රටක බලයට පත් වූ ආණ්ඩු ගෙදර යවා හමුදාව යොදා ගනිමින් රටක පාලන බලය අල්ලා ගත් අවස්ථා කිහිපයක්ම මෑතකාලයේ ලෝකය පුරා අහන්න දකින්න ලැබෙනවා. විශේෂයෙන් මෙවැනි හමුදා කුමන්ත්‍රණ සඳහා වඩා ප්‍රසිද්ධ වන්නේ මැදපෙරදිග කලාපය හා අප්‍රිකානු මහද්වීපයේ රටවලුයි.
2016 වසරේ දී මැදපෙරදිග රටක් වූ තුර්කියේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවන නමුත් එය පාලනය කිරීමට එවකට තුර්කි ජනාධිපතිවරයා වන රිසෙප් තායිප් අර්දොවාන් සමත් වෙනවා. ඒ 2016 වසරේ ජුලි මස 15 වන සිකුරාදා දින රාත්‍රියේ යි. එනිසා එම කුමන්ත්‍රණය අසාර්ථක වුණා.
මෑතකාලයේ සාර්ථක හමුදා කුමන්ත්‍රණයක් මෙහෙයවුණු අප්‍රිකානු රටක් ලෙස සිම්බාබ්වේ හඳුන්වා දිය හැකියි. වසර 37ක කාලයක් තිස්සේ සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළ රොබර්ට් මුගාබේගේ පාලනය 2017 නොවැම්බර් මාසයේ සති තුනක් ඇතුළත ගිලිහී යනවා.
2018 වසරේ අප්‍රේල් 11 වන දා අප්‍රිකානු රාජ්‍යයක් වන සූඩානයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවෙන අතර, කුමන්ත්රණයෙන් පසුව එරට ජනාධිපතිවරයා වන ඕමාර් අල් බෂිර්ව බලයෙන් පහකෙරෙනවා. රාජ්‍ය බලය ලබාගන්නේ එරට ආරක්ෂක ඇමතිවරයා ප්රමුඛ හමුදාව යි. නමුත් හමුදා ජුන්ටාව පිළිගැනීමට තමන් සූදානම් නොවන බව පවසන විපක්ෂය හා ජනතාව ඊට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මෙම විරෝධතා ව්‍යාපාර වලදී හමුදාව අතින් බොහෝ සිවිල් වැසියන් ප්‍රමාණයක් මරණයට පත්වෙනවා. මෙම විරෝධතා අවසන් කිරීම සඳහා පසුගිය ජූලි 5 වන දා හවුල් පාලනයක් සඳහා ගිවිසුම් අත්සන් තබනවා.
ජනාධිපති ඕමාර් අල් බෂිර්ව බලයෙන් නෙරපා හැරීම
රටේ ආර්ථික අස්ථාවරත්වය, ජීවන වියදම ඉහළ යාම, ඊට අමතරව ඉන්ධන හා පාන් මිල වැඩි කරන බව රජය නිවේදනය කිරීම වැනි කරුණු කාරණා හේතුවෙන් ජන අප්‍රසාදයට පත්වෙන ඕමාර් අල්-බෂීර්ගේ ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් විරෝධතා ව්‍යාපාර ආරම්භ කරන්නේ 2018 වසරේ සිට යි.
මෙම විරෝධතා ව්‍යාපාර 2019 වන විට ක්‍රම ක්‍රමයෙන් උත්සන්න වෙනවා. ඒ හේතුවෙන් ඔහු විසින් 2019 වසරේ පෙබරවාරි මාසයේ දී රටේ හදීසි නීතිය ක්‍රියාත්මක කරනවා. මෙම විරෝධතා ව්‍යාපාර හමුවේ ක්‍රියාත්මක වන එරට ආරක්ෂක ඇමතිවරයා වන අවාද් බින් ඔව්ෆ් අප්‍රේල් මාසයේ 11 වන දා හමුදා කැරැල්ලක් මෙහෙයවා රාජ්‍ය බලය අල්ලා ගන්නවා. ඒ අනුව ඕමාර් අල් බෂීර් හමුදාවේ අත්අඩංගුවට පත්වෙනවා.
ඉස්ලාම් ජාතිකයන්ගේ සහායෙන් 1989 දී හමුදා කුමන්ත්රණයකින් පසු සූඩානයේ බලය අල්ලා ගන්නා ඕමාර් අල් බෂීර් 2019 දී පලවා හරින තුරු එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනවා.
හමුදා පාලනය ප්‍රතික්ෂේප කරමින් නැවතත් විරෝධතා
2019 වසරේ අප්‍රේල් 11 වන දින හමුදා කුමන්ත්රණයෙන් අනතුරුව පාලන බලය සියතට ගන්නා එරට ආරක්ෂක අමාත්‍යවරයා වහාම ජනාධිපතිවරයාව ධූරයෙන් පහකරන අතර, ඔහු හා ඔහුගේ හිතවතුන් හමුදා රැදවුම් භාරයට පත්කරනු ලබනවා. 2020 වසරේ දී මැතිවරණයක් පැවැත්වෙන තුරු වන මෙම සංක්‍රාන්ති සමය තුළ රට හමුදාව විසින් පාලනය කෙරෙන බව ඔහු ප්‍රකාශ කරනවා. එය සියයට සියයක්ම හමුදා ආණ්ඩුවක් බවත්, තමන් එහි ප්‍රධානියා බවත් ප්‍රකාශ කරනවා. ඔහු ව්‍යවස්ථාව තවදුරටත් බල රහිත බව ද, රට තුළ සිටින සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ක්‍රියාකරන බව ද සඳහන් කරනවා.
ජනතාව මෙම පාලනය ප්‍රතික්ෂේප කරන අතර වහාම සිවිල් පාලනයක් ස්ථාපිත කළ යුතු බව පවසමින් සූඩානය පුරා විරෝධතා ක්‍රියාත්මක කරනවා. මෙම විරෝධතා අප්‍රේල් මාසයේ සිට ජූලි වන තුරු පැවති අතර මෙම විරෝධතාවල දී හමුදාවේ ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් සිය ගණනක් මරණයට පත්වෙනවා.
හමුදාව හා විපක්ෂය අතර ගිවිසුමක්
සංක්‍රාන්ති සමය තුළ රට පාලනය කිරීමට විපක්ෂය සඳහා ආරාධනාවක් නොකිරීම විපක්ෂ ප්‍රධානීන්ගේ නොසතුටට කරුණක් වූ අතර, ඒ හේතුවෙන් ඔවුන් ද වඩ වඩාත් ජනතාව විරෝධතා ව්‍යාපාර සඳහා යොමු කරනවා.
මෙම විරෝධතා ව්‍යාපාර හමුවේ පසුබසින හිටපු ආරක්ෂක ඇමතිවරයා ප්රමුඛ හමුදා නායකයන් විසින් රටේ පාලනය හවුලේ සිදුකරගෙන යාමට විපක්ෂයට ද අවස්ථාවක් ලබා දෙනවා. ඒ සඳහා වන ගිවිසුම මෙම වසරේ ජූලි 5 වන දා අත්සන් තබනවා.
මෙම ගිවිසුම අනුව රට පාලනය සඳහා ආණ්ඩුව විසින් පත්කරන ඉහළම කමිටුවේ සාමාජිකයන් 10 දෙනා සිවිල් නිලධාරීන් පස් දෙනෙකුගෙන් හා හමුදා නිලධාරීන් පස් දෙනෙක්ගෙන් සමන්විත වෙනවා.
නමුත් පසුව ලැබෙන ආරංචිවල සඳහන් වෙන්නේ හමුදාව විසින් සිවිල් පාලනයක් සඳහා ගෙන ආ මෙම ගිවිසුම ඒ සඳහා වන අත්‍යවශ්‍ය මූලිකාංගවලින් තොරව නිර්මාණය කර ඇති බව යි.