පසුගිය දින කිහිපයක් තිස්සේ නුවර ආශ්‍රිත ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් ඉතිරි වූයේ අමිහිරි මතකයන් පමණයි. පිරිසක් අහිංසක සාමාන්‍ය ජනතාව බිය ගන්වමින් ඔවුන්ගේ දේපල විනාශ කරමින් අසාමාන්‍ය වින්දනයක් ලබන්නට උත්සුක වෙද්දී, මිනිසත්කම පෙරදැරි කරගත් උතුම් මිනිසුන් පටු ජාති-ආගම් භේද පසෙකලා අසරණ වූ ජනතාවට උදව් උපකාර කරන්නටත්, සියළු දෙනා අතර සහජීවනය ඇති කරන්නත් කටයුතු කරන අන්දම දැකගත හැකි වුණා. විශේෂයෙන්ම මුස්ලිම් ආගමික බැතිමතුන්, සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු බෞද්ධ ගිහි පිරිස් විසින් මෙවැනි වැඩසටහන් සංවිධානය කර තිබුණා. අසරණ වී සිටි මුස්ලිම් ජනතාවට නොපැකිලව උපකාර කරන්නටත් ඇතැම් සිංහල පවුල් කටයුතු කර තිබීම පැසසිය යුතු දෙයක්. වැඩි දෙනෙකුගේ අවධානය යොමුවූ එවැනි ආදර්ශවත් ක්‍රියාකාරකම් කිහිපයක් ගැනයි මේ තොරතුරු.
සිංහල ජනතාවගේ සහයෝගය ලැබුණු දිගන පල්ලියේ ආගමික වතාවත්
ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දිගන මස්ජිදූන් නූර් ජුම්මා මස්ජිඩ් දේවස්ථානය මුළුමනින්ම විනාශ වී ගොස් තිබුණා. ගොඩනැගිල්ලේ එක් පැත්තක කොටසක් ඉතිරි වී තිබූ අතර සිකුරාදා දේව මෙහෙය එම කොටසේ සිදු කිරීමට ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව තීරණය කළා. එහෙත් ගොඩනැගිල්ල අවදානම් තත්ත්වයක තිබිය දී ජනතාව ඊට ඇතුළු වීම නුසුදුසු බව ආරක්ෂක නිලධාරීන් විසින් පෙන්වා දීමෙන් අනතුරුව එළිමහනේ යාඥාව සිදු කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණා.
මුස්ලිම් බැතිමතුන් ආගමික වතාවත් සිදු කළේ පාසල් ක්‍රීඩා පිටියේ සහ සහ මහමඟ යි. අවට වාසය කරන සිංහල ජනතාව ආගමික වතාවත්වල නිරත වන ජනතාවට අවශ්‍ය ජලය සපයමින් සහයෝගය පල කරනු ලැබුවා. යාඥාව අවසන් වන තෙක්ම භික්ෂුන් වහන්සේලා මෙන්ම සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිට තිබෙනවා. ජාතික භික්ෂු පෙරමුණ ඇතුළු සංවිධාන කිහිපයක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.
මේ අතර නිවෙස් විනාශ වී තිබූ මුස්ලිම් පවුල් සඳහා සිංහල පවුල් විසින් නවාතැන් ලබා දෙනු ලැබුවා.
දිවා රෑ නොබලා මුස්ලිම් පල්ලි හා ජනතාව ආරක්ෂා කළ නෙල්ලිගල හිමි
තෙල්දෙණිය නගරය ගිනිබත් වෙද්දී භීතියෙන් ආරක්ෂාව පතා දිව යන මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්නට හිමිනමක් මුල් වී කටයුතු කළා. ඒ, බෞද්ධ මධ්‍යස්ථානය නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියන්. උන්වහන්සේ දිගන ප්‍රදේශයෙන් ආරම්භ වී මහනුවර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලත් ජාතිවාදී ගැටුම් පැතිරෙමින් තිබුණු අවස්ථාවක, සිංහල ගම්වලට මැදිව පිහිටි දෙහිගම, මුරුතලාව, කුරුගම, හා දෙහිඅංග යන ප්‍රදේශවල වෙසෙන මුස්ලිම් ජනතාව භීතියෙන් තැති ගෙන සිටි අවස්ථාවක, අඟහරුවාදා රාත්‍රියේ සිය සහෝදර භික්ෂුන් වහන්සේ ඇතුළු ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමග මුස්ලිම් ජනතාව රැක ගැනීම සඳහා ආරක්‍ෂක වැඩපිළිවෙළක් දියත් කරනු ලැබ තිබුණා.
සංවිධානාත්මක පිරිස් පිටින් පැමිණ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට පහර දෙන්නට සූදානමකින් පසුවන බව වාර්තා වූ නිසා අඟහරුවාදා රාත්‍රී 9 සිට බදාදා එළිවෙන තෙක් ඒ ස්ථානවලට ගොස් ප්‍රදේශ ආරක්ෂා කිරීමට පියවර ගත් බව වතුරකුඹුරේ ධම්මරතන හිමි මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.
“අවස්ථා හතරක දී ප්‍රහාර එල්ලකරන්න සුදනම් වෙද්දී ඒවා සාර්ථකව වළක්වන්න අපට හැකි වුණා. එක් අවස්ථාවක දී ඉක්මනට පොලිසිය ගෙන්නා ගත්තා. ඊට අමතරව ඔවුන් ස්ථානගත වෙලා ඉන්න තැනට ගිහිල්ලා මේකේ තියෙන බරපතල කම, අසීලාචාර කම ඔවුන්ට පහදලා දීලා ඔවුන් ඒකෙන් මුදවා ගැනීමට අපිට හැකි වුණා.”
එම ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි 15ක් පමණ තිබෙන අතර එම පල්ලි කිසිවකට හානියක් නොවන අයුරින් ආරක්ෂා කර ගැනීමට එම භික්ෂූන්වහන්සේ පියවර ගෙන තිබුණා.
රත්මලාන මුස්ලිම් පල්ලිවලට වැඩම කළ භික්ෂූන් වහන්සේ
රත්මලාන විහාරස්ථාන කිහිපයක නායක හිමිවරුන් සහ භික්ෂූන් වහන්සේලා පිරිසක් රත්මලාන පිහිටි මුස්ලිම් පල්ලි සියල්ලටම සිකුරාදා යාඥාව අවස්ථාවේ වැඩම කළා. ජාතීන් හා ආගම් අතර අර්බුධකාරී තත්ත්වයක් මතුව ඇති අවස්ථාවක ආගමික නායකයින් අතින් සිදුවිය යුතු කාර්යභාරය පිළිබඳව අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිකර ගැනීමෙන් පසුව, එහි පළමු පියවර වශයෙනුයි මුස්ලිම් පල්ලිවලට වැඩම කිරීමට භික්ෂූන් වහන්සේලා තීරණය කර තිබුණේ.
රත්මලාන ජුම්මා පල්ලියට වැඩම කළේ රත්මලාන මල්ලිකාරාමයේ විහාරාධිපති රනස්ගල්ලේ ඥාණවීර, රත්මලාන-අත්තිඩිය පාරේ ලංකාරාම අධිපති රාගල පඤ්ඤාසේකර, රත්මලාන බෝධිරුක්ඛාරාම අධිපති රත්මලානේ රාහුල, රත්මලාන කොතලාවල බෞද්ධ මන්දිරයේ අධිපති මාපලගම බුද්ධසිරි, රත්මලාන රජ මාවත විහාරාධිපති කදුරුදුව ගුණාලංකාර යන හිමිවරුන්. මුස්ලිම් පල්ලියේ ආගමික වතාවත් සිදු වන අන්දම දැකබලාගත් ස්වාමින් වහන්සේලා ජාති ආගම් වශයෙන් එකමුතුව සිටීමේ වැදගත්කම ගැන අදහස් පළ කළා.
භික්ෂූන් වහන්සේගේ වැඩම කිරීමෙන් සතුටට පත් මුස්ලිම් බැතිමතුන් උන්වහන්සේලාට සුදු රෙදි ඇතිරූ ආසන සූදානම් කරන්නටත්, ගිලන්පස පිළිගන්වන්නත් කටයුතු කර තිබුණු අතර, ඉස්ලාම් ආගමික වතාවත් සිදුකෙරෙන අන්දමත් හිමිවරුන්ට දැකගන්නට අවස්ථාව ලැබුණා. මෙහිදී අදහස් දැක්වූ භික්ෂූන් වහන්සේ උපතින් මම සිංහලයෙක් වෙන්නටය, මම මුස්ලිම් කෙනෙක් වන්නටය, මම දෙමළ කෙනෙක් වන්නටය කියා කිසිවෙකු මෙලොවට පැමිණියේ නැති බවත්, එකම ධජයක් යට සියළු දෙනා සාමකාමීව වාසය කළ යුතු බවත් පෙන්වා දුන්නා.
මෙම වැඩසටහන සංවිධානය කිරීමට පෙරමුණ ගත් ඥාණවීර හිමියන් සහ ඉර්ෂාඩ් හිල්මි මොහොමඩ් මවුලවිතුමා ප්‍රකාශ කළේ මේ සංවාදය මෙතනින් නොනැවතී දිගටම ගෙන යන්නට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම ස්ථිරසාර විසඳුමක් වශයෙන් මසකට වරක් ආගමික පූජකවරුන් වශයෙන් එක් තැනකට රැස් වන්නටත් මුස්ලිම් හා බෞද්ධ නායකයන් එකඟතාව පළ කර තිබුණා.
පැය 12න් ගොඩනැගුණු මදීනා හෝටලය
ආනමඩුව මදීනා හෝටලයට ගිනි තබා තිබුණේ ඉරිදා පාන්දර දෙකට පමණ යි. පසුදිනම හෝටලය නැවත පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ වූයේ ඒ සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ ව්‍යාපාරිකයින් සහ ප්‍රදේශයේ ජනතාව නිසයි. ආනමඩුව වෙළඳ සංගමය ඇතුළු සියල්ලන්ම එක්ව එකාවන්ව පැය 12කටත් වඩා අඩු කාලයකින් මදිනා හෝටලයේ වහලය ඉදිකර, හිමිනමක් ද ඇතුළු සිංහල මුස්ලිම් ජනතාව එක්ව, ආහාර ද්‍රව්‍ය ගෙනවිත් හෝටලය විවෘත කර සාමූහිකත්වය පෙන්වූවා.
හෝටලයට ගිනි තැබූ දිනට පෙර දින (සෙනසුරාදා) සවස 3ට ආනමඩුව ද.මු. දසනායක ක්‍රීඩාංගනයට රැස්වන ලෙස සිංහල බෞද්ධ දේශප්‍රේමීන්ට කැඳවීමක් ලැබී තිබුණු අතර 21 දෙනෙකු ඊට සහභාගී වී තිබුණු බව වාර්තා වුණා. ඉන් බහුතරය සිටියේ උසස් පෙළ හා සාමාන්‍ය පෙළ වසරවල ඉගෙනගන්නා දරුවන් බව පැවසෙනවා. හෝටලය ගිනි තබන්නට පැමිණි හත් දෙනාගෙන් හතර දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආණමඩුවේ 90%ක්ම වාසය කරන්නේ සිංහල බෞද්ධ ජනතාව වුවත් වාසනාවකට එම ජනතාව කරා අන්තවාදය පැතිර ගියේ නැහැ.
Cover – Facebook
මූලාශ්‍ර:
අහමඩ් රිසාන්
dinamina.lk