Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණයට එරෙහි ඉන්දුනීසියාවේ දරුණු විරෝධතා

මේ දිනවල රටවල් කිහිපයක මහා මැතිවරණ, ජනාධිපතිවරණ පැවැත්වෙනවා. ඊශ්‍රායලයේ පැවති මහ මැතිවරණයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුද් පක්ෂයට බහුතර පාර්ලිමේන්තු බලය දිනාගැනීමට හැකියාවක් නොලැබුණත්, සන්ධානගත වීමෙන් පසුව, පස්වන වතාවටත් අගමැති ධුරයේ දිවුරුම් දීමට නෙතන්යාහු සමත් වෙනවා.

යුක්රේනයේ පැවති ජනාධිපතිවරණයෙන් ජයගන්නේ ඒ සදහා තරග කළ වෘත්තීය නළුවෙක්. ඕස්ට්‍රේලියානු මහා මැතිවරණයෙන් ජය ගැනීමට හිටපු අගමැති ස්කොට් මොරිසන්ගේ ලිබරල් සන්ධානය සමත්වෙනවා. අදියර කිහිපයකින් යුක්ත ඉන්දියානු මහා මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට (මැයි 23) නිකුත් වෙමින් පවතින අතර ඉන් වැඩි වාසියක් ඇත්තේ මෝදී ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට යි.

මීට අමතරව දින කිහිපයකට ප්‍රථම ලොව විශාලතම ඉස්ලාමීය රාජ්‍යය වන ඉන්දුනීසියාවේ මහ මැතිවරණය, ජනාධිපතිවරණය, හා පළාත් පාලන මැතිවරණය එකම දිනයේ පැවැත්වුණා. මැතිවරණය දිනක් තුළ පැවති අතර එක්දිනක් තුළ ලෝකයේ පැවති විශාලම මැතිවරණය ලෙස මෙය නම් වෙනවා.

ජනාධිපතිවරණයෙන් බහුතර බලය දිනා ගැනීමට ජේකෝ විඩෝඩෝගේ පක්ෂය සමත්වෙන අතර මහ මැතිවරණයෙන් බහුතර බලය දිනාගැනීමට එකදු පක්ෂයක් හෝ සමත් වෙන්නේ නෑ.

ඡන්ද සේවකයන් සිය ගණනක් මියගිය ඉන්දුනීසියානු මැතිවරණය

සේවකයන් ඔරු යොදා ගනිමින් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන අයුරු (The Straits Times)

ඉන්දුනීසියානු මහ මැතිවරණය, පළාත් පාලන මැතිවරණය හා ජනාධිපතිවරණය යන ඡන්ද විමසීම් තුනම එකම දිනයේ පැවති අතර දූපත් සමුහයකින් සමන්විත ඉන්දුනීසියාවේ මෙවැනි අති විශාල ඡන්ද විමසීමක් එක් දිනක පැවැත්වීම ඉතාමත්ම අසීරුදායක කටයුත්තක්.

මැතිවරණ කටයුතු සඳහා වර්ෂාවෙන් මෙන්ම ගංවතුරෙන් ද තර්ජන එල්ල වූ අතර මැතිවරණ සේවකයන් පන්සීයයකට වැඩි ප්‍රමාණයක් ද මරණයට පත්වෙනවා. මේ ආකාරයට මැතිවරණ සේවකයන් විශාල ප්‍රමාණයක් මරණයට පත් වීමට බලපෑ හේතුව ලෙස සඳහන් වන්නේ දිගින් දිගටම මැතිවරණ කටයුතුවල යෙදීම නිසා ඇති වූ අධික විඩාව යි.

ජනාධිපතිවරණයේ ජය ජෝකෝ විඩෝඩෝට හිමි වේ

ජෝකෝ විඩෝඩෝ ජයග්‍රහණය සමරමින් (The National)

ඉන්දුනීසියානු ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් සඳහා වූ පක්ෂය (Indonesian Democratic Party of Struggle) නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන හිටපු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් 55.50%ක ප්‍රතිශතයක් ලබාගනිමින් නැවතත් එරට ජනාධිපතිවරයා වීමට හැකියාව ලබා ගන්නවා.

ඔහුගේ ප්‍රතිවාදියා වන, ශ්‍රේෂ්ඨ ඉන්දුනීසියානු ව්‍යාපාරය (Great Indonesia Movement Party) නියෝජනය කරමින් ඉදිරිපත් වූ හිටපු හමුදා ජෙනරාල් ප්‍රොබෝවෝ සුබියන්තෝට ලබා ගැනීමට හැකි වන්නේ  44.5%ක ඡන්ද ප්‍රතිශතයක් පමණ යි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ජෝකෝ විඩෝඩෝ මෙන්ම ජෙනරාල් ප්‍රොබෝවෝ සුබියන්තෝ ද නවකයන් නොවූ අතර, 2014 වසරේ ජනාධිපතිවරණය සඳහා ද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලෙස ඉදිරිපත් වන්නේ මේ දෙපළ යි. එහිදී ද ජෝකෝ විඩෝඩෝ 53.15%ක ඡන්ද ප්‍රතිශතයක් රැගෙන ජනාධිපති ධූරයට පත්වෙන අතර ජෙනරාල් ප්‍රොබෝවෝ සුබියන්තෝට හිමිවෙන්නේ 46.85%ක ඡන්ද ප්‍රතිශතයක්.

මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල

පරාජිත අපේක්ෂකයා – ජෙනරාල් ප්‍රොබෝවෝ සුබියන්තෝ (South China Morning Post)

මහමැතිවරණයත් එදිනම පැවති අතර එම මැතිවරණයෙන් බහුතර බලයක් දිනාගැනීමට එකදු පක්ෂයක් හෝ සමත් වෙන්නේ නෑ. ප්‍රධාන පක්ෂ දෙක වන ඉන්දුනීසියානු ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් සඳහා වූ පක්ෂය හා ශ්‍රේෂ්ඨ ඉන්දුනීසියානු ව්‍යාපාරය ලබා ගන්නා ඡන්ද ප්‍රතිශත පිළිවෙලින් 19.33 හා 12.57ක් ලෙස සඳහන් වෙනවා.

ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වීම

මෝටර් රථයකට ගිනිතබා වෙළඳසැලක් කොල්ලකරන කැරලිකරුවන් (South China Morning Post)

මැතිවරණයේ දී මියගිය සේවකයන් ප්‍රමාණය මුල දී දෙසිය ගණනක් බව ප්‍රකාශ කරන ඉන්දුනීසියානු මැතිවරණ කොමිසම මැයි 9 වන දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ මැතිවරණ කටයුතු හේතුවෙන් 569 දෙනෙක් මරණයට පත් වූ බව යි. ඒ අතරට මැතිවරණ සේවකයන් 456ක්, පක්ෂ නියෝජනය කරමින් පැමිණි සුපරික්ෂකයන් 91ක්, හා පොලිස් නිලධාරීන් 22ක් ඇතුළත් වෙනවා.

ජනාධිපතිවරණයේ පරාජිත අපේක්ෂකයා වන ජෙනරාල් ප්‍රොබෝවෝ සුබියන්තෝගේ පාර්ශවය සඳහන් කරන්නේ මෙය ප්‍රෝඩාවක් බවත්, ඒ හේතුවෙන් තම පාර්ශවයට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ය.

ඉන්දුනීසියානු ජනාධිපති මැතිවරණයේ නිල ප්‍රතිඵල මැයි 21 වන දා මැතිවරණ කොමිසම විසින් නිවේදනය කෙරුණු පසුව ඊට විරෝධත්වය පළ කරමින් එදිනම සවස සුබියන්තෝගේ පාර්ශවය මැතිවරණ කොමිසම ඉදිරියේ සාමකාමී උද්ඝෝෂණයක් ආරම්භ කරනවා.

උද්ඝෝෂණ දරුණු අතට හැරීම හා සමාජ මාධ්‍ය තහනම් කිරීම

ප්‍රහාර එල්ල කරන කැරලි මර්දන ඒකක (ABC News – Go.com)

22 වන දින ජකර්තා නුවරට රැස්වන සුබියන්තෝගේ ආධාරකරුවන් ඉතා කලහකාරී ලෙස හැසිරෙන අතර ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කදුළු ගෑස්, බැටන් ප්‍රහාර, හා රබර් උණ්ඩ යොදාගනු ලබනවා. කැරලිකරුවන් මහජන දේපොළවලට හානි කරමින් මහාමාර්ගවල ගිනිතැබීම් සිදුකළ බැවින් පොලිස් කැරලි මර්දන කණ්ඩායම්වලට අමතරව හමුදා භට පිරිස් ද මේ සඳහා යෙදවීමට ඉන්දුනීසියානු රජය කටයුතු කරනවා.

22 වන දා අවසන් වන විට කැරලිකරුවන් 6 දෙනෙක් පොලිස් ප්‍රහාර හමුවේ මියගොස් තිබූ අතර තවත් 200ක් පමණ තුවාල ලබා තිබෙන බවට වාර්තා වෙනවා.

මේ පිළිබඳව ජනතාව නොමඟ යවන ප්‍රකාශ හා පින්තූර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සැරිසැරීම වැලැක්වීම පිණිස ෆේස්බුක් හා වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව තහනම් කිරීමට රජය විසින් කටයුතු කරන්නේත් මැයි 22 වන දින යි.

මැයි 23 වන දා නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරණ පරාජිත අපේක්ෂකයා වන සුබියන්තෝ කැරලිකරුවන්ට සාමකාමීව කටයුතු කරන ලෙසත්, නිවෙස්වලට යන ලෙසත් ඉල්ලීමක් කරනවා.  ප්‍රශ්නය විසදා ගැනීමේ ක්‍රමය මෙය නොවන බවත්, ජනාධිපතිවරණ ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් නිත්‍යානුකූලව ඒ සඳහා පියවරක් ගන්නා බවත් තම ආධාරකරුවන්ට වැඩිදුරටත් පවසනවා.

කවරයේ පින්තූරය - The ANSWER San Diego

මූලාශ්‍රයයන් -

nytimes.com

bbc.com

dw.com

Related Articles