ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තනතුර දැරීමට නුසුදුස්සෙකු ලෙස තීන්දු කළ පාකිස්තානු හිටපු අගමැති නවාස් ෂරීෆ් එම නඩු තීන්දුව ලද දිනයේ (ජුලි 28) ඉල්ලා අස් වීමෙන් පසු පාකිස්තානු ජාතික සභාවේ (National Assembly) බහුතරය හිමි ඔහුගේ පක්ෂය රටේ තාවකාලික අගමැති ලෙස පෙට්‍රෝලියම් සහ ස්වභාවික සම්පත් පිළිබඳ අමාත්‍ය ධූරය දැරූ ශාහිඩ් අබ්බාසි නම් කරනු ලැබුවා.
එරට මාධ්‍ය විසින් වාර්තා කළ අන්දමට මෙම තීරණය ගෙන ඇත්තේ අධිකරණ තීන්දුවෙන් පසු හිටපු අගමැති නවාස් ෂරීෆ් විසින් කැඳවූ නොනිල උපදේශක කමිටු රැස්වීමකදීයි.
එම රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව අලුතෙන් පත්කරන ලද අගමැති අබ්බාසි තවත් දින 45ක කාලයක් උදෙසා එම ධුරය හොබවනු ඇති අතර පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ලෙස කටයුතු කරන නවාස් ෂරීෆ්ගේ සොයුරු ශෙබාස් ෂරීෆ් ඊළඟ මහා මැතිවරණය උදෙසා පක්ෂය නියෝජනය කරමින් තරගවදිනු ඇති.
දූෂණ චෝදනා මත පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ් එම ධුරයට නුසුදුසු බව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒකමතිකව තීරණය කිරීම ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ කරුණක් වූවා. මේ නිසා පාකිස්තානයේ දේශපාලන ස්ථාවරත්වයට කුමක් සිදු වේද මෙන්ම යළිත් හමුදා මැදිහත් වීමකට ඉඩක් මෙතුළින් ඇති වේද යන්න ගැන බොහෝ දෙනා අදහස් දක්වනු දක්නට ලැබුණා.
දූෂණ වංචා චෝදනා නිසා මැති ඇමතිවරුන් ධුරවලින් පහ කිරීම සහ ඔවුන් විසින්ම ඉල්ලා අස්වීම වෙනත් රටවලට අමුතු දෙයක් නොවුණත් ශ්‍රී ලංකාවේ එබඳු දෑ ගැන කිසිදාක අසන්නට නොලැබෙන නිසාදෝ අපේ පාඨකයනුත් මේ සිදුවීම පිළිබඳ මහත් උනන්දුවක් දක්වන බව අපට සමාජ ජාල සාකච්ඡා තුළින් නිරීක්ෂණය කිරීමට හැකිවුණා.
මේ ලිපිය ලියැවෙන්නේ ඒ පාඨකයන් වෙනුවෙනුයි.
පැනමා පත්‍රිකාවලින් හෙළිවූ කරුණු
නවාස් ෂරීෆ්ට එරෙහිව ලැබුණ මේ තීන්දුව පිළිබඳ හොඳින් වටහා ගන්නට නම් ඔබට ‘පැනමා පත්‍රිකා‘ පිළිබඳ දළ අවබෝධයක් තිබීම අවශ්‍ය වනවා.
පැනමා පත්‍රිකා නමින් ලොව පුරා ප්‍රසිද්ධ වූවේ පැනමා රාජ්‍යයේ පිහිටි නීතිඥ සමාගමක් වන මොසැක් ෆොන්සේකා සමාගමක් සතු මිලියන 11ක් පමණ වූ රහස්‍ය ලේඛන තොගයකුයි. මේවා 2016 වසරේ අප්‍රේල් මස ජර්මනියේ පුවත්පතක් විසින් මුලින්ම හෙළිදරව් කළ අතර අතර ලොව පුරා පුවත් සිරස්තල මවන්නට මෙම පත්‍රිකාවන්ට හැකි වුණා.
පැනමා පත්‍රිකා මගින් හෙළිදරව් වී ඇති තොරතුරු වලට අනුව සත්‍ය වශයෙන්ම පිහිටුවා නොමැති “ලියුම් පෙට්ටි සමාගම්” (shell companies) පිහිටුවා ඇති බවට සකස් කළ ව්‍යාජ ලේඛන හරහා මොසැක් ෆොන්සේකා සමාගම මුදල් විශුද්ධිකරණය සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කර දී ඇති බවටත් බදු වංචා සඳහා සහාය දී ඇති බවටත් තමයි චෝදනා නැගුණා.
මෙම පත්‍රිකාවල ලොව පුරා දේශපාලන නායකයන්ගේ මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් ද ඇතුළත් වුණා. හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ දරුවන් තිදෙනෙකුගේ නම් ද එහි ඇතුළත් වූ අතර ඒ පිළිබඳ ප්‍රසිද්ධියට පත්කර තිබූ ඔවුන්ගේ පවුලේ වත්කම් ලයිස්තුවේ කිසිවක් සඳහන් වී තිබුණේ නැහැ.
මේ හෙළිදරව්වත් සමඟ පාකිස්තාන විපක්ෂය ෂරීෆ් පවුලට ඉතා දැඩි පීඩනයක් එල්ල කළ අතර එහි ප්‍රමුඛතාව ගත්තේ හිටපු ක්‍රිකට් නායක මන්ත්‍රී ඉම්රාන් ඛාන්. අගමැති ෂරීෆ් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස් විය යුතු යැයි ඔවුන් බල කළ අතර ඇතැම් අවස්ථාවන්වල විපක්ෂය හා ෂරීෆ් ආධාරකරුවන් අතර ගැටුම් අවස්ථාවන් ඇතිවී තිබෙනුද වාර්තා වුණා.
ඒ පිළිබඳ අදහස් දැක්වූ නවාස් ෂරීෆ් විපක්ෂයෙන් එල්ල කළ චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කළ අතර දේශපාලන අරමුණු වෙනුවෙන් තමාට සහ තම පවුලේ කීර්තිනාමයට හානි කිරීමට කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බව පවසා සිටියා. ‘’හොරුන් කිසිදා තමන්ගේ නමින් දේපළ මිලදී ගන්නේ නැහැ,” ෂරීෆ් පවසා සිටියේ එසේයි.
කෙසේ නමුත් ෂරීෆ්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ඉම්රාන් ඛාන් කටයුතු කළ අතර ඒ අනුව අදාල සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීම සිවිල් සහ මිලිටරි විශේෂඥයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් වෙත පවරනු ලැබුවා. ඒ මෙම වසරේ අප්‍රේල් මස 20 වනදායි.
ජුලි 28 වනදා දෙනු ලැබූ අධිකරණ තීන්දුවට අදාල පසුබිම සැකසුණේ ඒ ආකාරයටයි.
ඉරණම්කාරී ජුලි 28
පාකිස්තානු ජාතික මාධ්‍ය ජාලවලට අනුව ජුලි 28 දින සිදුවීම් පෙළ ගැස්වුණේ මේ ආකාරයටයි.
ෂරීෆ් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කරන්නට පෙර එදින උදෑසන මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබූ ආණ්ඩු බලය හිමි පාකිස්තාන මුස්ලිම් ලීගයේ ඉහළ පෙළේ නායකයෙකු වන, මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් (මොහු විවාහයෙන් නවාස් ශරිෆ්ට ඥාති වන අයෙක්) සහ ෂරීෆ්ගේ දියණියගේ සැමියා වන මන්ත්‍රී කපිතාන් මොහොමඩ් සෆ්දාර් යන අයද පාර්ලිමේන්තු අසුන් දැරීමට නුසුදුස්සන් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
පස්වරු 1.40ට පමණ ෂරීෆ් පිළිබඳ තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉජාස් අෆ්සල් ඛාන්, “ඔහු තවදුරටත් උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය රැකීමට සුදුසු අවංක පුද්ගලයෙකු වන්නේ නැහැ. ඒ නිසාම රටේ අගමැති ධුරයටත් ඔහු නුසුදුස්සෙකු ලෙස නම් කරනවා,” යනුවෙනුයි.
එමෙන්ම නවාස් ශරිෆ්ට සහ ඔහුගේ දරුවන්ට එල්ලවී ඇති චෝදනා පිළිබඳ වෙනම නඩුවක් දූෂණ විරෝධී අධිකරණයේ ගොනු කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පාකිස්තානයේ ප්‍රධානම දූෂණ මර්ධන ඒකකය වන ජාතික වගවීමේ කාර්යාංශයට (National Accountability Bureau) නියෝග කළා. එම නඩුව සති 6ක් තුලදී පැවරිය යුතු බවත් මාස 6ක් තුළ අවසන් විය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙනු ලැබුවා.
දේශපාලනඥයන්ගේ ප්‍රතිචාර
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පැය කිහිපයකට පසු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශරිෆ්ගේ දියණිය වන මන්ත්‍රී මර්යම් නවාස් ෂරීෆ් පවසා සිටියේ ජනතා ඡන්දයෙන් පත්වූ තවත් අගමැතිවරයෙකු අධිකරණය විසින් ගෙදර යැවූ නමුත් ඔහු ජනතා සහයෝගය මත හිටියාට වඩා සවිමත්ව යළිත් දේශපාලන කරළියට පැමිණෙනු ඇති බවයි.
පාකිස්තාන මුස්ලිම් ලීගයේ සාමාජිකයන් ශරිෆ්ගේ දිනයන් තවම නිමාවී නොමැති බව පවසා සිටියා. මේ ෂරීෆ්ට අසීරු මොහොතක් බවත් එසේ වූවත් පක්ෂයේ තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලය තවමත් හිමිවන්නේ ශරිෆ්ට බවත් පන්ජාබ් ප්‍රාන්තයේ නීතිය පිළිබඳ අමාත්‍ය රානා සනාඋල්ලා පවසා සිටියා.
පෙත්සම්කාර ඉම්රාන් ඛාන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පිළිබඳ පසුවන්නේ දැඩි සතුටින්. මෙය සමස්ත පාකිස්ථානයටම සුබ ආරංචියක් බව පවසන ඔහු නව පාකිස්තානයක් කරා යන ගමනක ආරම්භය මෙම නඩු තීන්දුව ලෙස සැලකිය හැකි බව ප්‍රකාශ කළා.
හිටපු පාකිස්තාන ජනාධිපති ෆර්වේස් මහරුෆ් පවසා සිටියේත් මෙය ඉතාම ඓතිහාසික තීන්දුවක් ලෙස සැලකිය හැකි බවයි. තමන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට මුළුමනින්ම සහයෝගය දක්වන බව පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු කියා සිටියා.
පාකිස්තානයේ අනාගතය
මීළඟ පකිස්ථාන මැතිවරණය 2018 වසරේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර මෙම නඩු තීන්දුව නිසා එයට පෙර මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් ඇතිද යන්න පිළිබඳ බොහෝ දෙනා විමසනු දක්නට ලැබුණා.
නමුත් දේශපාලන ප්‍රවීණයන්ට අනුව එසේ වීමට ඇති ඉඩ කඩ බොහෝ සීමිතයි. මෙවන් තත්වයක් තුළ හදිසි මැතිවරණයක් කැඳවීමේ බලය තිබෙන්නේ අගමැතිවරයාගේ උපදෙස් මත පාකිස්තාන ජනපතිවරයාට වීම එයට හේතුව ලෙස ඔවුන් දක්වනවා.
එමෙන්ම යළිත් හමුදා කුමන්ත්‍රණයක් ඇතිවේද යන්න පිළිබඳ අදහස් දක්වන විචාරකයන් පවසන්නේ දැනටමත් රජයේ පාලන කටයුතුවලට (විශේෂයෙන්ම විදේශ ප්‍රතිපත්ති සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ කටයුතු) සැලකිය යුතු තරමේ හමුදා මැදිහත්වීමක් ඇති නිසා එවැන්නක් සිදු වීමටත් විශාල ඉඩකඩක් නොමැති බවයි.
“මේ අවස්ථාවේදී පාකිස්තාන හමුදාවට රාජ්‍ය බලය අත් පත් කරගැනීමේ උවමනාවක් තිබෙන බවක් පෙනෙන්නට නැහැ. හමුදාව ඔවුන්ගේ ප්‍රතිරූපය පිළිබඳ මෙන්ම ඔවුන් කෙරෙහි ඇති මහජන අදහස් කෙරෙහිද දැඩි සැලකිල්ලක් දක්වනවා. ඒ නිසා මේ මොහොතේ හමුදා කුමන්ත්‍රණයක් ඇතිවීමේ අවදානමක් පෙනෙන්නට ඇත්තේ නැහැ,” එක් විශ්ලේෂකයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ පවසා සිටියා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් නඩුවක් පැවරීමේ අවස්ථාවක් ද ඇති නමුත් නවාස් ෂරීෆ්ගේ නීති උපදේශන කණ්ඩායම මෙතෙක් ඒ ගැන කිසිදු අදහසක් පළ කර නැහැ.
මූලාශ්‍ර
- Times of India
- Hindustan Times
- NDTV
- Al Jazeera
- BBC
කවරයේ රූපය – AP