පසුගිය කාලය පුරාවට ලංකාවේ සමාජජාලා, ජනමාධ්‍යයන්වල වගේම ලෝකය පුරාම ජනතාවගේ උනන්දුව දිනාගත් පුවත බවට තායිලන්තයේ ගුහාවක සිරවූ ළමුන් බේරා ගැනීමේ මෙහෙයුම පත්වුණා. මේ වනවිට ඒ සියළු දෙනාවම මුදාගෙන බව වාර්තා වෙනවා. මේ එම සිදුවීමේ තතු සියල්ල සැකවින් ගෙන එන වාර්තාවක්.
මොකක් ද වුණේ?
ලෝකයේම ඇස් පසුගිය දින කිහිපය පුරාවටම තායිලන්තය වෙත යොමුවී තිබුණා. ඒ මෑත කාලීනව සිදුවූ විශාලතම ගලවා ගැනීමේ මෙහෙයුමක් නිසාවෙනුයි. තායිලන්තයේ “තාම් ලුආන් නාන් නොන්” නම් භූගත ගුහාවක් තුළ සිරවුණු ළමුන් 12ක් හා ඔවුන්ගේ පුහුණුකරු සොයා මේ මහා මෙහෙයුම ක්‍රියාත්මක වුණා. තායිලන්තයේ ජනතාව අතර ඉතාමත් ප්‍රසිද්ධ මෙන්ම, සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනාගන්නා ලද ගුහා සංකීර්ණයක් වන තාම් ලුආන් නාන් නොන් පොළව තුලට කිලෝ මීටර 10ක් පමණ ගැඹුරට දිව යනවා.
ගුහාවට ඇතුළු වුණ ළමුන් අවුරුදු 11-16ත් අතර වූ පාපන්දු ක්‍රීඩකයන් වුණා. ඔවුන්ගේ පුහුණුකරු 25 හැවිරිදි අයෙක් වූ අතර ඔවුන්ගේ ක්‍රීඩා සමාජය “Wild Boar” නම් වෙනවා. පසුගිය ජූනි 23 වෙනි දා ඔවුන් ගුහා සංකීර්ණයට ඇතුළු වුණේ ඔවුන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ උපන්දිනයක් සැමරීමට යි. ඔවුන්ට ආපසු පිටතට පැමිණීමට නොහැකි වුණේ, ඇද හැලුණු අධික වර්ෂාව සමග ගුහාව ජලයෙන් පිරෙන්නට පටන්ගත් නිසයි. මෙම ගුහා සංකීර්ණයට සංචාරකයින්ට ජූලි-නොවැම්බර් කාලය තුළ ඇතුල්වීමට අවසර නොදෙන්නේ ද මේ පවතින අධික වැසි තත්ත්වය නිසයි.
13 දෙනා සෙවූ මෙහෙයුම
ළමුන් ද ඇතුළු කණ්ඩායමක් ගුහාවේ අතුරුදහන් වූ බව සැලවුණු වහාම තායිලන්තය විසින් ගලවාගැනීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබුවා. නමුත් එය කවුරුත් සිතූ තරම් පහසු එකක් වුණේ නෑ. කණ්ඩායම ජිවතුන් අතරදැ යි යන්න පවා නොදත් ඔවුන් සතුවූ එකම බලාපොරොත්තුව වූයේ ළමුන් හා පුහුණුකරු කොහේ හෝ ආරක්ෂිතව සිටිනු ඇති ය යන්න යි. ගුහාවේ ජල මට්ටම වර්ෂා සමයේ අඩි 16ක් පමණ තරම් වූ උසකට ළඟාවන බව ද කියැවෙනවා. කෙසේ නමුත්, මෙහෙයුම් කණ්ඩායම විසින් තමන් සතු වූ එකම බලාපොරොත්තුව සමග විශාල සැලසුමක් සකස් කරන්නේ මොවුන් 13 දෙනා සොයා යාමටයි.
ලොව නන් දෙසින් පැමිණි ගලවාගැනීමේ කණ්ඩායම් සමග එක්ව තායිලන්තය කරන ලද මෙහෙයුම් වලින් අනතුරුව මේ ගුහාව තුළ අතරමංව සිටි කණ්ඩායම සොයා ගනු ලැබුවා. ඒ, අතුරුදහන්වීමෙන් දින 9කට පමණ පසුව, එනම් ජූලි මස 02 වැනිදා තායිලන්තයේ වේලාවෙන් රාත්‍රී 10ට පමණ යි. බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් දෙදෙනෙකු විසින් පාපන්දු කණ්ඩායම මෙසේ නිරුපද්‍රිතව සොයාගනු ලැබුණා.
කණ්ඩායම රැඳී සිට තිබුණේ ඇතුළුවීමේ දොරේ සිට කිලෝමීටර 3.2කට පමණ ආසන්න දුරකිනුයි. ළමුන් සිටි ස්ථානයට ළඟාවීමට පැය 6ක් හා එම ස්ථානයේ සිට නැවත පැමිණීමට ගතවන කාලය පැය 5ක් ලෙස ගණනය කර තිබුණා. ඉන්පසුව මූලිකව එම කණ්ඩායම වෙත බෙහෙත් හා ආහාර රැගෙන, වෛද්‍යවරයෙකු හා හෙද නිලධාරියකු ඔවුන් වෙත යවනු ලැබුවා. වෛද්‍යවරයා විසින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවට නිර්දේශ කරනු ලැබීමෙන් අනතුරුව පැමිණි විශාලතම අභියෝගය වුණේ ඔවුන්ව එම ස්ථානයෙන් මුදවාගෙන ඒම යි.
තාක්ෂණයෙන් ඉහළ පිටතට ගැනීමේ මෙහෙයුමක්
මූලික මෙහෙයුම් වල දී කණ්ඩායම සෙවීම වෙනුවෙන් තාපය නිරීක්ෂණය කරන ඩ්‍රෝන පවා මෙහෙයුම් කණ්ඩායම් විසින් භාවිතා කර තිබුණා.
මෙම මෙහෙයුමට සහභාගී වූ නාවික සීල් භටයන්ට මාධ්‍යයන් වෙත තොරතුරු ලබාදීම වාරණය කර තිබුණා. කණ්ඩායම සොයාගැනීමෙන් පසුව ඔවුන් සිටි කුටීරය තුලට ඔක්සිජන් පොම්ප කිරීමට සැලසුම් සකස් කෙරුනා. ඉන්පසුව ඔවුන් ගුහාවෙන් ගලවා ගැනීම සඳහා නානාවිධ සැලසුම් සකස් වුණා. නමුත් ඔවුන් ඉදිරියේ පැවති විශාලතම අභියෝගය වුණේ ජල මට්ටම ඉහළ යාමට පෙර මේ කණ්ඩායම කෙසේ හෝ මුදවා ගැනීම යි. ඒ වනවිටත් ගුහාව තුළ තිබූ ජලය පොම්ප මඟින් ඉවත් කරමින් තිබූ නමුත්, ගුහාව තුළ මුදවාගැනීමේ කණ්ඩායම් වලට යාමට හා ඒමට සිදුව තිබුණේ මඩ වතුර හරහායි.
මේ අවස්තාව වනවිටත් හිටපු නාවික සීල් භටයන් සමග සීල් භටයන් 80 දෙනෙක් මේ මෙහෙයුම වෙනුවෙන් එකතු වී තිබුණා. එමෙන්ම ගුහාව අසල ඔවුන් විසින් කිමිදුම්කරුවන්ට අවශ්‍ය භාණ්ඩ සමග තාවකාලික කඳවුරක් නිර්මාණය කර තිබුණා. කණ්ඩායම වෙත ස්කුබා ක්‍රමයට පිහිනීමට ද සීල් භටයන් උගන්වමින් තිබුණේ, ගුහාවේ ජලය ඉවත් කරන අතරතුර යි. ඇතුලත සිටි අයගේ මානසික මට්ටම වර්ධනය වෙනුවෙන්, සන්නිවේදන මාර්ගයක් තැනීමට මෙහෙයුම් කණ්ඩායම් කටයුතු කළ ද එයත් අසාර්ථක වී තිබුණා. එමෙන්ම ඔවුන්ව එම ස්ථානයෙන් පිටත් ගැනීම වෙනුවෙන් ගුහාව ඉහළින් පිවිසුම් මාර්ග සොයමින් කණ්ඩායම් 20- 30ක් පමණ මෙහෙයුම් වල නිරත වුණා.
අන්තර්ජාතික සහය ඉහළ යෑම හා අවසාන මෙහෙයුම
මෙම මෙහෙයුම ලෝකයම එක තැනකට එකමුතු වූ තවත් අවස්ථාවක් ලෙස සැලකෙනවා. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, චීනය, ඔස්ට්‍රේලියාව, මියන්මාරය, ස්වීඩනය, ලාඕසය, ජපානය ආදී රටවල් තමන් සතු වූ අත්දැකීම් සහිත විශේෂඥයින් මේ වෙනුවෙන් තායිලන්තය කරා එවා තිබුණා. ඔවුන් ද ඇතුළුව මේ මෙහෙයුමට සහභාගී වූ පිරිස 1000කට අධිකයි.
පවතින වර්ෂා තත්ත්වය හේතුකොට ගෙන ජල මට්ටම ඉහළ යාමට පෙර ඔවුන්ව ඉවතට ගත යුතු වුණා. ඒ වෙනුවෙන් සකස්කෙරුණු සැලසුම් රාශියකට පසුව කණ්ඩායම විසින් අවසාන එකඟතාවයකට පැමිණියා. ඒ අනුව ළමුන් වරකට එක අයකු බැගින් ගුහාවෙන් පිටතට ගෙන ඒමට තීරණය වුණා. එහිදී එක කිමිදුම්කරුවෙක් දරුවා සමග ගමන් කරන අතර තවත් කිමිදුම්කරුවකු ඔහුට පිටුපසින් ගමන් කරනු ලැබුවා. අඳුරේ මාර්ගය සොයාගැනීමේ පහසුව සඳහා ලණුවක් භාවිතා වුණා. මේ සෑම ළමයෙක් වෙනුවෙන්ම මුළු මුහුණම ආවරණය වන ආකාරයේ ඔක්සිජන් මුහුණු ආවරණයක් ලබා දී තිබුණා. ඉතා අවධානම් නමුත් වර්ෂාවට පෙර ළමුන් බේරාගැනීම වෙනුවෙන් මෙය කළ යුතුව තිබුණා. තව ද මේ වනවිට ගුහා අභ්‍යන්තරයේ ඔක්සිජන් මට්ටම ද සැලකිය යුතු ලෙස පහත යමින් තිබුණා.
හදිසියේ මෝසම් වැස්සේ සිදුවූ අඩුවීමෙන් ප්‍රයෝජන ගත් බලධාරීන් මෙහෙයුම ක්ෂණිකව ආරම්භ කළා. ගුහා අභ්‍යන්තරය තිබූ ජල මට්ටම පහත යාමත් මීට මූලික හේතුවක් වුණා. සියල්ල සැලසුම්කොට පසුගිය 8 වෙනි ඉරිදා ඔවුන් මෙහෙයුම ආරම්භ කළා. මෙහිදී පළමු දින 2 තුළ ළමුන් 4 බැගින් හා අවසාන දිනයේ පුහුණුකරු සමග ඉතිරි ළමුන් හතර දෙනා රැගෙන ඒමට තීරණය කෙරුණා. එම සැලසුම අනුව දින 3ක් ඇතුළත (10 වන දා) අතරමංව සිටි මුළු කණ්ඩායමම මුදාගැනීමට ඔවුන් සමත්වුණා.
එක් විරුවෙකු දිවි පුදයි
මෙම මෙහෙයුමට සහභාගී වූ හිටපු තායි සීල් භටයෙකු වූ සාමන් ගුනාන්ග් පාපන්දු කණ්ඩායමට අවශ්‍ය ඔක්සිජන් ලබා දී නැවත එන ගමනේ දී තමාට ඔක්සිජන් මඳවීම නිසා ජීවන ගමන නිමා කළා. මියයන විට ඔහු 38 හැවිරිදි වුණා. ගුනාන්ග් තායිලන්තයේ පාපැදි ක්‍රීඩකයෙකු හා ධාවකයෙකු ද වෙනවා. තායි රජුගේ අණ පරිදි ඔහුගේ අවසාන කටයුතු රාජ්‍ය ගෞරවය සහිතව සිදු වුණා.
ටෙස්ලා සමාගම ද මේ ළමුන් මුදවාගැනීම වෙනුවෙන් විශේෂිත සබ්මැරීනයක් නිර්මාණය කළත් එය මේ මෙහෙයුම වෙනුවෙන් යොදාගැනුණේ නෑ. නමුත් එය ඉදිරියේ දී තායිලන්තයට භාවිතා කිරීම සඳහා ලබා දී තිබෙනවා.
FIFA ආයතනය විසින් මේ ළමුන්ට පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහා තරගය නැරඹීමට පැමිණෙන ලෙස විශේෂ ආරාධනාවක් ද කර තිබුණා. නමුත් ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසා ඔවුන් එයට සහභාගී වීම අවිනිශ්චිත යි.
කවරය – www.asiaone.com
මුලාශ්‍රයයන්
CNN
BBC