Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොම්පෙයි නුවර අලුතින් ප්‍රදර්ශනය කෙරෙන බිතු සිතුවම

පොම්පෙයි නගරය ලොව පුරා ප්‍රසිද්ධව තිබෙන්නේ ඉතාලියේ ගිනි කන්දක් පුපුරා යාමෙන් විනාශ වූ රෝමන් නගරයක් ලෙස යි. ක්‍රිස්තු වර්ෂ 79 දී සිදු වූ බව සැලකෙන මෙම පිපිරීමෙන් පසු, විසූවියස් ගිනි කන්දෙන් නිකුත් වූ අළුවලින් නගරය වැසී ගිය අතර එහි කළ කැණීම්වලින් එකල රෝමන් නගරයක් කෙසේ පවතින්නට ඇතිදැ යි හොඳ අදහසක් ලබගැනීමට හැකිව තිබෙනවා.

පොම්පෙයි නගරයෙන් පසුගිය වසරේ දී සොයාගන්නා ලද බිතු සිතුවමක් මහජන ප්‍රදර්ශනය සඳහා මෑත දී විවෘත කරනු ලැබුණා. මෙය එහි රෙජියෝ V ප්‍රදේශයේ කැණීම් කටයුතු අතරතුර දී සොයාගන්නා ලද ලිඩා සහ හංසයා නම් ග්‍රීක පුරාවෘත්තය දැක්වෙන සිතුවමක් මෙසේ ප්‍රදර්ශනය කෙරෙනවා.

ලිඩා සහ හංසයා

ග්‍රීක පුරාවෘත්තයන්ට අනුව ලිඩා යනු ස්පාර්ටා රාජ්‍යයේ රජු වූ ටින්ඩේරියස්ගේ බිරිඳ යි. සියුස් දෙවියන් ලිඩා වෙත හංසයකු සේ පැමිණ ඇය හා සංසර්ගයෙන් ඇයට දරුවන් දෙදෙනකු ලැබෙනවා. එම දරුවන් වන්නේ හෙලන් සහ පොලිඩියුසස් යන දියණිය හා පුත්‍රයා යි​. ඒ සමගම ටින්ඩේරියස් විසින් ද ඇයව ගැබිණියක බවට පත් කර කැස්ටර් සහ ක්ලිටෙම්නෙස්ට්‍රා නම් පිරිමි සහ ගැහැණු දරුවන් ඇයට ලැබෙනවා. මෙසේ නිවුන් දරුවන් ලෙස උපදින සිව් දෙනාගෙන් දෙදෙනකු ටින්ඩේරියස්ගේ වන අතර අනෙක් දෙදෙන සියුස්ගේ වනවා.

මෙම මිත්‍යා කතාවේ විවිධ වෙනස් විස්තරයන් තිබෙනවා. ඇතැම් විස්තර අනුව සියුස් ලිඩා හා සංසර්ගයේ යෙදෙනුයේ බලහත්කාරයෙන්. එහෙත් ඇතැම් විස්තර අනුව ඔවුන් අතර එකඟතාවයෙන් මෙම ක්‍රියාව සිදු වනවා.

ට්‍රෝයිහි හෙලන් ලෙස ප්‍රකට වන්නේ මෙසේ සියුස් හේතුවෙන් ලිඩාට ලැබෙන හෙලන් බවයි මෙම මිත්‍යා කතාව අනුව කියවෙන්නේ. එමෙන්ම ක්ලිටෙම්නෙස්ට්‍රා පසු කලෙක අගමෙම්නන් රජුගේ බිරිඳ බවට පත් වනවා. ට්‍රෝජන් යුද්ධයෙන් පසු යළි සියරට බලා එන අගමෙම්නන් රජුව ඇය විසින් ඝාතනය කෙරෙන බව කියවෙනවා.

මයිකල් ආන්ජලෝ විසින් අඳින ලද සිතුවමේ පිටපතක් (Public Domain)

ලිඩා සහ හංසයා පිළිබඳ පුරාවෘත්තය පුනරුද සමයේ ද චිත්‍ර ගණනාවකට වස්තු විෂය වුණා. එයින් මයිකල් ආන්ජලෝ විසින් අඳින ලද සිතුවමක පිටපත වඩාත් ප්‍රකට යි. මෙහි මුල් චිත්‍රය අතුරුදහන්ව තිබෙනවා.

රෝමයේ ද මෙම පුරාවෘත්තය ප්‍රකට වූවක් බව පෙනී යනවා. මයිකල් ආන්ජලෝ ද සිය චිත්‍රය සඳහා පාදක කරගත්තේ රෝමන් චිත්‍ර බව යි විශ්වාස කෙරෙන්නේ. එම චිත්‍ර​, පොම්පෙයි හි හමුවූ චිත්‍රයට සමාන වන්නට ඇතැ යි විශ්වාස කෙරෙනවා.

පොම්පෙයි හි චිත්‍ර

පොම්පෙයි නගරය ක්‍රිස්තු වර්ෂ 79 දී සිදු වූ ගිනි කඳු පිපිරීමකින් විනාශ වූ අතර 18 වන සියවස දී එහි කැණීම් කටයුතු ඇරඹුණා. එහිදී, එකල​ සමාජය විසින් අශ්ලීලයැ යි සලකන ලද විවිධ චිත්‍ර සහ මූර්ති සොයාගනු ලැබුණා. මේ බොහොමයක් එකල නේපල්ස්හි කෞතුකාගාරයේ රහස් කුටියක සඟවනු ලැබුණා.

කියවන්න​: වික්ටෝරියානු සමාජය දෙදෙරවූ පොම්පෙයිහි කාමෝද්දීපන කලා නිර්මාණ

පොම්පෙයි මෙන්ම යාබද හර්කියුලේනියම් නගරයේ ද නටඹුන් අතර ලිංගික කාරණා පිළිබ්ඳ සිතුවම් සැලකිය යුතු ප්‍රමාණයක් දකින්නට ලැබුණා. මේවා වෛශ්‍යා නිවාස, තැබෑරුම් ආදියෙහි පමණක් නොව පුද්ගලික නිවාසවල ද දකින්නට ලැබීම විශේෂ යි.

අප අද විස්තර කරන ලිඩා සහ හංසයා සිතුවම ද සොයාගන්නා ලද්දේ එවන් නිවෙසක යි. මෙම නිවසේම මීට පෙර ද වැදගත් සොයාගැනීමක් සිදුකර තිබුණා. එනම් සරුභාවය පිළිබඳ දේවතාවා වන ප්‍රියාපස්, සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉතා විශාල වූ සිය ලිංගය, තරාදියක් මත තබාගෙන සිටිනු දිස්වන චිත්‍රය යි.

පොම්පෙයි හි ලිඩා සහ හංසයා (AFP/Getty Images)

කෙසේ වෙතත් මෙම ප්‍රියාපස් චිත්‍රයත් ලිඩා සහ හංසයා දැක්වෙන චිත්‍රයත් අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ප්‍රියාපස් දේවතා රූපය මෙම නිවසට ඇතුල්වන ස්ථානයේ කොරිඩෝවක දක්නට තිබෙන අතර ලිඩා සහ හංසයා චිත්‍රය ඇත්තේ ඇතුලත කාමරයක යි. සශ්‍රීකත්වයෙහි දෙවියන්ගේ රූප ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම රෝමන් සභ්‍යත්වය සමග ගැටුම් ඇති නොකළ බව යි පෙනී යන්නේ. මේ අතර අනෙකුත් චිත්‍ර ධනවතුන්ගේ නිවෙස්වල හෝ ගණිකා නිවාස ආදියෙහි ඇතුළත දක්නට ලැබුණ බව යි පෙනී යන්නේ.

එමෙන්ම රෝමන් ජනජීවිතය තුළ ග්‍රීක සහ රෝමන් දේවකතා කෙතරම් බලපෑමක් කරන්නට ඇතිදැ යි පෙන්නුම් කෙරෙන අවස්ථාවක් ලෙස ද අපට ලිඩා සහ හංසයා චිත්‍රය පෙන්නුම් කළ හැකි වනවා.

රෙජියෝ V ප්‍රදේශය 1960 දශකයෙන් පසු පොම්පෙයිහි විශාලම කැණීම් ව්‍යාපෘතිය සිදු කෙරෙන ස්ථානය යි. යුරෝපා සංගමය සහ ඉතාලි රජය මෙහි කැණීම් සඳහා වියදම දරනවා. රෙජියෝ V හි කැණීම් ඇරඹුණේ පසුගිය වසරේ යි. මෙම ප්‍රදේශයේ සමස්ථ භූමි ප්‍රමාණය අක්කර 54ක් වනවා. මීට අමතරව හර්කියුලේනියම් ප්‍රදේශයේ ද කැණීම් කටයුතු සිදුවෙමින් පවතිනවා.

රෙජියෝ V හි කැණීම් කටයුතු (National Geographic)

ලිඩා සහ හංසයාගේ සිතුවම මහජන ප්‍රදර්ශනයට විවෘත වීමත් සමග පොම්පෙයි පිළිබඳ නව උද්‍යෝගයක් ජනතාව අතර ඇතිවනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා. එමෙන්ම රෙජියෝ V ප්‍රදේශයේ කැණීම්වලින් පොම්පෙයි පිළිබඳ මෙතෙක් නොදත් කරුණු ද අනාවරණය වනු ඇතැ යි විශ්වාස කෙරෙනවා. පසුගිය දිනෙක හමුවූ එක් බිත්ති සටහනක් මඟින් පොම්පෙයි හි විනාශයට හේතු වූ ගිනි කඳු පිපිරීම ක්‍රි.ව​. 79 අගෝස්තුවේ නොව ඔක්තෝබරයේ දී සිදු වූයේයැ යි මතයක් ඇතිවීම එවැනි එක් සිදුවීමක්.

මේ අතර, ලිඩා සහ හංසයා චිත්‍රය මෙන්ම ප්‍රියාපස්ගේ චිත්‍රය ද වැඩි ආරක්ෂාව උදෙසා ඒවා දැන් තිබෙන ස්ථානවලින් ඉවත් කර කෞතුකාගාරයක තැන්පත් කිරීම පිළිබඳ ද බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

Cover Image: පොම්පෙයි හි ලිඩා සහ හංසයා සිතුවම එය හමුවූ නිවසෙහි දිස්වන අයුරු (AFP/Getty Images)

Related Articles