නැගෙනහිර ජර්මනියේ ඔත්තු බැලූ ‘ස්ටාසි’ය ගැන අපූරු කතා

දෙවන ලෝක යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කළ මිත්‍ර පාර්ශවික රටවල් හතරක් එකතු වී ජර්මනිය කොටස් හතරකට බෙදා වෙන් කර පාලනය කිරීම ආරම්භ කළේ “පෝස්‌ට්‌ඩෑම්” සමුළුවේ දී එකඟ වුණු කොන්දේසි මත යි. ඒ අයුරින් ජර්මනියේ පාලනය බාර ගත්තේ අමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය යන බටහිර රටවල් සමඟ එක් වුණු සෝවියට් දේශය යි. 

එදා ජර්මනියේ පාලන කටයුතු සිදු කර ගෙන යාමේ දී බටහිර රටවල් ත්‍රිත්වය සහ සෝවියට් රුසියාව අතර විවිධ අර්බුද ඇති වුණා. එලෙස දෙපාර්ශවය අතර පැවතුණු සීතල යුද්ධය හේතුවෙන් 1949 වසරේ දී ජර්මනිය රටවල් දෙකකට බෙදා වෙන් කෙරුණා. එහි දී බටහිර රටවල් පාලනය කළ කලාප ත්‍රිත්වය එකතු කොට  “ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුව (FRG)”හෙවත් බටහිර ජර්මනිය නිර්මාණය කළා එසේම සෝවියට් දේශය පාලනය කරමින් සිටි කොටසින් “ජර්මන් ප්‍රජාතාන්ත්‍රවාදී සමූහාණ්ඩුව (GDR)” හෙවත් නැගෙනහිර ජර්මනිය නිර්මාණය කළා. ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ හෙවත් නැගෙනහිර ජර්මනියේ පාලක පක්ෂය ගැන දැන ගන්න මෙම ලිපියත් කියවන්න.

නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය වෙන්ව තිබුණු අයුරු දැක්වෙන සිතියම
නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය වෙන්ව තිබුණු අයුරු දැක්වෙන සිතියම -DW

ඒ අයුරින් නිර්මාණය වුණු නැගෙනහිර ජර්මනිය පාලනය වුණේ සෝවියට් දේශය යටතේ යි. සමාජවාදී රටක් ලෙස ප්‍රසිද්ධියට පත් ව සිටි නැගෙනහිර ජර්මනිය සෑම විට ම බටහිර රටවල්වලින් එල්ල වන සතුරු තර්ජන පිළිබඳ අවධානයෙන් සිටියා. ඉන් ආරක්ෂා වීම සඳහා ඔවුන්ට රහස් ඔත්තු සේවයක් අවශ්‍ය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 50 දශකයේ මුල් භාගයේ දී නැගෙනහිර ජර්මනිය ආශ්‍රිත ව ප්‍රබල රහස් ඔත්තු සේවයක් ආරම්භ වුණා. නිල වශයෙන් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ලෙස හැඳින්වූ එම ආයතනය එහි කෙටි යෙදුම වූ “ස්ටාසි” යන නමින් ප්‍රකට වුණා. ස්ටාසි රහස් ඔත්තු සේවය නමින් හැඳින්වුණු එය පසු කලෙක ලෝකයේ ප්‍රබල ම රහස් ඔත්තු සේවයක් බවට පත්වුණා. මේ ස්ටාසි රහස් ඔත්තු සේවයේ ඉතිහාසය යි. 

ස්ටාසි ඔත්තු සේවයේ ආරම්භක යුගය 

1950 පෙබරවාරි 8 වැනිදා නැගෙනහිර ජර්මනියේ ස්ටාසි ඔත්තු සේවය ආරම්භ කළා. එරට ජාතික ආරක්ෂාව තර කිරීම සඳහා ගොඩනැගුණු මෙම ඔත්තු සේවයේ මූලස්ථානය නැගෙනහිර බර්ලිනයේ පිහිටා තිබුණා. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවතුණු  ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙසින් ව්ල්හෙල්ම් සයිසර් කටයුතු කළා. එහි නියෝජ්‍ය ප්‍රධානි තනතුර එරික් මිල්කේට හිමි වුණා.  එකල නැගෙනහිර ජර්මනිය තුළ ඇති වුණු අවුල් වියවුල් හේතුවෙන් ස්ටාසි ඔත්තු සේවයේ නිලධාරින් සහ දේශපාලඥයන් අතර ද ගැටුම් නිර්මාණය වුණා. 1

එරික් මිල්කේ
එරික් මිල්කේ – getty images

953 දී ස්ටාසි ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙසින් අර්නස්ට් වොල්වෙබර් පත්වීමත් සමඟ ම එම අර්බුද තවත් වැඩි වුණා. හොනෙකර් සහ උල්බ්‍රිච්ට් යන දේශපාලඥයන් දෙදෙනා සහ වොල්වෙබර් අතර ඇති ව තිබුණු සීතල යුද්ධයෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු 1957දී ස්ටාසි නායකත්වයෙන් ඉල්ලා අස්වුණා. ස්ටාසි ඔත්තු සේවයේ නායකත්වය ඉන් පසු හිමි වුණේ එරික් මිල්කේ ටයි. නැගෙනහිර ජර්මන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හෙවත් එරට ඔත්තු සේවයේ ප්‍රධානියා වූ ඔහු එරික් මීල්ක නමින් ද හඳුන්වනවා.

KGB සමඟ සමීප සබඳතාවක් ගොඩ නඟා ගැනීම 

1950-1957 කාලය තුළ සයිසර් සහ වොල්වෙබර් යටතේ වැඩ කරමින් විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා සිටි මිල්කේගේ ප්‍රධානත ම අරමුණ බවට පත්වුණේ  ස්ටාසි සංවිධානය වඩාත් දියුණු තත්ත්වයකට පත්කිරීම යි. ඒ වන විට නැගෙනහිර ජර්මනියේ පාලන කටයුතු සිදුවෙමින් පැවතුණේ සෝවියට් දේශයේ ඕනෑ එපාකම් මත යි. එනිසා ස්ටාසි ඔත්තු සේවය දියුණු කිරීමට නම් සෝවියට් දේශයේ KGB ඔත්තු සේවය සමඟ වඩාත් සමීප සබඳතාවක් ගොඩ නගා ගැනීම වඩාත් යෝග්‍ය බව මිල්කේට ඒත්තු ගියා. ඒ අනුව 1950 දශකයේ අග භාගය වෙද්දී  KGB සහ ස්ටාසි නිල වශයෙන් සබඳතා ආරම්භ කළා. එය ස්ටාසි සංවිධානයේ ගමන් මගේ හැරවුම් ලක්ෂයක් බවට පත්වුණා.

ස්ටාසි සංවිධානයේ නිල ඇඳුම්, ආයුධ හා උපකරණ – getty images

පිරිස් බලය වැඩි කිරීම 

ස්ටාසි ඔත්තු සේවයේ බලය වැඩි කිරීම සඳහා එයට අලුතින් සාමාජිකයන් විශාල ප්‍රමාණයක් බඳවා ගැනීමට මිල්කේ කටයුතු කළා. ඒ සතුරු රටවල් ආශ්‍රිතව ඔත්තුකරුවන් වැඩි ප්‍රමාණයක් රාජකාරි සඳහා යෙදවීමට යි. එහි දී නිල ඔත්තුකරුවන් සහ නිල නොවන ඔත්තුකරුවන් ලෙසින් කාණ්ඩ දෙකක් යටතේ පිරිස් බඳවා ගත්තා. ඒ අනුව 1957-1989 කාල සමය තුළ 250,000ක පමණ ඔත්තුකරුවන් පිරිසක් ස්ටාසි සංවිධානයට බැඳී වැඩ කරන්නට ඇති බව අනුමාන කරනවා. ඉන් 80,000කට ආසන්න පිරිසක් නිල ඔත්තුකරුවන් ලෙස ද ඉතිරි පිරිස නිල නොවන ඔත්තුකරුවන් ලෙස ද සේවය කළ බව  පැවසෙනවා.

රහසිගත කැමරාවක් – getty images

එලෙස සේවය කළ ඔත්තුකරුවන් රැසක් සතුරු රටවල් ගැන ඔත්තු බැලීම සඳහා යොදවා තිබුණා. තවත් පිරිසක් නැගෙනහිර ජර්මනිය තුළ රඳවා තිබුණේ එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමට යි. ඇතැම්විට මේ නිල නොවන ඔත්තුකරුවන් එක ම පවුලේ වූ එකිනෙකා සම්බන්ධයෙන් ද ඔත්තු බලා ඇති බව ජර්මානුවන් අදටත් පවසනවා.

සෑම නගරයක ම ස්ටාසි ඔත්තුකරුවෝ 

ස්ටාසි සංවිධානය නැගෙනහිර ජර්මනියේ සෑම නගරයක ම පාහේ ඔවුන්ගේ ඔත්තුකරුවන් එදා රඳවා සිටියා. එම ඔත්තුකරුවන්ට පැවරුණු ප්‍රධාන වගකීම වුණේ රජයට එරෙහි ව කටයුතු කරන පුද්ගලයන්ගේ තොරතුරු ස්ටාසි මූලස්ථානය වෙත දැන්වීම යි. මහල් නිවාස සංකීර්ණ, සුඛෝපභෝගි හෝටල්, විශ්වවිද්‍යාල, පාසල්, කර්මාන්තශාලා සහ රෝහල් වැනි ස්ථානවල සූක්ෂම ආකාරයට විශේෂ වීඩියෝ කැමරා සවිකිරීමට ද ස්ටාසි සංවිධානය කටයුතු කළා. එමඟින් ඔවුන්ට රටේ පුරවැසියන් කරන කියන දේ පිළිබඳ නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබුණා. ඊට අමතර ව සතුරු පාර්ශව සමඟ සබඳතා පවත්වන නැගෙනහිර ජර්මානු වැසියන් පිළිබඳ තොරතුරු එකතු කිරීමට ද හැකියාව ලැබුණා. 

බොත්තම් කාසයක සවි කළ කැමරාවක් – getty images

 

එකල මෙම සංවිධානය තොරතුරු රැස්කිරීම සඳහා තවත් අපූරු ක්‍රමයක් භාවිත කළා. ඒ සිය ඔත්තුකරුවන් විවිධ ක්ෂේත්‍රවල රැකියා සඳහා යොමුකිරීම යි. එහි දී ඔවුන් වැඩි පිරිසක් යොමු කළේ මිනිසුන් සමඟ නිතර ම ගැටී කටයුතු කරන්නට සිදු වන රැකියා ක්ෂේත්‍ර සඳහා යි. එලෙස යෙද වූ ඔත්තුකරුවන් මඟින් වැඩි තොරතුරු ප්‍රමාණයක් ලබාගන්නට හැකියාව ලැබුණා. තවත් සමහර ඔත්තුකරුවන් දේවස්ථානවල සේවකයන් ලෙස සේවයට යැවීමට තරම් ස්ටාසි සංවිධානය සූක්ෂම වුණා. එමඟින් ඔවුන් බලාපොරොත්තු වුණේ දේවස්ථානවලට යන එන පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම යි. එරික් මිල්කේ අනුගමනය කළ සූක්ෂම උපක්‍රම නිසා ස්ටාසි සංවිධානය එකල යුරෝපයේ තිබුණු ප්‍රබල ම රහස් ඔත්තු සංවිධානයක් බවට පත්වුණා.

සඟවා තිබුණු කැමරාවක්
බෑගයක සඟවා තිබුණු කැමරාවක් – getty images

විරුද්ධවාදීන් මර්දනය කිරීම 

ඔත්තුකරුවන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව ක්‍රියාත්මක වුණු ස්ටාසි සංවිධානය සිය විරුද්ධවාදීන් දරුණු ලෙසින් මර්නදය කිරීමට ක්‍රියා කළා. එහි දී සතුරන් පැහැර ගැනීම සඳහා විශේෂයෙන් ම සැකසූ වාහන භාවිතයට ගත්තා. එම වාහනවල පිටුපස කොටස කුටීර කිහිපයකට වෙන්කර තිබුණේ පැහැර ගන්නා පුද්ගලයන් වෙන වෙනම රඳවා රැගෙන ඒම සඳහා යි. ඉන් අත්අඩංගුවට පත්වන උදවියට වාහනයේ සිටින අනිකුත් සිරකරුවන් හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබුණේ  නැහැ. ඒ ආකාරයට සතුරන් පැහැරගැනීම සඳහා විශේෂයෙන් ම පුහුණු කළ කණ්ඩායමක් ද ස්ටාසි සංවිධානය සතු ව සිටියා.

 පැහැරගත් විරුද්ධවාදීන් රඳවා තබාගැනීමට ස්ටාසි සංවිධාන ප්‍රධාන මූලස්ථානය තුළ විශේෂ කුටි සකසා තිබුණා. එම කුටිවල රඳවා තැබූ  සිරකරුවන්ට දරුණු වදහිංසනවලට මුහුණ දීමට සිදුවුණා. ස්ටාසි නිලධාරින් හැකි තරම් තොරතුරු ලබාගැනීම සඳහා එවැනි වද බන්ධනවලට සතුරන් ලක් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ස්ටාසි වද කඳවුරුවලින් නිදහස් වුණු සමහර උදවිය සිය ජීවිත කාලය පුරාවට ම මානසික සහ ශාරීරික ආබාධවලින් පීඩා වින්දා. සමහර විරුද්ධවාදීන් සූක්ෂම ලෙස මරා දැමීමට තරම් ස්ටාසි නිලධාරින් සාහසික වුණා. එම සංවිධානය ක්‍රියාත්මක වුණු දශක 4කට ආසන්න කාලය තුළ බොහෝ දෙනකුට එවැනි අවාසනාවන්ත මරණ උරුම වුණා.

ඔත්තු බලා සැකසූ ස්ටාසි ලේඛනාගාර වාර්තා සහිත රාක්ක  – getty images

විදෙස් රටවල් සමඟ තිබුණු සබඳතා

ස්ටාසි සංවිධානය ප්‍රධාන වශයෙන් සබඳතා පැවත්වූයේ සෝවියට් දේශයේ KGB ඔත්තු සේවය සමඟ යි. එදා KGB සහ ස්ටාසි එකතු වී බටහිර රටවල්වලට එරෙහි ව සූක්ෂම මෙහෙයුම් පවා සිදු කළා. වමේ රටවල් සමඟ සමීප සබඳතා පැවැත්වූ ස්ටාසි සංවිධානය සමහර අවස්ථාවල දී එම රටවල්වල බුද්ධි අංශවලට පුහුණුවත් ලබාදුන්නා. ඊට අමතර ව ස්ටාසි නිලධාරින් ඉතියෝපියාව, උගන්ඩාව සහ සිරියාව වැනි රටවල්වල බුද්ධි අංශ නිලධාරින්ට පුහුණුව ලබාදුන්නා. එහි අරමුණ වුණේ විදෙස් රටවල් සමඟ සබඳතා ගොඩ නගා ගෙන ඔවුන්ගේ බලය පතුරවාගැනීම යි. පලස්තීන විමුක්ති සංවිධානය වැනි සංවිධාන සමඟත් සබඳතා පැවැත්වීමට තරම් ස්ටාසි සංවිධානය සූක්ෂම වුණා. ඒ ආකාරයට ගොඩ නගා ගත් සබඳතාවල ප්‍රතිඵලයක් වශයෙන් 80 දශකයේ අග භාගය වන විට ස්ටාසි සංවිධානය වඩාත් ප්‍රබල තත්ත්වයකට පත්ව තිබුණා.

ස්ටාසි සංවිධානය විසුරුවා හැරීමෙන් පසුව ප්‍රධාන මූලස්ථානයට එල්ල වුණු ප්‍රහාරය
ස්ටාසි සංවිධානය විසුරුවා හැරීමෙන් පසු ප්‍රධාන මූලස්ථානයට එල්ල වුණු ප්‍රහාරය – getty images

ස්ටාසි සංවිධානය විසුරුවා හැරීම 

80 දශකයේ අග භාගයේ දී සෝවියට් දේශය බිඳ වැටුණා. ඒ සමඟ ම නැගෙනහිර ජර්මනියේ දේශපාලන වාතාවරණය ශීඝ්‍රයෙන් වෙනස් වුණා. එනිසා 1989 නොවැම්බර් 7 වැනිදා ස්ටාසි නායක එරික් මිලේකේ ඉල්ලා අස්වුණා. ඔහු ඉල්ලා අස්වන විටත් ලක්ෂයකට වැඩි පිරිසක් ස්ටාසි සංවිධානයට සම්බන්ධ වී සිටියා. මිලේකේගේ ඉල්ලා අස්වීමත් සමඟ ම ස්ටාසි සංවිධානය දෙදරා ගියා. එහි සේවය කළ සමහර උදවිය ඔවුන් ළඟ තිබුණු රහසිගත ලිපිගොනු පවා විනාශ කළා. 1989 නොවැම්බර් 9 වැනිදා බර්ලින් තාප්පය බිඳ දැමීමෙන් පසු බටහිර ජර්මනිය සහ නැගෙනහිර ජර්මනිය එකතු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ස්ටාසි සංවිධානය බිඳ වැටුණා. ඒ අනුව 1990 ජනවාරි 13 වැනිදා ස්ටාසි සංවිධානය නිල වශයෙන් විසුරුවා හැරියා.

ඉරා දමා තිබුණු ස්ටාසි ලේඛනාගාර වාර්තා නැවත සැකසීමට සූදානමින් – getty images

 අදටත් ඉතිරිව තිබෙන ස්ටාසි සංවිධානයේ මතක 

1990 දී ස්ටාසි සංවිධානය විසුරුවා හැරීමෙන් පසු එම සංවිධානයට අයත්ව තිබුණු සමහර ගොඩනැගිලිවල කෞතුකාගාර පිහිටවූවා. ඒ අනුව බර්ලින්, ඩ්‍රෙස්ඩන්, ලයිප්සිග්, රොස්ටොක්, හැල්, ජෙරා, පොට්ස්ඩෑම් සහ ෆ්රෑන්ක්ෆට් වැනි නගර ආශ්‍රිතව ස්ටාසි කෞතුකාගාර බිහි වුණා. ඉන් ප්‍රධාන ම කෞතුකාගාරය ඉදිවුණේ බර්ලිනයේ ස්ටාසි සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය ආශ්‍රිතව යි.  

ගොඩනැගිලි තුනකින් සමන්විත මෙම කෞතුකාගාරය තුළ ස්ටාසි සංවිධාන මූලස්ථානයේ දක්නට ලැබුණු කොටස් ඒ ආකාරයට ම ස්ථාපිත කර තිබීම විශේෂත්වයක්. එම කෞතුකාගාරය තුළ දක්නට ලැබෙන ස්ථාන අතුරින් එරික් මිල්කේගේ නිල කාමරයට සුවිශේෂී ස්ථානයක් හිමි වනවා. එකල ඔහු පරිහරණය කළ දේවල් රැසක් එම කාමරය තුළ අදටත් සුරක්ෂිතව තැන්පත් කර තිබෙනවා.

මිල්කේගේ කාමරය වර්තමානයේ දිස්වන අයුරු
මිල්කේගේ කාමරය වර්තමානයේ දිස්වන අයුරු – getty images

එකල ස්ටාසි සංවිධානය විරුද්ධවාදීන් පැහැරගැනීම සඳහා විශේෂයෙන් සකස් කළ රථ භාවිත කළ බව ඉහත සඳහන් කළා ඔබට මතක ඇති. මෙම කෞතුකාගාරය නැරඹීමට යන පුද්ගලයකුට එවැනි රථ දැක බලා ගැනීමට අවස්ථාව හිමි වනවා. එම විශේෂ රථය සකස්කර තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමේ දී එදා ස්ටාසි සංවිධානය සූක්ෂම අයුරින් සතුරන් පැහැරගත් ආකාරය පිළිබඳ ඔබට දළ අදහසක් ලබාගන්නට පුළුවන්.

ස්ටාසි රහස් සේවාව ඔවුන්ගේ දේශපාලන සිරකරුවන් වෙස්වලා ගත් වාහනවලින් ප්‍රවාහනය කළ බව ජර්මානු කොමියුනිස්ට් පාලනය සහ ඔවුන්ගේ ස්ටාසි රහස් ඔත්තු සේවය නිසා සිරගත කෙරුණු, 20 හැවිරිදි තරුණයකු පවසනවා. අඟල් 20×20 ක කුටීරවලින් සමන්විත වෙස්වලා ගත් වාහන නිෂ්පාදන බෙදා හැරීමේ වාහන ලෙස සලකුණු කර තිබුණා.

සතුරන් පැහැරගැනීමට යොදාගත් රථයක්
විරුද්ධවාදීන් පැහැරගැනීමට ස්ටාසි රහස් ඔත්තු සේවය යොදාගත් රථයක් – getty images

බාර්කස් බී 1000 නම් වන මේ වාහනවල දෙපස “නැවුම් පලතුරු සහ එළවළු බෙදා හරින්නෝ ලෙස සඳහන් කර තිබුණා. ඒවා බර්ලින් බලපත්‍ර තහඩු දරමින් ධාවනය කළා’’ යයි ඔහු පවසනවා.

විරුද්ධවාදීන් පැහැරගැනීම සඳහා කුටීර සහිත ව සකස් කළ රථ – wartburg353knight.blogspot.com

 

මෙම සංවිධානය ඔත්තු බැලීමට රහසිගත ක්‍රම රැසක් භාවිත කළා. ඉන් ප්‍රධානත ම උපක්‍රමය වුණේ සූක්ෂම අයුරින් සඟවන ලද කැමරාවලින් ඔත්තු බැලීම යි.

ඒ ආකාරයේ රහසිගත කැමරා, පල්ලියේ ගීතිකා පොත්වල, ගොඩනැගිලිවල සූක්ෂම අයුරින් සඟවා තිබුණු අයුරු මෙහි ප්‍රදර්ශනය කර තිබෙනවා.

ගීතිකා පොතක් ඇතුළත සඟවන ලද කැමරාවක්
ගීතිකා පොතක් ඇතුළත සඟවන ලද කැමරාවක් – Atlas Obscura

ඊට අමතරව අල්ලාගත් විරුද්ධවාදීන් රඳවා තැබූ සිරකුටි රැසක් මෙහි දී දැකගන්නට පුළුවන්. එම සිර කුටිවල රඳවා සිටි උදවියට විවිධ වද බන්ධන ලබාදීමට භාවිත කළ උපකරණ ද මෙම කෞතුකාගාරය තුළ තැන්පත් කර තිබෙනවා. ස්ටාසි මූලස්ථානය වෙත රැගෙන ආ සිර කරුවන්ට විඳින්නට වුණු දුක් ගැහැට පිළිබඳව ඉන් වැටහීමක් ලබාගන්නට පුළුවන්.

බර්ලින් තාප්පය බිඳවැටීම සහ ස්ටාසි ලේඛනාගාර වාර්තා පිටස්තර පුද්ගලයන් අත්පත් කර ගැනීම පිළිබඳ එළිමහන් ප්‍රදර්ශනයක් ද මෙම මෙම කෞතුකාගාර එළිමහනේ පැවැත්වෙනවා.

සිරකරුවන් රඳවා සිටි කුටි
සිරකරුවන් රඳවා සිටි කුටි – getty images

ස්ටාසි කෞතුකාගාරය නැරඹීමට යන කෙනෙකුට එහි ඇති පැරණි ඡායාරූප එකතුව දැකබලා ගන්නට ද  අවස්ථාව ලැබෙනවා. එමඟින් දශක හතරක් පුරාවට මෙම රහස්  සංවිධානය කළ කී සමහර දේවල් පිළිබඳ වටහා ගැනීමට පුළුවන්. ජර්මනියේ බර්ලින් නගරයේ පිහිටා ඇති මෙම කෞතුකාගාරයේ තිබෙන විශේෂත්වය වන්නේ දශක ගණනාවක් සූක්ෂම අයුරින් ක්‍රියාත්මක වුණු සංවිධානයක රහස් රැසක් ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව උදාකර දීමයි. එනිසා අද වන විට මෙය ලොව ජනප්‍රිය ම සංචාරක ඉසව්වක් බවට පත්ව තිබෙනවා.

බර්ලින් තාප්පය බිඳවැටීම සහ ස්ටාසි ලේඛනාගාර වාර්තා අත්පත් කර ගැනීම පිළිබඳ එළිමහන් ප්‍රදර්ශනය – getty images

 

 

 

 

කවරයේ ඡායාරූපය- බර්ලිනයේ ස්ටාසි සංවිධානයේ ප්‍රධාන මූලස්ථාන කෞතුකාගාරය - gettyimages

මූලාශ්‍ර:

askkatie.co.za

atlasobscura.com

visitberlin.de

dark-tourism.com

Related Articles

Exit mobile version