පසුගිය දිනවල අපට අසන්න ලැබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මිරිගම අතර කොටසේ වැඩ අත්හිටුවීමට සිදුව ඇති බව යි. එයට හේතුව මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුව ලබා දී තිබූ ණය පහසුකම අත්හිටුවීම යි. ශ්‍රී ලංකාවේ විශාල කතාබහකට ලක්වූ දූෂණ වංචාවලටත් ප්‍රකට වුණු මෙම මාර්ගයේ නුවර යන්නට පෙරුම් පිරූ කාගෙත් බලාපොරොත්තු මේ නිසා කල්දමන්නට සිදු වෙලා.
කලකට පෙර විවෘත වුණු දක්ෂිණ අධිවේගී මාර්ගයටත් දුෂණ චෝදනා රාශියක් එල්ල වුණා. මධ්‍යම අධිවේගයට මෙහෙම වුණේ ඇයි කියලා විමසා බලමු.
එක්සිම් බැංකුව ණය අත්හිටුවලා
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාව විදේශවලින් ගත් ණය ආපසු ගෙවීම් තාවකාලිකව අත්හිටුවා තිබීම මේ ණය පහසුකම අත්හිටුවීමට හේතු ලෙස එක්සිම් බැංකුව දන්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසා සිටිනවා.
ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා ලබා දී තිබූ අමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 51 ක මුදලයි එක්සිම් බැංකුව මෙසේ අත්හිටුවා තිබෙන බව වාර්තා වන්නේ.
රැකියා 2000ක් අහිමිවෙයි
මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ සේවකයන් 1800කට 2000කට ආසන්න පිරිසක් එක් ව සිටියා. චීනයෙන් සේවකයන් 500ක් පමණ පැමිණ ඉදිකිරීම්වලට සම්බන්ධ වුණා. ව්‍යපෘතිය අතරමඟ නැවතීම නිසා චීනයෙන් පැමිණි වැඩිදෙනෙක් මේ වනවිට චීනයට නැවත පිටත් කර යවා අවසන්. දැනට චීන සේවකයන් ඉතිරිව සිටින්නේ 63 දෙනෙක් පමණ යි. අපේ රටේ සේවකයන් විශාල සංඛ්‍යාවක් මේ වනවිට ඉන් ඉවත් කරලා. දැනට එහි ශ්‍රී ලාංකික සේවකයන් සිටින්නේ 30 දෙන යි.
ණය පහසුකම අත්හිටුවීම හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාදයකට ලක් වන බවත්, ඒ හේතුවෙන් ව්‍යාපෘතිය භාර කොන්ත්‍රාත්කරුට දඩ මුදලක් ගෙවීමට සිදුවන බවත් තවත් ආරංචි මාර්ගවලින් පැවසෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය යම්තාක් දුරකට විසඳුණු පසු අත්හිටු වූ ණය පහසුකම නැවත ලබා ගැනීම සඳහා චීනයේ එක්සිම් බැංකුව සමඟ සාකච්ඡා කරන බව යි, බලධාරින් පවසන්නේ.
මාර්ගය ඉදිකිරීම නැවතුණේ ඇයි?
අප්‍රේල් මාසයේ අග වනවිට ශ්‍රී ලංකාව ම බංකොලොත් යන පණිවිඩය ලෝකය පුරා පැතිරුණා. රටේ පාලකයන්ගේ දූෂිත පාලනයට එරෙහි ව ජනතාව වීදි බැස සිටියා. ඒ ගමන් ම රටරටවල බැංකු ශ්‍රී ලංකාව සමඟ තිබූ ගිවිසුම් සියල්ල එකවර නැවැත්වීම සිදු කළා. එක්සිම් බැංකුවෙන් මුලින් ගෙවූ ඩොලර් බිලියන 52ට අමතර ව ඉදිරියේ කිසිදු මුදලක් නොගෙවීමට බැංකුව තීරණයක් ගත්තා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මිරිගම අතර කොටසේ ඉදිකිරීම සඳහා ලබාදීමට පොරොන්දු වූ ඉතිරි මුදල තිබෙන්නේ එක්සිම් බැංකුවේ. තවත් බිලියන 52ක් තියෙන්නේ කොන්ත්‍රාත් මවු සමාගමේ. මේ කිසිම මුදලක් ශ්‍රී ලංකාවට ඇවිත් නැති නිසා මාර්ගයේ ඉදිකිරීම් වැඩ දිගට ම කරගෙන යාමට නොහැකි ව කොන්ත්‍රාත්කරු ව්‍යාපෘතිය අතරමඟ නවත්වා තිබෙනවා.
දැනට අපි බිලියන 124ක බිල් අනුමත කර තිබෙනවා. මේ ව්‍යාපෘතිය ළඟදී ම නැවත පටන්ගතහොත් 2024 දී අවසන් කළ හැකි මට්ටමක තිබෙන බව බලධාරින් පවසනවා.
මීරිගම සිට කුරුණෑගල දක්වා පමණයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ගය (ඇතුගල්පුර පිවිසුම) 2022 ජනවාරි 15 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මෙහි අනෙක් කොටස් තව ම තනා නිමකර නැහැ.
දේශීය කොන්ත්‍රාත්කරුවන්, දේශීය ඉංජිනේරුවන්, දේශීය උපදේශකවරුන්, හා දේශීය බැංකුවලින් ලබා ගත් ණය භාවිතයෙනුයි මෙම මාර්ග කොටස ඉදිකර ඇත්තේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වශයෙන් මෙහි ඉදිකිරීම් ඇරඹුණේ 2017 පෙබරවාරියේ දී යි. මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 39.29ක කොටසේ ඉදිකිරීම් දේශීය සමාගම් 15ක් ක්‍රියාත්මක කළා.
“ඇතුගල්පුර පිවිසුම” මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල හා යග්ගපිටිය යන අන්තර් හුවමාරු පහකින් සමන්විත යි. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ගයේ ඉදිකිරීම් සඳහා වියදම රුපියල් බිලියන 137ක් වෙනවා. ඉඩම් අත්පත්කර ගැනීම, උපදේශන සමාගම්වලට ගෙවීම්, පාරිසරික හේතු මත ගෙවීම් ද ඇතුළු ව එහි සමස්ත වියදම රුපියල් බිලියන 149ක් ලෙස සඳහන් වෙනවා.
මධ්‍යම අධිවේගය යන්නේ කොහෙද?
මධ්‍යම අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් නිම වූ පසුව, හම්බන්තොට සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවතට පැමිණ මධ්‍යම අධිවේගී මාර්ගය හරහා පැය හතරකට අඩු කාලයකින් මහනුවරට යා හැකි බව පැවසෙනවා. එහි අවසානය දඹුල්ලෙන් සටහන් වෙනවා. කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටසේ තවමත් කිසිම ඉදිකිරීමක් ආරම්භ කර නැහැ.
කඩවත සිට දඹුල්ල දක්වා ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් සැලසුම් කර ඇත්තේ අදියර හතරක් යටතේයි:
කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37යි – ඉදිකිරීම් ආරම්භකර ඇත
මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 39.29යි – ඉදිකිරීම් අවසන්
පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.5යි- ඉදිකිරීම් ආරම්භකර ඇත
කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60.3යි – ඉදිකිරීම් ආරම්භකර නොමැත
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අනෙක් අධිවේගී මාර්ග සේ ම මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු වුණු කටයුත්තක්. මෙහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කළේ චීනයේ මෙට්රො ලොජිකල් කෝපරේෂන් සමාගමයි. මෙම සම්පූර්ණ ව්‍යාපෘතියේ වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 989ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. මේ මුදල චීනයේ එක්සිම් බැංකුව ලබා දීමට ගිවිසගෙන සිටියේ සහන ණයක් ලෙස යි.
කඩවතින් ආරම්භ වන මධ්‍යම අධිවේගයේ එක් මාර්ගයක් කඩවත සිට පොතුහැර හරහා මහනුවර දෙසට ගලගෙදර දක්වාත්, තවත් මාර්ගයක් පොතුහැර සිට කුරුණෑගල හරහා දඹුල්ල දක්වාත් ඉදි කිරිමට සැලසුස් කර තිබෙනවා.
කෝප් කමිටුවේදී හෙළි වූ දූෂණ
කොළඹ – නුවර අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) කමිටුවේ දී අනාවරණය වුණේ 2020 දි යි.
මෙම මාර්ගය ඉදිකිරීමට පෙර සකස් කරන ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් බිලියන 1.7 කට වැඩි විශාල මුදලක් වැය වී ඇති බව එහිදී නිලධාරින් පැහැදිලි කළා. ශක්‍යතා අධ්‍යයනය සඳහා සමාගම තෝරා ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොර ව සිදුවී ඇති බවත් හෙළි වුණා. 2012 දී උතුරු අධිවේගී මාර්ගයට ඇතුළත් වන සේ අදියර තුනක් යටතේ පැවති මෙම මාර්ග ව්‍යාපෘතිය 2015 වර්ෂය වන විට මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස නම් කර අදියර හතරකින් නිම කිරීමට සැලසුම් සකස් කර තිබුණා.
පළමු ශක්‍යතා අධ්‍යනය සඳහා SMEC සමාගම තෝරා ගැනීම සිදු කර ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොර ව බව ද කෝප් කමිටුවට අනාවරණය වුණා.
මුල් ව්‍යාපෘතිය වෙනස් වීමෙන් සිදුවූ මූල්‍ය අලාභය කොපමණ ද යන්න විමසා බලා වාර්තාවක් වහා ම ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඒ අවස්ථාවේ (වර්ෂ 2020) නියෝග කළා.
මේ අනුව එඩේරමුල්ල සිට මීරිගම දක්වා ඉදිකිරීමට තිබූ මාර්ගය කඩවත සිට ඉදිකිරිමට වෙනස් කර ඇති අතර, එම තීරණය නිසා තවත් ශක්‍යතා අධ්‍යයන කිහිපයක් වෙනුවෙන් විශාල මුදල් වැය කිරීමක් සිදුව තිබෙනවා.
රුපියල් බිලියන 08ක මූල්‍ය අලාභයක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ වීම 2015 සිට 2019 දක්වා ප්‍රමාද වීම නිසා රුපියල් බිලියන 08ක මූල්‍ය අලාභයක් සිදු වී ඇති බව ද මෙහිදී අනාවරණය වුණු කරුණක්. එයට හේතුව 2015 දී කිසිදු විමසීමකින් තොරව කැබිනට් මණ්ඩලය ගත් අඥාන තීරණයක් බවයි අනාවරණය වුණේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට රඹුක්කන දක්වා ඉදිකිරීමේදී රුපියල් කෝටි 16,440ක දූෂණයක් වන බවට දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කර සිටියේ 2021 අගෝස්තුවලදි යි. ඒ චෝදනාවල කිසිදු සත්‍යක් නැතැයි එවකට මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කර තිබුණා. කෙසේ වුවත් මෙහි දූෂණ සහ වැරදි තීරණ නිසා විශාල මුදල් නාස්තියක් සිදුවුණු බව කෝප් කමිටුවේ දී ද හෙළි වුණා. දූෂණ කළ පුද්ගලයන්ට කිසිදු දඬුවමක් නම් හිමි වුණේ නැහැ.