Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රජාතන්ත්‍රවාදයේ බොඳවූ සිහිනය – මියන්මාරය

අද වන විට මියන්මාරයේ හමුදාව, අවුන් සාන් සූ කීගේ රජය එහි බලයෙන් පහකර, ඇයව නැවත නිවාස අඩස්සියට පත්කර ඇත. ඊට එරෙහිව එරට ජනයා වීදි බැස හමුදා පාලනයට එරෙහිව සටන් කරන තත්ත්වයකට පත්ව ඇත. හමුදාව හා පොදු ජනයා අතර ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් වයස අවුරුදු හතක දැරියක් ඇතුළුව තුන්සියයකට අධික පිරිසක් මියගොස් ඇති අතර, අත් අඩංගුවට පත් පිරිස දහසකට අධික ය. මේ ලිපියෙන් සොයා බැලෙන්නේ මියන්මාරයේ මෙම ගැටුමට පාදක වූ ඉතිහාසය හා ඒ හරහා වර්තමානයේ මතුවී එන භූ දේශපාලන ගැටුම් පිළිබඳව යි.

මියන්මාරය – ඉන්දියාවට හා චීනයට මැදිව/News Pakistan TV

 

ඉහත සිතියමේ දක්වා ඇති පරිද්දෙන්ම, මියන්මාරය, ඉන්දියාවට, බංගලාදේශයට, චීනයට, ලාඕසයට, තායිලන්තයට හා, බෙන්ගාල බොක්කෙන් වටවී ඇති රාජ්‍යයකි. 1989 දී එවකට පාලන බලයේ සිටි හමුදා රජය එකල මෙම රටේ නම වූ බුරුමය, “මියන්මාරය” ලෙස වෙනස්කරන ලදී. කෝටි පහකට අධික ජනගහනයක් ජීවත්වන මියන්මාරය ගිනිකොණදිග ආසියාවේ විශාලතම රාජ්‍යය යි. මියන්මාරයේ ජනගහනයේ 90%ක් පමණ බෞද්ධයන් වන අතර, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් අදහන්නන්ගේ ගණන 4% බැගින් වේ. 

මියන්මාරය යනු ස්වභාවික සම්පත්වලින් ගහණ රාජ්‍යයකි. ස්වභාවික වායු, ඛනිජ තෙල්, දැව, රත්රන්, ටින්, මැණික් වැනි සම්පත් එම රටෙන් සොයාගෙන ඇත. නමුත් මෙතරම් ස්වභාවික සම්පතින් අනූන මියන්මාරය එක්සත් ජාතීන්ගේ ඌණ සංවර්ධිත රටවල් ගණයට වැටේ. එම ලැයිස්තුවට ශ්‍රී ලංකාව අයත් නොවන අතර රුවන්ඩාව, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, සුඩානය උගන්ඩාව වැනි රටවල් අයත්වේ. දශකයේ මුල්භාගයේ ආසියාවේ පොහොසත් රටක් වූ මියන්මාරය මේ තත්ත්වයට පත්වීමට හේතු ලෙස විචාරකයින් දක්වන්නේ හමුදා පාලනය හා, දීර්ඝකාලීන සිවිල් යුධ තත්ත්වය නිසා ඇතිවී තිබෙන අධික දරිද්‍රතාවය හා ආර්ථිකයේ වර්ධනය නොවීම යි.

නිදහසේ සිට අද දක්වා

ශ්‍රී ලංකාවට හරියටම මාසයකට පෙර, එනම් 1948 ජනවාරි 4 දා, බුරුමය ඉංග්‍රීසීන්ගෙන් නිදහස්වී ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය. ඉන්පසු 1962 සිට 2011 දක්වා දශක පහකට ආසන්න කාලයක් මියන්මාරය පාලනය වුණේ හමුදා පාලනයක් යටතේ ය. ඉන් අනතුරුව, ඇමරිකාව හා යුරෝපීය රටවල්වලින් ආ දැඩි බලපෑම් හා සම්බාධක හමුවේ මියන්මාරය අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස පාලනය විය. 

2008 දී හමුදා පාලනය විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරුණු අතර එය හඳුන්වනු ලැබුවේ “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාර්ග සිතියම” ලෙස යි. එම ව්‍යවස්ථාවට අනුව, එතෙක් නිවාස අඩස්සියේ පසුවූ නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සූ කී එරට අගමැති තනතුරට සමාන “මියන්මාරයේ රාජ්‍ය උපදේශකවරිය” (අගමැති තනතුරට සමාන ය) ලෙස පත්විය. ඒ 2016 දී යි. එමෙන්ම ඇය 2016 සිට 2021 දී බලයෙන් පහ කෙරෙන තෙක්ම එරට විදේශ කටයුතු ඇමතිවරිය ද විය. 

මියන්මාරයේ නිදහසේ පියා ලෙස සැලකෙන ජෙනරාල් අවුන් සාන්ගේ දියණිය වන අවුන් සාන් සු කී, 2015 පැවති මැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය හරහා තරග වැද එම මැතිවරණය ජය ලැබීය. 

භික්ෂූන්වහන්සේ ද විරෝධතාවයේ/Buddhistdoor

 

මියන්මාර පාර්ලිමේන්තුව ඉහළ හා පහළ මන්ත්‍රණ සභාව ලෙස ද්විත්ව ක්‍රමයකින් පාලනය වේ. පහළ මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන් 440න් 330ක් සරල වැඩි ඡන්දයෙන් පත්වන අතර, ඉතිරි 110 පත්කෙරෙන්නේ එරට හමුදාව මඟිනි. ඉහළ මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීන් 224න් 168ක් සරල වැඩි ඡන්දයෙන් පත්වන අතර, ඉතිරි 56 දෙනා හමුදාවෙන් පත්කෙරේ. ඒ අනුව අර්ධ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ද හමුදාවට පාර්ලිමේන්තුවේ සැලකිය යුතු බලයක් හිමිවී තිබේ. 25%ක පාර්ලිමේන්තු බලයට අමතරව මැණික්, දුම්කොල, සංචාරක, ප්‍රවාහන වැනි ක්ෂේත්‍රවල අධිකාරී බලය ද හමුදාවට ලැබී තිබේ. ඊට අමතරව මියන්මාරයේ ආරක්ෂාව පිළිබඳව පූර්ණ ඒකාධිකාරී බලය ද හමුදාව සතු ය.

මේ සියල්ල මැද 2020 නොවැම්බර් 8 දා පැවත්වූ මියන්මාරයේ මහ මැතිවරණයෙන් අවුන් සාන් සූ කී නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය, කලින් තිබුණාට වඩා වැඩි බලයක් ලබා ජයග්‍රහණය කළේ ය. මෙම මැතිවරණයේ දී මැතිවරණ දූෂණ සිදූවූ බවට හමුදාව එරට මැතිවරණ කොමිසමට පැමිණිලි කළ ද, ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂ්‍ය නොමැති බැවින් එම චෝදනා ප්‍රතික්ෂේප විය. නමුත් හමුදාව බලය පැහැරගැනීමෙන් පසු එම චෝදනා යටතේ අවුන් සාන් සූ කීව නැවත නිවාස අඩස්සියට පත්කරනු ලැබීය. එම සරල චෝදනා පිටුපස ඇත්තේ වෙනත් කතාවකි.

මියන්මාර හමුදාව පාර්ලිමේන්තුව අත්පත් කරගත් අයුරු ව්‍යායාම පුහුණුකාරියකගේ වීඩියෝවක අහම්බෙන් සටහන් වූ අයුරු/ Aljazeera

 

 

මෙම මැතිවරණයේ දී අවුන් සාන් සූ කීගේ පාර්ශවයෙන් ජනතාව හමුවේ තැබූ ඡන්ද පොරොන්දුවක් වූයේ දේශපාලනයේ හා රාජ්‍යය පාලනයේ දී හමුදා සාධකය ඉවත් කිරීමට හෝ අවම කිරීමට නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගෙන එන බව යි.

මියන්මාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා මන්ත්‍රණ සභා දෙකෙහිම මන්ත්‍රීවරුන් 75%කගේ ඡන්දය අවශ්‍ය වේ (එය 70% දක්වා අඩු කළ යුතු බවට අවුන් සාන් සූ කී යෝජනා කර ඇත). අප කලින් සදහන් කළ පරිදි මියන්මාරයේ මන්ත්‍රීවරුන්ගෙන් 25%ක් හමුදාව මඟින් පත්කරනු ලබයි. 2020 පැවති මැතිවරණයෙන් අවුන් සාන් සූ කීගේ පක්ෂය ඉහළ මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීධුර 138ක් හා පහළ මන්ත්‍රීධුර 258ක් සමගින් බලය තහවුරු කරනු ලැබීය. එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය සඳහා අවශ්‍ය වන්නේ මන්ත්‍රීධුර 322ක් වුව ද අවුන් සාන් සූ කීගේ පක්ශය ආසන 396ක් ලබා ඇත. මියන්මාරයේ ප්‍රධාන විපක්ෂය වන, හමුදාවේ සහාය ලබන සහයෝගීතා හා සංවර්ධන පක්ෂය ආසන 33ක් දිනාගත්තේ ය. අවුන් සාන් සූකීට ව්‍යවස්ථා වෙනසක් සඳහා බලයක් පැහැදිලි බලයක් නැත. එහෙත් ඉතිහාසයේ පළමු වතාවට අවුන් සාන් සූ කී ව්‍යවස්ථා වෙනසක් ඇති කිරීම සඳහා එරට සුළු පක්ෂවලට ආරාධනා කළා ය. එමෙන්ම ප්‍රධාන විපක්ෂය එරට හමුදා පාලනය අවම කිරීම සඳහා සහාය දීමේ ප්‍රවණතාවක් මෑතක දී පෙන්නුම් කිරීමත් එරට හමුදා පාලනයේ හිතසුව පිණිස වූයේ නැත. 

මියන්මාරයේ හමුදා නායක ජෙනරාල් මින් අවුන්හට මෙම වසරේ දී වයස 55 සම්පූර්ණ වන අතර, එරට හමුදා නීතිය අනුව වයස 55 දී විශ්‍රාම යා යුතුව ඇත. ඒ අනුව ඔහුගේ බලය මෙම වසරේ දී අවසන්වීමට නියමිතව තිබිණි. මේ හේතු දෙකම නිසා එරට හමුදා මැතිවරණ දූෂණ ඉදිරියට දමා ගනිමින් ඡන්දයෙන් පත් වූ රජය පෙරලා දැමූ බවට නැගෙන තර්කය බිඳිය නොහැකිය. 

මේ වන විට එරට ජනයා විවිධ මාදිලියේ විරෝධතාවයන් පවත්වන අතර හමුදා රජයට ඊට අතිශය දරුණු ලෙස ප්‍රතිචාර දක්වා ඇත. අවුන් සාන් සූ කීට විවිධ චෝදනා එල්ලකර තිබෙන අතර, දුර මියන්මාරයේ සාමාන්‍ය ජනයාට අමානුෂීය ලෙස පහරදෙන දර්ශන ජාත්‍යන්තර මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය විය.

කොරෝනා මධ්‍යයේ විරෝධතාවයේ යෙදෙන මියන්මාර වැසියන්/Bloomberg

 

ජාත්‍යන්තරය

රෝහින්යා වැසියන්ගේ සමූලඝාතනයන් පිළිබඳව මියන්මාරයට චෝදනා එල්ලවන්නේ අද ඊයේ නොවේ. එරට ආරක්ෂාව පූර්ණ වශයෙන් හමුදාව සතු බැවින් රෝහින්යා ගැටළුව සම්බන්දයෙන් අවුන් සාන් සූ කීට මැදිහත් වීමේ හැකියාව ඉතා අවම වුව ද, විදේශ ආමාත්‍යවරිය ලෙස ඇය ජාත්‍යන්තර තලයේ දී එම ක්‍රියාමාර්ග සාධාරණීකරණය කිරීම හේතුවෙන් මුස්ලිම් රටවල් මියන්මාරයේ දේශපාලන පාර්ශවයන් දෙක කෙරෙහිම දක්වන්නේ නිෂේධනීය තත්ත්වයකි. 

ඉන්දියාව, මියන්මාරයේ හමුදාව සමග ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද, අවුන් සාන් සූකී සමග දේශපාලන ආරක්ෂක ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ගනුදෙනු කරනු ලැබීය. විශේෂයෙන්ම කිලෝමීටර 1643ක් වන ඉන්දීය – මියන්මාර දීර්ඝ දේශසීමාවල සිදුවන ගරිල්ලා කටයුතු මර්දනය කිරීමෙහි ලා මියන්මාර හමුදාව ඉන්දීය රජය සමග ඉතා කිට්ටුවෙන් ගනුදෙනුකර ඇත. එමෙන්ම කොරෝනා වසංගතයට එරෙහිව එන්නත් මිලියන 1.5ක් ඉන්දියාව මියන්මාර රජයට පරිත්‍යාගකර ඇත. හමුදා පාලනය ඇරඹීමෙන් අනතුරුව පවා ඉන්දියාව මියන්මාරය වෙත මානුෂිය ආධාර කරනු ලැබීය.

මියන්මාරයේ හමුදා පාලනයට චීනය සමග ඇත්තේ එතරම් සතුටුදායක රාජතාන්ත්‍රික සම්බන්දයක් නොවේ. මියන්මාර හමුදාව නිරන්තයෙන් චීනයට චෝදනා කරන ලද්දේ මියන්මාරයේ ත්‍රස්ත සංවිධානවලට හමුදා හා මූල්‍යමය ආධාර කරන බවට ය. එමෙන්ම මියන්මාරයේ උතුරු ප්‍රදේශයේ කචින් ප්‍රාන්තයේ, වෙනම රාජ්‍යයක් උදෙසා සටන්වදින ගරිල්ලා කණ්ඩායමට චීනයේ හමුදා පුහුණුව ලබාදෙන බවට ද චීනයට චෝදනා එල්ලවී ඇත. ඒ අනුව චීනයට මියන්මාරයේ හමුදා පාලනය එතරම් සුවදායක නොවනු ඇත. විශේෂයෙන්ම චීනය අවුන් සාන් සූ කී සමග ආර්ථික සම්බන්දතා වර්ධනය කරමින් පැවතියේ ය. මියන්මාරයේ හමුදා පාලනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් නිකුත්කළ ප්‍රකාශයට විරෝධය පළකර ඇති චීනය, අවුන් සාන් සූ කී නිදහස්කර නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යන ලෙස කරන ඉල්ලීම්වලට සහාය පළකර ඇත.

චීන -මියන්මාර රාජතාන්ත්‍රික හමුවක්/The Diplomat

 

ඉන්දියාවට හා චීනයට අමතරව බටහිර රටවල් ද මියන්මාර හමුදා පාලනය කෙරෙහි සිය අවධානය යොමුකර ඇත. අවුන් සාන් සූ කීගේ මියගිය ස්වාමි පුරුෂයා එංගලන්ත ජාතිකයකු වන අතර ඇයගේ දරුවන් ද බ්‍රිතාන්‍ය පුරවැසියන් ය. එම රටවල් පෙර ලෙසම සම්බාධක පනවා තිබේ. 

හමුදා පාලනයෙන් මියන්මාරය මුදාගැනීම තවදුරටත් කල් යන අතර මියන්මාරයේ සම්පත් කොල්ලකෑමේ එකායාන පරමාර්ථයෙන් හෙට දිනයේ දී බලවත් රාජ්‍යයන් කඩා වදිනු ඇත. ඒ අනුව මෙම හමුදා ක්‍රියාමාර්ගයන් නිසා මියන්මාරය හෙට දිනයේ ජාත්‍යන්තර භූ දේශපාලනයේ ගොදුරක් බවට පත්වීම වැලක්විය නොහැකිය. 

මූලාශ්‍රයයන්:
unctad.org/
aljazeera.com/
economictimes.indiatimes.com
reuters.com/
hindustantimes.com/
 
කවරයේ පින්තූරය: The Japan Times

Related Articles