Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාවේ නැක්සලයිට් ව්‍යාපාරය​

1980 දශකයේ දී එක් අවස්ථාවක විජය කුමාරණතුංග ඇතුළු පිරිසක් දේශපාලන හේතූන් මත අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ ඔවුනට එරෙහිව එල්ල කරන ලද චෝදනාව වූයේ ඔවුන් නැක්සලයිට්වරුන් බව යි. නමුත් ඔවුනගේ දේශපාලනය සහ නැක්සල්වාදීන්ගේ දේශපාලනය අතර ඍජු සම්බන්ධයක් හෝ තිබුණ බවක් සිතන්නට කරුණු නැහැ. නැක්සල්වාදීන් යනු ඉන්දියාවේ මතු වූ මාඕවාදී දේශපාලන ව්‍යාපාරයක සාමාජිකයන් හඳුන්වා දුන් පොදු නාමය යි. 1967 දී සිදු වූ කැරැල්ලක් සමග මතු වූ ඔවුන් 1980 වන විට සිටියේ බිම් මට්ටමෙන් යළි ගොඩනැගෙමින්.

නැක්සල්වාදීන් යනු කවුද​?

1960 දශකය මුල් කාලය වන විට ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ විශාල බෙදීමක් සිදුවෙමින් පැවතුණා. එනම් සෝවියට් දේශය සහ චීනය අතර යි. ඒ අනුව ලෝකයේ බොහෝ කොමියුනිස්ට් පක්ෂ මොස්කව් පිළ සහ බීජිං පිළ (චීන පිළ) ලෙස දෙකඩ වුණා. මෙයින් ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂයේ බහුතරයක් දෙනා චීන පිළට සහාය දෙමින් සිය පක්ෂයෙන් කැඩී ගොස් මාක්ස්වාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගත්තා.

චීන කොමියුනිස්ට් නායක මාඕ සේතුං දැඩිව විශ්වාස කළ පිරිසක් මෙම මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය තුළ සිටියා. ඔවුන් ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ දුටුවේ ධනපති ප්‍රෝඩාවක් ලෙස යි. ඒ වෙනුවට ඉන්දියාවේ ගොවිජන විප්ලවයක් දියත් කළ යුතු බවත්, ගොවි ජනතාව විප්ලවය සඳහා සූදානම් බවත් ඔවුන් විශ්වාස කළා. කිසියම් ක්‍රමයකින් ගොවි ජනතාව අවුලවන්නට හැකි වුවහොත් ඔවුන් රට පුරා කැරලි ගසනු ඇතැ යි මෙම කණ්ඩායම විශ්වාස කළා. මොවුනගේ නායකයා වූයේ බෙංගාලයේ කොමියුනිස්ට් ක්‍රියාධරයකු වූ චාරු මසුම්දාර්.

චාරු මසුම්දාර් (Wikimedia Commons)

මාක්ස්වාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසීම ප්‍රතික්ෂේප කළ මෙම කණ්ඩායම 1965 පමණ වන විට වෙනම සංවිධානය වන්නට පටන් ගත්තා. ඔවුන් කටයුතු කළේ ගොවි ජනතාව රජයට එරෙහිව නැගී සිටීම සඳහා සංවිධානය කිරීමට යි.

1967 මැයි මාසයේ දී බෙංගාලයේ නැක්සල්බාරි නම් ගම්මානයක ගොවි කැරැල්ලක් හට ගත්තා. මෙම කැරැල්ල කඩිනමින් මර්දනය කරන ලද අතර, මසුම්දාර් බලාපොරොත්තු වූ ආකාරයෙන් අනෙකුත් ප්‍රදේශයන් හි ද ගොවි නැගිටීම් සිදු වූයේ නැහැ. නමුත් එම ගම්මානයේ නමින් මසුම්දාර්ගේ දේශපාලන ව්‍යාපාරය නැක්සලයිට් ලෙසත් එහි සාමාජිකයන් නැක්සල්වාදීන් ලෙසත් හඳුන්වනු ලැබුණා. ඔවුන් 1969 දී ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (මාක්ස් ලෙනින්වාදී) නම් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තා.

පළමු යුගය​

නැක්සල්බාරි කැරැල්ලෙන් පසු කෙටි කලක් යන තුරු ප්‍රදේශ කිහිපයක ගොවි කැරලි හටගත්තා. ඊට අමතර ව කල්කටා වැනි නගරවල ද විප්ලවවාදී කටයුතු සිදු වුණා. මේවා ආරක්ෂක අංශ විසින් දරුණු ලෙස මැඩ පවත්වනු ලැබුණා. මෙම විප්ලවවාදීන්ට ජනතාව අතරේ විශාල ප්‍රසාදයක් දිනාගැනීමට ද හැකියාව ලැබුණේ නැහැ.

1972 දී චාරු මසුම්දාර් අත්අඩංගුවට ගත් අතර දින දොළහකට පසු පොලිස් අත්අඩංගුවේ සිටිය දී ම මිය ගියා. 1970 දශකය මැද ව නවිට මෙම විප්ලවවාදී ව්‍යාපාරය බොහෝ සෙයින් මැඩ පවත්වනු ලැබ තිබුණා.

යළි පිබිදීම​

මෙම පරාජය තුළින් උපන් විවිධ කුඩා නැක්සල්වාදී කණ්ඩායම් ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වුණා. මසුම්දාර්ගේ ව්‍යාපාරයෙහි වූ දුර්වලතා මේ සමහර කණ්ඩායම් අධ්‍යයනය කළා. මසුම්දාර් ඉතා දරුණු ලෙස මාඕ සේතුං අනුගමනය කළ අතර ඉන්දියාව සහ චීනය අතර විරසකයක් පැවති මෙම සමයේ එය එතරම් සුදුසු දෙයක් වූයේ නැහැ. තව ද, ඔහු ජනතාව විප්ලවය සඳහා සූදානම්යැ යි විශ්වාස කළා මිසෙක ජනතාව අතර සංවිධාන කටයුතු ප්‍රමාණවත් ලෙස සිදුකර තිබුණේ ද නැහැ.

නමුත් මසුම්දාර්ගේ ව්‍යාපාරය එහි අවසානය කරා ගමන් කරද්දී එයින් බිහි වූ කොන්ඩපල්ලි සීතරාමයියා නම් වූ අයකු ආන්ද්‍රා ප්‍රදේශයෙහි නව දේශපාලන ව්‍යාපාරයක් පටන් ගත්තා. බහුජන සංවිධානයන් සිය ව්‍යාපාරය සඳහා වැදගත් බව තීරණය කළ ඔහු සිසු සංවිධාන​, තරුණ සංවිධාන, සහ කලා සංවිධාන පිහිටුවාගෙන ජනතාව අතර දේශපාලන කටයුතු සිදු කළා.

2007 දී නැක්සල් බලපෑම තිබුණු දිස්ත්‍රික්ක (Wikimedia Commons)

සිය ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් බවට පත් කිරීමට ඔහු කටයුතු කළේ 1980 දී යි. ඔහු ඊට නම් තබන ලද්දේ ඉන්දියාවේ මාක්ස්-ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය (මහජන යුද්ධය) [Communist Party of India (Marxist-Leninist) People’s War] ලෙස යි. මෙය සාමාන්‍යයෙන් මහජන යුද්ධ කණ්ඩායම ලෙස හැඳින්වුණා. මාඕ සේතුංගේ “මහජන යුද්ධ” සිද්ධාන්තය අකුරට ම පිළිපදිමින් මෙම පක්ෂය අනාගත අරගලය සඳහා බලප්‍රදේශ පිහිටුවා ගැනීමට මෙම ව්‍යාපාරය කටයුතු කළා. ඔවුනගේ ප්‍රධානම බල ප්‍රදේශය පිහිටුවා ගන්නා ලද්දේ වර්තමාන චට්ටිස්ඝාර් ප්‍රාන්තයට අයත් දණ්ඩකාරණ්‍ය වනාන්තරයේ යි.

මේ අතර තවත් ප්‍රදේශයන් කිහිපයකත් මෙවැනි කණ්ඩායම් ක්‍රියාත්මක වුණා. මේ සෑම එකක් ම පාහේ මසුම්දාර්ගේ දේශපාලන පක්ෂය තුළින් බිහි වූ කණ්ඩායම් වුණත්, බිහාරයේ වූ මාඕවාදී කොමියුනිස්ට් කේන්ද්‍රය වෙනම ම සංවිධානය වූ ව්‍යාපාරයක් වුණා. ඔවුන් වැඩිපුර ම ක්‍රියාකාරී වූ බලප්‍රදේශය වූයේ වර්තමාන ජාර්ඛණ්ඩ් ප්‍රාන්තයට අයත් වනාන්තර ප්‍රදේශය යි.

මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය​

මහජන යුද්ධ කණ්ඩායම සහ මාඕවාදී කොමියුනිස්ට් කේන්ද්‍රය කලක් තිස්සේ ඒකාබද්ධ වීම පිළිබඳ ව සාකච්ඡා පැවැත්වූ අතර 2004 සැප්තැම්බර් 21 වන දා ඔවුන් එක්සත් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තා. එය ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) ලෙස හැඳින්වුණා. මෙය ආන්ද්‍රා සිට බිහාර් දක්වා නැගෙනහිර ඉන්දියාවේ විශාල තීරයක පැතිර ගිය කණ්ඩායමක් බවට පත් වුණා. එම දේශපාලන ව්‍යාපාරයේ අරමුණ වූයේ මාඕවාදී “නව ප්‍රජාතන්ත්‍රවාදී” රාජ්‍යයක් නිර්මාණය කිරීම යි.

2013 දී නැක්සල් බලපෑම තිබුණු දිස්ත්‍රික්ක​ (Wikimedia Commons)

2006 දී එවකට ඉන්දීය අගමැතිවරයා වූ මන්මෝහන් සිං සඳහන් කළේ නැක්සලයිට් ව්‍යාපාරය ඉන්දියාව මුහුණ දෙන ප්‍රධානම අභ්‍යන්තරික තර්ජනය බව ය​. නමුත් ඔහුගේ අදහස වැඩි දෙනෙකු බරපතල ලෙස තැකූ බවක් දිස් වූයේ නැහැ. 2010 අප්‍රේල් මාසයේ මුල චට්ටිස්ඝාර් ප්‍රාන්තයේ දී මුර සංචාරයක නිරත වූ මධ්‍යම සංචිත පොලිස් බලඇණියේ (Central Reserve Police Force-CRPF) භට පිරිසකට එල්ල වූ දරුණු ප්‍රහාරයකින් එම පිරිසෙන් 76 දෙනෙකු මිය ගියා. ඉන්පසු මාඕවාදී කැරැල්ල පිළිබඳ වැඩි අවධානයක් යොමුවන්නට පටන් ගැනුණා.

හමුදා ශක්තිය සහ ජන පදනම

ඉන්දියාවේ මාඕවාදී කැරලිකරුවන් වැඩිපුර ක්‍රියාත්මක වන්නේ වනගත ගෝත්‍රික ජනතාව ජීවත්වන ප්‍රදේශයන්වල යි. මෙම ගෝත්‍රවල ජනයා කාලාන්තරයක් තිස්සේ පීඩනයට හසු වූවන් වන අතර ඔවුනට මාඕවාදීන් විසින් හඬක් ලබා දී තිබෙනවා.

ඉන්දියාවේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන සන්නද්ධ අංශය වන්නේ මහජන විමුක්ති ගරිල්ලා හමුදාව යි. මෙය ශක්තිමත් ම සමයේ 10,000 – 12,000ක් පමණ සාමාජිකයන් එහි වූ බව විශ්වාස කෙරෙනවා. ඊට අවි ආයුධ ලැබෙන ආකාර කිහිපයක් වෙනවා. කැරලිකරුවන් විසින් නිපදවා ගැනීම​, පොලිසිය සහ මිලීෂියා කණ්ඩායම්වලින් අල්ලාගැනීම ආදිය ඉන් ප්‍රධාන වෙනවා.

මීට අමතර ව මාඕවාදී ප්‍රදේශයන් හි ජනතාව “මහජන මිලීෂියා” කණ්ඩායම් ලෙස ද සංවිධානය කෙරුණා. ඔවුන් බොහෝකොට ම සන්නද්ධ වන්නේ දුනු හී ආදියෙන්. මෙම කණ්ඩායම්වල උපරිම ශක්තිය අවස්ථාවේ එහි සාමාජිකත්වය 38,000ක් පමණ වුණා.

නැක්සල් කාඩර්වරියක් ඔදීෂා ප්‍රාන්තයේ ගම්මානයක දී (Opindia)

ගරිල්ලා හමුදාවල ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ස්ත්‍රීන් සහ පුරුෂයින් අතර වන සමානාත්මතාවය යි. එමෙන්ම මාඕවාදී කැරලිකරුවන් තම පාලන ප්‍රදේශයන් හි ජනතාවට අධ්‍යාපනය ලබාදීම පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වනවා.

මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ බලයේ උච්චතම ස්ථානය වූයේ 2010 වසරයැ යි කිව හැකියි. ඉන්පසු එහි නායකයින් කිහිපදෙනෙකු අල්ලාගැනීම හෝ මරා දැමීමත්, පක්ෂය තුළ වූ බෙදීම් ආදියත් හේතුවෙන් එම ව්‍යාපාරය දුර්වල වුණා. නමුත් අදටත් එය සිය බලකඳවුරුවල ක්‍රියාත්මක ව පවතිනවා.

කවරයේ පින්තූරය: නැක්සල්වාදීන් පිරිසක් ඉන්දියාවේ චට්ටිස්ඝාර් ප්‍රාන්තයේ දී 2015 වසරේ (AP)

මූලාශ්‍රයයන්:

Related Articles