කොවිඩ් මඩින්න ගහපු අලුත් ගැසට්ටුවේ නීති

නිරෝධායනය, නිරෝධායන ඇඳිරිනීතිය වැනි වදන් අපේ වදන් කෝෂයට එක්වූයේ කොවිඩ් 19 වසංගතය නිසා යි. කොවිඩ් වසංගතය සමග ජීවත්වීමට සෞඛ්‍ය අංශයන් උපදෙස් ලබා දුන්න ද, ඇතැමුන් ඒවා පිළිපදින බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. මහ මැතිවරණ සමයේ නම් නිරෝධායන නීති වැඩිදෙනෙකුට අමතක වී තිබුණා.  පසුගිය මාර්තු – අප්‍රේල් මාසවල රටටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබූ අතර, මේ ලිපිය පලකෙරෙන මොහොත වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් වසම 5කටත්, මුළු ගම්පහ දිස්ත්‍රික්කයටමත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක යි. සෑම දිනකම අපට මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබෙන්නේ ඇඳිරි නීති කැඩීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයන් සිය ගණනක් ගැන යි. මෙසේ නිරෝධායන නීති කඩන පුද්ගලයන් අත්අඩංගුවට ගත්ත ද ඔවුන්ට දඬුවම් ලබාදීමට පවතින නීතිය ප්‍රමාණවත් වී තිබුණේ නැහැ.

වසංගත තත්ත්වය බරපතළ අවදානමක් වෙද්දී මෙතෙක් වෛද්‍ය හා සෞඛ්‍ය අංශ ලබා දී තිබූ උපදෙස් නීති බවට පත් කරමින් නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ ඒ නිසා යි.

රජ කාලේ නිරෝධායනය 

උඩරට ප්‍රධානින් ලන්දේසින් සමග- verloren.nl

බෝවන වසංගත රෝගවලට එරෙහිව ගම් මට්ටමින් පවුල් හුදකලා කිරීම අපේ සමාජයේ පුරාණයේ පටන් පැවති සිරිතක්. පැපොල‍, කම්මුල්ගාය, සරම්ප ආදී රෝගවල දී පවුලේ අය වෙනම කාමරයක හුදෙකලා කෙරුණා. උඩරට රාජධානි සමයේ දී විදේශිකයන් වෙනම ස්ථානයක නිරෝධායනය කළ බව ලන්දේසි වාර්තාවල සදහන් වෙනවා.

ලන්දේසින් 1796 දක්වා සියවස් එකහමාරකට ආසන්න කාලයක් මෙරට මුහුදුබඩ පාලනය කළ අතර, වාර්ෂිකව උඩරට රජු වෙත තෑගිබෝග රැගෙන ගොස් තානාපති චාරිකා පැවැත්වීමේ සම්ප්‍රදායක් අනුගමනය කළා. එසේ පැමිණෙන ලන්දේසීන් හරහා රාජධානියේ අගනුවරට වසූරිය පැමිණෙන්නට ඉඩකඩ පවතීයැ යි මහ රජුට සැකයක් පැවතුණා. එබැවින් විදේශීය දූතයන් එක්වරම රාජධානියට වැද්ද නොගෙන යම් ස්ථානයක කාලයක් නවත්වා තබා අගනුවරට රැගෙන ඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා.

මහ රජ්ජුරුවන්ගේ නිරෝධායනය පැරණි උඩරට රජ මාවතේ මාවනැල්ලට නුදුරු අට්ටාපිටිය නවාතැනේ දී තමයි, ක්‍රියාත්මක කළේ. දූත පිරිසට එය ඍජුව දැනුම් නොදුන් අතර, රජු අගනුවර නොමැති බව ආදී විවිධ හේතු දක්වා ගමන පමා කෙරුණු බව ලන්දේසි වාර්තාවලින් පැහැදිලි වෙනවා.

ගාල්ලේ ලන්දේසි රෝහල- Wikipedia.com

1736 දී මහනුවරට දූත චාරිකාවක යෙදුණු ලන්දේසි ජාතිකයෙක් වූ යොහාන් වුල්න්ගැන්ග් හෙයිඩ්ට් සදහන් කරන්නේ දින 14ක් අට්ටාපිටියේ නැවතී සිටීමට සිදුවූ බව යි.  වර්ෂ 1750ට පෙර දූත පිරිස් සාමාන්‍යයෙන් රැඳී සිටි කාලය දින 16ක් හෝ 14ක් වුණා. 1742 දී රිචඩ් වැන් මික්ට දින 3කින් පිටත්වීමේ වරම ලැබුණා. 1739 දී රොබට් ක්‍රේමර් සති 5ක් මෙහි නැවතී සිටියා. 1739 දී උඩරටට යන යොහාන් ක්‍රිස්ටෝ ක්ලිබර්ට් මෙසේ ලියා තිබෙනවා: 

සිරිත් පරිදි උඩරට යන දූත පිරිසට අට්ටාපිටියේ දින කිහිපයක් නැවතී සිටින ලෙස දන්වන ලදී. මැනවින් වාතාශ්‍රය ඇති, සනීපදායක මෙහි රැඳීම මැනවැ යි රජු කල්පනා කර තිබුණි. පසුව දැනගත් ආකාරයට ප්‍රමාද කිරීමට හේතුව මගේ පිරිවරට වසූරිය වැළඳී ඇතැ යි සැක කර, රෝගය බෝවිය හැකි කාලය වෙන්කොට තැබීම යි.

වසූරිය 17 – 18 සියවස්වල යුරෝපයේ දස දහස් ගණනක් ජනතාව බිලිගත් වසංගතයක්. එම බියකරු රෝගය ලංකාවට පැමිණියේ පෘතුගීසි, ලන්දේසි වැනි ආක්‍රමණිකයන් සමග බවට මතයක් එකල පැවතුණා. පෘතුගීසි කාලයේදී (16 – 17 සියවස්) මෙරට මුහුදුබඩ ප්‍රදේශවල වසූරිය පැතිර ගියා. වර්ෂ 1581 දී සීතාවක රාජසිංහ උඩරට ආක්‍රමණය කළ විට, මන්නාරමේ පෘතුගීසි රැකවරණය පැතූ කරල්ලියද්දේ බණ්ඩාර රජු මියගියේ වසූරියෙන්.

සුද්දන් දැමූ නිරෝධායන නීතිය

බ්‍රිතාන්‍යයන්ගේ නිරෝධායන පනත – www.quarantine.health.gov.lk

ලන්දේසීන්ගෙන් පසුව මෙරට මුහුදුබඩ පළාත් ඉංග්‍රීසින් යටත් කර ගත්තා. 19 වැනි සියවසේ දී ලොව පුරා වසංගතවලින් දහස් ගණනක් ජනතාව මිය යන්නට පටන් ගත්තා. මේ නිසා 1897 අංක 03 දරන නිරෝධායන හා රෝග නිවාරණ ආඥා පනත (Quarantine and Prevention of Diseases Ordinance No.03 of 1897) එවකට සිටි ඉංග්‍රීසි පාලකයන් පැනවූවා. වසංගත සහ සියලුම බෝවන හෝ ආසාදන රෝග ශ්‍රී ලංකාව තුළත් ඉන් පිටතත් පැතිරීම වැළැක්වීම සඳහා යි මේ නීතිය හඳුන්වා දුන්නේ. එහි 2 වන වගන්තියට අනුව රෙගුලාසි සකස් කිරීමේ බලය සෞඛ්‍ය අමාත්‍යවරයාට හිමිවෙනවා.

මෙහි  13 වන වගන්තිය “රෝග” යන්න අර්ථ දක්වන්නේ “ස්පර්ශය මඟින් බෝවන, බෝවන හෝ වසංගත ස්වභාවයේ ඕනෑම රෝගයක්” කියල යි. නිරෝධායන පනත ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂිත කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා තවත් නීති ඇතුළත් කර 1925, 1933, 1946 සහ 1960 දී පනත සංශෝධනය කෙරුණා. මේ  පනත අනුව නිරෝධායන රෝගයක් කියන්නේ වසංගතය, කොළරාව, කහ උණ, සරම්ප සහ ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයකින් නියම කරන ලද වෙනත් රෝග යි.

පැරණි නීතිය ප්‍රමාණවත් නොවීම

නිරෝධායන නීති කැඩූ අවස්ථාවක්- news24.lk

සීඝ්‍රයෙන් බෝවෙමින් සමාජය අඩපණ කරන කොඩිඩ් කියන්නේ 2019 අගභාගයේ මතුවූ අලුත් රෝගයක් නිසා එය පාලනයට නීතිමය පියවර ගැනීමට පරණ නීතිය ප්‍රමාණවත් වූයේ නැහැ. මේ නිසා ඒ රෙගුලාසිවල අදාළතාවය පිළිබඳ සැකය මත සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පසුගිය මාර්තු මාසයේ 20 දා අතිවිශේෂ ගැසට් අංක 2167/18 මඟින් කොවිඩ්- 19 නිරෝධායන රෝගයක් ලෙස ලැයිස්තුගත කළා. කෙසේවුවත් අප සමාජයේ වැඩිදෙනෙක් නීති කඩන ආකාරය අනුව එයත් ප්‍රමාණවත් නොවන බව තමයි පැහැදිලි වුණේ. ඒ නිසා උද්ගතව ඇති තත්ත්වය හමුවේ කොරෝනා මර්දනය සඳහාම නිරෝධායන නීතියක් ගැසට් කරන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට ඔක්තෝබර් 5 දා උපදෙස් දුන්නා. අලුත් ගැසට් පත්‍රයේ කොඩිඩ් රෝගය පාලනයටම වෙන්වුණු නීති සහ දඬුවම් ද ඇතුළත්. මේ නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට දඬුවම් පැනවීමට ඒ නිසා හැකියාව ලැබෙනවා.

අලුත් ගැසට් එකේ දඬුවම්           

අලුත් ගැසට් පත්‍රය- deshaya.lk

 

විශේෂ නිරෝධායන නීති ඇතුළත් නව ගැසට් පත්‍රය පසුගිය ඔක්තෝබර් 15 දා නිකුත් කළා. ඒ සදහා පැරණි නිරෝධාන පනතත් පාදක කරගත්තා. අංක 2197/25 යටතේ නිකුත් කළ එම ගැසට් පත්‍රයේ නව නිරෝධායන නීති යටතේ, ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම යන ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නීතියක් බවට පත් කර තිබෙනවා. අදාළ සෞඛ්‍ය උපදෙස් සහ නීති කඩකරන පුද්ගලයන්ට රුපියල් 10,000කට නොවැඩි දඩයකුත් මාස 6ක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබා දීමට අධිකරණයට හැකියාව ලැබෙනවා. මේ නිසා දැන් සමාජයේ ගැවසෙන විට මුඛ ආවරණ නොපැළද සිටියොත් රු.10,000ක් දඩ කන්න සිදුවෙනවා.

ගම්පහ ඇඳිරි නීතිය නිසා පාලුවට ගොස් – runews.lk

මේ වනතෙක් අප රටේ කොඩිව් පොකුරු මතුවීමට සේවා ස්ථානවල නිසි සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිනොපැදීම හේතු වී ඇති බව පැහැදිලියි. නාවික හමුදා පොකුර සහ බ්‍රැන්ඩික්ස් පොකුර ඊට උදාහරණ සපයනවා. ගැසට් නිවේදනය අනුව ව්‍යාපාරික හා සේවා ස්ථානවලට ඇතුළු වන සෑම තැනැත්තකුම සෑම අවස්ථාවක දීම මුඛ ආවරණය පැළඳ සිටිය යුතු ය.

මුව ආවරණ අනිවාර්යයි – nbcnews.com

පුද්ගලයන් දෙදෙනකු අතර මීටර් එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගත යුතු ය. සේවා ස්ථානයකට ඇතුළු වීමට පෙර සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතු ය. විෂබීජනාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමට පහසුකම් සැලැස්විය යුතු ය. ආයතනයකට ඇතුළු වන ඕනෑම තැනැත්තකුගේ නම, හැඳුනුම්පත් අංකය සහ සම්බන්ධ කරගත හැකි තොරතුරු පිළිබඳ විස්තර ඇතුළත් නාමලේඛනයක් පවත්වාගෙන යාමත් අත්‍යවශ්‍ය කාරණයක්. සේවා ස්ථානවල උපරිම සේවා නියුක්තිකයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබාගැනීම වැළැක්වීම මෙකී නීති අතර ප්‍රධානත්වය ගන්නවා.

පොදු ස්ථානවල  හැසිරීම සහ සංචරණ සීමා

ගමක පීසීආර් පරීක්ෂණ කරමින් newindianexpress.com

සංචරණ සීමා, නිරෝධායන කටයුතු, ප්‍රවාහන කටයුතු යන විශේෂ කරුණුවලට අදාළ නීති තවදුරටත් ශක්තිමත් කිරීමට නව නිරෝධායන ගැසට් පත්‍රයේ රෙගුලාසි පනවලා. රෝගය බෝවීමට පොදු ස්ථානවල විනයක් නැති හැසිරීම බහුලව බලපාන බව අපට පේන කරුණක්. ගැසට් පත්‍රයේ පොදු ස්ථානය යනු අයිතිවාසිකමක් නැති, ගෙවීමක් කර හෝ නොකර ආරාධනයක් ඇතිව හෝ නැතිව මහජනතාවට ප්‍රවේශ විය හැකි ස්ථානයක් ලෙස අර්ථගන්වා තිබෙනවා. එවැනි ස්ථානවල දී කොරෝනා රෝගය ව්‍යාප්ත වීමට එරෙහිව මුඛ ආවරණ පැළඳීම හා මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවය තබාගත යුතු බවට නීති පනවා තිබෙනවා.

සමාජ දුරස්ථභාවය- weforum.org

එසේම කොවිඩ් රෝගියකු හෝ අවදානම් කලාපයක වාසය කරන කෙනෙක් නම් සංචරණය සීමා කිරීම කළ යුතුයි. ඒ අනුව රෝගියකු හෝ එවැනි සැකකරන අයකු ප්‍රතිකාර සඳහා හෝ නිරෝධායනය සඳහා රෝහලකට හෝ නිරීක්ෂණ ස්ථානයකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යාමට නියම කළ හැකියි. සංචරණ සීමා පැනවීමෙන් පසුව නිරෝධායනය වන නිවෙස හෝ ස්වකීය පරිශ්‍රය හැර රෝගී ප්‍රදේශයකට ඇතුළු වීම හා පිටවීම, රෝගී ප්‍රදේශයක් තුළ ඇති යම් පොදු ස්ථානයකට ගමන් කිරීම, ඇතුළු වීම සපුරා තහනම් වෙනවා. බලධාරීන් නිවේදනය කරන උපදෙස් අනුව රෝගී ප්‍රදේශවල පිහිටි ව්‍යාපාරික ස්ථාන හෝ ආයතන වසා තැබීම හෝ විවෘත කිරීම කළ යුතු යි. මෙයට අතශවශ්‍ය සේවා සපයන ආයතන හා සුපිරි වෙළෙඳසල් ඇතුළත්. කෙතරම් නීති දැම්මත් ඒවා ක්‍රියාත්මක වීමට නම් මහජනතා සහයෝගය අත්‍යවශ්‍ය යි. ඒ සදහා කවුරුත් සැලකිල්ලක් දැක්වීම කාටත් යහපත සැලසෙන ක්‍රියාවක් බව සිහියේ තබාගත යුතු වෙනවා.

Related Articles

Exit mobile version