ස්පාඤ්ඤයේ ප්‍රාන්තයක් වන කැටලෝනියාවේ ප්‍රාන්ත රජය පසුගිය දිනෙක ස්පාඤ්ඤ පාලනයෙන් නිදහස් වී ස්වෛරී රාජ්‍යයක් බවට පත්වීම සඳහා ජනමත විචාරණයක් පවත්වනු ලැබුවා. ස්පාඤ්ඤ මධ්‍යම රජය මුල සිටම මෙයට විරුද්ධ වූ අතර ඡන්ද පැවැත්වෙන මධ්‍යස්ථාන වලට පොලිස් බළමුළු එවා ඒවා හරස් කරනු ලැබුවා. මින් ඡන්දදායකයින් 770,000 කට පමණ සිය මනාපය ප්‍රකාශ කළ නොහැකි වූවා. ඇති වුණු ගැටුම් වලින් බොහෝ දෙනෙක් තුවාල ලැබුවා. කෙසේ හෝ ඡන්දය පවත්වා එහි මනාප ගණනය කෙරුණු අතර එහිදී 90% කටත් වැඩි ඡන්දදායකයින් පිරිසක් එම තීරණයට පක්ෂව ඡන්දය ලබා දී ඇති බව ප්‍රකාශ කෙරුණත් ස්පාඤ්ඤ මධ්‍යම රජය මැඩ්රිඩ් නුවර සිට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එම ජනමත විචාරණය ස්පාඤ්ඤ ව්‍යවස්ථා ප්‍රකාරව බල රහිත එකක් බවත්, එම නිසා එහි ප්‍රතිඵලය පිළිගත නොහැකි එකක් බවයි. එම ජනමත විචාරණය අක්‍රමිකතා සහිත එකක් බව පැවසීමත් සමඟම කැටලෝනියාවම ඇවිලී ගියා. කැටලෝනියාවේ අගනුවර වන බාසිලෝනා නුවරට පැමිණි දහස් සංඛ්‍යාත ජනයා ස්පාඤ්ඤ මධ්‍යම රජයට එරෙහිව උද්ඝෝෂණය කරන්නට ගත්තා.
ස්පාඤ්ඤ මධ්‍යම රජය කැටලෝනියාව සිය ආධිපත්‍යයෙන් මිදී යාම වැලැක්වීම සඳහා හැකි සෑම උත්සාහයක්ම ගනිමින් සිටියත් කැටලෝනියානු ප්‍රාන්ත රජය සිය උත්සාහය අත්හරින්නට කිසිසේත්ම සූදානම් වී නැහැ. වර්තමානය වන විට මේ ගැටළුව යුරෝපය පමණක් නොව මුළු ලෝකයම කතා වන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා.
කැටලෝනියාවේ පසුබිම
කැටලෝනියාව වර්ග කිලෝමීටර 32,108 ක භූමි වපසරියකට හිමිකම් කියන, දීර්ඝ ඉතිහාසයක්, හා විශේෂ සංස්කෘතියක් තිබෙන ප්‍රාන්ත්‍ර රාජ්‍යයක්. මෙය රාජ්‍ය තාන්ත්‍රිකව මෙන්ම, රෙදිපිළි කර්මාන්තය ඇතුළු කර්මාන්ත වලට, සංචාරක කර්මාන්තයට, අධි තාක්ෂණික උපකරණ, හා ක්‍රීඩාවටත් වැදගත් ස්ථානයක් වනවා. මෙහි අගනුවර 1992 වසරේ ඔලිම්පික් ක්‍රීඩා තරඟ පැවැත්වූ බාසිලෝනා නුවරයි.
කැටලෝනියාව අතීතයේ ස්වාධීන රාජ්‍යයක්ව පැවතුණා. ක්‍රි.ව 1150 දී ඇරගන් හි පෙට්‍රොලිනියා බිසවත්, බාසිලෝනාහි සිවුවන රමෝන් බෙරෙන්ජර් කුමරුත් විවාහ වීමත් සමඟම නූතන කැටලෝනියා ප්‍රාන්තය හා ඇරගන් ප්‍රදේශය එක්ව ස්වාධීන රාජ්‍යයක් බිහිවීම සිදුවුණා. මෙය 18 වන සියවසේ මුල් භාගයේ ස්පාඤ්ඤයට තුරුම ස්වාධීන රාජ්‍යයක් වශයෙන් පැවතුණා. කැටලන් බස කතා කරන ආවේණික ජන කොට්ඨාසයක් අදටත් මෙහි වෙසෙනවා.
කාලයාගේ ඇවෑමෙන් විවිධ ස්පාඤ්ඤ රජවරු මෙහි ස්පාඤ්ඤ බස හා සිරිත් විරිත් ප්‍රචලිත කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ. අවසානයේ 1931 වසරේදී කැටලෝනියාව තුල නැවතත් කැටලන් ජාතික ප්‍රාදේශීය ආණ්ඩුවක් සහිත ප්‍රාන්ත රජයක් පිහිටුවීමට සිදුවන තැනට කරුණු කාරනා සිදු වෙනවා. ඒ කෙස් වෙතත් ජනරාල් ෆ්‍රැන්සිස් ෆ්‍රැන්කෝ කැටලෝනියාව 1938 වසරේදී නැවතත් ස්පාඤ්ඤ මධ්‍යම රජයේ පූර්ණ පාලනයට නතු කරගන්නා අතර 1977 වසරේදී නැවත ස්වයං පාලන බලතල කැටලෝනියාවට ලැබෙනවා.
ගැටළුවට පිවිසුම
ස්පාඤ්ඤයේ අනෙකුත් ප්‍රදේශ සමඟ එකට එක්ව රට ලෙස කටයුතු කළත්, භාෂාව, සංස්කෘතිය වැනි දේ අතින් කැටලෝනියාව කැපී පෙනෙන වෙනස්කම් දැක්වූ නිසා ස්වෛරී රාජ්‍යයක් බවට පත් වීමේ අදහසක් කැටලෝනියානුවන්ගේ යටි සිතෙහි කවදත් පැළපදියම් වී තිබුණා. 2006 වසරෙහි ස්පාඤ්ඤ මධ්‍යම රජය සමඟ ඇති වූ යම් ව්‍යවස්ථා නොගැලපීමක් පිළිබඳ මතගැටුමක් සමඟ මෙතෙක් කල් අළු යට සැඟවුණු ගිණි පුපුරක් මෙන් තිබූ මෙම ගැටළුව මදින් මද ඉවතට එන්නට පටන්ගත්තා.
මෑතකදී ස්පාඤ්ඤයේ ඇතිවූ ආර්ථික අර්බුධයත් කැටලෝනියාව ස්වෛරී රාජ්‍යක් කරගැනීමේ අදහසට තටු ගෙනා කාරනයක්. විශේෂයෙන්ම ඉතා ධනවත් පුරවරයක් ලෙස හැඳින්වෙන බාසිලෝනා නඟරයේ හා කැටලෝනියාවේ ආර්ථික තත්ත්වය ස්පාඤ්ඤයේ සෙසු ප්‍රදේශ වලට වඩා ඉහළ තත්ත්වයක තිබෙන නිසා ආර්ථික අර්බුධය තුළ මුළු ස්පාඤ්ඤයේම බර දරාගැනීමට තමන්ගේ ආදායම් වලින් කොටසක් වැය කරන්නට සිදු වීම කැටලෝනියනු වැසියන් සතුටට පත් කළ එකක් වුණේ නැහැ. වසර ගණනාවක් තිස්සේ ඇති වූ මේ හැළහැප්පීම් 2017 වසරේ අවසාන භාගය වන විට පුපුරා ගියා.
කැටලෝනියාවේ දේශපාලනය
කැටලෝනියාව තුළ ස්පාඤ්ඤයේ පාලක පක්ෂය වන ජනතා පක්ෂයට හිමිවී තිබෙන්නේ ඉතා කුඩා ජනවරමක් පමණයි. කැටලෝනියානු පාර්ලිමේන්තුව තුළ ස්වෛරී රාජ්‍ය සංකල්පයට එරෙහිව ප්‍රධානම වශයෙන් හඬ නගන්නේ ඔවුන් විසිනුයි. කැටලෝනියානු ප්‍රාදේශීය ‘ජනපති’ කාලෙස් පුජ්ඩිමොන්ට් නියෝජනය කරන කැටලන් යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු ප්‍රාදේශීය පක්ෂ කිහිපයක්ම සිටින්නේ ස්වෛරී රාජ්‍ය ස්ථාවරයේයි.
ස්පාඤ්ඤයේම අවධානය කැටලෝනියාවට
කැටලෝනියාව අහිමි වුවහොත් එය ස්පාඤ්ඤ ආර්ථිකයට මරු පහරක් වෙන්නේ ස්පාඤ්ඤයේ දල දේශීය නිෂ්පාදිතයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් සපයන්නේ කුඩා බිම්කඩක් වන බාසිලෝනාව ඇතුළු කැටලෝනියාවෙන් වීම නිසායි. මේ හේතුවත් පෙරදැරි කරගෙන කැටලෝනියාවේ නිදහස් ව්‍යාපාරය කෙරෙහි ස්පාඤ්ඤයේ මධ්‍යම රජය ඉතා අවධානයෙන් පසු වෙනවා.
කැටලෝනියානු ජනමත විචාරණය පොලිස් බලය යොදා කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීමත් සමඟ එහි ප්‍රාදේශීය ජනපති පුජ්ඩිමොන්ට් ස්පාඤ්ඤ මධ්‍යම රජයෙන් එන නියෝග පිළි නොපැදීමට තීරණය කරන අතර එහි පාර්ලිමේන්තුවද එයට සහයෝගය දක්වනනවා. මේ නිසා ස්පාඤ්ඤ මධ්‍යම රජයේ අගමැති මරියානෝ රහොයි සිය ව්‍යස්ථාපිත බලය පාවිච්චි කරමින් කැටලෝනියාවේ පාර්ලිමේන්තුවට ඇති බලය අහෝසි කිරීමට සූදානම් වෙනවා. මේ සඳහා වන 155 නම් පනත ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් පසුගිය ඔක්තෝබර් 27 වනදා ස්පාඤ්ඤ සෙනට් සභාවට ගෙනෙනු ලැබුණා. මෙමගින් ස්පාඤ්ඤ මධ්‍යම රජයට කැටලෝනියානු පාර්ලිමේන්තුව අහෝසි කිරීමටත්, එහි රාජ්‍ය තාන්ත්‍රිකයින් බලයෙන් පහ කර බලතල මධ්‍යම රජය සතු කර ගැනීමටත්, මාස 6 ක් තුළ නැවතත් මහ මැතිවරණයක් පැවැත්වීමටත් ස්පාඤ්ඤ නීති ප්‍රකාරව අවසර ලැබෙනවා.
ස්පාඤ්ඤ රජය කුමන පනතක් සම්මත කරගත්තත් ජනමත විචාරණය ජයග්‍රහණය කළ නිසා ස්වාධීන ලෙස කටයුතු කිරීමට තමන්ටත් තම පාර්ලිමේන්තුවටත් හැකියාව ඇතැයි කැටලෝනියානු ප්‍රාන්ත ජනපති පුජ්ඩිමොන්ට් තර්ක කළා. ඒ කෙසේ නමුත් ඔවුන් එකවර ස්වකීය නිදහස නිසියාකාරයෙන් ප්‍රකාශ කලේ නැහැ. කැටලෝනියානු පාර්ලිමෙන්තුව ඔක්තෝබර් 26 වනදා එක්රැස් වුණු අතර එය අවසානයේ පුජ්ඩිමොන්ට් විසින් කැටලෝනියාවේ දේශපාලනික අනාගතය ගැන විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබුණා. දේශපාලන විද්වතුන් බොහෝ විට ඔහු විසින් දෙසැම්බරයේ නැවත මැතිවරණයක් කැඳවනු ඇති බවට මත පළ කළත් අවසාන මොහොතේ ඔහු විසින් සිය කතාව කල් දැමුවා.
නවතම තත්ත්වය
ඔක්තෝබර් 27 වනදා කැටලෝනියානු පාර්ලිමේන්තුව යළි රැස්වුණේ මැඩ්‍රිඩ් නුවර ස්පාඤ්ඤ සෙනට් සභාව 155 වගන්තිය විවාදයට ලක් කරන අතරතුරයි. සිදුවීම් ඉතා වේගයෙන් වෙමින් පැවතුණා. මැඩ්‍රිඩ් නුවරදී සෙනට් සභාව තීරණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට සුළු මොහොතක් තිබියදී කැටලෝනියා පාර්ලිමේන්තුව ස්වාධීනතාව ප්‍රකාශ කිරීම පිළිබඳ ඡන්දයක් පැවැත්වූවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන් ස්වාධීනත්වයට පක්ෂව ඡන්දය දුන්නා.
ඉන් සුළු වේලාවකට පසු ස්පාඤ්ඤ සෙනට් සභාව 155 වගන්තිය කැටලෝනියාව කෙරෙහි ක්‍රියාවට නැගීමට තීරණය කළා. මේ අනුව කැටලෝනියා රජය විසුරුවා හැරි අතර ස්පාඤ්ඤ මධ්‍යම රජය එහි සිය පාලනය ස්ථාපිත කිරීමට කටයුතු කළා. මේ අතර කැටලෝනියාවෙහි දෙසැම්බර් 21 වනදා නව මැතිවරණයක් පැවැත්වීමට ස්පාඤ්ඤ රජය තීරණය කළා.
ස්පාඤ්ඤයේ දේශපාලනික සිතියම වෙනස්වෙයි ද? ලෝකයට නව රාජ්‍යයක් එක් වෙයිද? මීළඟ මාස කිහිපය මේ පිළිබඳ බෙහෙවින්ම තීරණාත්මක වනු ඇති. ඒ පිළිබඳ තොරතුරු අපි ඉදිරියෙදිත් ඔබට ගෙන එන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.
කවරයේ පින්තූරය -(lasillarota.com/Archivo)