යුරෝපා වාරණය මැදත් ජයට විකිණෙන රුසියානු තෙල්

රුසියා – යුක්‍රේන අර්බුදය ආරම්භ වී අදට (02) මාස 5කට වැඩි කලක් එනම් දින 156ක් සම්පුර්ණ වෙයි. මෙහිදී අමෙරිකාව, යුරෝපය ඇතුළු රටවල සහාය යුක්‍රේනයට පක්ෂ ව ප්‍රකාශ කෙරිණි. යුක්‍රේන ජනාධිපති ව්ලැඩ්මීර් සෙලන්ස්කි ලෝක බලවතුන්ගෙන් සිදු කළ ප්‍රධාන ඉල්ලීමක් වුයේ රුසියානු විදේශ ඉපයීම් නතර කරන්නට කටයුතු කළ යුතු බව ය.

ඊට ප්‍රධානත ම හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ රුසියාවට යුද්ධය කිරීමට මුදල් ලැබෙනුයේ අපනයන මඟින්  වන අතර එම අපනයන ආදායමින් වැඩි ප්‍රතිශතය බලශක්තිය එනම් ගෑස්, බොරතෙල් මත පදනම් වන නිසා එම අපනයන සඳහා සම්බාධක පැනවිය යුතු බව ය. මෙම බලශක්ති අපනයනය රුසියානු අපනයන අදායම්වලින් 40% – 50% අතර ප්‍රතිශතයක් හිමි කර ගනියි. කෙසේ වෙතත් ඩොනේට්ස් හා ලුහාන්ස්ක් යන යුක්‍රේන ප්‍රදේශ නිදහස් ප්‍රදේශ ලෙස රුසියාව ප්‍රකාශ කිරීමත් සමඟ යුරෝපා සම්බාධක රුසියාව වෙත එල්ල විය.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම

යුද්ධය ආරම්භ වීමත් සමඟින් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම නිසා සම්බාධක නිසා සිර ව තිබූ තම තෙල් වෙළෙඳාම යථාවත් කර ගැනීම සඳහා රුසියාව උපක්‍රමශීලී පියවරක් අනුගමනයට පෙලැඹිණි. රුසියාව තම ඉන්ධන අපනයන සඳහා වට්ටම් ලබා දීම ආරම්භ කිරීම එම උපාය විය. මෙම වට්ටම් ලබා දීම ගැන ලෝකයට එතරම් පැහැදිලි අදහසක් මුල දී මතු නොවී ය. ඉන්දීයාව හා රුසියාව අතර ඉන්ධන මිලදී ගැනීම් පිළිබඳව සාකච්ඡා ආරම්භ වන්නේ ඒ  අතරතුරේදී ය. 2022 මාර්තු 13 වනදා දෙරටේ ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් අතර පැවති සාකච්ඡා සාර්ථක කරමින් රුසියානු තෙල් වට්ටමක් සහිත ව ලබා ගැනීමට ඉන්දියාවට හැකිවිණි.

 චෙන්නායි හි පිරවුම්හලක තෙල් බැරල් -www.gettyimages.com 

 

මෙම වට්ටම කොපමණ ප්‍රමාණයකින් ලබා දෙන්නේ ද යන්න ගැන මුලින් කරුණු හෙළි නොවුණත් පසු ව යුරල් මිල දර්ශකය යටතේ ඩොලර් 35ක වට්ටමකට, එනම් යුද්ධයට පෙර පැවති මිලට ම ඉක්දියාවට තෙල් ලබා දීමට රුසියාව තීරණය කළේ ය.

 මෙම මිලදී ගැනීම් ඉන්දියාව සාධාරණිකරණය කළේ ඉන්දියාව හා රුසියානු සම්බන්ධතාවන්හි දිර්ඝකාලින ඉතිහාසය ගැනත් මේ මොහොතේ ඉන්දියාවට පවතින අර්ථික අපහසුතාත් සඳහන් කරමිනි. ඉන්දියාව සිදුකරන මෙම ගනුදෙනුව පිළිබඳ ව අමෙරිකානු ධවල මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවේදී ද ප්‍රශ්න කෙරුණු අතර එහිදී ධවල මන්දිර ලේකම් ජෙනෝ සාකි ප්‍රකශ කර සිටියේ විවිධ ආර්ථික දුෂ්කරතා සහිත රටවල ආර්ථික අපහසුතා පිළිබඳ ව ධවල මන්දිරයට ද වැටහීමක් තිබෙන බව ය.  

ඉන්දියාවට රුසියානු තෙල් බැරල් මිලියන 28ක්

ඉන්දියාව ගෙවුණු මාර්තු මාසයේ දී රුසියානු තෙල් බැරල් මිලියන 3ක් පමණ ආනයනය කළඅතර අප්‍රේල් මාසයේ දී එය බැරල් මිලියන 7.2ක් දක්වාත්, මැයි මාසයේ දී ආනයනය කළ තෙල් බැරල් ප්‍රමාණය මිලයන 24ක් දක්වාත් ඉහළ ගොස් තිබිණි.  සංඛ්‍ය ලේඛන අනුව ජුනි මාසය වන විට ඉන්දියාවේ රුසියානු බොරතෙල් ආනයන බැරල් මිලියන 28දක්වා ඉහළ ගොස් තිබිණි. ඉන්දියාව රුසියානු බොරතෙල් මිලදී ගැනීමෙන් රුසියාවට යුක්රේනය සමඟ යුද්ධ කිරීමට මුදල් සපයනවා නොවේදැයි ඉන්දියානු විදේශ කටයුතු ඇමතිවරයාගෙන් කිහිපවිටක් බටහිර ජනමාධ්‍ය ප්‍රශ්න කළ ද එයට පිළිතුරු ලබා දුන් ඉන්දීය විදේශ ඇමතිවරයා විමසා සිටියේ ඉන්දියාව රුසියානු බොරතෙල් මිලදී ගැනීමෙන් රුසියාවට යුද්ධය සඳහා මුදල් ලබා දෙන්නේ නම්, යුරෝපය ද රුසියානු ගෑස් මිලදී ගෙන යුද්ධය සඳහා මුදල්  ලබා දෙනවා නොවේද යන්න ය. 

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් -www.gettyimages.com 

ඊළඟට රුසියානු බොරතෙල් වට්ටම් ලබා ගැනීම අතින් වාසි ලබන්නේ චීනය යි. චීනය මුල සිට ම රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීම ගැන දැරුවේ නිහඩ පිළිවෙතකි. යුද්ධය ආරම්භයට පෙර රුසියානු ජනපතිවරයා පෙරබරවාරි 4 වැනි දා චීනයේ පැවති 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙලට සහභාගිවීමට චීනයේ සංචාරයක නිරත වූ අතර එහි දී දෙරටේ නායකයෝ ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ව නව යුගයක් ආරම්භවන බව ප්‍රකශ කර සිටියහ.  

චීනයට වට්ටම් සහිත ව රුසියානු බොරතෙල් 

මෙය තායිවාන අර්බුදය නිසා චීනය අනුගමනය කරන ක්‍රියාවලියක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පැවසූහ. මිට පෙර සිට ම රුසියානු ගෑස් ලබා ගැනීම පිළිබඳ ව ගිවිසුමකට චීනය පිවිස සිටි අතර ගෙවුණු අප්‍රේල් මාසයේ සිට චීනය ද වට්ටමක් සහිත ව රුසියානු බොරතෙල් මිලදී ගැනීම අරම්භ කළ බව පෙනී යයි. 2022 වසර ආරම්භයේ දී චීනය, රුසියානු බොරතෙල් ආනයනය කිරීම -%9ක පහළ යාමක් පෙන්නුම් කෙරිණි.

 එනමුදු අප්‍රේල් මාසයේ සිට චීනය රුසියානු බොරතෙල් ආනයනය ක්‍රමිකව වැඩි කරන්නට පටන් ගෙන තිබිණි.  මාර්තු මාසය වන විට චීනය රුසියානු බොරතෙල් ආනයනය %6කින් වර්ධනය කළේ තෙල් බැරල් මිලියන 1.51ක් ආනයනය කරමිනි. අප්‍රේල් මාසය ඇතුළත ඩොලර් බිලියන 746.1ක වටිනාකමකින් යුතු රුසියානු ඉන්ධන නිෂ්පාදන චීනය මිලදී ගෙන තිබිණි. මෙම වැය අප්‍රේල් මාසයේ දී ඩොලර් බිලියන 747.1ක් ලෙස වර්ධනය විය. ජුනි මාසය වන විට සෞදි අරාබිය ද පසුකරමින් චීනයට වැඩියෙන් ම බොරතෙල් අපනයනය`කරන රට බවට පත්වීමට රුසියාවට හැකි විය. ඒ ජුනි මාසය වන විට බොරතෙල් ටොන් මිලියන 8.42ක් එරටට අපනයන කරමිනි.

චීන රුසියානු ජනාපති හමුව පෙබරවාරි
චීන රුසියනු ජනපති හමුව –   asia.nikkei.com

 රුසියාව චීනයට ගෑස් අපනයනය සිදු කිරීම ද කරන අතර සක්හලින් 2 ගෑස් නළ ව්‍යාපෘතිය යටතේ චීනය 2022 මැයි මාසය වන විට රුසියානු ගෑස් ආනයනය 2021 වසරට වඩා 56%ක වැඩිවීමක් දක්නට ලැබිණි. මෙම ගනුදෙනු බොහෝදුරට යුවාන් මුදල් ඒකක මත පදනම් ව සිදු කෙරිණි.

යුරෝපා සංගමයේ පරස්පර අදහස්

මෙම කාලසීමාව තුළ රුසියානු බොරතෙල් මිලදී ගැනීම් යුරෝපය ඉතා අඩුමට්ටමක පැවතිණි. ඒ යුරෝපය මුල සිට ම රුසියාව යුක්‍රේන ආක්‍රමණය කිරීමට විරුද්ධ වීම නිසා යුරෝපය රුසියානු බලශක්ති අපනනයන්ට සම්බාධක දැමීමත් සමඟ ය. මේ සම්බන්ධයෙන් මාර්තු මාසය පුරා යුරෝපා සංගමය සිටියේ විවිධ පරස්පර අදහස් මත ය. බොහෝ යුරෝපා රටවල් රුසියානු ගෑස් මත යැපෙන තත්වයකට පත්ව තිබුණ ද, යුක්‍රේන අර්බුදය නිසා ඔවුහු රුසියානු තෙල් හා ගෑස් ආදී ආනයන තහනම් කිරීමට යෝජනා කළහ.

මෙම යෝජනා ඉදිරියට ගෙන යාමට සහාය දීමට ප්‍රංශය, ජර්මනිය, හංගේරියාව ඇතුළු රටවල් අදිමදි කරන තත්වයක් ඇති විය. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් 2022 පෙබරවාරි 07 වනදාත් ජර්මානු  චාන්සර්ලර් වරයා වන ඔලාෆ් ෂෝ  2022 පෙබරවාරි 15 වනදාත්  රුසියානු සංචාරවල නිරත වුයේ රුසියානු යුක්‍රේන – ගැටුම වලක්වා ගැනීමේ අරමුණිනි. 

ජර්මානු චාන්සෙලර් වරයා හා රුසියානු ජනපති හමුව
ජර්මානු චාන්සලර්වරයා හා රුසියානු ජනපති හමුව පෙබරවාරි 15 – www.lowyinstitute.org

 විශේෂයෙන් ජර්මනිය විශාල ලෙස රුසියානු ගෑස් මත යැපෙන රටක් වීම නිසා ය. හිටපු ජර්මානු චාන්සෙලර් ශුඩර් ගේ රුසියානු සංචාරය ද අසාර්ථක වූවක් විය. කෙසේ වෙතත් එය අසාර්ථකවීමත් සමඟ තුළ රුසියානු තෙල් ගෑස් සඳහා සම්බාධක දැමීමට යුරෝපා සංගමය යොමුවිය. මැයි මාසය වනතෙක් ඒ පිළිබඳව තිබුණේ ඉතාමත් දැඩි නොඑකඟතාවකි.

ජර්මනිය මෙන් ම හංගේරියාව ද තමන් රුසියානු තෙල් හා ගෑස් මිලදී ගත යුතු බව ප්‍රකාශ කළහ. කෙසේවෙතත් ජර්මනිය පියවරක් ඉදිරියට යමින් රුසියානු තෙල් හා ගෑස් ප්‍රවාහන නොර්ඩ්ස්ට්‍රීම් 2 ගෑස් නළ පද්ධතියේ වැඩ කටයුතු නවතා දැමුණු අතර සෙසු යුරෝපා රටවල් ද රුසියානු ගෑස් හා බොරතෙල් මිල දී ගැනීම ක්‍රමානුකූල අඩුකිරීමක් සිදු කළේ ය.

ප්‍රංශ රුසියානු ජනපති හමුව
 ප්‍රංශ ජනාධිපති හා රුසියානු ජනපති හමුව – reuters.com

ගෙවීම් රූබල්වලින් සිදු කළ යුතු බවට නියෝග

මේවනවිටත් 2022 පෙබරවාරිවල ආසන්න ලෙස තෙල් බැරල් මිලියන 5ක් වූ යුරෝපයේ රුසියානු තෙල් ආනයනය මැයි මස වනවිට බැරල් මිලියන 2 දක්වා පහත වැටිණි. රුසියාවට 6වන වටයේ සම්බාධක දැමීමත් සමඟ මැයි මාසයේ දී රුසියානු තෙල් අපනයනය 75%කින් පමණ අඩාල කළ හැකිබව යුරෝපා සංගමය පවසා තිබිණි.

රුසියාව මෙම සම්බාධකවලට පිළිතුරු ලබා දුන්නේ රුසියානු බොරතෙල් හා ගෑස් ආනයනය කරන සියලු සතුරු රාජ්‍යයන් සිය ගෙවීම් රූබල්වලින් සිදු කළ යුතු බවට ප්‍රකාශ කරමිනි. මෙහිදී හංගේරියාව රූබල්වලින් ම ගෙවීම් සිදු කිරිමට කැමැත්ත පළ කිරීම යුරෝපා සංගමයේ රටවල් අතර පවතින බෙදීම පෙන්වන්නක් විය. 2022 ජූනි මාසය වනවිට රූබලය ඩොලරයට සාපේක්ෂ ව 80 පමණ සිට 53 දක්වා මට්ටමකට ශක්තිමත් වීමක් දක්නට ලැබිණි.

 එය එම කාලය තුළ ඩොලරයට සාපේක්ෂ ව ශක්තිමත් වූ එක ම මුදල් ඒකකය ලෙස හඳුනා ගැනිණි. කෙසේවෙතත් යුරෝපා රටවල් මෙම අවුරුද්ද අවසානය තෙක් රුසියාවෙන් බොරතෙල් හා ගෑස් මිලදී ගන්නා ප්‍රමාණය ක්‍රමානුකුලව අඩුකරමින් අවසන මිලදී ගැනීම් අවසන් කරනු ඇත.

ජර්මනිය පියවරක් ඉදිරියට යමින් නොර්ඩ්ස්ට්‍රීම් 2 ගෑස් නළ පද්ධතිය වසා දැමීය – www.gettyimages.com 

 

මීළඟට රුසියානු තෙල් මිලදී ගන්නා කලාපය වන්නේ මැද පෙරදිග කලාපය යි. මෙය ඇතැම් විට ඔබ පුදුමයට පත් කරවනු ඇත  මන්ද ඔවුන් තෙල් නිපදවන කලාපයක් වන බැවිනි. ඔවුන්ද  රුසියානු බොරතෙල් මිලදී ගනී. ප්‍රථමයෙන් ම මෙහිදී සෞදි අරාබිය, රුසියානු බොරතෙල් මිලදීගැනීමට පෙලබුණු අයුරු පෙන්වා දිය හැකි ය.

රුසියාවේ හා සෞදියේ බැඳීමේ තරම

ඔවුන් රුසියානු බොරතෙල් ආනයනය කළේ තම බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට ය. මෙහිදී 2022 අප්‍රේල් මාසයේ සිට ජුනි මාසය දක්වා සෑම දිනක ම තෙල් බැරල් 48000ක් සෞදි අරාබියට ආනයනය කළ බව නාවික දත්ත වාර්තා පෙන්වා දෙයි. ඊජිප්තුව දිනකට රුසියානු තෙල් බැරල් 70000 බැගින් මිලදී ගත් අතර සෞදිය ඊජිප්තුවෙන් ද තෙල් ආනයනය කළේ ය. මෙය 2022 ජූලි මාසයේ දී මැදපෙරදිග කලාපයේ සංචාරයක ෙයදුණු අමෙරිකා ජනපති ලද පරාජයක් ලෙස විචාරකයෝ දකිති. එය ඕපෙක් සංවිධානයේ ප්‍රබලයන් වන රුසියාවේ හා සෞදියේ බැඳීමේ තරම ද පෙන්වයි. සෞදියට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද රුසියානු බොරතෙල් ආනයනය වැඩි කළ බව කිව යුතු වේ.

ප්‍රංශය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර බලශක්ති ගිවිසුම අත්සන් කිරීම – aljazeera.com

 සෞදිය ජුලි මාසයේ සිට මෙම ආනයන දෙගුණ කිරීමට පියවර ගෙන ඇත. මෙහිදී ඩුබායි රජය වැඩිවශයෙන් බොරතෙල් ආනයනය කළේ තම පිරිපහදු සඳහා ය. එම ආනයන අප්‍රේල්වලට සාපේක්ෂව මැයි මාසයේ දී 125%කින් වැඩිවුණු බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එය බැරල් මිලියන  2.5 ක වැඩිවීමකි.  ප්‍රංශ ජනාධිපති ඩුබායි රාජ්‍යයේ මැයි මස දී සංචාරයක නිරතවුණු අතර ඩුබායි රජවූ මොහොමඩ් බින් සයිද් ජුලි 17 වනදා ප්‍රංශයේ සංචාරයක නිරත විය. මෙහිදී තෙල් ආනයනය ගැන වැඩි වශයෙන් සාකච්ඡා පැවැත්වුණු අතර ජූලි 19 වැනි දා දෙරට ඒ සම්බන්ධව ගිවිසුමකට එළඹිණි.   

 රුසියාවෙන් ලබා ගත් බොරතෙල් ඩුබායි රාජ්‍යය ප්‍රංශයට ප්‍රතිඅපනයනය කරනු ඇතැයි වාර්තා වේ.   මිට අමතර ව පාකිස්තානය ද ජුලි මස සිට රුසියානු තෙල් මිලදී ගැනීම පිළිබඳ ව සලක බලමින් සිටින අතර එහි ප්‍රගතිය මෙතෙක් නිශ්චිත ව වාර්තා වී නැත. 

ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙක් මෙරටට පැමිණි බව ද පසුගිය දාමේ අතර වාර්තා විණි. රුසියානු තෙල් සමාගමක් වසර දෙකක ණය පහසුකම් මත ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමට ඔවුන් එකඟතාව පළ කර ඇති බවට තොරතුරු වාර්තා විය.  

රුසියානු තෙල් සහ ගෑස් ජර්මනියට සැපයෙන නොර්ඩ් ස්ට්‍රීම් 1 නළ පද්ධති වසා දැමීම -www.gettyimages.com 

 www.consilium.europa.eu 

 timesofindia.indiatimes.com 

 energy.economictimes.indiatimes.com 

 www.youtube.com 

www.reuters.com 

 www.france24.com 

 foreignpolicy.com 

 www.cbsnews.com

 www.spglobal.com 

 www.businessinsider.in 

 www.aljazeera.com

Related Articles

Exit mobile version