පොරොන්දු කන්දක් ජනතාවට ලබාදී ඡන්ද 69 ලක්ෂයක් ලබා ගෙන බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට තම ධූර කාලයේ සිටිය හැකි වූයේ අවුරුදු තුනක් පමණයි. ඔහු ජනතා අරගලයකින් පලවා හැරි ලංකාවේ පළමු විධායක ජනාධිපති ලෙස ඉතිහාසගත වෙනවා.
මේ අපේ රටේ කෙටි කාලයකින් විවිධ හේතු මත අගමැති හෝ ජනපති පදවිය අත්හරින්නට සිදුවූ නායකයන් ගැන කළ සොයා බැලීමක්.
ඩඩ්ලිගේ අගමැති පුටුව
සිව් වරක් ම මෙරට අගමැති පුටුවේ හිඳගත් ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මෙරට දේශපාලන ඉතිහාසයේ වාර්තාවක් තැබුවේ 1952 දී යි. අගමැති ඩී. එස්. සේනානායක ගාලු මුවදොර අසුපිටින් යද්දී ඇදි වැටීමෙන් හට ගත් හෘදයාබාධයකින් මිය යනවා. ඉන්පසු අගමැතිකම පැවරෙන්නේ ඔහුගේ පුත් කෘෂිකර්ම ඇමැති ලෙස සිටි ඩඩ්ලි සේනානායකට යි. ඒ 1952 ජුනි 19 වැනි දා යි. ඩඩ්ලි එවකට සිටි ලෝක රාජ්‍ය නායකයන් අතර සිටි ළාබාලත ම අගමැතිවරයා වශයෙන් වාර්තාවක් ද තබනවා .
අගමැති පුටුවේ වාඩි වූ ඩඩ්ලිට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙනවා. 1953 වසර වෙනුවෙන් වූ අය වැය ලේඛනයෙන් මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩි කර තිබූ අතර තැපැල් ගාස්තු ඉහළ දමා සහනාධාර ද කපා දමා තිබුණා. මේ නිසා අගමැති ඩඩ්ලිට වාමාංශික පක්ෂ සංවිධානය කළ හර්තාලයකට මුහුණ දෙන්නට සිදුවෙනවා. මේ අර්බුදය නිසා නව දෙනෙක් වෙඩි පහරට ලක් වුණා.
මේ නිසා ඇතිවූ ජන විරෝධය නිසාඩඩ්ලි සේනානායකට අගමැතිකමෙන් 1953 ඔක්තෝබර් 12 වැනිදා ඉල්ලා අස්වීමට සිදුවෙනවා. ඒ අගමැති වී මාස 16කට පසුව යි. එදින ම නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වුණේ සර් ජෝන් කොතලාවල යි. ඉන් පසුවත් තෙවරක් අගමැති වීමට ඩඩ්ලිට අවස්ථාව හිමි වෙනවා. ඩඩ්ලි 1936 දී දැදිගම ආසනයෙන් මුල්වරට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අසුන් ගත්තා.
1947 මහ මැතිවරණය එජාපය ජය ගන්නවා. අගමැති ලෙස පත්වන්නේ ඩඩ්ලිගේ පියා වූ ඩී. එස්. සේනානායක යි. කෘෂිකර්ම ඇමැති ධුරය ලැබුණේ තරුණ ඩඩ්ලි සේනානායකට යි. ජනතාවට එදා නොමිලයේ සහල් සලාකයක් දුන් නිසා බොහෝ දෙනා ඔහු හැඳින්වූයේ ‘බත් දුන් පියා’ කියල යි. රටවැසියන්ට නොමිලේ සහල් සලාකයක් දුන් ලෝකයේ එක ම රට බවට ලංකාව පත් කළ ඩඩ්ලි පසුව වගා සංග්‍රාමයක් ද ආරම්භ කළත් එය අසාර්ථක වුණා. ඩඩ්ලි ජනතාවගේ ආදරයට ලක්වූ අගමැතිවරයෙක් ලෙසයි සැලකෙන්නේ.
ගාල්ලේ දහනායකගේ මාස 6 අගමැතිකම
1956 මහ මැතිවරණයෙන් බලයට පත්වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ යි. ඒ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැතිකම හිමිවුණේ ගාල්ලේ මන්ත්‍රී ලෙස පත්වූ විජයානන්ද දහනායකට යි. දහනායක අමෙරිකාවේ කෙයාර් සංවිධානයේ අනුග්‍රහයෙන් පාසල් ළමයින් සඳහා බනිස් ගෙඩියක් හා කිරි වීදුරුවක් දීමට කටයුතු කිරීම හේතුවෙන් “බනිස් මාමා” යැයි අන්වර්ථ නාමයකින් ද හැඳින්වුණා.
අගමැති බණ්ඩාරනායක 1959 සැප්තැම්බර් 26 වැනිදා මිය ගියේ ඊට පෙර දින තැබූ වෙඩි පහරකින්. අගමැති ඝාතනය නිසා හදිසියේ අගමැති බවට පත්වුණේ බනිස් මාමා හෙවත් දහනායක යි. බණ්ඩාරනායක අගමැතිවරයා 1959 සැප්තැම්බර් 28 වැනිදා නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගිවීම සඳහා යාමට සූදානමින් තමයි සිටියේ. මේ අතර සාමාන්‍යයෙන් අගමැති වෙනුවට වැඩ බැලීමට පත්කරන සභානායක සී. පී. ද සිල්වා අසනීප වී ප්‍රතිකාර ලබාගැනීමට ලන්ඩනයට ගොස් සිටියා. මේ නිසා ඇමැති මණ්ඩලයෙහි සිටි විශ්වාසවන්තයකු වූ අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායකට අගමැතිකම පවරන ලෙස බණ්ඩාරනායක, සර් ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාරවරයාට ලිපියක් මඟින් දන්වා තිබුණා.
සැලසුම් කළ පරිදි බණ්ඩාරනායක අගමැතිවරයාට නිව්යෝර්ක් ගමන යන්නට ලැබුණේ නැහැ. ඒ 1959 සැප්තැම්බර් 25 වැනිදා ඔහුට වෙඩි තැබීම නිස යි. මේ නිසා අගමැති තනතුර දහනායකට හිමි වුණා.
ඔහු දේශපාලනයට 1939 දී මුලින් ම පිවිසියේ ගාල්ලේ නගරාධිපති තනතුරට පත් වීමෙන්. ඉතා දුෂ්කර දුර පළාතක් වූ බිබිලට ගොස් 1944 දී බිබිල ආසනය සඳහා දහනායක ඡන්දයට ඉදිරිපත් වුණා. ඔහුගේ විරුද්ධ පිලේ සිටියේ ඇස්. ඒ. පීරිස් නමැති බස් මුදලාලි කෙනෙක්. පීරිස්ට දහනායක පැරදුණත් ඔහු බස් මුදලාලිට එරෙහි ව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළා. දහනායක එම නඩුවෙන් දිනා මුල්වරට රාජ්‍ය සභාවට මන්ත්‍රීවරයකු වශයෙන් පත්වුණා.
හිටපු අගමැති ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් “අරලියගහ මැදුරේ ස්පන්දනය” නමැති කෘතියේ සඳහන් කරන්නේ අගමැති නිල නිවසට තම සූට් කේසය ද රැගෙන ගිය නව අගමැතිවරයා “මට මේ නිදන කාමරය හුඟක් ලොකුයි. මට නිදාගන්න බෑ. පොඩි කාමරයක් හොයා දෙන්න.” යැයි ඉල්ලා සිටි බව යි. කුඩා කාමර මන්දිරයේ නැති නිසා නිදන කාමරයට ලෑලි ගසා කුඩා කාමරයක් බවට පත්කර දීමට අගමැති ලේකම්වරයාට සිදු ව තිබෙනවා.
අගමැතිවරයා ලෙස මාස 6ක් කටයුතු කළ දහනායක 1960 මාර්තු පැවති මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ තමන්ම පිහිටුවා ගත් ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන්. මැතිවරණයෙන් පරාජය වූ දහනායකට ආසනයත් අහිමි වෙනවා. පරාජයට පත්වූ අගමැතිවරයා අගමැති නිල නිවසට පැමිණි ආකාරයටම තම ඇඳුම් කිහිපය සූට්කේසයේ අසුරා ගෙනගාල්ලේ නිවසට ආපසු ගියේ අගමැති ලේකම්වරයා සපයා දී තිබූ වාහනයක නැගීගෙන යි.
ඩී. බී. විජේතුංගගේ අපූරු ජනපතිකම
අවසන් කාලයේ ජනතාවගේ අප්‍රසාදයට පත් ව සිටි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ජනපති ආර්. ප්‍රේමදාස 1993 මැයි 1 වැනිදා මැයි පෙළපාලිය සංවිධානය කරමින් සිටි අවස්ථාවේ එල්.ටී.ටී. ඊ. ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඝාතනය වෙනවා. ඉන් පසු වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් වූයේ එවක අගමැති ව සිටි ඩී. බී. විජේතුංග යි.
දින කීපයකට පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණය අනුව තෙවැනි විධායක ජනාධිපතිවරයා ලෙස ඔහු පත්වුණා. විජේතුංග විධායක බලතල නම් භාවිත නොකළ බවයි පැවසෙන්නේ. 1994 ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් විජේතුංග ජනපති පදවිය හෙබවූවා.
1994 නොවැම්බර් 09 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිවරිය ලෙස පත් වෙනවා. ඉන් පසු දේශපාලනයෙන් විශ්‍රාම ගත් විජේතුංග පිළිමතලාවේ තම නිවෙසේ කල්ගත කරමින් සිට පසුව මිය යනවා. විජේතුංග දේශපාලනයට පිවිසෙන්නේ 1965 දී උඩුනුවර ආසනයෙන්. පසුව 1977 මහ මැතිවරණයෙන් ද ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසෙනවා. ඔහු ගුවන් විදුලි සහ ප්‍රවෘත්ති, විදුලි බල හා බලශක්ති තැපැල් හා විදුලි සංදේශ, කෘෂිකර්ම සහ පර්යේෂණ හා ආහාර යන අමාත්‍යංශ ආදී ඇමැති ධුර දරා තිබෙනවා.
1989 පෙබරවාරි මස පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වූ විජේතුංග, මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තරගකොට මන්ත්‍රී ධුරයකට පත් වෙනවා. ඔහු රණසිංහ ප්‍රේමදාස රජයේ මුදල් ඇමැති ධුරයට හා අගමැති පදවියට ද පත්වෙනවා. අගමැතිකමේ වසර හතරක් ගතකළ පසුව ඔහු හදිසියේ ජනාධිපති ධුරයට පත් වෙනවා.
ගෝඨාභය නන්දසේන රාජපක්ෂ
පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති ව විධායක ජනාධිපති ලෙස පත් වූ පළමු වැන්නා ගෝඨාභය රාජපක්ෂ යි. චෝදනා රාශියක් එල්ල වූ මහින්ද රාජපක්ෂගේ බාල සහෝදරයා වූ ඔහු 2019 නොවැම්බර් 16 දින පැවති 8 වැනි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත් වෙනවා. ඡන්ද 6,924,255ක් ලබා ගත් ගෝඨාභය රාජපක්ෂ, සියලු ම අපේක්ෂකයන් අබිබවමින් ජයග්‍රාහකයා බවට පත් වුණා. ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 52.25%ක ප්‍රතිශතයක් ඔහු හිමි කර ගත්තා. ඔහු ගත් හිතුවක්කාර සහ අත්තනෝමතික තීරණ නිසා රට ඉතා ඉක්මනින් බංකොලොත්භාවයට පත් වෙනවා.
2009 මැයි 19 වෙනි දින එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරිමත් සමඟ දකුණේ සිංහල බහුතරය අතර ගෝඨාභය රාජපක්ෂ කැපීපෙනෙන චරිතයක් වශයෙන් ඉස්මතු වුණා. තමා ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සූදානම් බවට දේශපාලනික වශයෙන් ගෝඨාභය රාජපක්ෂ පළමු වරට ඉඟියක් පළ කළේ 2019 අප්‍රෙල් 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මාධ්‍ය අමතමින්.
ජනතාව ඔහුගේ පාලනයට එරෙහි ව 2022 වසරේ ආරම්භ කළ ප්‍රබල ජන අරගලයක් හේතුවෙන් සිය තනතුර අත්හැර රටින් පැන යාමට ඔහුට සිදුවුණා. රට වටෙන් ම කොළඹ පැමිණි ජනතාව අරගලයේ නියුතු තරුණ පිරිස සමඟ කොටුව ජනාධිපති මන්දිරයට බලෙන් ඇතුළු වූ අතර ඒ වන විට ජනාධිපතිවරයා එය හැර ගොස් සිටියා. ජනතා අරගලයකින් රටින් පන්නා දැමූ පළමූ ශ්‍රී ලාංකික විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉතිහාසයට එකතු වෙනවා. මාලදිවයිනට මුලින් ම ගුවන් හමුදා යානයකින් පිටත්වන ජනපතිවරයා ජූලි 14 වැනි දින සිංගප්පූරුවට ගමන් කරනවා. ඔහු එහි සිට ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත එවනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන, ගෝඨාභය ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ බව පුලි 15 වැනි දා නිල වශයෙන් නිවේදනය කළා.
ඔහු බොහෝ අමාත්‍යංශවල ලේකම් ධුරවලට ද රජයේ ආයතනවල ඉහළ තනතුරුවලට ද විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පත් කිරීම දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද විවේචනවලට ලක්වුණා. ඩොලර් අර්බුදය ඇති කළ ආර්ථික අර්බුදය හේතුවෙන් රටෙහි හට ගත් පොහොර, ඉන්ධන, ගෑස්, ඖෂධ හා ආහාර ද්‍රව්‍ය හා පිටරටින් ගෙන්වන දෑවල හිඟකම නිසා රටේ ජනතාව විශාල පීඩනයකට පත් ව සිටියා. දිනෙන් දින ඉහළ යන බඩු මිල නිසා ජනපතිට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් රට පුරා උද්ඝෝෂණ ආරම්භ වුණා. ගාලු මුවදොර තරුණ පිරිස ජන අරගලය ආරම්භ කළේ ‘ගෝ හෝම් ගෝඨා’ යන තේමාව යටතේ යි. එය ආරම්භ වුණේ පසුගිය අප්‍රෙල් 9 වැනි දා යි. අවසානයේ දී ජුලි 9 වැනි දා පැවැත්වුණු ජනතා විරෝධය හමුවේ ජනපතිකම හැර දමා පලා යාමට ඔහුට සිදු වෙනවා.