Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කුලියාපිටියේ ෆොක්ස්වැගන් හුටපටය

කුලියාපිටියේ වාහන එකළස් කිරීමේ කර්මාන්තශාලාව පිළිබඳ පහුගිය කාළය තුළ ලොකු ආන්දෝලනයක් ඇති වුණා. මෑත කාළයකදි, ෆොක්ස්වැගන් වාහන එකළස් කිරීමේ කර්මාන්තශාලාවක් පිළිබඳ මුලින්ම කතාබහට ලක් වුනේ 2015 ජනවාරි ආසන්නයේදි. ඉන් පසුව කළක් තිස්සේ මේ කර්මාන්තශාලාව පිළිබඳ කියද්දී නිතර ඇසුන ප්‍රශ්නයක් තමයි “කෝ ඔය කියන කර්මාන්තශාලාව ?” කියන එක .

පසුගිය ජනවාරි 3 වනදා කර්මාන්තශාලාවට මුල්ගල තබනු ලැබුවා. ඒත් එම කර්මාන්තශාලාව “ෆොක්ස්වැගන්” නොවීම ගැන ආණ්ඩුවට දැඩි චෝදනාවක් එල්ල වුණා.

ෆොක්ස්වැගන් සමාගම

ෆොක්ස්වැගන් නම අසා නැති අයෙක් නැති තරම්. එය ලොව විශාලතම වාහන සමාගමක්. ජර්මන් භාෂාවෙන් “ෆෝක්ස්වැගන්” යනු “ජනතාවගේ වාහනය ” යන්නයි. 1937 දී එවක නට්සි ජර්මනියේ නිල කම්කරු සංවිධානය වූ කම්කරු පෙරමුණ යටතේ එය පිහිටවනු ලැබුණා. එහි ප්‍රධාන කර්මාන්තශාලාව ලොව විශාලතම වාහන කර්මාන්තශාලාව වනවා. එය ඉදි වුණේ වුල්ෆ්ස්බර්ග් නම් අලුතින්ම ඉදි කළ නගරයක .

වුල්ෆ්ස්බර්ග් නුවර ෆොක්ස්වැගන් කර්මාන්තශාලාවේ කොටසක් (ඡායාරූපය : Richard Bartz/Wikimedia Commons)

අලෙවි කෙරෙන මෝටර් රථ සංඛ්‍යාව අතින් ෆොක්ස්වැගන් සමාගම සහ ජපානයේ ටොයෝටා සමාගම කරට කර සිටිනවා. අනෙක් වාහන සමාගම් සිටින්නේ ඉන් බොහෝ පිටිපසින්. ලෝ පතළ අවුඩි, බෙන්ට්ලි, බුගාටි, ලැම්බෝර්ගිනි, පෝර්ෂේ, SEAT, ස්කෝඩා යන වාහන සන්නාමයන්ද අලෙවි වන්නේ ෆෝක්ස්වැගන් සමාගම යටතේ.

ෆොක්ස්වැගන් කර්මාන්තශාලාවක් ලංකාවේ?

වර්තමාන නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා ඔහුගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කළ ආකාරයට , ෆොක්ස්වැගන් කර්මාන්තශාලාවක් මෙරට පිහිටුවීම පිළිබඳ මුලින්ම අවධානය යොමු වෙලා තියෙන්නෙ 2008 දි. නමුත් විවිධ කරුණු හේතුවෙන් එය කරන්න ලැබිලා නැහැ. මේ බව ඔහුට දන්වලා තියෙන්නෙ ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපතිවරයා විසින්. ඒ 2015 ජනවාරියේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති බවට තේරී පත්වූවාට ටික දිනකට පසුවයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ සීමාසහිත සෙනොක් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම අතර ශ්‍රී ලංකාවේ කුළියාපිටියේ ෆොක්ස්වැගන් මෝටර් වාහන එකළස් කිරීමේ කර්මාන්තශාලාවක් සඳහා අදාළ ගිවිසුම අත්සන් තබන ලද්දේ 2015 වසරේ අගෝස්තු 13 වැනිදා. සෙනොක් ඔටෝමොබයිල්ස් යනු ෆොක්ස්වැගන් සමාගමේ මෙරට නියෝජිතයා වනවා. එමෙන්ම අවුඩි සහ සුබාරු සන්නාම සඳහා ද මෙරට නියෝජිතයා වන්නේ එම ආයතනයයි. මෙම සමාගම ලංකාවේ ලියාපදිංචි කර ඇත්තේ 1979 දී.

මේ අනුව මෝටර් රථ , SUV (Sport Utility Vehicles) සහ MUV (Multi Utility Vehicles) රථ මෙරටදී එකලස් කිරීමට බලාපොරොත්තු වුණා. එම වාහන ඩීසල් වාහන වනු ඇති බවයි සඳහන් වුනේ. සමස්ථ ආයෝජනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 26.5 ක් වූවා මෙන්ම එයින් මිලියන 21.5 ක් ප්‍රථම මාස 24 තුළ ආයෝජනය කරනු ලබන බව සඳහන් වුණා.

දුම් පරීක්ෂණ වංචාව හෙවත් “ඩීසල්ගේට්”

2015 සැප්තැම්බරයේදි ෆොක්ස්වැගන් සමාගමට මෑත කාළයේදී එල්ල වූ දරුණුම චෝදනාවක් ඇමරිකා එක්සත් ජනපදයේ පාරිසරික ආරක්ෂණ ඒජන්සිය (Environmental Protection Agency) විසින් එල්ල කෙරුණා. එයින් කියැවුණේ ඩීසල් වාහනවල දුම් පරීක්ෂණ නොමග යැවීමට සමාගම කටයුතු කර ඇති බවයි. සමාගමට එම චෝදනා සත්‍ය බව පිළිගැනීමට සිදු වූ අතර එය දැඩි අර්බුදයකට මුහුණ දුන්නා. මෙම සිද්ධිය ඇතැම් අය විසින් “ඩීසල්ගේට්” ලෙසද හඳුන්වනවා.

මේ සමගම ලංකාවේ ෆොක්ස්වැගන් කම්හලක් පිළිබඳ අවිනිශ්චිතතාවද වර්ධනය වුණා. කෙසේ වෙතත් රජයේ දේශපාලකයන් කිහිප විටකදීම කියා සිටියේ ෆොක්ස්වැගන් කර්මාන්තශාලාව කුලියාපිටියෙදී ඉදිකෙරෙනු ඇති බවයි. 2016 ඔක්තෝබර් 12 වනදා වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා මුල්ගල තබන උත්සවයේදී අධ්‍යාපන ඇමති සහ කුලියාපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ 2016 දෙසැම්බරයේදී අදාල කර්මාන්තශාලාවට මුල්ගල තැබෙන වගයි. පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළි කරන ලද්දේ “ෆොක්ස්වැගන්” කර්මාන්තශාලාව සඳහා 2017 ජනවාරි 3 වනදා මුල්ගල තබන බවයි.

වෙස්ටර්න් ඔටෝමොබයිල් කර්මාන්තශාලාවට මුල් ගල තැබීම (Maithripala Sirisena/Facebook)

ජනවාරි 3 වනදා මුල්ගල තබන ලද්දේ “වෙස්ටර්න් ඔටෝමොබයිල්” නම් කර්මාන්තශාලාවකටයි. ඒ සමඟම විපක්ෂය රජයට දරුණු චෝදනාවක් එල්ල කරමින් ෆොක්ස්වැගන් නමක් ඈඳා ජනතාව මුලාකරන ලද බවට ප්‍රකාශ කළා.

තම සමාගම ශ්‍රී ලංකාවේ එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් සඳහා කිසිදු ආයෝජනයක් සිදු නොකළ බව ෆොක්ස්වැගන් සමාගම විසින් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම චෝදනාව තවත් වැඩි වුනා. “ෆොක්ස්වැගන්” සමාගම පිළිබඳ රජය විසින් පුන පුනා ප්‍රකාශ කරන ලද හෙයින් ජනතාව අතර මැවුණ චිත්‍රය වුණේ එම සමාගම ආයෝජනයක් සිදු කරනු ඇති බවයි.

කෙසේ නමුත් කුලියාපිටිය ප්‍රදේශයේ අදාළ ආයතනය සම්බන්ධයෙන් ඇති ප්‍රවර්ධන දැන්වීම් පුවරුවල ෆොක්ස්වැගන් පිළිබඳ සඳහනක් නැහැ. මෙම වැරදි අවබෝධයට වගකිව යුත්තේ රජයේ ඇතැම් දේශපාලකයන් බව දැන් පැහැදිලියි.

උත්සවය දවසේ දැන්වීම් පුවරු (Akila Viraj Kariyawasam/Facebook)

සත්‍ය වශයෙන්ම ෆොක්ස්වැගන් සමාගම මෙහි ආයෝජනය සඳහා උනන්දුවක් දැක්වූ බවත් ඒ පිළිබඳ යම් යම් සාකච්ඡා කෙරුණ බවත් හර්ෂ ද සිල්වා මහතා ගෙන දැක්වූ කරුණු අනුව පැහැදිලි වෙනවා. නමුත් ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ට මුහුණදීමට සිදුවූ ආන්දෝලනාත්මක තත්ත්වයන් හේතුවෙන් එම සමාගමට ලංකාවේ ආයෝජනය කරන්නට නොහැකි වෙනවා.

මේ තත්ත්වය යටතේ හෝ කර්මාන්තශාලාව ආරම්භ කිරීම ඇත්ත වශයෙන්ම විශාල ජයග්‍රහණයක්. ඒ පිළිබඳ සත්‍ය තොරතුරු සඳහන් නොකිරීම රජය පැත්තෙන් සිදු වූ විශාල අනුවණකමක්.

ඊළඟට සිදු වන්නේ කුමක්ද?

ෆොක්ස්වැගන් සන්නාමයේ වාහන නොවුණත් වෙනත් සන්නාමවල වාහන මෙහිදී එකළස් වනු ඇති බව අපේක්ෂා කෙරෙනවා. වසර 3 ක කාළයක් සඳහා මෙහි එකළස් කරනු ලබන වාහන දේශීය වෙළඳපොළට අළෙවි කරනු ලබන අතර ඉන් පසුව ඒවා විදෙස් වෙළඳපොළවල් වෙත අපනයනය කිරීමේ ශක්‍යතාවයද මැන බලනු ලැබෙනවා. මෙහිදී සමාගමේ මූලික ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාව ආශ්‍රිත කලාපයේ විදෙස් වෙළඳපොළවල් සම්බන්ධයෙන් බව සඳහන්. ආයෝජන මණ්ඩලය විසින් වසර 8 ක් බදු සහන කාළයක් අනුමත කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය විවේචනය කරන්නන් සඳහන් කරන්නේ මෙය දේශීය ආයෝජනයක් වන බැවින් විදෙස් මුදල් ඉපැයීමක් සිදු නොවන බවයි. වසර තුනකට පසුව විදේශීය අපනයන සම්බන්ධයෙන් සමාගම අවධානය යොමු කරන බැවින් මෙම ව්‍යාපාරයෙන් විදේශීය විනිමය මෙරටට නොලැබේ යයි කරන චෝදනාව සාධාරණ නැති බවකුයි පෙනෙන්නේ.

අනෙක් අතට මෙයින් රටට වන අනෙකුත් වාසි පිළිබඳවද සළකා බැලීම වැදගත් වෙනවා. කර්මාන්තශාලාවේ පළමු කාර්යය වන්නේ මෝටර් රථ කාර්මික පුහුණුව ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය බව සඳහන්. ඒ අනුව රටේ පුහුණු ශ්‍රමිකයින් පිරිසක් බිහි වනවා. 3000 ක පමණ පිරිසකට සෘජු රැකියා අවස්ථා ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර තවත් වක්‍ර රැකියා 10,000 ක් පමණ උත්පාදනය වනු ඇතැයි අනුමාන කෙරෙනවා.

එමෙන්ම කුලියාපිටිය ප්‍රදේශයේ සංවර්ධනය සම්බන්ධයෙන් මෙම ආයතනය වැදගත් වනු ඇති බව සැකයක් නැහැ. මෑත කාළයේදී කුලියාපිටිය ප්‍රදේශයේ යටිතල පහසුකම්වල දියුණුව ඇරඹුණේ 2014 දැයට කිරුළ ප්‍රදර්ශනය හා සමගාමීව කෙරුණ සංවර්ධන ව්‍යාපෘති සමඟයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාළයේදීම කුලියාපිටිය රෝහලද නවීකරණය කෙරුණා. නව රජය විසින් වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය කුලියාපිටියේ පිහිටුවන්නට සූදානම් වන්නේ එම රෝහල ද ශික්ෂණ රෝහලක් බවට උසස් කරමින්.

අලුත් සමාගම එම ප්‍රදේශයේ දියුණුවට කෙලෙස දායක වේ දැයි අපට ඉදිරියේදී දැක ගන්නට හැකි වනු ඇති. ඒ ගැනත් ඉදිරියේදී ඔබට විස්තර ගෙන එන්නට අපි සුදානමින් ඉන්නවා.

කවරයේ පින්තුරය: වෙස්ටර්න් ඔටෝමොබයිල් එකළස් කිරීමේ කර්මාන්තශාලාව විවෘත කිරීම . (Akila Viraj Kariyawasam/Facebook)

Related Articles