පෝලිම් අද ශ්‍රී ලංකික ජනතාවගේ දෛනික දින චර්යාවේ කොටසක් බවට පත් ව අවසන්. දැන් වෙන ම පෝලිම් සංස්කෘතියකුත් හැදිලා. කිලෝ මීටර් කිහිපයක් දිග වාහන පෝලිම් පෙට්‍රල් හා ඩීසල්වලට තිබෙන බව අප කවුරුත් දන්නවා. භූමිතෙල් පෝලිම්, ගෑස් පෝලිම්වලත් නිමාවක් නැහැ. මේ නිසා රටේ මිලියන 22ක ජනතාවකගේ ජන ජීවිතය බිඳ වැටී දැඩි පීඩනයකට පත්ව සිටින අතර අපි හැමෝ ම පෝලිම්වල කොටස්කාරයෝ වෙලා.
පෝලිම්වල මතුපිට කතාවට වඩා ඇතුළු කතාව බේදවාචකයක ස්වරූපයක් ගන්නවා. ඒ ගැන විපරම් කර බලමු.
ඉන්ධන නැතිව රට ම අඩපණයි
මෙරට පාරිභෝජනය සඳහා දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000 ක් පමණ බෙදාහැරියත් මේ වන විට බෙදාහරින්නේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2500 ක පමණ ප්‍රමාණයක් බව බලධාරින් සඳහන් කරනවා. මෙරට දෛනික ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6000 කට වැඩියි. නමුත් මේ වන විට වෙළෙඳ පොළට දෛනික ව නිකුත් කරන්නේ මෙට්‍රික් ටොන් 3000 ක පමණ ප්‍රමාණයක්.
මේ නිසා සිදුවන්නේ ඉන්ධන පෝලිම් දිග වැඩිවීම පමණ යි. පෝලිම්වල බහුල ව දැකගත හැක්කේ එදිනෙදා රාජකාරිවලට මෝටර් බයිසිකලයෙන් යන පිරිස් සහ කුලියට හයර් දුවන ත්‍රිවිලර්. අද ඔවුන්ට තම රැකියාව කර ගැනීම ගැටලුවක්.
ත්‍රිවිලර් රැකියාවේ නියුතු පිරිස් වැඩි දින ගණනක් පෝලිම්වල ඉන්නට සිදුවීම නිසා එදාවේල සපයා ගැනීමත් ගැටලුවක් වෙලා. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් රාශියක් ද තෙල් පෝලිම්වල රස්තියාදු වීම නිසා රෝහල්වල කටයුතුවලටත් ප්‍රශ්න ඇති වෙලා.
දින ගණන් දිගු වන පෝලිම්
ඉන්ධන සහ ගෑස් බෙදා හැරීම සිදු නොවන දිනවල පෝලිම්වලට එක් නොවන්නැයි බලධාරින් කීව ද කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ම ඉන්ධන පෝලිම් හැමදා ම දැක ගත හැකි යි. ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දිගු පෝලිම්වලට එක් ව සිටින ජනතාව කුමන මොහොතක හෝ පිරවුම්හල් වෙත ඉන්ධන ලැබෙන ඇතැයි බලාපොරොත්තුවෙන් තමයි මෙසේ පෝලිම්වල ඉන්නේ.
ඉන්ධන නොමැතිවීම නිසා රට පුරා ඉන්ධන පිරවුම්හල් වසා තිබීමත් සුලබ දසුනක්. ‘ඩීසල්- පෙට්‍රල් නොමැත’ යනුවෙන් දැන්වීම් පුවරු එල්ලා තිබුණ ද කිලෝ මීටර ගණන් දුරට දිගු පෝලිම් නම් නැවතිලා නැහැ. මෙම වාහන පෝලිම් කිලෝ මීටර 2ක් 3ක් තරම් ඈතට විහිදී තිබෙනවා. එක් පෝලිමක වාහන 2000ක් 3000ක් තරම් දකින්නට පුළුවන්. බවුසර හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ සාමන්‍ය බවුසරයකින් ඉන්ධන ලබා දිය හැක්කේ වාහන 200 සිට 300ක් 400ක් වැනි වාහන ප්‍රමාණයකට පමණක් බව යි.
රජයේ ආයතන සහ පාසල්වලට වුණූ දේ
බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගරවල ද, සෙසු පළාත්වල ප්‍රධාන නගරවල ද පිහිටි පාසල් ද ජුනි 20 සතිය තුළ නොපැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. කොවිඩ්වලින් ඉගෙනුමක් නැති ව බැට කෑ සිසුන්ට දැන් තෙල්වලිනුත් බැටකන්න වෙලා.
රජයේ සේවකයන්ට ජුනි 20 වැනි දා සිට සති 02ක කාලයක් නිවසේ සිට වැඩකිරීමට නිර්දේශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ චක්‍රලේඛයක් නිකුත් කළා.
විශ්වවිද්‍යාල රාශියක් ද මේ වනවිට වසා දමලා.
ණයවර ලිපි නොහැකියාවෙන් ඉන්ධන නෑ
ඉන්දියානු ණය ආධාර මත පැමිණි ඉන්ධන නැව් මේ වනවිට අවසන්. ඉන්ධන යළිත් ගෙන්වීම සඳහා අවශ්‍ය වන ඩොලර් මිලියන 100ක පමණ මුදල මහ බැංකුව මඟින් නිකුත් කිරීමට සූදානම් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ජූනි තෙවැනි සතියේ ප්‍රකාශ කර තිබුණා. එම ගනුදෙනුවට අවැසි ණයවර ලිපි විවෘත කර ගැනීමට නොහැකි වීමෙන් රජය අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින බව සඳහන්.
ඉන්ධන සැපයුම්කරුවන්ට පසුගිය වසරේ ජූනි සිට මේ දක්වා ඩොලර් මිලියන 735ක ණයක් ගෙවීමටත් තිබෙනවා. ඒ නිසා නව මිල දී ගැනීම් සඳහා වන ටෙන්ඩර් පිළිගැනීමට එම සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම මෙම අර්බුදකාරී තත්ත්වයට හේතුවක්. රටට අවශ්‍ය ඉන්ධන (ඩීසල් සහ පෙට්‍රල්) ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව මඟින් ණයවර ලිපි විවෘත කර ගැනීමට කර තිබෙන උත්සාහයත් ආසාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ.
වාහනය නිතර පණ ගැන්වීමෙන් සිදු වන හානි
පෝලිම්වල තිබෙන ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් නම් ඉදිරියට සෙමින් ගමන් කරන්නේ එන්ජිම ක්‍රියා නොකර තල්ලු කිරීමෙන්. නමුත් මෝටර් කාර් සහ වෙනත් වාහනවලට එහෙම බැහැ. ඒ වාහන නිතර එන්ජිම පණගන්වමින් ක්‍රියා විරහිත කරමින්, විනාඩි දෙකක් තුනක් තුළ යළිත් පණ ගැන්වීම නිසා ස්ටාටර් මෝටරයට සහ විද්‍යුත් පද්ධතියටත් බලපෑම් සිදුවෙනවා.
මේ නිසා හැකිතරම් වාහනය පණ ගැන්වීම හා නැවත අක්‍රිය කිරීම වැලකී සිටීමට කටයුතු කරන ලෙසයි කාර්මිකයන් පවසන්නේ. එය වාහනයේ ගියර් පද්ධතියටත් අහිතකර බලපෑම් එල්ල කරනවා. එහිදී හැකිතරම් වායුසමීකරණ පද්ධතිය ක්‍රියා නොකර සිටින ලෙසත් වාහන කාර්මිකයන් ඉල්ලා සිටිනවා. වාහන පෝලිමේ වැඩි දින ගණනක් තබා තිබූ වාහනවල කාර්මික දෝෂ පැමිණ ඒවා පණ ගැන්වීමට නොහැකි වූ අවස්ථා ගැනත් වාර්තා වුණා.
වාහනය තුළ වැඩි වේලාවක් අව්වේ රැඳී සිටීම නිසා සිරුරේ ජල ප්‍රමාණය අඩුවීමෙන් විජලනය වීමට ඉඩ ඇති බවත් වෛද්‍යවරුන් පවසනවා. මේ නිසා තෙල් පෝලිමට යන විට ජලය ප්‍රමාණවත් පරිදි රැගෙන යා යුතු වනවා.
වාහන ගෑස් සිලින්ඩර් බලා ගැනීමේ රැකියා
සෑම අර්බුදයක දී ම අමතර රැකියා නැතිවන අතර තවත් රැකියා බිහි වන බව දකින්නට පුළුවන්. මේ කාලයේ දක්නට ලැබෙන එවැනි රැකියාවක් තමයි පෝලිම්වල තබා තිබෙන ගෑස් සිලින්ඩර් සහ වාහන පරිස්සම් කිරීමේ රැකියා. සාමාන්‍යයෙන් පෝලිමක ගෑස් ටැංකි බලාගැනීමට දිනකට යම් මුදලක් අයකෙරෙන බව වාර්තා වෙනවා.
සමහරුන් පවසන්නේ මාසයකට වැඩි කාලයක් පෝලිමේ තැබු ගෑස් ටැංකි ද තව ම තිබෙන බව යි. වාහන පෝලිම්වල යම් වාහන කිහිපයක් බැගින් පුද්ගලයන් එක්වී බලා ගැනීම සිදුවෙනවා. පිරවුම්හලට ඉන්ධන බවුසරයක් පැමිණි විට හිමිකරුට හෝ රියදුරුට ඒ බව දැනුම් දීමට වාහන රැකවල්කරු ක්‍රියා කරනවා. එමෙන් ම භුමිතෙල් පෝලිම්වලට හෝ ගෑස් පෝලිම්වලට හිමිකරු වෙනුවට පෝලිමේ සිටින පිරිසක් ද බිහි ව සිටිනවා. ඔවුන්ගේ අයකිරීම නම් අධික යි.
පෝලිම්වලට දන්සල්
නගරබදව මෙන් ම ගම්බද ව ද තෙල් පෝලිම්වල ගිනි අව්වේ තැම්බෙමින් සිටින ජතනාවට අවශ්‍ය සිසිල් බීම, තේ, පාන්, බනිස් මෙන් ම බත් පාර්සල් ද විවිධ පුද්ගලයන් එකතු වී බෙදා දෙනු දකින්නට ලැබෙනවා. එසේ කෑම බීම දී සතුටු වන සමහරු එම අවස්ථා රූපගත කර යූටියුබ් වෙත මුදාහැරීමත් මේ දිනවල දකින්නට පුළුවන්.
මේ අතරින් වැලිගම ප්‍රදේශයේ ඉන්ධන පෝලිමකට තමන් ම තේ වත්කර දෙමින් දන්සලක් පැවැත්වූ වැලිගම විමලසාර හිමියන් ගැන මාධ්‍ය වාර්තා කළා. මේ අතර තෙල් පෝලිම්වලට බත් පාර්සල් සහ මාළු පාන් බෙදාදුන් තරුණයකු ඒවා වීඩියෝගත කර සමාජ මාධ්‍යවලට මුදාහැර තිබුණා.
පෝලිම්වල මරණ 13ක්
ඉන්ධන හා ගෑස් පෝලිම්වල සිටියදී ජුනි 20 දා වන විට පුද්ගලයන් දහතුන්දෙනෙක් මියගොස් තිබෙනවා. පෝලිම්වල සිටිය දී මියගිය අයට සාධාරණය ඉටු නොකරන්නේනම් ජගත් මානව හිමිකම් කමිටුවට යන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසා සිටියා. පළමු සිදුවීම වාර්තා වූයේ ඉකුත් මාර්තු 19 වැනි දා මහනුවර ප්‍රදේශයෙන්.
මහනුවර යටිනුවර වීදිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක භූමිතෙල් පෝලීමක සිටියදී පාතදුම්බර උඩතලවින්න ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මොහොමඩ් හනිෆා මොහොමඩ් ඉල්ලියාස් නමැති 71 හැවිරිදි දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්වුණා. එවැනිම සිදුවීමක් ඊට පසු දින ද වාර්තා වුණේ කඩවත සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකදී යි. පෝලිමේ රැඳී සිටි ත්‍රීරෝද රථ රියැදුරෙක් හදිසියේ මරණයට පත් වුණා.තෙවන මරණය වාර්තා වූයේ එදින ම රාත්‍රී 8.30ට නිට්ටඹුව, හොරගොල්ල, සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසලදී ය. එය මනුෂ්‍ය ඝාතනයක්.