ස්ලොවීනියාවේ ජාතික වීරයන් වන ගිනි නිවන භටයෝ

ස්ලොවීනියාව යනු පැරණි යුගෝස්ලාවියාවට අයත් වූ කුඩා සමූහාණ්ඩුවක්. වර්ග කිලෝමීටර් 20,273ක් විශාල රාජ්‍යයක් වන එහි ජනගහනය මිලියන 2කට වඩා ස්වල්පයක් වැඩියි. ඒ රටේ 150,000ක් පමණ වූ පිරිසක් ස්වේච්ඡා ගිනි නිවන භටයන් ලෙස කටයුතු කරන බව සඳහන් වනවා. එය රටේ ජනගහනයෙන් දළ වශයෙන් සියයට 7කට ස්වල්පයක් වැඩි ප්‍රතිශතයක්. ස්ලොවීනියාවේ විශාලම ස්වේච්ඡා සංවිධානය වන්නේ ද ගිනි නිවන භටයන්. එමෙන්ම ඒ රටේ ගිනි නිවන භටයන්ට විශාල පිළිගැනීමක් තිබෙනවා. ස්ලොවීනියානුවන්ගේ වීරයින් වන්නේ ඔවුන්යැ යි පැවසීමේ කිසිදු වරදක් නැහැ.

ඉතිහාසය

ස්ලොවීනියාවේ ගිනි නිවන සේවාවෙහි ඉතිහාසය වසර 140ක් පමණ ඈතට දිවෙනවා. ස්ලොවීනියාව ඔස්ට්‍රියානු අධිරාජ්‍යයේ කොටසක්ව පැවති සමයේ දී එහි ගිනි නිවන සේවය ඇරඹුණා. මේ හේතුව නිසාම ස්ලොවීනියාවේ ගිනි නිවන සේවය ඔස්ට්‍රියාවෙහි ගිනි නිවන සේවය සමග සමාන ලක්ෂණ පෙන්නුම් කරනවා.

ස්ලොවීනියාවේ නිල ගිනි නිවන සේවයක් තිබෙනවා. මීට ස්වල්ප කලකට පෙර ගිනි නිවන දෙපාර්තමේන්තු 34ක් යටතේ නිල ගිනි නිවන සේවා සංවිධානය වී තිබුණා. ඉන් 13ක් ප්‍රධාන නගර ආශ්‍රිතව පිහිටුවා තිබුණ අතර ඉතිරිය විවිධ ප්‍රධාන ආයතන​, ගුවන් තොටුපලවල් ආදිය ආශ්‍රිතව පිහිටුවා තිබෙනවා. සමස්ථ නිල ගිනිනිවන සේවයේ දහසක පමණ පිරිසක් සේවය කරනවා.

කලින් කලට ස්ලොවීනියාවේ දේශපාලන හැල හැප්පීම් සිදු වුණා. පළමු ලෝක යුද්ධයෙන් පසු යුගෝස්ලාවියාව බිහි වීම​, 1940 ජර්මන් ආක්‍රමණය​, කොමියුනිස්ට් යුගෝස්ලාවියාවේ කොටසක් බවට පත් වීම​, 1991 දී කෙටි කාලීන යුද්ධයකින් පසු ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීම යන සිද්ධීන් එයින් ප්‍රධාන වනවා. මේ සමස්ථ කාලය තුළම පාහේ ගිනි නිවන සේවය ක්‍රියාත්මක වූ අතර අවශ්‍ය පරිදි ජනතාවට සේවය කළා.

ස්වේච්ඡා ගිනි නිවන්නන්

ස්වේච්ඡා ගිනි නිවන්නන් සිටින්නේ නිල ගිනි නිවන භටයින්ට​ අමතරව යි. ඔවුන් විවිධ රැකියාවල නිරතවන අය යි. සාමන්‍ය ගින්නක් හෝ වෙනත් අවශ්‍යතාවක දී ප්‍රධාන ගිනිනිවන භටයන් ක්‍රියාත්මක වන අතර අවශ්‍ය පරිදි ස්වේච්ඡා ගිනි නිවන භටයන් කැඳවනු ලබනවා.

ස්ලොවීනියාවේ ගිනි අනතුරු එතරම් සිදු වන්නේ නැහැ. නමුත්, ජල මූලාශ්‍ර බහුල​, කඳුකර රටක් වන ස්ලොවීනියාවේ ජල ගැලීම් සහ හිම කඳු කඩා වැටීම් ආදී විවිධ අනතුරු සිදු වනවා. මීට අමතරව වෙනත් හදිසි අවශ්‍යතා ද විටින් විට මතුවනවා.

ගිනි නිවන්නන්ගේ තරගයක අවස්ථාවක් (Firefighter Combat Challenge Slovenija/Facebook) 

ස්වේච්ඡා ගිනි නිවන්නන් හදිසියේ කැඳවනු ලබන්නේ අවශ්‍යතාව පරිදි යි. යම් අවස්ථාවක ඔවුන්ගේ සහය අවශ්‍යය වේ නම් ප්‍රදේශයේ අදාල ගිනි නිවන සේවය විසින් ඔවුන්ට කැඳවීම කෙරෙනවා. එය සිදුවන්නේ ඔවුනගේ ජංගම දුරකථනය හරහා යි.

කෙසේ වෙතත් ස්වේච්ඡා ගිනි නිවන්නන් ද සාමාන්‍ය ගිනි නිවන්නන් මෙන්ම පුහුණුවකට යොමු කෙරෙනවා. ඒ අනුව ඔවුන් ද සුදුසුකම් ලැබූ ගිනි නිවන්නන් මිස උපකාර අවශ්‍ය විට කැඳවන පුරවැසියන් පමණක් නොවෙයි.

අනෙක් අතට​, ස්වේච්ඡා ගිනි නිවන්නන් කිසි ලෙසකින්වත් නිල ගිනි නිවන භටයන්ට තර්ජනයක් හෝ තරගයක් හෝ නොවේ. ඔවුන් ක්‍රියාත්මක වන්නේ නිල ගිනිනිවන භටයින්ට සහායක බල ඇණියක් ලෙස යි.

ජනතාව සමග

ස්වේච්ඡා ගිනි නිවන භටයන්ට වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් දේශපාලනික සංවිධානයක් නොවේ. ඔවුන් තමන් ජීවත්වන සමාජයේ සුරක්ෂිතතාව සඳහා දායක වන පිරිසක් ලෙස පිළිගැනෙනවා. එමෙන්ම තමන් ජීවත්වන ප්‍රදේශයේ ජනතාව සමග සහයෝගීතාව​ ගොඩනැගීම සඳහා ගිනි නිවන්නන් ක්‍රියාකාරීව දායක වනවා.

ගිනි නිවන්නන් දේශීය වශයෙන් විවිධ තරග, ගිනි නිවීම් පෙරහුරු ආදිය පවත්වනවා. එමෙන්ම ඔවුන් ප්‍රදේශයේ ළමුන් සමග ද කටයුතු කරමින් කුඩා කාලයේ සිටම ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා.

මීට අමතරව ස්ලොවීනියාවේ සෑම ගම්මානයකම පාහේ වසරකට වරක් පවත්වන විශේෂ උත්සවයක් වන්නේ “ගිනි නිවන භටයන්ගේ දිනය” යි. එම දිනයේ දී ස්වේච්ඡා ගිනි නිවන භටයන් විසින් ගමේ ජනතාවට සාදයක් පවත්වනවා. නැටුම්, ගැයුම්, වැයුම් සහිත සුවිශේෂී දිනයක් ලෙස එදින කටයුතු සිදු වනවා.

ස්වේච්ඡා ගිනි නිවන භටයන්ගේ මෙවැනි සමාජීය කටයුතු සඳහා අරමුදල් ලැබෙන්නේ එම ප්‍රදේශයේ ජනතාවගෙන්. රටේ ජනතාව සහ ස්වේච්ඡා ගිනි නිවන්නන් අතර ඇත්තේ ඉතා යහපත් බැඳීමක්.

අගමැති මර්යාන් ෂරෙච් (slovenskenvoice.si)

ස්වේච්ඡා ගිනි නිවන භටයන් ලෙස විවිධ පුද්ගලයන් කටයුතු කරනවා. වත්මන් අගමැති මර්යාන් ෂරෙච් ද කලක් ස්වේච්ඡා ගිනි නිවන භටයකු ලෙස සේවය කර තිබෙනවා.

අලුත් තත්ත්වයන්

මෑත කාලීනව ස්ලොවීනියාව මුහුණ දුන් අභියෝගයක් වූයේ සංක්‍රමණික ප්‍රශ්නය යි. විශේෂයෙන් බෝල්කන් ප්‍රදේශයෙන් සංක්‍රමණිකයන් පැමිණෙමින් සිටිය දී මේ තත්ත්වය බරපතල ප්‍රශ්නයක් බවට පත් වුණා. කුඩා හමුදාවක් සිටින​, කුඩා රටක් වන ස්ලොවීනියාවට මෙම තත්ත්වයට මුහුණ දීම පහසු වූයේ නැහැ.

මේ අවස්ථාවේ බොහෝ කටයුතු සිදු කරන ලද්දේ ගිනි නිවන භටයන් විසින්. ඔවුන් සංක්‍රමණිකයන්ගේ මූලික අවශ්‍යතා සොයා බලා කටයුතු කළා. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය මාර්ගෝපදේශනයන් ද ලබා දුන්නා. මෙම කටයුතු සඳහා ද බොහෝ විට භාවිතා කළේ මහජනතාව විසින් ලබාදුන් ආධාර යි.

Cover Image: ස්ලොවීනියා ගිනි නිවන භටයින් පිරිසක් (Balkan Insider)

Related Articles

Exit mobile version