ශ්‍රී ලංකාවේ ඇද වැටෙන සුව සේවය රැක ගන්නේ කෙලෙස ද?

 ශ්‍රී ලංකාව කොතරම් බංකොලොත් වුව ද සෞඛ්‍ය සේවයට සහ අධ්‍යාපනයට කරන වියදම අඩු නොකරන බව වත්මන් අගමැතිවරයා කිහිපවිටක් වගාඩම්බරයෙන් පවසා තිබිණි. ඒවාට රජය කරන වියදම අඩු නොකළ ද රට බංකොලොත් වූ විට වෙනත් විවිධ හේතු නිසා මෙම සේවා බිඳ වැටීම සිදුවීම නියතයකි. අධ්‍යාපනයට කරන වියදම අඩු නොකළත්, ඉන්ධන අර්බුදය නිසා පාසල් වැසීමට සිදුවීම මෙයට ඇති සරල ම උදාහරණය යි. රට ගොඩගැනීම භාරගෙන සිටින ජනාධිපතිවරයාත්, අගමැතිවරයා හා කැබිනෙට්ටුවත් ඔවුන් පිටුපස සිටින බලවේගත්  බංකොලොත්  බව නමැති සුනාමිය සියලු කෙත්වතු, ගම්බිම්, හරකාබාන, මිනිසුන්, තිරිසනුන් යටකර විනාශ කරන බව පළමු ව  පිළිගත යුතු ය.

මෙම බංකොලොත් බව නම් සුනාමියට මුහුණ දීමට බොළඳ සටන්පාඨවලට හැකියාවක් නොමැත. රළ පහරේ ඇති වුයේ කෙසේද යන්න තොරතෝංචියක් නැතිව විස්තර කිරීමෙන් ද එයට විසඳුමක් ලැබෙන්නේ නැත. රළ පහරේ දරුණුකම පිළිබඳ සියුම් විශ්ලේෂණයන්ගෙන් ද එයට පිළිතුරු සැපයෙන්නේ නැත. දැන් කළ යුත්තේ රළ පහරින් දිවි ගලවා ගැනීමට කටයුතු කිරීම ය. එසේ දිවි ගලවා ගන්නා අතරතුර ම, අප කළ යුත්තේ මේ සුනාමිය හට ගන්නට හේතු සාධක වූ අඳුරු බලවේග තවත් විනාශයක් කිරීමට පෙර මුලිනුපුටා දැමීම ය.

අඩු වියදමකින් ඉහළ සෞඛ්‍ය මට්ටමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාව සෞඛ්‍ය සේවා ආශ්චර්යයක් – www.dailynews.lk 

 

ඩොලර් අර්බුදය ඇති කළ ඖෂධ හිඟය

ආර්ථික බංකොලොත්භාවය නමැති සුනාමිය සෞඛ්‍ය සේවය වෙත ගැලූ විට ඇතිවිය ප්‍රතිපල භයංකාර ය. කොරෝනා වසංගතයේ දී  මියගිය ප්‍රමාණයට වඩා සියදහස් ගුණයක් මිනිසුන්, දරුවන්, මවුවරුන් ආර්ථික බංකොලොත්භාවය නමැති සුනාමියට හසු ව මිය යා හැකි ය. මෙයින් බොහෝ දෙනා මිය යනු ඇත්තේ දැන් සැවො ම කථා කරන ඖෂධ හිඟය නිසා නොවේ. ඔවුන්ගෙන් බොහෝ දෙනා මිය යනු ඇත්තේ තමන් මිය ගියේ ආර්ථික අර්බුදය නිසා බව යන්න පවා නොදැන ය. ඩොලර් අර්බුදය ඇති කළ ඖෂධ හිඟය සුව සේවයේ ඉදිරියේ දී ඇති විය හැකි මහා අර්බුදයෙන් අප මනස ඉවතට යොමු කොට ඇත.

මේ වනවිට මැති ඇමතිවරුන් හා සෞඛ්‍ය බලධාරීන් ආධාර ලෙස ලැබෙන බෙහෙත් හා ආහාර ද්‍රව්‍ය ගෙන එන ගුවන්යානා හා නැව් අසලට ගොස්  පාර්සල් භාර ගනිමින් වාප්පු ලිපිකරුවන්ගේ කාර්යය කරමින්, ජාතිය වෙනුවන් ඔවුන්ගේ “වගකීම” ඉටු කරයි. පැමිණෙන අර්බුදය ගැන අබ ඇටයක පමණ අවබෝධයක් නැති ජනමාධ්‍ය මෙම වාප්පු ලිපිකරුවන් කරන “අගනා සේවය” පිළිබඳ ව ජනතාව දැනුම්වත් කරයි. මෙවන් දෑ හිතකාමී නායකයන් හා උගතුන් රැසක් ඇති පින් බිමක උපන් හුදී ජනයා “දැන්නම් ඉතින් බෙහෙත් ටික ලැබෙයි “ සිතමින් සැනසුම් සුසුම් හෙළති.

අඩු වියදමකින් ඉහළ සෞඛ්‍ය මට්ටමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාව – openknowledge.worldbank.org 

 

අපේ සෞඛ්‍ය සේවය යහපත් ද?

 ඇති විය හැකි සැබෑ අර්බුදය නිසිලෙස අවබෝධ කර ගැනීමට නම් පළමු ව ශ්‍රී ලංකාවේ අද පවතින සෞඛ්‍ය සේවය ගැන අවබෝධයක් ඇති කර ගත යුතු ය. තම දල ජාතික නිෂ්පාදනයෙන් 3.4% පමණ සෞඛ්‍යය සඳහා වියදම් කරන ශ්‍රී ලංකාව, අඩු හෝ මධ්‍යම ආදායම් ඇති රටවලට සාපේක්ෂ ව දැනටත් වියදම් කරන්නේ අඩු මුදලකි. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල සෞඛ්‍ය වියදම වසරකට අමෙරිකානු ඩොලර් 168ක් පමණ වේ. මෙය ද සංසන්දනාත්මක ව ඉතා අඩු මුදලකි. අමෙරිකානු එක්සත් ජනපදයේ මෙය ඩොලර් 10,921 ක් ද, රුසියාවේ මෙය ඩොලර්  653 ක් ද, චීනයේ මෙය ඩොලර් 535 ක් ද වන අතර අප හා සමාන සෞඛ්‍ය දර්ශක තිබෙන සමාජවාදී කියුබාවේ පවා මෙය ඩොලර් 1031 කි.

මෙසේ ඉතා අඩු ඒක පුද්ගල සෞඛ්‍ය වියදමක් දැරුවත් අපගේ ළදරු මරණ අනුපාතිකය, මාතෘ මරණ අනුපාතිකය, ආයු අපේක්ෂාව, රෝග මරණ අනුපාතිකය මේ කිසිම රටකට නොදෙවෙනි වේ. එසේ ම අඩු ආදායම්ලාභීන්ටන්ට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති හැකියාව, රෝහල්වලට හා සායනවලට ඇති දුර ප්‍රමාණය,සෞඛ්‍ය ප්‍රශ්න නිසා දුගී බවට පත්වීමට ඇති සම්භාවිතාව, විවිධ රෝග නිසා මරණයට පත්වන ප්‍රතිශතය වැනි සෞඛ්‍ය දර්ශක අතිනුත් අප ලොවේ සිටින්නේ ඉතා ඉහළ මට්ටමක ය.

ශ්‍රී ලංකාව තවත් හොඳ යැයි සලකන රටවල් දහයක් සමඟ සංසන්දනය කරමින් ලෝක බැංකුව 2018 දී පළ කළ වාර්තාවක අඩු වියදමකින් ඉහළ සෞඛ්‍ය මට්ටමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාව “සෞඛ්‍ය සේවා ආශ්චර්යය”ක් (Health Miracle) ලෙස හඳුන්වා දී ඇත්තේ මේ නිසාය. අත්කර ගත නොහැකි ආශ්චර්යයන් පසුපස හඹා ගොස් දණ බිම ඇනගෙන ලොවින් හිඟමන් යදින අපි, අප ළඟා කරගෙන ඇති ආශ්චර්යයන් නොදකින අන්ධ හිඟන්නෝ වෙමු. ආශ්චර්යයන් පෙන්වා වංචාවෙන් දුෂණයෙන් අප හිඟමනට පත් කළ පාලකයන් කළ යුත්තේ අව ම වශයෙන් ඔවුන් නොදකින, අප දැනටමත් ලබා ඇති සෞඛ්‍ය ආශ්චර්යය අපට රැකදීම යි.

රටේ මුළු සෞඛ්‍ය වියදමින් හරි අඩක ප්‍රමාණයක් දරන්නේ රජයෙන් නොව රෝගීන්ගේ පුද්ගලික වියදමිනි –  openknowledge.worldbank.org 

 

සෞඛ්‍ය සේවයේ ගැටලු ඇතිවන්නේ කෙසේද? 

 අගමැතිවරයා කොතරම් පොරොන්දු දුන්නත්, රජය මඟින් කරන වියදම අඩු නොකර තබා ගැනීමෙන් පමණක් ආර්ථික අර්බුදය රටේ ජනතාවගේ සෞඛ්‍යයට බල නොපාන ලෙස පවත්වා ගත නොහැකි වේ. බැලූ බැල්මට ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින නමුත් රටේ මුළු සෞඛ්‍ය වියදමින් හරි අඩක ප්‍රමාණයක් දරන්නේ රජයෙන් නොව රෝගීන්ගේ පුද්ගලික වියදමිනි. රෝහල්වල ඇති මුළු ඇඳන් සංඛ්‍යාවෙන් 95% රජයේ රෝහල්වල තිබෙන නිසා ෂ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයක් තිබෙන බව පෙනී ගියත්, බාහිර රෝග ප්‍රතිකාර ලබා ගැනීමට ද, බාහිර ලෙස පරීක්ෂණ කර ගැනීමට ද, පුද්ගලිකව ඖෂධ ලබා ගැනීමට ද පුද්ගලික ව රෝගීන් දරන වියදම මෙයට අයත්වේ. මෙම මුදලින් සියයට 87% රෝගීන් දරන්නේ තමන්ගේ අතිනි. (Out of pocket).

විවිධ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවලින් ආවරණය වන්නේ සියයට 9% ක් පමණි. ආර්ථික අර්බුදය නිසා ජීවන වියදම නොසිතු ලෙස ඉහළ යනවිට හා රැකියා අහිමි වී ආදායම් මාර්ග පහළ යනවිට රෝගීන්ට මෙසේ පුද්ගලික ව වියදම් දරා ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව අඩුවේ. ඩොලරයෙහි අගය ඉහළ යාම නිසා මේ වනවිටත් ඖෂධ මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. එවිට රටෙහි ඖෂධ තිබුණත් ඒවා මිල දී ගැනීමට රෝගීන්ට නොහැකි වනු ඇත. මේ සියලු හේතු නිසා වැඩි රෝගීන් ප්‍රමාණයක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පෙලඹෙනු ඇත. මෙම පිරිසට ප්‍රතිකාර ලබා දීමට නම් රාජ්‍ය සෞඛ්‍ය වියදම ඉහළ දැමීමට සිදුවනු ඇත. එසේ නොකර අගමැතිවරයා පවසන අයුරින්, සෞඛ්‍ය සේවා සැපයීම සඳහා රජය දරන වියදම අද පවතින අයුරින් පවත්වා ගෙන ගියහොත් දැනටත් බරපතල ඖෂධ හා සම්පත් හිඟයකට මුහුණපා සිටින රජයේ රෝහල්වල  සේවා තවත් බිඳ වැටෙනු ඇත. දියවැඩියාව, රුධිර පීඩනය, පිළිකා, වකුගඩු රෝග හා හදවත් රෝග ඇති රෝගීන් ඖෂධ ලබා නොගැනීම නිසා හෝ ප්‍රමාණවත් නොවන අයුරින් ඖෂධ ලැබීම නිසා මිය යනු ඇත.

සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් 2015 – 16 වසරවල පුද්ගලික ව රෝගීන් දැරූ වියදම –  openknowledge.worldbank.org 

 

ජාතික රක්ෂණ ආවරණයක්

මෙය විසඳිය හැකි ආකාර කිහිපයක් තිබේ. සැබෑ නිදහස් සෞඛ්‍ය තිබෙන රටවල මුළු සෞඛ්‍ය වියදමින් පුද්ගලික ව රෝගීන් දරන වියදම 10% වඩා අඩු ය. එම රටවල රජය නොසපයන සේවා සඳහා ජාතික රක්ෂණ ආවරණයක් ලබා දී ඇත. ඒ අයුරින් රජයේ මැදිහත්වීමෙන් අත්‍යවශ්‍යයෙන් ආවරණය විය යුතු රෝග සඳහා රක්ෂණ ක්‍රම ඇති කිරීම එක් විසඳුමකි. අනෙක සෞඛ්‍යය සඳහා රාජ්‍යය යොදන මුදල වැඩි කිරීම යි. දැනට මෙරට මුළු රාජ්‍ය වියදමින් 92%ක් මධ්‍යම රජයෙන් සහ පළාත් සහා මඟින් දරන අතර මෙම මුදල් රජයට ලැබෙන්නේ ආදයම් බදු හා විදේශ ණය මඟිනි.  විදේශ ප්‍රදානයන් ගෙන් ලැබෙන්නේ 1% ක් පමණි. 

2019 දී අමනෝඥ ලෙස වෙනස් කළ රාජ්‍ය බදු ප්‍රතිපත්තිය මඟින් රාජ්‍ය ආදායම අඩුවුණු අතර, සිංහල අලුත් අවුරුද්දට පෙරදින සාඩම්බරයෙන් කළ “අපි ණය නොගෙවමු “ යන “දේශප්‍රේමී” ප්‍රකාශය නිසා ණය ලබා ගැනීමේ හැකියාව ද අඩුවී ඇත. ළිං මැඩි දේශපාලනඥයන්, ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි “දේශද්‍රෝහී, අධිරාජ්‍යවාදී, බටහිර ගැති” සංවිධානවලින් ණය ගැනීම අපවැනි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති, ප්‍රෞඪ ජාතියකට නොතරම් යැයි මතය ජනතා සිත් සතන් තුළ පැලපදියම් කොට ඇත. ඒ නිසා සෞඛ්‍යය පවත්වා ගෙන යාම සඳහා දැන් අපට ඉතිරි ව ඇත්තේ නොමිලේ ලබාගත හැකි ප්‍රදාන ඉල්ලමින් ලෝක සංවිධානවලින් හා රටවල් වලින් හිඟමන් යැදීමට ය.

මේ හිඟමන පවා අත්දැකීම් ඇති හිඟන්නන් කරන පරිදි වැඩිපුර වාසි ලැබෙන හිඟන බිම් සොයමින් විද්‍යාත්මක ක්‍රමයකට නොකළහොත් එයින් කිසි පලක් නොලැබෙනු ඇත. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව අඩු ආදායම් ඇති රටක සිට මධ්‍යම ආදායම් ඇති රටක් වූ විට ලෝක සංවිධානවලින් නොමිලේ ලබාදෙමින් සිට නැවැත්වූ ළමා හා මාතෘ එන්නත් “අප දැන් ඉතියෝපියාවට සමානය” පවසා නැවත නොමිලයේ ලබා ගත හැකි ය. මෙයට තවත් විසඳුමක් ලෙස “සමාජ ආරක්ෂණ බද්ද”ක් අරඹා, එයින් ලැබෙන ආදායම සෞඛ්‍යය, අධ්‍යාපනය හා සමාජ ආරක්ෂණ කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙස මෙම ලියුම්කරු පෙන්වා දී තිබිණි.  රජය දැන් එය නව බදු ක්‍රමයක් ලෙස හඳුන්වාදී ඇත.

මේ විසි වසරක කාලය තුළ කිසිදු සෞඛ්‍ය දර්ශකයක් සැලකිය යුතු තරම් යහපත් අතට හැරී නැත – Paula Bronstein/Getty Images 

 

වියදම අඩු කිරීම  

කොතරම් කටමැත දෙඩවුවත් පවතින ආර්ථික අර්බුදය රාජ්‍ය සෞඛ්‍ය වියදම අඩු කිරීමට බල කරනු ඇත. එවිට අඩු කළ යුතු වියදම් විද්‍යාත්මක ක්‍රමයකට නොකළහොත් එය තවත් අර්බුදයකට මුලපුරනු ඇත. ඒ, අවම ජිවිත හානියක් සහ රෝගීන්ට හිරිහැරයක් නොවන ලෙස අඩු කළ යුතු සේවා නිසි සේ හඳුනා නොගැනීම නිසා ය. පසුගිය වසර 20  තුළ රාජ්‍ය සෞඛ්‍ය වියදම සැමට රහසේ නොසිතු විරූ ලෙස ඉහළ ගොස් ඇත. 1999 දී රුපියල් මිලියන 163,165 ක්ව තිබු මෙම වියදම 2019 දී සංසන්නාදමක මිලගණන් අනුව ද (real terms) රුපියල් මිලියන 529,159 ක් ව හතර ගුණයකින් ද වැඩි වී තිබේ. මේ විසි වසරක කාලය තුළ කිසිදු සෞඛ්‍ය දර්ශකයක් සැලකිය යුතු තරම් යහපත් අතට හැරී නැත. මෙය මෙසේ සිදුවූ බව කිසිවකු නොදන්නා අතර එය සිදුවුයේ කෙසේදැයි සෙවීමට පරික්ෂණයක් විගණන දෙපාර්තමේන්තුව ද, මහජනතාව ද ඇරඹිය යුතු ය.

යම් සෞඛ්‍යමය කරුණකට රජයේ මුදල් වියදම් කිරීමේදී එයින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳ ව විග්‍රහයක් කිරීමක් (cost benefit analysis) ශ්‍රී ලංකාවේ සිදු නොවේ. මෙයින් අදහස් වන්නේ නිසි අධ්‍යනයකින් පසුව, අද පවතින සෞඛ්‍ය දර්ශකවල වැඩි වෙනසක් නොවී, පවතින සෞඛ්‍ය සේවයේ වියදම අඩු කර ගත හැකි බව ය. එමඟින් ඉතිරි කරගන්නා මුදල් ආර්ථිකයෙන් බැටකා රජයේ රෝහල් වෙතට හැරෙන අලුතින් දුගියන් වූ ජනතාවට සෙත සැලසීමට යොදාගත හැක. මෙසේ වියදම් අඩුකර ගැනීමට එක් එක් සෞඛ්‍ය ක්‍රියාවලිය සඳහා වියදම්ව න මුදලත්, එම ක්‍රියාවලිය මඟින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභත් සසඳා අඩු සෞඛ්‍යමය ප්‍රතිලාභ ලැබෙන, වැඩි මුදලක් වියදම් වන, ක්‍රියාවලි නැවැත්වීමේ මාර්ගයක් අනුගමනය කළ යුතු ය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා – lrh.health.gov.lk

 

ප්‍රාථමික සෞඛ්‍ය සේවා සුරැකීම 

විවිධ අධ්‍යයනවල දී හෙළිදරවු වන අන්දමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක ඉහළ ගියේ විශාල රෝහල්, මිල අධික උපකරණ, මිල අධික ක්‍රියාවලි මඟින් නොවේ. එය සිදුවුයේ රට පුරා විසිරී සිටින පවුල් සෞඛ්‍ය සේවිකා ජාලයත්, මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවනුත්, සෞඛ්‍ය අධ්‍යාපන ක්‍රියාවලියත්, එන්නත්ණයත් වැනි ප්‍රාථමික සෞඛ්‍ය සේවාවනුත් මඟිනි. මෙම අතිශයින් වැදගත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා සඳහා අප දරන්නේ සමස්ත සෞඛ්‍ය වියදමින් 5% ක් පමණි. මෙම සේවා සඳහා රජය දරන වියදම පසුගිය දශක දෙක තුළ 9% සිට 6% දක්වා පහළ ගොස් ඇත. රුපියල අවප්‍රමාණවීම නිසා මෙම වැදගත් සේවා පවත්වා ගෙනයෑමට නම් ඒවාට දරන වියදම ඉහළ දමා, වැඩි වියදම් ඇති අනවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාවලි නතර කළ යුතු ය.

දැනට රජයේ රෝහල්වල රෝගීන් රෝහල් ගතවන හේතු අතර මුලින් ම තිබෙන්නේ හදිසි අනතුරු ය. මෙයිනුත් අති බහුතරයක් මාර්ගස්ථ අනතුරු නොව ගෘහස්ථ හා වෘත්තියමය අනතුරු ය. මෙම අනතුරුවලින් රෝහල් ගත වන ප්‍රමාණය අවම කොට සෞඛ්‍ය වියදම අඩුකිරීමට කළ යුත්තේ රෝහල්වල හදිසි අනතුරු සේවා වැඩිදියුණු කිරීම නොව හදිසි අනතුරු වැලැක්වීමේ අධ්‍යාපන ක්‍රියාවලියක් ආරම්භ කිරීම ය. වැඩි ම රෝගීන් ප්‍රමාණයක් මිය යන බෝ නොවන රෝග වන අධික රුධිර පීඩනය, හදවත් රෝග, දියවැඩියාව වැනි රෝග අඩු කිරීම සඳහා ගත යුත්තේ ද මෙවැනි ක්‍රියාමාර්ගයකි. 

ඖෂධ ප්‍රශ්නය   

මේ වනවිට ඖෂධ හිඟය ගැන සියල්ලන්ගේ අවධානය යොමු වී ඇති අතර අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගැනීමට බොහෝ අය උත්සාහ කරති. මෙම කරුණ නිසි අයුරින් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇති නිසා වෛද්‍යවරුන් එය සාමූහික ව හෝ පුද්ගලික මට්ටමෙන් සිදුකරනු දක්නට ලැබේ. මෙයට විසඳුමක් ලෙස දේශීයව ඖෂධ නිපදවීමට බොහෝ අය යෝජනා කරයි. නිෂ්පාදන පිරිවැය අධික නිසා සෑහෙන ඖෂධ ප්‍රමාණයක දේශීය නිෂ්පාදනවල නිෂ්පාදිත මිල,  ආනයනිත ඖෂධවල මිලට වඩා අධික ය.

රටට වාසිදායක වන ඖෂධ තෝරා බේරා මෙරට නිෂ්පාදනය කිරීම අතිශයින් වැදගත්වේ – Ashish Vaishnav/Getty Images

 

මෙයට අමතර ව ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ක්‍රියාකාරී ඖෂධ සංඝටකය සැමවිට ම පාහේ ආනයනය කළ යුතු නිසා දේශීය ඖෂධ නිෂ්පාදනයේදී ද යම් ප්‍රමාණයක් මුදල් පිටරටට ඇදී යයි. එම නිසා විදේශ විනිමය ඉතිරි කිරීමේ උපාය මාර්ගයක් ලෙස මිස, මිල අඩු කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස දේශීය ඖෂධ නිෂ්පාදනය සැමවිට ම සාර්ථක නොවනු ඇත. දේශීය ඖෂධ නිෂ්පාදනයේ දී සෑම ඖෂධයක් ම මෙරට නොනිපදවා මිල ගණන් සහ විදේශ විනිමය ඉතිරුම් අතින් රටට වාසිදායක වන ඖෂධ තෝරා බේරා මෙරට නිෂ්පාදනය කිරීම අතිශයින් වැදගත්වේ.

මන්දපෝෂණය

ආර්ථික ව්‍යසනයේදී අනිවාර්යයෙන්ම අපහට මුහුණ දීමට සිදුවන අනෙක් අර්බුදය ආහාර වල මිල වැඩිවීම හා ආහාර හිඟය නිසා ඇතිවන මන්දපෝෂණයයි. දැනටමත් මිටි බව, නිරක්තිය, කෘෂ බව අතින් ඉහළ අගයක් සිටින ළමා පරපුරක් හා නිරක්තියෙන් පෙළෙන ගැබිණි මව්වරුන් සිටින ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉදිරියේ දී අතිශයින් බරපතල වනු ඇත. මෙය මඟහරවා ගැනීමට මිල අඩු පෝෂ්‍යදායී ආහාර පිළිබඳ ව ජනතාව දැනුම්වත් කිරීමත්, ළමයින් සහ ගැබිණි මවුවරුන් සඳහා පෝෂණ මලු සැපයීම වැනි ඉලක්ක කරගත් ක්‍රියාමාර්ග සිදුකළ යුතු වනු ඇත. මෙවන් ක්‍රියාමාර්ගයක දී එම ක්‍රමය අවභාවිත නොවන ලෙස ක්‍රියාවේ යෙදවීමට සියලු බලධාරීන් වගබලා ගත යුතු ය. මෙවන් ක්‍රියාමාර්ග නොගතහොත් අනාගත පරපුරක් ලෙඩුන් සහ කායික සහ මානසික දුර්වලයන් වනු ඇත.

මේ සියලු කරුණු දෙස බැලුවහොත් ආර්ථික ව්‍යසනය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු විසඳීම හිඟ ඖෂධ සොයාගැනීමේ සරල ක්‍රියාමාර්ගයකට වඩා ගැඹුරු බව, අබ ඇටයක පමණ මොළයක් ඇත්තකුට වැටහෙනු ඇත. බලධාරීන් දැන් කළ යුත්තේ පිනට ලැබෙන ඖෂධ පාර්සල් සමඟ කැමරා ඉදිරියේ වීරයන් ලෙස පෙනී සිටීම නොව, මේසයක් ඉදිරියේ වාඩි වී ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම යි. ඉන්පසුව රට පුරා ඇවිද ප්‍රයෝගික ක්‍රියාමාර්ග ගැනීම ය.  

මෙම ලිපිය විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ Healthcare in a bankrupt Sri Lanka යන මැයෙන් ලියූ ඉංගිරිසි ලිපිය පදනම් ව සැකසිණි.  

(වෘත්තියෙන් ළමා හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වන විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මනිපාල් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය සේවා පිළිබඳ ව එම්.බී.ඒ උපාධියක් ලබා ඇති අතර, රජයේ සහ පුද්ගලික අංශයේ වෛද්‍ය පරිපාලන තනතුරු ද දරා ඇත.) 

කවරයේ ඡායාරූපය - ආර්ථික ව්‍යසනය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු විසඳීම හිඟ ඖෂධ සොයාගැනීමේ සරල ක්‍රියාමාර්ගයකට වඩා ගැඹුරුය -  Paula Bronstein/Getty Images 

මූලාශ්‍ර:

 Rannan-Eliya, Ravi P. Sri Lanka- “Good Practice” in Expanding Health Care Coverage – Institute for Health Policy Colombo- 2009

 Annual health statistics 2019- Ministry of Health Sri Lanka

 Ministry of health Sri Lanka-Annual health bulletin 2018 

 Sarasi Nisansala Amarasinghe [et al.] – Sri Lanka health accounts: national health expenditure 1990- 2019  

 World Health Organization, Global Health Observatory Data Repository

 Department of Census and Statistics- Economic Statistics of Sri Lanka 2021- 5th bulletin- The Department of Census and Statistics 2021

 Department of Census and Statistics- The 2016 Sri Lanka Demographic and Health Survey-SLDHS- Department of Census and Statistics

 World Health Organization – Current health expenditure per capita (current US$) – Sri Lanka  

 openknowledge.worldbank.org 

 island.lk 

Related Articles

Exit mobile version