තතමි පැදුරක හැළුණු ඉටිපන්දම් කිරි ස්වල්පයකට ඉතිහාසයක් අලුතින් ලියන්නත් පුළුවනි. මේ ඒ බවට ජීවමාන නිදර්ශනයක්.
ටකිෂෝ ඉවාසාකි (Takizo Iwasaki) ජපන් ජාතිකයෙක්. Gujo Hachiman පෙදෙසේ වාසය කළ ශිල්පියෙක්. 1932 වසරේ දිනෙක ඔහු සිය බිරියට උවටැන් කරමින් සිටියදී තතමි පැදුර මත වැටුණු ඉටි පැල්ලමක් නෙත ගැටුණා. ඉටි පැල්ලම දුටු ඉවසාකිට ඉටි ඔම්ලට් එකක් පිළිබඳ අදහසක් ආවා. මාස ගණනක අත්හදා බැලීම් සහ අත්වැරදීම් රැසකින් පසු ව ඉවාසාකිට තක්කාලි සෝස් අනුකරණයක් ද සහිත ව ඉටි බිත්තර බැදුමක් හෙවත් ඔම්ලට් එකක් නිර්මාණය කරන්නට පුළුවන් වුණා. ඒ ඉටි ඔම්ලටය සාමාන්‍ය ඔම්ලටයකට කොතරම් සමාන ද කියතොත් ඔහුගේ බිරියටත් එය ව්‍යාජයක් බව එකවර හඳුනා ගැනීමට හැකි වූයේ නැහැ.
ඉන් ලද උත්තේජනය නිසා ඉවාසාකි, අධිතාත්වික “බොරුකෑම” (fake foods) තව තවත් නිර්මාණය කරන්න පටන් ගත්තා. මේ කෑමවලට ජපනුන් දුන් නම සැම්පුරු (Sampuru). එය ඉංග්‍රීසියේ sample (සාම්පල් – සාම්පලය) යන්නෙන් නිපදවා ගත් වදනක්. ඇතැම්විට ඒවා, කෑම භාණ්ඩ සාම්පල (food goods sample) යන අරුතැති ෂොකුහින් සැම්පුරු (shokuhin sampuru) යන නමිනුත් හඳුන්වනවා. ‘බොරු කෑම පියා ‘(The Father of Fake Food) යන විරුදාවලිය ඉවාසාකිට ලැබෙන්න්නටත් මේ සොයා ගැනීම ඉවහල් වුණා.
ඔසාකාහි හි වෙළෙඳසලක 1932 වර්ෂයේ ඔහුගේ ඔම්ලට් අනුරුව ප්‍රදර්ශනය කෙරුණා. ඉන්පසු ඉවාසාකි Iwasaki Be-I ෆේක් ෆුඩ් ආයතනය ආරම්භ කළා. අද එය වසරකට සැම්පුරු 200,000 පමණ නිර්මාණය කරන, අමෙරිකානු ඩොලර් මිලියන 90ක ව්‍යාපාරයක්. එසේම ජපානයේ විශාලත ම fake food නිෂ්පාදනාගාරයත් එයයි.
අද වන විට සැම්පුරු සඳහා දැවැන්ත ඉල්ලුමක් තියෙනවා. සැම්පුරු නිපදවන ආයතන රැසකුත් මේ වන විට ජපානයේ බිහි වී අවසන්. එම ආයතන රැමෙන් (ramen) සිට සූෂි (sushi) දක්වා වන විවිධ fake food නිපදවන ශිල්පීන් රැසකගේ සේවය කුලී පදනම මත ලබා ගන්නවා. නිෂ්පාදන මුළුමනින් ම කෙරෙන්නේ අතින්. “බිස්නස් ඉන්සයිඩර්” පවසන ආකාරයට සැම්පුරු කලාවේ නිපුණත්වයට පත්වන්නට ශිල්පියකුට වසර දහයක් පමණ ගතවිය හැකියි.
භාෂා ප්‍රශ්නය විසඳන Fake Food
අහරට ගත නොහැකි, කල් ඉකුත් වීමක් නැති කෑමකට ඩොලර් දහසක් තරම් මුදලක් ගෙවන්නට ඔබ සූදානම් ද? නොරිවලින් සියුම් ව සැරසූ අලංකාර රැමෙන් බඳුනක්, දිළිසෙන රතු බෙරි සහ බටර් ක්‍රීම්වලින් මුදුනත සැරසූ ස්පොන්ජ් කේක් එකක්, කර කර ගා හැපෙන තරමට ගැඹුරු තෙලෙහි බදින ලද පෝක් කට්ලට් එකක්, මේ කොයික වුණත්, ඒවාහි ඉතා සියුම් රැලි, පිම්බීම්, පැහැය සියල්ල ඒ ආකරයෙන් ම ඇතිව තනන්නට සැම්පුරු ශිල්පීන් දක්ෂයි.
ඉවාසාකි, සැම්පුරු ඔම්ලටය නිර්මාණය කළේ ඉටිවලින්. මුල් කාලයේ කවුරුත් සැම්පුරු නිර්මාණයට යොදා ගත්තේ ඉටි වුවත්, 1970 අග භාගයේ පටන් ඒ සඳහා liquid polyvinyl chloride හෙවත් PVC, ප්ලාස්ටික්, විනිල් ප්ලාස්ටික් ( vinyl) ආදිය යොදා ගැනෙනවා. එකී දේ උපයෝගී කර ගැනීමෙන් ආහරවල ඉතා සියුම් තොරතුරු පවා අන්තර්ගත කළ හැකි බවයි කියැවෙන්නේ.
අමුද්‍රව්‍යය කුමක් ද යන්න තීරණය වන්නේ නිර්මාණය කෙරෙන අහර කවරක් ද යන්න මතයි. උදාහරණයක් ලෙස සොබා සුප් (soba soup) සඳහා යුරේතන් (urethane) ගැළපෙන අතර පැන්කෝ කෝටින් (panko coating) එකක් නිර්මාණය කරන්නට වඩාත්ම සුදුසු PVC බව තහවුරුයි. පින්තාරු කිරීමෙන් සහ එයාබ්‍රෂ් කිරීමෙන් පසුව නිර්මාණය සම්පූර්ණයි.
කුඩා අහර අනුරුවක් නම් සැම්පුරු විශේෂඥයකුට දිනකින් අවසන් කරන්න පුළුවනි. විශාල අනුරුවක් නම් සතියක් වුවත් ගත වෙන්න ඉඩ තියෙනවා.
සැබෑ කෑමක් මෙන් දස ගුණයක් තරම් මිලයි
මෙකී කෑම අනුරූ ඇතැම්විට ඩොලර් 70ක් එනම්, ඒවායින් නියෝජනය කෙරෙන සැබෑ කෑමක් මෙන් දස ගුණයක් තරම් මිල අධිකයි. 2016 වසරේ Eater පවසා තිබුණු ආකාරයට ඇදහිය නොහැකි තරමට ස්වාභාවික ආකාරයට සැම්පුරු කළ කකුළුවකුගේ මිල ඩොලර් 1000ක්. ජපානය තුළ මෙන් ම පිටතත් අවන්හල්, ප්‍රදර්ශන ආහාර සඳහා වැඩි වැඩියෙන් මුදල් වැය කරන්න සූදානම්. ඔවුන් තමන්ට සැම්පුරු කර ගත යුතු අහර අධි සිසිලනයට ලක් කර නිර්මාණ ශිල්පියාට යවනවා.
ශිල්පියා එය භාවිත කර අච්චුවක් පිළියෙළ කරනවා.ඒ අච්චුව උපයෝගි කර ගෙන එබීම්, පිම්බීම්, රැලි, පැහැය කිසිවක වෙනසක් නොමැති අතිශය තාත්වික සැම්පුරුවක් තැනීමට ශිල්පියාට පුළුවනි. එක ම ගැටලුව දුටු අයගේ තොල කට තෙත් කරන්නට සමත් වුණත් මේවා කෑම මේසයට යවන්නට නොහැකි වීම පමණයි.
රස පෙනුම පෙන්වා මිනිසුන් කැඳවන ජපන් අවන්හල්
ජපානයේ අවන්හල් බොරුකෑම ඇණවුම් කරන්නේ, තමන් අලෙවි කරන දේ පෙන්වා පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රදර්ශන කබඩ් සහ ප්‍රදර්ශන කවුළු සරසන්නටයි. කෑම ඇණවුම් කරන්නට සාමාන්‍යයෙන් භාවිත කෙරෙන මෙනු පතේ කටයුත්තත් සැම්පුරු ඉටු කරනවා.
ඒ කියන්නේ, අවන්හල ඇතුළෙන් පිළිගන්වන ආහාර පිටත සිට ම දැනගන්න සැම්පුරු නිසා පාරිභෝගිකයාට හැකියි. විදෙස් රටකදී ආහාර ගැන සහ භාෂාව ගැන අවබෝධයක් නැති සංචාරකයන් වැන්නන්ට අහර ඇණවුම් කිරීමේ දී සැම්පුරු බෙහෙවින් උපකාරී වෙනවා.
කාලයාගේ වෙනසත් සමඟ සැම්පුරු කර්මාන්තය අලුත් මංපෙත්වලටත් යොමුවෙලා. ඔබේ නිවෙසේ කෑම මේසය මත කූඩයේ ඇති කෘත්‍රිම දොඩම් ගෙඩිය ස්වාභාවික දොඩමකට බොහෝ සෙයින් සමානයි. එයත් සැම්පුරු කලාවේ නවාංගයක්. එපමණක් නොව අද වන විට සැම්පුරු වෙළෙඳ ප්‍රවර්ධන උපාංගයක් ලෙසත් යොදා ගැනෙනවා.
අවන්හලෙන් පිට වී ටෙලි තිරයටත් ආ සැම්පුරු
ග්‍රොසරි ජාල, උත්සව ශාලා, කැසිනෝ අවන්හල් , සංචාරක යාත්‍රා, කෞතුකාගාර ආදි සැබෑ ආහාර ප්‍රදර්ශනය කළ නොහැකි බොහෝ තැන්වල සැම්පුරු ප්‍රදර්ශනය කෙරෙනවා. අමෙරිකාවේ Wendy සැලඩ් බාර් එකේ ප්‍රදර්ශනය කිරීම සඳහා කෘත්‍රිම Kale අවශ්‍ය වීම නිදසුනක් ලෙස දැක්විය හැකියි. පෝෂණ අධ්‍යාපනය සඳහාත්, පාරිභෝගික සමීක්ෂණ සඳහාත් 2010 වසරේ ආහාර (food) සහ ආහාර වේල් (dishes) ආකෘති යොදා ගැනුණා.
සිනමාවේදී පසුතල ආම්පන්න (props) සඳහාත් රූපවාහිනී දර්ශනවලත් රූපවාහිනී වෙළෙඳ වැඩසටහන්වලටත් සැම්පුරු යොදා ගන්නවා. වේදිකා නාට්‍ය ආම්පන්න වශයෙන්; මුද්‍රිත දැන්වීම් සඳහා පමණක් නොව වෙළෙඳ ප්‍රදර්ශනත් සැම්පුරු යොදා ගනිමින් ඉන්නවා. උතුරු අමෙරිකාවේ සිල්ලර වෙළෙඳාමේදීත් Fake Food ප්‍රදර්ශනය කරනවා සේම ගෘහ භාණ්ඩ වෙළෙඳ සල්වල ගෘහභාණ්ඩ ප්‍රදර්ශනයට ජීවමාන බවක් ලබාදීම සඳහා සැම්පුරු ඇපල් කූඩයක් වැනි බොරු කෑම උපයෝගී කර ගන්නවා.
ජපානයේ ප්ලාස්ටික් කෑම කර්මාන්තය යනු යෙන් බිලියන ගණනක වාර්ෂික ආදායමක් සහිත කර්මාන්තයක්. එක් අවන්හලකට කරන ඇණවුමක් යෙන් මිලියනයක් (යුරෝ 7,900ක්) පමණ වටිනවා. සැම්පුරු යනු අද කලාවක් සේ ම සංස්කෘතියේ කොටසක් බවට ද පත්වෙලා.
නිදසුනක් ලෙස Maizura සමාගමේ ප්ලාස්ටික් ආහාර ආකෘතියක් 1980 වසරේ ලන්ඩනයේ වික්ටෝරියා සහ ඇල්බර්ට් කෞතුකාරයේ ප්‍රදර්ශනය කෙරුණා.එසේ ම සැම්පුරු අලුත් නැමියාවකට යොමු කරමින් ජපන් කලා ශිල්පී Norihito Hatanaka ෆේක්ෆුඩ් පලඳනා හෙවත් සැම්පුරු අබරණ පෙළකුත් නිර්මාණය කර තිබුණා.
Fake Food පියා ඉවාසාකි 1965 වසරේ දී මෙලොව හැර ගියත් තතමි පැදුරක වැටුණු ඉටි පැල්ලමක් දැක ඔහු ප්‍රාණ වායුව දුන් සැම්පුරු තවමත් දලු ලා වැඩෙන්නේ එහෙමයි.