Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වීමට මත්පැන් පානය කළ ඉරානය

කෝවිඩ් 19 වසංගතය, වර්තමානය වන විට ලෝකයට එල්ල කර තිබෙන බලපෑම සුළුපටු නොවේ. ඒ හේතුවෙන් මේ වන විට (මැයි 8 උදෑසන) ලෝකය පුරා ආසාධිතයන් මිලියන 3.7කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන අතර වෛරසය හේතුවෙන් මරණයට පත් වූ ප්‍රමාණය දෙලක්ෂ හැටපන්දහස ඉක්මවා තිබෙනවා. වෛරසය වැළදුණු පුද්ගලයන්ගෙන් මේ වන විට මිලියන 1.26ක් සුව අතට හැරී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබෙනවා.

නව කොරෝනා වෛරසයේ බලපෑමට වැඩිපුරම ලක් වූ රටවල් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ඉරානයට හිමි වෙනවා. මැදපෙරදිග කලාපයේ වැඩිම ආසාධිතයන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ද ඉරානයෙනු යි. ඉරානයේ කොවිඩ් 19 ආසාධිතයන් ප්‍රමාණය මේ වන විට 102 000ක් බවට සඳහන් වෙනවා. ඒ අතරින් රෝගීන් 6418ක් මියගොස් තිබෙනවා. වෛරසය වැළදුණු පුද්ගලයන් අතරින් 81 587ක් සුවය ලබා ඇති බව ඉරාන රජය නිවේදනය කරනවා.

මත්පැන් පානයෙන් කොරෝනාවෛරසයෙන් ගැලවිය හැකි බවට ඉරානයේ පැතිර යන මිත්‍යාව 

මෙතනෝල් පානය කළ පුද්ගලයන් රෝහලට (aljazeera)

වෛරසය ලොව පුරා පැතිර යාමත් සමගම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසයෙන් ගැලවීම සඳහා පුද්ගලයෙක් විසින් පුරුදු කළ යුතු යහපත් සෞඛ්‍ය පුරුදු කිහිපයක් හදුන්වා දෙනවා. නිතරම අත් සේදීම, පොදු ස්ථානවල ගැවසීමේ දී පුද්ගලයන් දෙදෙනෙකු අතර අවම මීටරයක දුරක් පවත්වා ගැනීම හා අත්වලින් තම මුහුණ, නාසය නොඇල්ලීම වැනි කරුණු ඒ අතර වෙනවා. 

මෙහිදී අත් සේදීමට විෂබීජ නාශක දියර සඳහා වන අධි සාන්ද්‍ර ඇල්කොහොල් අඩංගු ද්‍රාවණ භාවිතා කිරීම පිළිබඳව වැරදි වැටහීමක් ඉරාන වැසියන් තුළ පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එනම් එය විෂබීජ නාශනය සඳහා නොව පානය සඳහා යොදා ගැනීම යි. විෂ සහිත මෙතනෝල් භාවිතයෙන් මේ වන විට විශාල පිරිසක් මරණයට පත් වී ඇති අතර තවත් විශාල ප්‍රමාණයක් රෝහල්ගත කර ඇති බව ද වාර්තා වෙනවා.

700කට වැඩි ප්‍රමාණයක් මරණයට! 99ක් පූර්ණ අන්ධභාවයට!

ඉරානයේ කොරෝනාවෛරසයට එරෙහි සටන (aljazeera)

ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක හුසේන් හසානියන් පවසන්නේ පෙබරවාරි 20 සිට අප්‍රේල් 7 වන දා දක්වා විෂ මෙතනෝල් භාවිතය හේතුවෙන් රෝගී වූ එරට වැසියන් 5,011ක් රෝහල්ගත කර ඇති බව යි. ඒ අතරින් 728ක් මරණයට පත් වී ඇති බවත් තවත් 90 දෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් පූර්ණ අන්ධභාවයට ලක් වී ඇති බවත් ඉරාන සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදේශකයා කියා සිටිනවා.

“වෙනත් රටවල් සටන් කරන්නේ එක වසංගතයක් සමග පමණ යි. ඒ නව කොරෝනා වෛරසයට එරෙහිව යි. නමුත් අපේ රටේ සෞඛ්‍ය සේවාවට වසංගත දෙකක් සමග සටන් කිරීමට සිදුව තිබෙනවා”, ඉරාන වැසියන්ගේ විෂ ඇල්කොහොල් පානය පිළිබඳව අදහස් දක්වන හුසේන් හසානියන් එලෙස තම අදහස් ප්‍රකාශ කරනවා.

ඉරාන මාධ්‍ය වාර්තා කළ පරිදි දෙමාපියන් විසින් තම දරුවන්ට ද මෙතනෝල් ලබා දීමෙන් කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් ද රෝහල්ගත කර තිබෙනවා. ඒ අතරින් වයස අවුරුදු පහක දරුවෙකු සම්පූර්ණයෙන් අන්ධභාවයට පත් වී තිබෙනවා. ඉරානය තුළ මෙතනෝල් පානය කිරීමේ වැඩිම සිදුවීම් ප්‍රමාණයක් වාර්තා වන්නේ නිරිතිදිග හා දකුණු පළාත්වලින් වන අතර නිරිතදිග පළාතේ Khuzestan ප්‍රදේශයෙන් හා දකුණු පළාතේ Karaj හා Yazd නගරවලින් ජනතාව සඳහා මෙතනොල් අලෙවි කළ අලෙවිකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වසරේ පෙබරවාරි මස මුල දී එක්සත් රාජධානියේ ටැබ්ලොයිඩ් සඟරාවක පළ වූ පුවතක් උපුටා දක්වමින් ඉරාන සාමාජ මාධ්‍ය පුරා විස්කි හා මීපැණි යොදාගනිමින් නව කොරානාවෛරසයෙන් ආරක්ෂා විය හැකි බවට රැල්ලක් පැතිර යනවා. බොහෝ අය විෂ සහිත ඇල්කොහොල්  පානය කිරීම සඳහා යොමු කරවීමට ඉහත රැල්ල උපයෝගී වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.

2019 වසර පුරාවට ම මත්පැන් විෂ වීමෙන් මියගොස් ඇත්තේ  66 දෙනකු බවත් පසුගිය වසරට සාපේක්ෂව මත්පැන් විෂ වීමෙන් මියගිය ගණන 2020 වසරේ මේ වන විට  10 ගුණයකටත් වඩා වැඩි වී ඇති බව එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා.

ඉරාන රජයෙන් නියෝගයක් 

කොරෝනාවෛරසයට අමතරව මෙතනෝල් පානයෙන් රෝගීවූවන් ද ඉරාන සෞඛ්‍ය සේවකයන්ට පරික්ෂා කිරීමට සිදුව ඇත. (mirror)

ඉරානය යනු  මත්පැන් නිෂ්පාදනය හෝ භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ඇති රටක්. එබැවින් විෂබීජ නාශනය හා පිරිසිදුකාරක ලෙස ඇල්කොහොල් නිෂ්පාදනය කරන නිෂ්පාදනකරුවන්ට ඒවා කෘතිමව වර්ණ ගන්වන ලෙස රජය නියෝග කර තිබෙනවා. එවිට සාමාන්‍ය ජනයා මෙතනෝල් පානයෙන් වැලකි යනු ඇතැ යි ඔවුන් විශ්වාස කරනවා.

නමුත් මීට පෙර සිට ම ඉරානය තුළ රහසිගත මත්පැන් ජාවාරමේ යෙදුනු බොහෝ වෙළඳුන් සිටිය බව එරටින් වාර්තා වෙනවා. කොරෝනාවෛරසය සමග ඉරාන රජය මේ පිළිබඳව වැඩි දුරටත් සොයා බැලීම හේතුවෙන් එම වෙළෙඳුන් බොහොමයක් මත්පැන් නිෂ්පාදනයෙන් ඉවත්ව සිටින බව පැවසෙනවා. මේ හේතුවෙන් මත්පැන් සඳහා හුරු වූ පුද්ගලයන් ගෘහාශ්‍රිතව ද ඇල්කොහොල් නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා.

ලොව පුරා මිත්‍යා මත 

විෂබීජ නාශක දියර එන්නත් කර ගැනීමෙන් කොරෝනාවෛරසයෙන් ගැලවිය හැකි බව පවසන ඇමෙරිකානු ජනාධිපතිවරයා (bbc)

මෙවැනි මිත්‍යා මත ඉරානයේ පමණක් නොව වෙනත් රටවල ද පැතිර යන බවත් එම රටවල සෞඛ්‍ය සේවයන් හා මාධ්‍ය මේ ආකාරයේ මිත්‍යා මත සමාජගත වීම වැලැක්වීමට කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. මෑත කාලයේ දී ඇමෙරිකානු රාජ්‍ය නායක ඩොනල්ඩ් ට්‍රම්ප් ද මේ ආකාරයේ මිත්‍යා මත සමාජ ගත කරන්නෙක් ලෙස එරට සෞඛ්‍ය සේවා සඳහන් කරනවා. ඒ ඔහු විසින් විෂබීජ නාශක දියර එන්නත් කර ගැනීමෙන් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි බව කරන ලද ප්‍රකාශයට එරෙහිව යි. ඊට අමතරව බෙලාරස් හි රාජ්‍ය නායකයා කොරෝනා යනු සුළුවෙන් තැකිය හැකි රෝගී තත්වයක් බවත් වොඩ්කා පානයෙන් හා උණු ජල වාෂ්පවලට නිරාවරණය වීමෙන් එයින් ආරක්ෂා විය හැකි බවත් ප්‍රකාශ කර තිබෙනවා.

කවරයේ පින්තූරය - timesofindia

මූලාශ්‍රයයන් -

Aljazeera.com

Abcnews

Related Articles