Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිරියාවේ සහ ඉරාකයේ තවදුරටත් පවතින ISIS තර්ජනය​

සිරියාවේ සහ ඉරාකයේ ප්‍රධාන නගර සියල්ලකින්ම ISIS ත්‍රස්ත සංවිධානය (IS සහ ISIL යනුවෙන් ද හැඳින්වේ) පළවා හරිනු ලැබුණ ද එහි සාමාජිකයන් විවිධ ප්‍රදේශයන්හි රැඳී සිටිමින් ප්‍රතිසංවිධානය වීමට උත්සාහ කරමින් සිටිනවා. මේ තර්ජනය කෙතරම් ප්‍රබල ද යන්න මෑතක දී නිකුත් කෙරුණ වාර්තා දෙකක් මඟින් පැහැදිලිව දිස් වුණා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම රටවල් දෙක අතර තවමත් 28,600ක් සහ 31,600ක් අතර ISIS ත්‍රස්තයින් පැතිර සිටීමට ඉඩ ඇති බව යි. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ මණ්ඩලයක් විසින් ප්‍රකාශ කරන ලද්දේ සිරියාවේ සහ ඉරාකයේ 20,000ක් සහ 30,000ක් අතර ISIS ත්‍රස්තයින් රැඳී සිටිය හැකි බව යි.

ප්‍රධාන නගර අහිමි වීම​

2013 සහ 2014 වසරවල සංවිධානය සිරියාවේ මෙන්ම ඉරාකයේ ද ප්‍රධාන නගර කිහිපයක් අල්ලා ගත්තා. 2015 දී ද ඔවුන් පැල්මයිරා නගරය අල්ලා ගැනීමට සමත් වුණා. නමුත් එයින් පසු රටවල් දෙකෙහි ම සිදු කෙරුණ හමුදා මෙහෙයුම් මඟින් ඔවුන් අල්ලාගත් ප්‍රදේශයන්ගෙන් කෙමෙන් පසු බස්වනු ලැබුණා.

2014 ඔක්තෝබර් පමණ වන විට ISIS සංවිධානය සතු වූ ප්‍රදේශ (CNN)

2017 ජූලි මාසයේදි ඉරාක හමුදා සහ සහායක මිලීෂියා කණ්ඩායම් විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ සංවිධානය ඔවුන් අල්ලාගත් විශාලම නගරය වූ මෝසුල් වෙතින් පළවා හැරුණා. මේ අතර එම වසරේම ඔක්තෝබරයේ දී ඔවුන් සිය “අගනුවර​” ලෙස ප්‍රකාශයට පත් කළ රඛා නගරයෙන් ද එළවා දමන ලද්දේ කුර්දි-අරාබි සන්ධානයක් වන සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකා විසින්. මේ අතර 2017 සැප්තැම්බරයේ දී වසර තුනක් මුළුල්ලේ ISIS ත්‍රස්තයින් විසින් වටලා සිටි ඩෙයර්-එස්-සෝර් නගරය මුදා ගැනීමට ද සිරියානු හමුදා සමත් වුණා.

ප්‍රතිසංවිධානය වීම

නමුත් 2018 වසර මුල වනවිට ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට නැගෙනහිරින් වන දියාලා ප්‍රාන්තයේත්, කිර්කුක් නගරාසන්නයේත්, බටහිර ඉරාකයේ අන්බාර් ප්‍රාන්තයේත් ත්‍රස්තයින් හිස එසවීමේ තර්ජනයක් පවතින බව යි​. එමෙන්ම සිරියාවේ ද ග්‍රාමීය ප්‍රදේශ කිහිපයකත්, ඉරාක දේශසීමාව ආසන්නයේ කාන්තාර ප්‍රදේශවලත් ISIS ක්‍රියාකාරකම් දිගටම වාර්තා වුණා.

මේ අතර වර්තමානයේ දී මධ්‍යම ඉරාකයේ සමාරා ප්‍රදේශය ආසන්නව ද ත්‍රස්ත ක්‍රියාකාරකම් වාර්තා වනවා. ජූලි මාසයේ වාර්තා වූ එවන් එක් සිදුවීමක දී ත්‍රස්තයින් ගම්මානයකට කඩා වැදී තරුණයින් සත් දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහාය යි පවසමින් රැගෙන ගොස් තිබුණා. ඔවුන්ගේ මළ සිරුරු පසු දා සොයාගන්නා ලද්දේ දෑස් බැඳ හිසට සහ පපුවට වෙඩි තබා ඝාතනය කොට තිබිය දී.

මේ අතර සිරියාවේ දී ඩෲස් ආගමිකයන්ගේ ගම්මානයකට මෑත දිනක දී කඩා වැදුණ ත්‍රස්තයින් පිරිසක් එහි වූ විශාල පිරිසක් ඝාතනය කොට කාන්තාවන් සහ ළමුන් පිරිසක් පැහැර ගත්තා.

වැරදුණ තැන​

ඉරාක හමුදාවන්ට සිදු වූ ප්‍රධානම වරද නම් නාගරික ප්‍රදේශයන්හි බලය තහවුරු කරගන්නා අවස්ථාව වනවිට ද ග්‍රාමීය ප්‍රදේශයන්හි ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රමාණවත් මෙහෙයුම් සිදු නොකිරීම යි. මෙය පිරිස් බලය නොමැතිකමින් සිදු වූ වරදක් ද නැතහොත් උපක්‍රමික වරදක් ද යන්න විවාදාත්මක කරුණක් වුණත් ත්‍රස්තයින් ග්‍රාමීයව ප්‍රතිසංවිධානය වීම එහි ප්‍රතිඵලය වී තිබෙනවා. මෙම කරුණ සිරියාවට ද අදාළ බව යි පෙනී යන්නේ.

ත්‍රස්තයින් නාගරික ප්‍රදේශයන්හි දී පරාජය වන විට ග්‍රාමීය පෙදෙස්වල සිට යළි සටන් ඇරඹීම සඳහා ක්‍රමානුකූලව සූදානම් වූ බවට සැක කළ හැකි බව මීට කලකට පෙර ඉරාක හමුදාවේ නිලධාරියෙකු සඳහන් කළා. ඉරාක හමුදාවේ 8 වන ඩිවිෂනයේ නිලධාරියෙකු වන ඔහුට අනුව කාන්තාරයේ සහ නිම්නයන්හි රහසිගත ස්ථානවල ත්‍රස්තයින් ආයුධ සඟවා ඇතැ යි සැක කෙරෙනවා. තම ඩිවිෂනයට ද එවන් අවි තොග හමු වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

මෝසුල් නගරය පාලනය යටතේ පැවති සමයේ එහි වූ සටන්කාමීන් පිරිසක් (Reuters)

නගරවලින් පරාජය වන විට ග්‍රාමීය සහ ඈත ප්‍රදේශයන්ට පසුබැස නැවත ප්‍රතිසංවිධානය වීම ගරිල්ලා සටන් ක්‍රමයන්හි සාමාන්‍ය උපක්‍රමයක්. මීට පෙර 2001 දී ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් සංවිධානය පරාජය වූ අවස්ථාවේ ද ඇමරිකාව ප්‍රමුඛ ත්‍රස්ත විරෝධී සන්ධානය විශ්වාස කළේ එම සංවිධානය පරාජය අබියස සිටින බව යි. නමුත් ඉන් කලකට පසු ඔවුන් එක් අතකින් පාකිස්තානය වෙත සිය ක්‍රියාකාරකම් පතුරවද්දී අනෙක් පසින් ඇෆ්ඝනිස්ථානය තුළ ද ප්‍රතිසංවිධානය වුණා. වර්තමානය වන විට තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ විශාල ප්‍රදේශයක් පාලනය කරනවා.

වර්තමානයේ සිරියාවේ සහ ඉරාකයේ සිටින ISIS සංවිධානයේ සාමාජිකයන් බොහෝ දෙනෙක් දේශීය සාමාජිකයන් බව යි සඳහන් වන්නේ. විදේශයන්ගෙන් පැමිණ එම සංවිධානයට බැඳී මේ වන විට ද දිවි ගලවාගෙන සිටින ත්‍රස්තයින් අතුරින් ඇතමෙක් සිය මව් රටවල් බලා ගොස් ඇතැ යි විශ්වාස කෙරෙනවා.

ISIS නායක අබුබකර් අල්-බග්දාදි (Youtube Screengrab)

සිරියාවේ සහ ඉරාකයේ සටන් වැදුණ ඇතැම් ISIS සාමාජිකයන් ඇෆ්ඝනිස්ථානයට පළා ගියේයැ යි ද අනුමාන කරනු ලබනවා. මෙය ඇෆ්ඝනිස්ථානය තුළ එම සංවිධානය මෑතක දී ශක්තිමත් වීමට හේතු වී ඇතැ යි ද විශ්වාස කෙරෙනවා.

අල්-බග්දාදි කොහිද​?

තවමත් විසඳුමක් නොමැති ප්‍රශ්නයක් වන්නේ නායක අබුබකර් අල්-බග්දාදි කොහි සිටින්නේද යන්නයි. අල්-බග්දාදි මියගිය හෝ තුවාල වූ හෝ බවට විවිධ අවස්ථාවල විවිධ වාර්තා පළ වුණ නමුත්, තවමත් ඔහු ජීවතුන් අතර වේයැ යි විශ්වාස කෙරෙනවා.

ඔහුගේ එක් පුත්‍රයෙකු රුසියානුවන් සමග වූ සටනක් අතරතුර සිරියාවේ දී මියගිය බවට ජූලි මාසයේ දී වාර්තා වුණා. මේ අතර අල්-බග්දාදි සිරියා – ඉරාක දේශසීමාව ආශ්‍රිතව සැඟව සිටිතැ යි වාර්තා පළ වුණා. නමුත් ඒ පිළිබඳව ද තහවුරු කළ හැකි වාර්තා නැහැ. මේ අනුව ඔහු සිරියාවේ හෝ ඉරාකයේ හෝ වෙනත් ස්ථානයක හෝ සිටිය හැකි යි.

මෝසුල්හි ඓතිහාසික ඉස්ලාම් පල්ලියේ දී තමන් අභිනව ඉස්ලාමීය රාජ්‍යයේ කාලිෆ්වරයායැ යි නම් කරගන්නා ලද නිසාවෙන්, ඔහු ජීවත්ව සිටිනතුරු ඉස්ලාමීය රාජ්‍යය යන මනෝරාජික සංකල්පයට ජීවමාන සහතිකයක් තිබෙනු ඇති.

කවරය: 2018 මුල දී ඉරාක දේශසීමාවේ ගැටුමක් සිදු වූ අවස්ථාවක් (Al Masdar News)

Related Articles