඖෂධ වර්ග කියුබාවේදී ඇයට ලබා දී ඇති බවයි. කෙසේ හෝ ඇමරිකාවේ සහ වැඩි දෙනාගේ යහපත වෙනුවෙන් කැස්ත්‍රෝ මරා දැමිය යුතු බව ඇයට ඒත්තු ගැන්වීමට CIA සංවිධානය සමත් වෙනවා.

ඝාතන ප්‍රයත්නය සිතේ තබාගෙන කියුබාවට යන ලොරේන් විෂ සහිත කරල් රැගෙන යන්නේ ඇගේ ක්‍රීම් බඳුනක දමාගෙනයි.

ඒවා සහිතව කැස්ත්‍රෝ හමුවීමට ගිය පසු සිදුවූ සියල්ල ඇගේ වචනවලින්ම පවසන්නේ නම් මෙසේයි,

“මගේ සැලසුම පිලිබඳ සියල්ල ඔහු කෙසේ හෝ දැනගෙන සිටියා. ‘ඔබ මෙහි පැමිණියේ මාව මරා දමන්නද?’ කියා විමසූ ෆිදෙල් අනතුරුව උණ්ඩ පුරවන ලද පිස්තෝලයක් පිටතට ගත්තා. මා පළමුව සිතුවේ ඔහු මට වෙඩි තබනු ඇති බවයි. නමුත් ඔහු ඒ පිස්තෝලය මගේ අතේ තැබුවා. ඉන්පසු සුරුට්ටුවක් දල්වා ගත් ඔහු  ඉන් දුම් උගුරක් ගෙන දෑස පියා ගත්තා. ඔහු එසේ තමන්ගේ ජීවිතය අනතුරට දැමුවේ ඔහුව මරා දැමීමට තරම් සිතක් මට නැති බව ඔහු හොඳින්ම දැන සිටි නිසායි. ඔහු මටත් මම ඔහුටත් ආදරය කරන බව ඔහු වටහා ගෙන සිටියා. පිස්තෝලය ඉවතට දැමූ මම නතර වූවේ ඔහුගේ දෑත් මතයි.”

ෆිදෙල් - මරිටා/AP

ෆිදෙල් – මරිටා/AP

විෂ පෙවූ පිහිනුම් ඇඳුම

කැස්ත්‍රෝ දිය යට කිමිදීමට මහත් රුචියක් දැක්වූ අයෙක්. ඔහුගේ මේ විනෝදාංශය පිලිබඳ දැනගෙන සිටි CIA සංවිධානය බැක්ටීරියා සහ වයිරස් අඩංගු කල පිහිනුම් ඇඳුමක් ඔහුට තෑගී පිණිස ලබා දීමට සැලසුමක් සකස් කරනු ලැබුවා. ඒ ‘බේ ඔෆ් පිග්ස්’ ආක්‍රමණයේදී සිර භාරයට පත් සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් පැවැත්වෙන උත්සවයක් අතරතුරදීයි. එය කැස්ත්‍රෝ වෙත ලබා දීම පැවරුණේ ඇමරිකානු නීතිඥයෙකු වූ ජේම්ස් බී. ඩොනවන් හටයි. මේ ප්‍රයත්නයද අසාර්ථක වන්නේ කැස්ත්‍රෝ සමඟ ඉතා සමීප මිතුරු දමක් ගොඩ නගා ගන්නා ඩොනවන් බැක්ටීරියා යෙදූ පිහිනුම් ඇඳුම වෙනුවට වෙනත් පිහිනුම් ඇඳුමක් කැස්ත්‍රෝට පිරිනැමීමට ක්‍රියා කිරීමත් සමඟයි.

බෝල්පොයින්ට් පෑන තුළ සැඟවූ සිරින්ජය

බෝල්පොයින්ට් පෑනක තුඩේ ඉතා සුක්ෂමව සවි කළ ඉඳිකටුවක් වැනි තුඩකින් යුත් සිරින්ජයකින් ඇන කැස්ත්‍රෝ ඝාතනය කිරීමටත් ඇමරිකාව උත්සාහ දරණු ලැබුවා. සිරින්ජයේ තුඩ ඉතාම සිහින් වීම නිසා එය ශරීරයට ඇතුළුවන බව කැස්ත්‍රෝට නොදැනෙනු ඇති බවයි CIA සංවිධානයේ අදහස වූවේ.

පිපිරෙන සිගරට්ටුව

කැස්ත්‍රෝ භාවිතා කරන වර්ගයේ සිගරට්ටුවකට ඔහුව මරා දැමීමට ප්‍රමාණවත් තරමේ පුපුරන ද්‍රව්‍ය ඇතුළත් කර එය ඔහු අතට පත්කරවීමටත් CIA සංවිධානය සැලසුම් කළා. ඒ 1960 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවට සහභාගී වීම සඳහා කළ කැස්ත්‍රෝගේ නිල සංචාරය අතරතුරදී, නිව් යෝක් නගරයේ පොලිස් නිලධාරියෙකු ලවා එය ලබා දීමටයි CIA සංවිධානය උත්සාහ කළේ.

විෂ සහිත කිරි

කැස්ත්‍රෝ ඝාතනය කිරීමේ මේ සැලසුම සාර්ථක වීමේ ආසන්නයටම පැමිණි බව සැලකෙනවා. CIA සැලසුමට අනුව හවානා හිල්ටන් හෝටලයේ රැඳී සිටි වේටර්වරයෙකු ලෙස වෙස්ගත් ඝාතකයා කැස්ත්‍රෝගේ අතුරුපස සඳහා ගැනීමට නියමිතව තිබූ කිරි බඳුනට කරලක අඩංගු වූ විෂ යොදා පිළිගැන්විය යුතුව තිබුණා.

එහෙත් ශීතකරණය තුළ තිබූ  විෂ යෙදූ කරලේ අයිස් බැඳීම නිසා එය විවෘත කිරීමට ඝාතකයා ගත් උත්සාහය කෙළවර වූවේ කරලා එකවර විවෘත වී එහි ඇතුලත් වූ විෂ බිම ඉහිරී යාමෙනුයි.

තවත් විෂ යෙදූ සිගරට්ටුවක්

මාරාන්තික විෂ මුසු කර සැකසූ සිගරට්ටුවක් කැස්ත්‍රෝ අතට පත්කිරීමයි මෙම සැලසුම වූවේ. නමුත් අවසන් මොහොතේදී ඒ සඳහා යොදාගත් චරපුරුෂයා කිසියම් හේතුවක් නිසා බියට පත් වී එම උත්සාහය අතහැර දමා තිබෙනවා.

පිපිරෙන හක් බෙල්ලා

ෆිදෙල් මාළු බාමින්/AP

ෆිදෙල් මාළු බාමින්/AP

මුහුදේ කිමිදීමට කැස්ත්‍රෝ දැක්වූ දැඩි ආශාව ප්‍රයෝජනයට ගැනීමට කල්පනා කළ සංවිධානය මෙවර ඒ සඳහා යොදාගැනීමට තීරණය කළේ පුපුරණ ද්‍රව්‍ය අඩංගු කළ වර්ණවත් හක් බෙල්ලෙක්. කිමිදීම සඳහා වූ කැස්ත්‍රෝගේ ප්‍රියතම ස්ථානයේ මෙම හක් බෙල්ලා ස්ථානගත කර, එහි වූ අසාමාන්‍ය වර්ණවලට ආකර්ෂණය වන කැස්ත්‍රෝ එයට ළඟාවූ වහාම හක් බෙල්ලා පුපුරුවා හරින්නට සැලසුම් කර තිබුණා.

බැක්ටීරියා අඩංගු ලේන්සුව

මාරාන්තික බැක්ටීරියා යෙදූ ලේන්සුවක් කැස්ත්‍රෝ අතට පත් කර ඒ මගින් ඔහු බරපතල ලෙස අසනීප වී මිය යාමට සැලැස්වීම මෙහි අරමුණ වූවා.

ඝාතන ප්‍රයත්නයන්ට අමතරව කැස්ත්‍රෝ ඔහුගේ මහජනතාව ඉදිරියේ අපහසුතාවයට පත් කර ඔහුට හිමිව තිබූ ජනතා ප්‍රසාදය දුර්වල කිරීමටත් ඇමරිකාව සැලසුම් ගණනාවක් සකස් කර තිබුණා. ඉන් කිහිපයක් පහත දැක්වෙනවා.

රැවුල සහ කොණ්ඩය හැලී යාමට සැලැස්වීම

ඇමරිකාව සිතූ ආකාරයට කැස්ත්‍රෝ වෙත හිමිව තිබූ ජනතා ආකර්ෂණයට මුල් වූ ප්‍රබලතම හේතුවක් වූවේ ඔහුගේ රැවුල සහ කොණ්ඩයයි. ඉතින් මේ රැවුල සහ කොණ්ඩය ඔහුට අහිමි වුවහොත් ජනතාවගේ ආකර්ෂණයත් ඔහුට අහිමිවනු ඇතැයි ඇමරිකාව සිතුවා. ඒ නිසා ඔහුගේ සිගරට්ටුවකට හෝ සපත්තු අඩියකට රසායන ද්‍රව්‍යයන් දමා ඒවා ශරීරයට උරාගැනීමට සැලැස්වීම මගින් හෝ ආඝ්‍රාණය කිරීමට සැලැස්වීම මගින් ඔහුගේ අලංකාර කොණ්ඩය සහ රැවුල හැලී යාමට සැලැස්වීමට සැලසුම් කර තිබූ බව 1975 ඇමරිකානු සෙනෙට් බුද්ධි කමිටු වාර්තාවේ කියැවි තිබුණා.

LSD

කැස්ත්‍රෝ කියුබානු ගුවන්විදුලි නාලිකාවක් හා සජීවී වැඩසටහනකට එක්වී සිටින අවස්ථාවක ඉතා කුඩා අංශු වායුවක විසිර තිබීමේ ක්‍රමය භාවිතයට ගනිමින් ඔහුව නොනවත්වා සිනහ ගැස්වීමට සහ විකාරරූපි ලෙස හැසිරීමට සැලැස්වීම මගින් ඔහු කෙරෙහි වූ ජනතා ප්‍රසාදය බිඳ දැමීමට හැකි වෙතැයි ඇමරිකාව කල්පනා කර තිබුණා. කෙසේ නමුත් මෙම සැලසුමත් සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වූවේ නැහැ.

ආයුබෝවන් ෆිදෙල්!

'ආයුබෝවන් ෆිදෙල්' ලෙස සඳහන් වූ පුවරුව සහිතව කියුබානු රාජ්‍ය ගොඩනැගිල්ල සෙනසුරාදා උදයේදී /CNN

‘ආයුබෝවන් ෆිදෙල්’ ලෙස සඳහන් වූ පුවරුව සහිතව කියුබානු රාජ්‍ය ගොඩනැගිල්ල සෙනසුරාදා උදයේදී /CNN

ඔහු පිළිබද කෙතෙක් මති මතාන්දර තිබුණත් ෆිදෙල් කැස්ත්‍රෝ සමස්ථ ලෝකයේ ගමන් මගට තීරණාත්මක බලපෑමක් කළ දුලබ ඝනයේ නායකයෙකු බව ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුට නොහැකි බව කිව යුතුයි.

ඔහුගේ අභාවය සැලවීමත් සමඟ ධනවාදී, සමාජවාදී භේදයකින් තොරව ලෝක නායකයන් රැසක් ශෝක පණිවුඩ නිකුත් කර තිබුණා.

කැස්ත්‍රෝගේ පවුලට සහ කියුබානු ජනතාවට තම ශෝකය ප්‍රකාශ කරන බවත් කැස්ත්‍රෝගේ සදාකාලික සැනසීම උදෙසා තමන් යාඥා කරන බවත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය පණිවුඩයෙන් පවසා සිටියා. රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ ෆිදෙල් කැස්ත්‍රෝ යනු නූතන ලෝක ඉතිහාසයේ සංකේතයක් බවයි.

කැස්ත්‍රෝ අභාවප්‍රාප්ත වීම පිලිබඳ පුවත චීන රාජ්‍ය පුවත් සේවය වන ෂින්හුවා විසින් වාර්තා කළේ “පැරණි සොල්දාදුවන් කිසිදාක මිය නොයයි!” යන සිරස්තලය සහිතවයි.

කැනේඩියානු ජනපති ජස්ටින් ටෲඩෝ පවසා සිටියේ කියුබානු ජනතාව සමඟ ශෝකය බෙදා හදා ගැනීමට තමන්ද එකතු වන බවයි. තම පියා කැස්ත්‍රෝගේ සමීප මිතුරෙකු වූ බවත් ටෲඩෝ එම පණිවුඩයේ සඳහන් කර තිබුණා.

ඇමරිකානු ජනපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පණිවුඩයෙන් කැස්ත්‍රෝ හඳුන්වා තිබුණේ ‘දරුණු ඒකාධිපතියෙකු’ ලෙසටයි. නමුත් ජනාධිපති බැරක් ඔබාමා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සිය ශෝක පණිවුඩවලින් පවසා සිටියේ කැස්ත්‍රෝ යනු ලෝක දේශපාලනයේ කිසිදා නොමැකෙන සලකුණක් බවයි. තනි පුද්ගලයෙකු ලෙස ෆිදෙල් කැස්ත්‍රෝගෙන් ලෝකයට වූ බලපෑම ඉතිහාසය විසින් තීරණය කරනු ඇති බව ඔබාමාගේ පණිවුඩයේ සඳහන්ව තිබුණා.

කෙසේ නමුත් ඔබාමාගේ සහ ටෲඩෝගේ ප්‍රකාශයන්ට ටෙඩ් කෲස් සහ ෆ්ලොරිඩා සෙනෙට් සභික මාර්කෝ රූබියෝ දැඩි අප්‍රසාදය පල කර තිබුණා. දහස් ගණනක් ජනයා පිඩාවට පත් කළ ඒකාධිපතියෙකුගේ මරණය වෙනුවෙන් ඔබාමා සහ ටෲඩෝ ශෝකයට පත්වීම කණගාටුදායක කරුණක් බවයි ඔවුන් පවසන්නේ.

එමෙන්ම කැස්ත්‍රෝගේ මරණය සැලවීමත් සමඟ ඇමරිකාවේ සිටින කියුබානු – ඇමරිකානුවන් වීදි බැස ප්‍රීති ඝෝෂා පැවැත්වූ බවත් අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර සිටිය

කැස්ත්‍රෝගේ මරණයේ සතුට සමරන කියුබානු ඇමරිකානුවෝ/PBS

කැස්ත්‍රෝගේ මරණයේ සතුට සමරන කියුබානු ඇමරිකානුවෝ/PBS

කෙසේ නමුත් සිය මරණයෙන් සමහරුන් හැඬවීමටත් තවත් සමහරුන් ප්‍රීතියට පත් කිරීමටත් සමත් වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ දේහය පිලිබඳ අවසන් කටයුතු එළඹෙන දෙසැම්බර් මස 04 වන සෙනසුරාදා පැවැත්වීමටයි කියුබානු රජය සැලසුම් කර තිබෙන්නේ. මේ වන විට එරටේ දින නවයක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කවරයේ පින්තුරය:Rex

Related Articles

Exit mobile version