පාපැදි භාවිතයේ ගෝලීය ප්‍රවණතාව අපට ගළපා ගත නොහැකි ද?

වර්තමානයේ දී අප මුහුණ දෙන දැවැන්ත ආර්ථික අර්බුදයට හසු නොවුණු ක්ෂේත්‍රයක් නොමැති තරම්. එදිනෙදා ජීවිතයේ දී අප පරිභෝජනය කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා බොහෝමයක මිල ගණන් දැරිය නොහැකි මට්ටමෙන් ඉහළ ගොස් අවසාන යි. ඇතැම් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා අද වන විට සපයා ගත නොහැකි තරමට ම හිඟයක් ඇති වෙලා. ආර්ථික අවපාතයත් සමඟ ඇති වූ බලශක්ති අර්බුදය සහ එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ ගමනාගමන අවශ්‍යතාවනට එල්ල වූ බලපෑමත් සුළුපටු නැහැ.

ඉන්ධන හිඟය නිසා බොහෝ මිනිසුන්ට සිය වටිනා කාලය ඉන්ධන පිරවුම්හල් පෝලිම්වල ගත කිරීමට සිදු ව ඇති අතර, පොදු ප්‍රවාහන සේවා වල අඛණ්ඩතාව පවත්වා ගැනීමත් දැන් ගැටලුවක් වෙලා. පෞද්ගලික වාහනයක් තිබුණත්, පොදු ප්‍රවාහන සේවය භාවිත කළත්, අපට ඒ සඳහා දරන්නට වෙන අධික පිරිවැයෙන් ගැලවීමක් නැහැ. ඒ අනුව අපගේ මූලික සේවා අවශ්‍යතාවක් වූ ගමනාගමනය දැඩි අර්බුර්දයකට ලක් වී ඇතැයි පැවසීම අතිශයෝක්තියක් නොවෙ යි.

 මීට මාස කිහිපයකට පෙර රැකියා ස්ථානයට යාම සහ ඒම සඳහා මාසිකව දැරූ මිල මෙන් කිහිප ගුණයක් දැන් අපට ඒ වෙනුවෙන් ගෙවීමට සිදු වී තිබෙනවා. මාසික ව ලැබෙන වැටුපෙන් ගමනාගමනයට වෙන් කරන මේ අධික පිරිවැය විශාල ආර්ථික පීඩනයක් වන්නේ නිරායාසයෙන්ම යි. එහි ප්‍රතිපලයක් ලෙස තවමත් ලාභදායී ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පවතින දුම්රිය සේවාවේ මඟී ඉල්ලුම ශීඝ්‍ර ව වැඩි වෙමින් පැවතීම කදිම නිදසුනක්. එහෙත්, දුම්රිය සේවයෙන් ආවරණය නොවන ප්‍රදේශ ඕනෑ තරම් කොළඹ තදාසන්නයේ පවා තිබෙනවා. 

පාපැදි භාවිතයේ ප්‍රවණතාව

 ඉන්ධන සඳහා දැරීමට සිදුවන පිරිවැය සහ අධික බස් ගාස්තු හමුවේ ඇතැම් වෘත්තිකයන් දැන් පාපැදි භාවිතයට හුරු වී තිබෙන අතර, පාපැදිවලට ඇති ඉල්ලුමත් ඉහළ ගොස් තිබෙනවා. මීට අමතර ව, පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ නියමිත වේලාවට රාජකාරියට වාර්තා කිරීම අභියෝගයක් වී ඇති බැවින්, එයට විකල්පයක් ලෙස පාපැදි භාවිතයට හුරු වීමත් දකින්නට ලැබෙනවා.

 එදිනෙදා ගමනාගමන අවශ්‍යතා සඳහා පා පැදි භාවිත කිරීම ලෝකයේ රටවල් බොහෝමයක ප්‍රචලිත වෙමින් පවතිනවා. ඒ ප්‍රචලිත කිරීම පිටුපස ඇති අරමුණුත් විවිධ යි. ව්‍යායාමයක් ලෙස මිනිසුන් ගේ සෞඛ්‍ය තත්ත්වයට අත්වන වන ප්‍රතිලාභ, රථ වාහන භාවිතයෙන් හට ගන්නා වායු දූෂණය සහ ශබ්ද දූෂණය අවම කිරීමේ හැකියාව, බලශක්තිය වෙනුවෙන් දරන පිරිවැය අවම කිරීමේ ඉලක්ක, මාර්ග තදබදය අවම කොට කාලය ඉතුරු කර ගැනීමෙන් පලදායීතාව ඉහළ නංවා ගැනීම, එම අරමුණු අතරින් ප්‍රධාන වෙනවා.

ජර්මනියේ දුම්රිය ස්ථානයක් ඉදිරිපිට ඇති පාපැදි ගාලක් – www.welovecycling.com 

 ශ්‍රී ලංකාව තුළ මෑතක දී ඉස්මතු වූ පාපැදි භාවිතය ඉහළ යෑමේ ප්‍රවණතාව, ඉහත සඳහන් කළ අරමුණු මත පසුබිම් වූවක් නොවෙ යි. එය පැහැදිලිව ම පවත්නා අර්බුදයට තාවකාලික ව සොයා ගත් විකල්පයක් ලෙස හැඳින්විය හැකි යි.    

 අර්බුදකාරී වාතාවාරණය මැද හෝ පාපැදිය කෙරෙහි අපගේ සිත නැවතත් යොමු වීම කිසිසේත් ම පසුගාමී දෙයක් නොවෙ යි. එහි ධනාත්මක පැතිකඩ පෙන්වා දෙමින් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කරන ෆේස්බුක් සමූහත් දැන් ගොඩනැඟෙමින් පවතිනවා. ඉන්ධන අර්බුදයක් නොමැති අවධියක පවා මින් ලැබෙන අත්දැකීම්, අපගේ ගමනාගමන පද්ධතිය තුළ මුල පටන් ම පැවති ගැටලු නිරාකරණය කිරීම සඳහා යොදා ගැනීමට හැකි වේවි.

ශ්‍රී ලංකාව වැනි රටක රාජකාරියට වාර්තා කිරීම ඇතුළු ව එදිනෙදා ගමනාගමන කටයුතු සඳහා පාපැදිය භාවිතා කිරීමේ දී ප්‍රායෝගික ගැටලු ඕනෑ තරම් පැන නඟිනවා. ඒවා ගැන සාකච්ඡා කිරීමට මත්තෙන් නෙදර්ලන්තය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල පවත්නා පා පැදි සංස්කෘතිය ගැන මඳක් විපරම් කර බලමු.

ජීවිතයට බද්ධ වූ පාපැදිය

 ජර්මනියේ පමණක් පාපැදි මිලියන 72 ක් පමණ ඇතැයි පැවසෙනවා. ආසන්න වශයෙන් ජර්මනියේ සෑම කෙනකුට ම පාහේ පාපැදියක් තිබෙන බව අනුමාන කළ හැකි යි. ඒ අතර විදුලි බලයෙන් ක්‍රියා කරන බයිසිකල් සංඛ්‍යාව මිලියන 2.5 ඉක්මවන බව ඇස්තමේන්තුගත කර තිබෙනවා. එදිනෙදා රාජකාරි, සාප්පු සවාරි, ළමයින් සමඟ ගමන් කිරීමේ පහසුකම් වැනි විවිධ අවශ්‍යතා අනුව වැඩි දියුණු කළ විශේෂ බයිසිකල් පවා ජර්මනිය ඇතුළු බොහෝ යුරෝපීය රටවල භාවිත වෙනවා.

අවශ්‍යතා මත පාපැදියත් වැඩි දියුණු වන හැටි – www.snmstore.com 

 ජර්මානු රථ වාහන අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇති ව සිදු කළ සමීක්ෂණයකට අනුව දිනපතා රැකියා ස්ථානයට පාපැදියෙන් ගමන් කරන මිනිසුන්ගේ ප්‍රතිශතය 30% ක් බව සඳහන්. කෙසේ නමුත්, තවමත් ජර්මනියේ රථ වාහන භාවිතය සැලකිය යුතු මට්ටමකින් තිබෙනවා. බොහෝවිට ඒවා අතර පොදු ප්‍රවාහන සේවා කැපී පෙනෙනවා.  ජනාකීර්ණ නගරවල පාපැදිවලින් ගමන් කිරීමේ දී අනතුරුවලට මුහුණ දීමේ අවදානමත් ඉහළ යන බැවින්, පාපැදිකරුවන් ඉලක්ක කරගත් නීති සහ පහසුකම් විශේෂයෙන් බලාත්මක කිරීමට ඔවුන් ක්‍රියා කර තිබෙනවා. 

පාපැදිකරුවන්ට වෙනම ම මං තීරු

පාපැදිකරුවන් සඳහා වෙනම ම මං තීරු පවතින අතර, ඔවුන්ට බාධා වන අන්දමින් එම මංතීරු අවභාවිත කරන්නන්ට දඬුවම්වලටත් යටත් වීමට සිදු වෙනවා. යුරෝපා රටවල පාපැදි භාවිතය කොතරම් බැරෑරුම් ලෙස සලකනවා ද යත්, ඒවා නියාමනය කිරීමටත් නීති තිබෙනවා. අනෙකුත් රථ වාහන මෙන්ම පාපැදිකරුවන්ට ද මාර්ග නීති සහ සංඥා තදින් ම බල පැවැත්වෙන අතර, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කොට බයිසිකල් පැදීමත් නීතියට පටහැනි යි.

දුම්රිය හරහා පාපැදි ප්‍රවාහනයට පහසුකම් සලසන තවත් ආකාරයක් – www.wired.com 

 කොවිඩ්-19 වසංගතයේ අතුරු බලපෑම්, උග්‍ර වෙමින් පවතින දේශගුණික ගැටලු සහ ප්‍රධාන නගර වල අවකාශය කළමනාකරණය කිරීමේ දැඩි අවශ්‍යතා මත පාපැදි භාවිතයේ කැපී පෙනෙන වර්ධනයක් දැන් යුරෝපයේ දක්නට ලැබෙනවා. එම කලාපයේ රජයයන් දශක කිහිපයක් ඉදිරියෙන් ඇති අනාගතය ඉලක්ක කර ගනිමින් ගමනාගමන ක්ෂේත්‍රයේ විවිධ අත්හදා බැලීම් සිදු කරන අතර, එම ව්‍යාපෘති සඳහා පුරවැසියාගේ සහයෝගයත් නොමඳ ව ලබා ගන්නවා.

විශේෂත්වය වන්නේ එම ව්‍යාපෘති සාර්ථකව පවත්වා ගෙන යෑමේ ඉඩ ප්‍රස්තාවක් ඇත්නම්, නව ප්‍රවණතාව දිගින් දිගට ම රැක ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් රජය විසින් ම පුරවැසියන්ට ලබා දීම යි. කිසිදු දෙයක් හදිසියේ ම වෙනස් කිරීමට ඔවුන්ට වුවමනාවක් නැහැ. පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමත් එලෙස ඉවසීමෙන් සහ කාලය වැය කරමින් ක්‍රමානුකූල ව සිදු කළ කර්තව්‍යයක් ලෙස හඳුන්වන්න පුළුවන්. පාපැදිකරුවන්ට ලබා දී ඇති පහසුකම් කිහිපයක් ගැන දැන් සොයා බලමු.

පාපැදි උදෙසා ම තැනූ අධිවේගී මාර්ගයක් – www.bloomberg.com 

පාපැදි සඳහා අධිවේගී මාර්ග

ජර්මානු ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාපැදි සඳහා ම වෙන් වූ අධිවේගී මාර්ග ජාලයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, පාපැදිකරුවන් වෙනුවෙන් ගොඩනඟන ආකර්ෂණීය ම පහසුකමක් ලෙස හැඳින්විය හැකි යි. මෙමඟින් කාබන් විමෝචනය සහ ශබ්ද දූෂණය වැනි රථ වාහනත් සමඟ බැඳුණු ගැටලු සෑහෙන දුරකට අවම කර ගැනීම ඔවුන් ගේ ඉලක්කය යි.

ජර්මනියේ “රූර්” කලාපයේ අතහැර දැමූ දුම්රිය මාර්ග ඔස්සේ කිලෝමීටර් 100 ක සමස්ත දිගකින් යුත් අධිවේගී මාර්ගයක් තැනීම ව්‍යාපෘතියේ එක් අදියරක් වූ අතර, ඉන් විශාල නගර දහයකට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව පාපැදිකරුවන්ට ලැබෙනවා. “රූර්” කලාපයේ මාර්ග පද්ධතියෙන් පමණක් දෛනික ව මෝටර් රථ 50,000 ක් පමණ පාපැදි මඟින් ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව ලැබෙන අතර, හැම්බර්ග්, ෆ්‍රෑන්ක්ෆර්ට්, මියුනික් වැනි තවත් ප්‍රධාන නගර කිහිපයක් සඳහාත් මෙවැනි ව්‍යාපෘති ඉදිරිපත් වී අවසන්.

දුම්රිය තුළ පාපැදි සඳහා ඉඩකඩ වෙන් කිරීමටත් ඇතැම් යුරෝපීය රජයන් කටයුතු සලසා තිබෙනවා – ecf.com 

 වර්තමානය වනවිට ජර්මනියේ පමණක් අධිවේගී මාර්ග ආශ්‍රිත ව කිලෝමීටර් 18,600 කට වැඩි දිගකින් යුත් පාපැදි මංතීරු පද්ධතියක් පිහිටා තිබෙනවා. මෙම මංතීරු පද්ධතිය නඩත්තු කිරීම සහ තවදුරටත් දීර්ඝ කිරීම සඳහා ජර්මානු රජය 2015 සිට වාර්ෂික ව යුරෝ මිලියන 98 ක් පමණ ආයෝජනය කර ඇති බවත් සඳහන්. සංචාරකයන් සඳහා දිගු දුර පාපැදි මාර්ග 200 ක් පමණ ජර්මනිය ගොඩනඟා ඇති අතර, ඒවා ඉතා මනරම් ප්‍රදේශ හරහා දිව යන පරිදි  සකසා තිබෙනවා.

පාපැදි හිතකාමී නවාතැන්

 ජර්මානු පාපැදි සංගමය රට පුරා නගර 80 ක් ආවරණය වන පරිදි පාපැදි හිතකාමී නවාතැන් සොයා ගැනීමේ පහසුකම් සපයා දී තිබෙනවා. යුරෝපයේ ජාත්‍යන්තර මට්ටමින් පවත්වා ගෙන යන පාපැදි මාර්ග පිහිටුවා ඇති බැවින්, මෙම නවාතැන් ජාලගත කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් ලෙස සැලකිය හැකි යි. ජර්මනියේ බර්ලින් නුවර සිට ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර දක්වා දිවෙන ජාත්‍යන්තර පාපැදි මාර්ගය මින් වඩාත් ප්‍රචලිත වන අතර, සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ අලුත් අවස්ථා ද එමඟින් නිර්මාණය වෙනවා. මනසට තෘප්තියක් ලැබෙන ආකාරයෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්නය නිසා මිනිසුන් මේ සරල වාහනයට අන් කිසිදු ප්‍රවාහන මාධ්‍යයකට වඩා ආදරය කරන්නේ නිරායාසයෙන්ම යි.

පාපැදි-දුම්රිය සංකලනය හරි අපූරු සංකල්පයක් – back-on-track.eu 

පාපැදි-දුම්රිය සංකලනය

නගරාශ්‍රිත පරිසරය සැලකීමේ දී පාපැදි භාවිතය සඳහා තවදුරටත් පහසුකම් සැපයීම සහ දිරිමත් කිරීමේ අවශ්‍යතා මතු වෙනවා. කාර්යබහුල වටාපිටාවක ජීවත් වන මිනිසුන් වශයෙන් ජීවන රටාව පහසු කර ගැනීම පිණිස එකිනෙකාට අනන්‍ය වූ ගමනාගමන ක්‍රමවේදයකට ඇතුළු වී ඇති බැවින්, නගරයක පාපැදිය ප්‍රචලිත කිරීම පහසු ක්‍රියාවක් නොවෙයි.  උදාහරණයක් ලෙස යුරෝපයේ බොහෝ නගරවල මුදල් ගෙවා භාවිත කළ හැකි පාපැදි තිබෙන අතර, පොදු පාපැදි ගාලකින් අවශ්‍ය මුදල ගෙවා පාපැදියක් ගෙන අවශ්‍ය ගමනාන්තයට යා හැකි යි.

එය එක්තරා අන්දමකින් පාපැදිය ප්‍රවර්ධනය කිරීමේ උපක්‍රමයක් ද වෙනවා. මාර්ග තදබදයට හසුවෙමින් සහ සැලකිය යුතු පිරිවැයක් දරමින් මෝටර් රථයක් පදවනවාට වඩා මෙවැනි ක්‍රමවේද ලාභදායී බව මිනිසුන්ට වැටහීමෙන් පසු පාපැදියට ඇලුම් කරන්න ගන්නේ ඉබේට ම යි.  නෙදර්ලන්තයේ නම් පාපැදි භාවිතය දිරිමත් කිරීම සඳහා සුළු මුදලක් පාපැදිකරුවන්ට ගෙවීමේ වැඩපිළිවෙළක් පවා සකස් කර තිබෙනවා. 

පාපැදි සංස්කෘතිය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර තුළ පිහිටි වීදියක් වෙනස් කර ඇති අයුරු – twitter.com/AinoTuominen 

පාපැදි භාවිතයේ තවත් එක ප්‍රායෝගික ගැටලුවක් වන්නේ දුර ප්‍රමාණය යි. කිසියම් වෘත්තිකයකුට විශාල දුරක් ගෙවා සේවයට වාර්තා කිරීමට සිදු වේ නම්, එම දුර දිනපතා පාපැදියක් භාවිතයෙන් ගෙවා දැමීම එතරම් ප්‍රායෝගික නැහැ. පොදු ප්‍රවාහන සේවා සහ පාපැදිය එකිනෙකට සම්බන්ධ කිරීම මේ සඳහා ඇති හොඳ ම විසඳුම යි. දුම්රිය සේවය වැනි ඉතා පලදායී ප්‍රවාහන මාධ්‍යයක් සමඟ පාපැදිය සම්බන්ධ කිරීමට යුරෝපීය රටවල් උත්සුක වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්.

 පාපැදි සහ දුම්රියේ සංකලනය ඉතා ආකර්ෂණීය යි. බොහෝවිට දුම්රිය ස්ථානයේ හෝ ඒ අවට පාපැදි ගාල් කර තැබීමේ පහසුකම් සපයා දී ඇති අතර, අවැසි නම් දුම්රිය තුළ තම පාපැදිය සුරක්ෂිත ව රැගෙන යෑමේ පහසුකම ද සපයා දී තිබෙනවා. දුම්රියෙන් අදාළ දුර ආවරණය කිරීමෙන් පසු  නැවතත් ඉතිරි වී ඇති දුර පාපැදිය භාවිතයෙන් ගෙවා දැමිය හැකි යි.

සාප්පු යෑම සඳහා ම නිර්මාණය කළ බයිසිකලයක් – www.independent.com 

නැවතත් ශ්‍රී ලංකාව දෙසට..

බැලූ බැල්මට ම යුරෝපයේ පාපැදි සංස්කෘතිය ඉතා සුන්දර බව පෙනී යනවා. එවැනි පසුබිමක් ශ්‍රී ලංකාවේත් ඇති කළ හැකි නම් විසඳා ගත හැකි වන්නේ ඉන්ධන අර්බුදය පමණක් නොවෙයි. එහෙත්, යුරෝපයේ නොපවතින දේශපාලන සංස්කෘතියක් සහ ආකල්පමය වෙනස්කම් ඇති රටක් ලෙස පාපැදිය අපට හුරුකරවා ගන්නේ කෙසේ ද? ඒ සඳහා පෞද්ගලික ව මෙන් ම පොදුවේත් දැරෙන ඇතැම් සාධනීය වෑයම් ද මෙරට දැකිය හැකිවීම සතුටට කරුණක්.

ශ්‍රී ලංකාවේ නිර්මාණය සහ නිෂ්පාදනය කළ පළමු විදුලි බයිසිකලය Rodha – rhoda.life

 කොළඹට තදාසන්න ප්‍රදේශයක සිට කොළඹ පිහිටි කාර්යාලයකට දිනපතා පාපැදියකින් පැමිණීම තරමක් වෙහෙසකාරී ක්‍රියාවක් බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ. මාර්ග තදබදය අධික, ජනතාව නිතර ම ගැවසෙනන, පදික වේදිකාව දෙපස ඉඩකඩ පවා ඇහිරී ඇති මාර්ගවල පාපැදියක් භාවිතයෙන් ගමනාන්තය වෙත යෑම සැබැවින් ම අභියෝගයක්. ශ්‍රී ලංකාවේ දේශගුණික ස්වභාවය අනුව උදෑසන කාලයේ දී පවා උණුසුම් ස්වභාවයක් පවතින බැවින්, දෛනික ගමනාගමන අවශ්‍යතා සඳහා පාපැදි භාවිතා කිරීම එතරම් ප්‍රායෝගික ද යන ගැටලුව මතු වෙනවා.

මේ සියල්ලට ම වඩා ප්‍රබල ම ගැටලුව වන්නේ මාර්ග විනය යි.  රිය අනතුරු බහුල ව සිදු වන රටක් ලෙස ශ්‍රී ලංකාවේ මාර්ග විනය සම්බන්ධයෙන් ඇත්තේ ගැටළුකාරී වාතාවරණයක්. මේ හේතුව නිසා පාපැදි භාවිතයේ ආරක්ෂිත බව ප්‍රශ්නාර්ථයක් වී තිබෙනවා.

වැඩිය මහන්සි නොවී බයිසිකලයක් පදින විධිය

 යුරෝපීය රටවල පාපැදි සංස්කෘතියක් බිහි වී ඇත්තේ මේ සියලු අභියෝග හඳුනා ගනිමින් වීම විශේෂත්වයක්. ඒ ඒ අභියෝග සඳහා ඔවුන් සාර්ථක පිළියම් සොයා ගත් අතර, ඒවා තවදුරටත් වැඩි දියුණු කිරීමටත් ඔවුන් වෙහෙසෙනවා.

ශ්‍රී ලංකාවේ පාපැදි භාවිතයේ නැඹුරුව වැඩි වී ඇත්තේ මෙවැනි සංස්කෘතියක් ඇති කිරීමේ අභිලාෂයකින් නොවන බව පැහැදිලි යි. එය හුදෙක් ම පවත්නා උග්‍ර ඉන්ධන අර්බුදයෙන් හටගත් අතුරු ප්‍රතිඵලයක් වන අතර, පාපැදිකරුවන්ට නිසි පහසුකම් සපයා නොදී පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම ප්‍රායෝගික වන්නේ නැහැ.

මෙවැනි පාපැදි මංතීරු ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාර්ග ආශ්‍රිතවත් ගොඩනැඟීමට ඇති හැකියාව ගැන අවධානය යොමු වී තිබෙනවා
– bicycledutch.wordpress.com 

 කෙසේ නමුත්, දිනෙන් දින ඉහළ යන පාපැදි භාවිතය හමුවේ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ බලධාරීන් පාපැදි මංතීරු හඳුන්වා දීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙනවා. ඒ සඳහා ඉඩ ප්‍රස්තා ලබාගත හැකි මාර්ග හඳුනා ගැනීමේ අධ්‍යයන සඳහා පියවර ගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන්. පාපැදි සංස්කෘතියක් ලංකාව තුළ ඇති කිරීම සඳහා මංතීරු ගොඩනැඟීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එය කොතෙක් දුරට සැලසුම් කළ යුතු ක්‍රියාවක් ද යන්න වග අපට යුරෝපයේ පාපැදි සංස්කෘතිය අධ්‍යයනය කිරීමෙන් පෙනී යනවා.

පවත්නා අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස මංතීරු ඉදි කිරීමෙන් හෝ පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම කාලෝචිත ක්‍රියාවක්. ආර්ථික අර්බුදයෙන් තරමක් දුරට ගැලවීමක් ලැබූ දිනක පවා පාපැදිය අමතක කළ යුතු නැහැ. එවිට දකුණු ආසියාවේ ශක්තිමත් ම පාපැදි සංස්කෘතියක් ඇති රටක් ලෙස වඩාත් දූරදර්ශී අරමුණු ඉලක්ක කර ගනිමින් අපට සැලසුම් සකස් කළ හැකි යි.

කවරයේ ඡායාරූපය- දෛනික ගමනාගමන අවශ්‍යතා සඳහා පාපැදි භාවිතා කිරීම දැන් ලෝකයේ ප්‍රචලිත වෙමින් තිබෙනවා - caboodle-technology.co.uk

මූලාශ්‍ර:

 m.dw.com/en/

www.deutschland.de/en/

www.welovecycling.com

 m.facebook.com/PepperNews.lk   

www.dinamina.lk

www.deshaya.lk 

 www.weforum.org 

 www.newsfirst.lk 

rhoda.life

Related Articles

Exit mobile version