අන්ත දක්ෂිණාංශික පිබිදීම සහ ස්පාඤ්ඤ මහ මැතිවරණය​

ස්පාඤ්ඤයේ වසර හතරක් තුළ පවත්වන ලද තුන්වන මහ මැතිවරණය අප්‍රේල් 28 වන දා පවත්වනු ලැබුණා. මෙහිදී ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂය (PSOE) ඉදිරියෙන් සිටි නමුත් ඔවුනට තනිව රජයක් පිහිටුවීමේ හැකියාවක් නැති තත්ත්වයක් මතුව තිබෙනවා. අනෙක් ප්‍රධාන වාමාංශික පක්ෂය වන PODEMOS සමග එක්ව වුව ද රජයක් පිහිටුවීමට PSOE පක්ෂයට අවස්ථාව හිමි නොවන තත්ත්වයක් ඇති අතර, මේ හේතුවෙන් දුර්වල රජයක් ස්පාඤ්ඤයේ බිහි වීමේ අවකාශය දිස් වනවා.

මෙම මහ මැතිවරණයේ දී සිදු වූ වැදගත්ම පෙරළිය නම් අන්තවාදී දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක් ලෙස සැලකෙන Vox (හඬ​) පක්ෂය පාර්ලිමේන්තුවට තේරී පත්වීම යි. එම පක්ෂය ආසන 24ක් දිනාගත්තේ සියයට 10ක ඡන්ද සමග යි. 1975 දී ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ මරණින් පසු පැවති මැතිවරණවල දී අන්ත දක්ෂිණාංශික පක්ෂයක් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු අවස්ථාව ලෙස ද මෙම අවස්ථාව ඉතිහාසගත වනවා.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශාල උද්‍යෝගයක් පැවතියා (AP)

යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරණයට මාසයකට අඩු කාලයක් තිබෙන හෙයින් ස්පාඤ්ඤ මහ මැතිවරණය පිළිබඳව ලෝකයේම අවධානය යොමු වුණා. පවතින තත්ත්වයන් හේතුවෙන් ස්පාඤ්ඤයේ ද මෙම මැතිවරණය පිළිබඳ විශාල උද්‍යෝගයක් දකින්න තිබුණා. සියයට 75ක පමණ පිරිසක් ඡන්දය භාවිතා කිරීමෙන් ඒ බව පැහැදිලි වෙනවා.

මැතිවරණ ප්‍රතිඵල

මැතිවරණ ප්‍රතිඵල අනුව ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 350න් 123ක් දිනා ගත්තා. දූෂණ චෝදනා හේතුවෙන් පසුබා සිටි ප්‍රධාන දක්ෂිණාංශික පක්ෂය වන ජනතා පක්ෂය ලබාගත්තේ ආසන 66ක් පමණයි. ඒ සියයට 16.7ක ඡන්ද ප්‍රතිශතයක් සමග යි. මෙය 1989 දී එම පක්ෂය පළමු වරට මැතිවරණයකට ඉදිරිපත් වූ පසු ලබාගත් දුර්වලම ප්‍රතිඵලය ලෙස වාර්තා වුණා.

ජනතා පක්ෂයේ පසුබෑමෙන් වැඩි වාසි පක්ෂය විසින් ලබාගත් බව පෙනෙන අතර ඔවුනට ආසන 24ක් ලැබී තිබෙනවා. මේ අතර ජනතා පක්ෂයේ පසුබෑම දක්ෂිණාංශික පක්ෂයක් වන සියුඩඩනෝස් (පුරවැසියෝ) පක්ෂයට ද වාසිදායක වුණා. ඔවුන් ද සියයට 15.9ක ප්‍රතිශතයක් ඡන්ද ලබාගෙන ආසන 57ක් දිනාගත්තා.

Vox පක්ෂ අනුගාමිකයන් පිරිසක් (Reuters)

මේ අතර වාමාංශික PODEMOS පක්ෂයට දිනාගත හැකි වූයේ ආසන 42ක් පමණයි. කලින් පාර්ලිමේන්තුවේ ආසන 71ක් ඔවුන් සතු වුණා. වසර කිහිපයකට පෙර ආර්ථික අවපාතය තුළින් ජනතාවාදී පක්ෂයක් ලෙස මතු වූ මෙම පක්ෂය වාමාංශික ප්‍රබෝධය පිළිබඳ එක් නිදර්ශනයක් ලෙස විචාරකයින් සහ විශ්ලේෂකයින් විසින් අධ්‍යයනය කරනු ලැබූ පක්ෂයක්. නමුත් මෙවර මැතිවරණයේ දී ඔවුන් පසුබැස ඒ වෙනුවට ප්‍රධාන අවධානය Vox පක්ෂය වෙත යොමු වුණා.

කැටලෝනියාව සහ සංක්‍රමණිකයෝ

ස්පාඤ්ඤ මහ මැතිවරණයේ දී මෙවර මතු වූ ප්‍රධානම කාරණා දෙක නම් කැටලෝනියාවේ ස්වාධීනතාව පිළිබඳ විවාදය සහ සංක්‍රමණික ප්‍රශ්නය යි. කැටලෝනියාව තුළ ස්වාධීනතා ව්‍යාපාරය පසුගිය වසර කිහිපය තුළ දී ශක්තිමත් වනු දකින්නට ලැබුණා. ඊට ද හේතු වූයේ පසුගිය වසරවල ස්පාඤ්ඤය මුහුණ දුන් ආර්ථික අවපාතය යි. ස්පාඤ්ඤ රජයේ ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් උපයන​, වඩා ධනවත් ප්‍රදේශයක් ලෙස කැටලෝනියාව සලකන්න පිළිවන්. එහෙයින් එම ප්‍රදේශයේ ස්වාධීනතාව ඉල්ලන පිරිස් කියා සිටින්නේ වඩා දිළිඳු ස්පාඤ්ඤ ප්‍රදේශයන් වෙනුවෙන් සිය ආදායම වියදම් කරනු වෙනුවට​, ස්පාඤ්ඤයෙන් වෙන් වන්නේ නම් වඩා යහපත් අනාගතයක් තමන්ට නිර්මාණය කරගත හැකි බව යි.

2018ට පෙර ස්පාඤ්ඤ අගමැති වූ ජනතා පක්ෂයේ මරියානෝ රයෝයි කැටලෝනියා ස්වාධීනතා ව්‍යාපාරයට එරෙහිව දැඩි පියවර ගැනීමට කටයුතු කළා. කෙසේ නමුත් 2018 දී විශ්වාසභංග යෝජනාවකින් රයෝයි පරාජය වීමෙන් පසු සමාජවාදී කම්කරු පක්ෂයේ පේද්‍රෝ සන්චේස් අගමැති තනතුරට පත් වූ අතර ඔහු පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගැනීමට කැටලෝනියාවේ ප්‍රාදේශීය පක්ෂවල ද සහය ලබාගත්තා. මෙය දක්ෂිණාංශික පක්ෂ වීසින් විවේචනය කෙරුණා.

මරියානෝ රයෝයි 2018 දී විශ්වාසභංග යෝජනාවක් මගින් බලයෙන් පහ කෙරුණා (AFP)

කැටලෝනියා අර්බුදය ස්පාඤ්ඤයට පමණක් සීමා වූවක් වුව ද​, සංක්‍රමණික ප්‍රශ්නය එහි පමණක් නොව යුරෝපය පුරාම ගැටළු ඇති කිරීමට සමත්ව ඇති බව අප දන්නවා. ස්පාඤ්ඤය මෙහිදී ප්‍රධාන අවධානයකට ලක් වූ රටක් වන්නේ උතුරු අප්‍රිකාව සහ යුරෝපය අතර අඩුම දුර ඇති ස්ථානය එය වන නිසා යි. එමෙන්ම ස්පාඤ්ඤයට අයත් කුඩා ප්‍රදේශයන් දෙකක් මොරොක්කෝවේ පිහිටා තිබෙන නිසා ඒ ඔස්සේ ද සංක්‍රමණිකයන් ස්පාඤ්ඤයට ඇතුළ් වීමට උත්සාහ කරනවා.

කියවන්න​: යුරෝපයේ වඩාත් ම ආරක්ෂිත දේශසීමාව

ස්පාඤ්ඤයේ ආර්ථික අර්බුද හේතුවෙන් කලෙක පටන් සැලකිය යුතු ජනතාවක් පීඩා වින්ඳා. ඒ අතර සංක්‍රමණිකයන් පැමිණීම ද ඉහළ යනු දකින්නට ලැබුණා. ඇතැම් කුඩා, දරිද්‍රතාවයෙන් පෙළෙන නගරවල දැන් වැඩිම ජනගහනයක් සංක්‍රමණිකයන් වනවා. මේ පිළිබඳ ස්පාඤ්ඤ ජන සමාජයේ ඇතැම් කොටස් අතර ඇත්තේ දැඩි අප්‍රසාදයක්. මෙම අප්‍රසාදය Vox පක්ෂයට සහය දීමෙන් පැහැදිලි වුණා. 2018 දෙසැම්බරයේ දී අන්දලුසියා ප්‍රාදේශීය මැතිවරණයේදී Vox පක්ෂය සියයට 11ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම මේ සඳහා පැහැදිලි අනාවැකියක් වූ බවත් මෙහිදී කිව යුතු යි. එම මැතිවරණයේ දී ද ජනතා පක්ෂයට සහය සැලකිය යුතු මට්ටමකින් අඩුවන බව පෙනෙන්නට තිබුණා. මහ මැතිවරණයේ දී ද එම තත්ත්වය ඒ ආකාරයෙන් ම දිස් වුණා.

රජයක් පිහිටුවීමේ අභියෝගය

2016 දී මාස හයක් තුළ ස්පාඤ්ඤයේ මැතිවරණ දෙකක් පැවැත්වීමට සිදු වූයේ පළමු මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට හෝ සභාග සන්ධානයකට හෝ බහුතර බලයක් පිහිටුවීමට නොහැකි වූ නිසා යි. ස්පාඤ්ඤ ජනතාවට නැවත එම තත්ත්වය කරා යාමේ අවශ්‍යතාවක් නැහැ. නමුත් මැතිවරණ ප්‍රතිඵල හැටියට රජයක් පිහිටුවීමේ අභියෝගය ද විශාල යි.

2018 විශ්වාසභංගයෙන් පසු බලයට පත් වූ පේද්‍රෝ සන්චේස්ගේ සමාජවාදී කම්කරු පක්ෂයට PODEMOS පක්ෂය පාර්ලිමේන්තුව තුළ සහය දැක්වූයේ කිසිදු කොන්දේසියකින් තොරව යි. PODEMOS පක්ෂය රජයට ද එක් වූයේ නැහැ. නමුත් මෙම අවස්ථාවේ PODEMOS පක්ෂය රජයට එක් වීමට කැමැත්ත පළ කර තිබෙනවා. නමුත් එය කොන්දේසි විරහිත එක්වීමක් නොවන බව එම​ පක්ෂය කියා සිටියා. මේ අනුව මෙම පක්ෂ දෙක අතර එකඟතාවක් ඇතිවීමට තරමක කලක් යනු ඇතැයි සිතීමට පිළිවන්.

මෙසේ එකඟතාවක් ඇති වුණ ද​, මෙම පක්ෂයන් දෙකේ ආසනවල එකතුව 176ක් නොවන හෙයින් ස්ථාවර හෝ සුළුතර හෝ රජයක් පවත්වාගන යාම සඳහා කැටලෝනියාවේ සහ බාස්ක් ප්‍රදේශයේ කුඩා පක්ෂවල සහය අපේක්ෂා කිරීමට ද සිදුවනු ඇති. එහෙයින් ස්ථාවර රජයක් පිහිටුවා ගැනීමේ අපහසුවක් තිබෙනවා.

ස්ථාවර රජයක් පිහිටුවා ගැනීමේ අපහසුව හේතුවෙන් වාමාංශික රජයට සිය කටයුතු ක්‍රමානුකූලව සිදු කිරීම අපහසු වීමේ ඉඩක් ඇති අතර එහි ප්‍රතිඵලය වනු ඇත්තේ දක්ෂිණාංශික පක්ෂ නැවත සවිමත් වීම යි.

Cover Image: අගමැති පේද්‍රෝ සන්චේස් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ පසු (EPA)

Related Articles

Exit mobile version