අහිමිවූවන් සොයන මාපිය අරගලයේ දින දෙදහසක පියසටහන්

යුද්ධය නිමාවී මේ වනවිට අවුරුදු 14ක් ගත වෙලා. යුද්දෙ කාලෙ උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ගැටලුවමට විසඳුමක් ලබාදීමට මේ දක්වා රට පාලනය කළ ආණ්ඩුවලට හැකියාවක් ලැබී නැහැ. අතුරුදහන්වූවන්ගේ ඥාතීන් තවමත් තම දූ පුතුන්ගේ නැත්නම් සැමියාගේ පින්තූර අතේ තබාගෙන ඔවුන් එනතෙක් කඳුළු බොමින් බලා සිටිනවා.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට දින 2000 ක් ගතවීම නිමිත්තෙන් කිලිනොච්චියේ දී පසුගිය 12 වැනි දා විරෝධතාවක් පැවැත්වුණා. එයට දකුණේ නියෝජිතයන් රාශියක් ද එක්ව සිටීම විශේෂත්වයක්.

 විශාල පිරිසක් එක්වුණු පා ගමන – Rajkumar Rajeevnath facebook page

අතුරුදහන්වූවන් වෙනුවෙන් පා ගමනක්

කිලිනොච්චියේ කන්දසාමි කෝවිල ඉදිරිපසින් විරෝධතා පාගමනක් පසුගිය 12 වැනි දා ආරම්භ කළේ අතුරුදහන් වූ තම ඥාතීන් ගැන නිසි තොරතුරක් හෝ ඔවුන්ට සිදුවූ දේ පවසන ලෙස ආණ්ඩුවේ බලධාරින්ට බල කරමින්. මේ පා ගමනට එක්වූවන් කිලිනොච්චි කනකපුර මංසන්ධියේ ඉදිකර ඇති යුද හමුදා ස්මාරකය අසල දී විරෝධතාවක් පැවැත්වූවා. යුද්ධයෙන් අතුරුදහන්වූවන් ගැන දකුණේ වැඩිදෙනකුට දැන් අමතක යි. උතුරේ ඔවුන් වෙනුවෙන් අඛණ්ඩ උපවාසයක් දීර්ඝ කාලයක පටන් පැවතෙන බවත් වැඩිදෙනෙක් දන්නේ නැහැ.

අතුරුදහන්වූවන් සොයා දෙන ලෙසට බලධාරින්ගෙන් ඉල්ලීම් කරමින් දින 2000 ක් විරෝධතාවක නිරතවුව ද පත්වූ කිසිම රජයක් තමන්ගේ ගැටලුවලට විසඳුමක් සෙවීමට උනන්දු නොවුණූ බව යි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසන්නේ. අතුරුදහන්වූවන්ගේ ගැටලුව වෙනුවෙන් පිළිතුරු ලබාදෙන බවට ජාත්‍යන්තරය හමුවේ පවා රජය අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර තිබෙනවා. දැන් අසරණභාවයට පත්ව සිටින එම ඥාතින් ඉල්ලා සිටින්නේ අතුරුදහන්වූවන් පිළිබඳ තොරතුරු සොයා දෙන්නට හෝ එයට සාධාරණ විසඳුමක් ලබා දීම සඳහා ජාත්‍යන්තරය මැදිහත් ව කටයුතු කළ යුතු බව යි.

වන්දිවලින් දරුවන් ලැබෙනවද? – justiceinconflict.org

වන්දි එපා!

අතුරුදහන් කර සිටින සිය සමීපත ම ඥාතින් වෙනුවෙන් වන්දි මුදල් ලබා ගැනීම සහ මරණ සහතික ලබා ගැනීම දෙමළ මවුවරුන් දැඩි ව ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් එක හඩින් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනේනේ සිය සමීපතමයන්ට අත් වු ඉරණම හා ඊට වගකිය යුත්තන් වහා ම හෙළි කරන ලෙස යි.

“මේ අම්මලා තාත්තලා ගිහිල්ලා හමුදාවට පොලිසියට බාර දුන්නු දහස් ගණන් ළමයින් ඉන්නවා. ඒ බාර දුන්නු අය සම්බන්ධයෙන් ඉටුවුණු යුක්තිය කුමදක්ද ?” යි ප්‍රශ්න කළ ලංකා ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් යුක්තිය සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබා දෙන ලෙසත් එහිදී ඉල්ලා සිටියා.

 අතුරුදන්වූවන්ගෙන් කොටසක් – srilankabrief.org

 

දෙමළ මව්වරුන් එම අවස්ථාවේ දී ඉල්ලා සිටියේ යුද්ධය අවසාන වන්නට ආසන්න මොහොතේ සියතින් ම යුද හමුදාවට බාර දුන් දරුවන්ට අත්වු ඉරණම හෙළි කරන ලෙසයි.

අඛණ්ඩ අරගලයේ දෙදහස් වැනි දිනයට එක් ව සිටි මුලතිව්හි පදිංචි දෙමළ මවක් වන රන්ජනා දේවි සඳහන් කර සිටියේ “මේ අරගලයේ හැමෝ ම මැරිලා ඉතුරු වෙන අන්තිම කෙනා මං වුණත්, මං තනියම හරි මගේ දරුවාට යුක්තිය දිනාගන්න සටන් කරනවා.” කියලයි.

අඛණ්ඩ අරගලයේ දෙදහස් වැනි දිනය

මෙම පා ගමන සහ විරෝධතාවට උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සමඟ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන්, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්, අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය වන සන්ධ්‍යා එක්නැළිගොඩ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් රාශියක් ද පැමිණ සිටියා.

 මාපියන් දරුවන් ඉල්ලා නිහඬ උපවාසයක – latimes.com

උතුරේ මාපිය අඛණ්ඩ උපවාසය‍

දින 2000ක් එකදිගට උපවාසයේ යෙදීමෙන් ම පැහැදිලි වන්නේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට තම පුතා හෝ සැමියා තවමත් කෙතරම් වැදගත් ද යන කරුණ යි.  බලධාරින්ට එම වුවමනාව නැතිවීම නම් කනගාටුවක්. කොවිඩ් සමයේදී පවා උපවාස ස්ථානයේ එක අයකු බැගින් රඳවා උපවාසය අඛණ්ඩ ව පවත්වාගෙන යාමට අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කටයුතු කොට තිබුණා.

මෙම උපවාසය අනුගමනය කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල ද සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ වුණා. ඉන් පසුව කිලිනොච්චි නගරය මැද A9 මාර්ගය අසල  2017 මැයි 30 වැනි දා අඛණ්ඩ උපවාසයක් ආරම්භ වුණා.

ඥාති පිරිස පැදුරු එළාගෙන එම ස්ථානයේ නිදමින් නිහඬ විරෝධතාවයේ යෙදෙනවා. එතන සිටින වැඩි දෙනෙක් තම පුරුෂයන් සොයන බිරින්දෑවරුන් හෝ පුතුන් සොයන මවුවරුන් වෙනවා. කලාතුරකින් තම දරුවන් ගැන බලාපොරොත්තුවෙන් සිටින පියෙක් ද එතැන දකින්නට පුළුවන්.

 අතුරුදහන් දරුවන්ගේ පින්තූර රැගෙන විරෝධතාවේ – Jehan Appuhami facebook page

පුද්ගල අතුරුදහන් කිරීම් ලක්ෂයකට වැඩියි

පුද්ගල අතුරුදහන් කිරීම්, 1980 දශකයේ අග භාගයේ පටන් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් තම වාසියට යොදා ගත් මාතෘකාවක්. මානව හිමිකම් සංවිධානත් ඒ ගැන නිතර කතා කරනවා.

1988/89 කාල වකවානුවේ දකුණේ සිංහල තරුණයන් හැටදහසකට අධික පිරිසක් අතුරුදහන් විමෙන් හෝ ඝාතනයට ලක්වීමෙන් දිවි අහිමි වුණා. 1983 වසරේ සිට ගැටුම් පැවති කාලය දක්වා 65,000 ක පිරිසක් උතුරේ සහ නැගෙනහිර අතුරුදහන් වී ඇති බව සංහිඳියා කාර්යාලය පවසා සිටියා. ශ්‍රී ලංකාව පුද්ගල අතුරුදන් කරවීම් අතරින් ලොව දෙවැනි තැනට පත්වූ රට යි. උතුරේ සහ දකුණේ එම සංඛ්‍යාව ලක්ෂයකට අධික බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසනවා. ඒ අතරින් බහුතරයක් දෙමළ ජනතාව යි. මෙසේ අතුරුදහන් අයගෙන් වැඩි පිරිසක් ආණ්ඩුවේ හමුදා මඟින් වධ හිංසා කර මරා දමා ඇති බවට සැක කරනවා.

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ 1971, 1989 මෙන් ම 2009 යුද කාලයේ අතුරුදහන්වුවන්ගේ ඉරණම කුමක්දැයි පිළිතුරු ලබාදීමට සමාජයට නොහැකිවී ඇති බව යි. ඉන් පසුව අතුරුදහන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු කිහිප දෙනකුට ද වුණේ කුමක් දැයි තවමත් රහසක්.

 අගෝස්තු 12 විරෝධතා පෙළපාලියේ තවත් අවස්ථාවක්- Jehan Appuhami facebook page

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය

මෙසේ අතුරුදහන්වූවන් ගැන සෙවීමට මෛත්‍රී රනිල් ආණ්ඩුව 2018 පෙබරවාරි 28 වැනි දා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවූ නමුත් ඥාතීන්ට එක ම සමීපතමයකු හෝ සොයා දීමට එම කාර්යාලයට මේ තාක් හැකි වී නැහැ. ය මුල් කාලයේ දී යම් ප්‍රගතියක් අත්කර ගත්ත ද පසුව එය අක්‍රිය බවට පත්වුණා.

කොටින් පරාජය කිරීමෙන් පසු ව උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදුව ඇති අතුරුදහන් කිරීම් විමර්ශනය සඳහා රජය පරණගම කොමිසම පත් කළා. කොමිසමේ වාර්තාවෙන් යම් නිර්දේශ ඉදිරිපත් කළ අතර ඒවා ක්‍රියාත්මක කළ බවක් පේන්නෙ නැහැ.

“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට” ශ්‍රී ලංකාවත් අත්සන් තබනු ලැබුවේ 2016 මැයි මස 03 වැනි දින යි. 2016 ජූනි මස 24 වෙනි දින පටන් එම සම්මුතිය ශ්‍රී ලංකාව කෙරෙහි ද බල පැවැත්වෙනවා.

යුද සමයේ සිදු වූ දහස් ගණනක් අතුරුදහන් වීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියත් එය ක්‍රියාත්මක වුණු බවක් පේන්නට නැහැ.

කවරයේ ඡායාරූපය- අපේ දරුවන්ට මොකද වුණේ? -  www.vikalpa.org 

මුලාශ්‍ර:
bbc.com
dinamina.lk
hrw.org
pearlaction.org
justsecurity.org

Related Articles

Exit mobile version