ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්රමුඛ ත්‍රිවිධ හමුදාව විසින් ආරම්භ කර විවිධ හේතූන් නිසා ජයග්‍රහණය පෙනී පෙනී අතරමඟ නවතා දැමූ මෙහෙයුම් අතරින් LTTE සංවිධානය විනාශ කර නායක වේලුපිල්ලේ ප්රභාකරන් කොටු කරගැනීමට ක්‍රියාත්මක කළ වඩමාරච්චි මෙහෙයුමට ප්‍රධාන තැනක් ලැබෙනවා.
1987 වසරේ මැයි 26 දින ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කළ වඩමාරච්චි මෙහෙයුමේ ප්‍රධාන නායකත්වය හිමි වන්නේ එවකට යුද්ධ හමුදාපති ලෙස ක්‍රියා කළ ජනරාල් සිරිල් රණතුංගටයි. ඔහු විසින් එදා බ්‍රිගේඩියර්වරයකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව, කර්නල් ලයනල් බලගල්ලේ හා ලුතිනන් කර්නල් සුනිල් තෙන්නකෝන් මෙම මෙහෙයුමේ සැලසුම් නිර්මාණය සඳහා යොදා ගන්නවා.
අද ලිපිය ලියැවෙන්නේ අතරමග නවතා දැමූ වඩමාරච්චි මෙහෙයුම හා ඉන් පසු ඉන්දියානු රජය, ශ්‍රී ලංකාවට මැදිහත්වීම් කළ ආකාරය පිළිබඳවයි. මේ පිළිබඳව ඔබේ අදහසත් ලිපිය අවසානයේ comment එකකින් දක්වලා යන්න අමතක කරන්න එපා.
LTTE සංවිධානය අතුගා දැමීමට ආරම්භ කළ පළමු විශාලතම මෙහෙයුම
80 දශකය වන විට උතුරු පළාත තුළ සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම් ගණන ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙනවා. EPRLF, PLOT, TELO, EROS හා LTTE වැනි කණ්ඩායම් වර්ධනය වෙමින් පැවති ප්‍රබල ත්‍රස්ත කණ්ඩායම් වුණා. ඒ අතරින් LTTE සංවිධානය වඩා අනෙක් ත්‍රස්ත සංවිධාන පරයා ඉස්මතු වීමක් දකින්නට ලැබෙනවා.
LTTE සංවිධානය විනාශ කිරීම සඳහා 1987 වසරේ මැයි 26 දින මෙහෙයුමේ අණදෙන්නා ලෙස හමුදාපති මේජර් ජෙනරාල් සිරිල් රණතුංගගේ ප්‍රධානත්වයෙන් බලසේනා ත්‍රිත්වකින් වඩමාරච්චි මෙහෙයුම ආරම්භ වෙනවා. කර්නල් විජය විමලරත්න පළමු බලසේනාවේ අණදෙන නිලධාරියා ලෙසද, බ්‍රිගේඩියර් ජෙරී ද සිල්වා දෙවන බලසේනාවේ අණදෙන නිලධාරියා ලෙස හා බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව තුන්වන බළසේනාවේ අණදෙන නිලධාරියා ලෙසද කටයුතු කරනවා. මෙහි සේනාධිනායකයා ලෙස ජයවර්ධන ජනාධිපතිවරයාත් ආරක්ෂක ඇමතිවරයා ලෙස ලලිත් ඇතුලත්මුදලිත් කටයුතු කරනවා. හමුදා භටයන් හා නාවික, ගුවන් භටයන් 8000ක් පමණ වඩමාරච්චි මෙහෙයුමට එක් වෙනවා.
නොනවත්වා ප්‍රහාර
මැයි මස 28 වනදා අාරක්ෂක හමුදාව උඩුප්පිටිය, වැල්වැටිතුරෙයි අල්ලා ගන්නවා. හමුදාව විසින් කොටි සංවිධානයට ප්‍රබල ලෙස ප්‍රහාර එල්ලකරනු ලැබූ අතර ඔවුන්ට යළි ශක්තිමත් වීමට හෝ පලා යන අතරතුර බිම් බෝම්බයක් වැළලීමටත් කාලයක් උදා වෙන්නේ නෑ.
ඒ තරමට දරුණු වූ ප්‍රහාර හමුවේ කොටි අවිආයුධ හා රථවාහන දමා පසුබසින අතර මැයි 29 වන දින වන විට වැල්වටිතුරය ප්‍රදේශය සම්පුර්ණයෙන් මුදා ගත් අතර 30 වනදා මුළු පේදුරුතුඩුව ප්‍රදේශයම සිය අණසකට ගැනීමට යුද්ධ හමුදාව සමත් වෙනවා. මේ සමග උතුර මුදා ගැනීමේ LTTEයේ ශක්තිය අන්තයටම පිරිහී තිබූ අතර මෙහෙයුමේ පළමු අදියර නිමාවට පත් වෙනවා.
ඉන්දියාවේ මැදිහත්වීම
ඉන්දියානු රජය, ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් දමිළ ජනයාගේ අයිතිවාසිකම් කඩ කරන බව පවසමින් වඩමාරච්චි මෙහෙයුම නවත්වන ලෙස රජයට බලපෑම් එල්ල කරන පසුබිමක් මැද වඩමාරච්චි මෙහෙයුම ආරම්භ වී දින අටකට පසු රතු කුරුස ධජය යටතේ කුඩා ධීවර බෝට්ටු 19ක් රාමේෂ්වරන් වෙරළේ සිට යාපනය වෙරළට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පිටත් වෙනවා. මෙම ඉන්දීය ධීවර බෝට්ටුවලට යාපනයට යෑමට ඉඩ ලැබෙන්නේ දැයි ගැඹුරු මුහුදේ සිට ඉන්දීය නාවික යුද්ධ යාත්‍රා විසින් නිරීක්ෂණයට ලක් කරනවා.
යාපනයේ ද්‍රවිඩ ජනතාවට ආහාර, ඉන්ධන හා ඖෂධ ටොන් 2ක් මෙම බෝට්ටුවල තිබූ බව පවසන ඉන්දීය නාවික හමුදාව කච්චතිවු දූපත අසලට පැමිණ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව වෙත පිවිසීම සඳහා අවසර පතනවා. රාත්‍රියේ මෙම සීමාව වෙත ලඟා වෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවන්හි අණදෙන නිලධාරියා මුහුදු සීමාව උල්ලංඝණය කිරීමට ඉන්දීය බෝට්ටු වලට අවසර නොමැති බවත් එසේ කළහොත් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් පවසන්නේ ධීවර බෝට්ටු සමග පැමිණි වෙරළාරක්ෂක යාත්‍රාවේ අණදෙන නිලධාරියාටයි. මේ හේතුවෙන් එම ධීවර යාත්‍රාවලට ආපසු හැරී යෑමට සිදු වෙන අතර ඉන්දීය ධීවර බෝට්ටු හරවා යැවීම නිසා ඉන්දීය මහ කොමසාරිස් ඩික්සිත් මෙන්ම අගමැති රජිව් ගාන්ධිද දැඩි කෝපයට පත් වෙනවා.
ඉන්දීය ගුවන් හමුදාවේ Operation Poomalai
බෝට්ටු හරවා යවා දිනකට පසුව එනම් 1987 වසරේ ජූනි මස 4 වනදා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අමතන ඉන්දීය විදේශීය කටයුතු ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ “අපි යාපනයට ගුවනින් සහනාධාර දැමීමට තීරණය කර තිබෙනවා. ඒවාට ප්‍රහාර එල්ල කලොත් නුඹලාට බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්නට සිදු වෙයි.” යනුවෙනුයි. මෙම තර්ජනය අවසන් කර ටික වෙලාවකට පසුව මිරාජ් 2000 ප්‍රහාරක යානා හතරක ආරක්ෂාව මධ්‍යයේ ශ්‍රී ලංකා ගුවන් සීමාව අනවසරයෙන් උල්ලංඝණය කරමින් යාපනය අර්ධද්වීපයට පිවිසෙන්නේ ඇන්ටනොව් 32 වර්ගයේ ප්‍රවාහන යානා පහක්.
ඇන්ටනෝව් 32 වර්ගයේ ප්‍රවාහන යානා පහක ටොන් 25ක් වූ සහනාධාර එවනු ලබනවා. ප්‍රහාරක යානාවල රැකවරණ මැද එම ඇන්ටනෝව් යානා ටොන් 25 ක සහනාධාර පැරෂුට් මගින් යාපනයට දමද්දී ශ්‍රී ලංකා හමුදාවට ඒවාට ප්‍රහාර එල්ල නොකර සිටීමට සිදුවෙනවා. ටොන් 25ක බඩු තොග යාපනයට දැමූ ඉන්දීය මෙහෙයුමට පැය 2ක් හා විනාඩි 14ක් ගතවී තිබු අතර ඉන්දියාව විසින් අහසින් යාපනයට පරිප්පු දැමූ බවට එකල මෙම සිද්ධිය ඉතාමත් ප්‍රසිද්ධියට පත් වෙනවා.
වඩමාරච්චි මෙහෙයුමේ දෙවන අදියර නවතා දැමීම
ඉන්දියාවේ දැඩි බලපෑම් නොතකා මෙහෙයුමේ දෙවන අදියර ආරම්භ වූ අතර ජූනි මස මුල් සතියේ කන්කසන්තුරය හා කීරමලය ප්‍රදේශ අල්ලා ගන්නවා. ජුනි 7 වනදා වන විට කන්කසන්තුරය සිට පේදුරුතුඩුව දක්වා මුහුදු තීරයද අච්චුවේලි දක්වා ගොඩබිම් ප්‍රදේශයද ආරක්ෂක හමුදාව අත්පත් කරගන්නවා. තවත් පැය 48ක් ඇතුළත ආරක්ෂක හමුදාව යාපනය අල්ලා ගනු ඇතැයි යන වාර්තාව බී. බී. සී. වාර්තාකරුවකු පවා ප්‍රකාශ කරනවා.
මේ අතර ඉන්දියාවෙන් දිගින් දිගටම එල්ල වූ බලපෑම් මත වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නැයි ජනාධිපතිවරයා හමුදාපතිට නියෝග කරනවා. එම නියෝගය සම්බන්ධව හමුදාපතිවරයා සිය දැඩි විරෝධය පළකරන අතර මෙයින් කෝපයට පත්වූ ජනාධිපති ජයවර්ධන ඉන්දියාව සමග සටන් කළ යුතු නැතැයි තරයේ පවසනවා.
ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීම හා ඉන්දියානු හමුදා මෙරටට පැමිණීම
1987 ජූලි 29දා ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සහ රෝ බුද්ධිඅංශ නිලධාරීන් කොළඹට පැමිණ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමඟ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනවා. මෙම ගිවිසුම තුළ අඩංගු කරුණු කුමක්දැයි ජනාතවට හෙළි කර නොතිබූ අතර එම ගිවිසුම අත්සන් කිරීමට පෙර ජනාධිපති මැඳුර අබියස පැවැති ආචාර පෙළපාලියේ සිටි නාවික භටයකු රජිව්ට තුවක්කු බඳෙන් එල්ල කළ ප්‍රහාරයෙන් ඔහුට හානියක් සිදු වෙන්නේ නෑ. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර පැය 2ක් ගතවීමට පෙර ඉන්දීය හමුදාව හෙවත් සාම හමුදාව රැගත් ප්‍රවාහන යානා පලාලි ගුවන්තොටුපළට අවතීර්ණ වෙන අතර රජිව් ගාන්ධි විසින් කොටු වී සිටි ප්රභාකරන් ඇතුළු සගයන් බේරා ගන්නා අතර ඔහුව ඉන්දියාවට කැදවනවා.
වඩමාරච්චි මෙහෙයුම මගින් විනාශ කරන්නට සැලසුම් කල LTTE සංවිධානය ඉන්දියාවේ බලපෑම් මත නැවත ජීවය ලබන අතර තවත් දශක කිහිපයකට උරුම වූ කටුක යුද්ධයක් එහි ප්‍රතිඵලය වෙනවා.
කවරයේ ජායාරූපය – මෙරටට පැමිණෙන ඉන්දීය අගමැතිවරයා නාවික භටයකුගේ තුවක්කු ප්‍රහාරයට ලක් වීම (Hindustan Times)
මුලාශ්‍ර – www.sundaytimes.lk, dailynews.lk, dinamina.lk