පසුගිය ඔක්තෝබරයේ බොලිවියාවේ පැවති ජනාධිපතිවරණයෙන්, 2005 වසරේ සිට එරට ජනාධිපතිධුරයේ කටයුතු කළ ඊවෝ මොරාලෙස් ජයග්‍රහණය කළේ ය. නමුත් ජනතා විරෝධතා සමග පැන ආ හමුදා විරෝධය හමුවේ ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්විය. සෙනේට්වරියක වන ජීනීන් අනෙස් තමන් බොලිවියාවේ භාරකාර ජනපති බවට නිවේදනය කළත්, මේ වන විට බොලිවීයාවේ ඇතිව ඇත්තේ එක්තරා අන්දමක අරාජික තත්ත්වයකි. මේ ලිපියේ අරමුණ වර්තමානයේ ඇතිවී ඇති මේ අරාජික තත්ත්වයට ආසන්න හේතු, අතීත හේතු මෙන්ම, සැඟවුණු හේතුත් සොයා බැලීම යි.
මොරාලෙස්ගේ ආගමනය
2005 වන විට බොලිවීයාවේ පැවතියේ ඉතා අස්ථාවර තත්ත්වයකි. 2002 පැවති ජනාධිපතිවරණයේ දී ගොන්සාලෝ ඩි ලොසඩා ජයග්‍රහණය කළේ 23%ක ඡන්ද ප්‍රමාණයකින් වන අතර එය දෙවන අපේක්ෂකයා වූ ඊවෝ මොරාලෙස්ට වඩා 2%කටත් අඩු වැඩි ඡන්ද ප්රමාණයකි. 2005 වන විට වසර හතරක් තුළ ජනාධිපතිවරුන් පස් දෙනෙකු බොලිවියාව පාලනය කළෝ ය. ඒ අනුව 2005 පැවති ජනාධිපතිවරණයෙන් සමාජවාදී බලවේගයේ අපේක්ෂකයා වූ ඊවෝ මොරාලෙස් ජයග්‍රහණය කළේ 54%ක් පමණ ඡන්ද ප්‍රතිශතයකිනි. වසර 193ක නිදහසින් පසු බොලිවීයානු ආදිවාසී සම්භවයක් සහිත පළමු ජනාධිපතිවරයා වූ ඊවෝ මොරාලෙස් කොකා ගොවියෙකි. බලයට පැමිනි මොරාලෙස් බොලිවියාවට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දුන් අතර, එයට අනුව ජනාධිපතිවරයාගෙ හා උප ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහකි. එසේම ඔවුන්ට එක දිගට බලයේ රැඳී සිටිය හැකි වන්නේ දෙවතාවක් පමණි.
මොරාලෙස් 2009 දී නැවත වරක් ජනාධිපතිවරයා ලෙස පත් වූ අතර ව්‍යවස්ථාවට අනුව ඔහුගේ නිල කාලය 2014 දී අවසන් වීමට නියමිතව තිබිනි. එහෙත් නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූයේ 2005ට පසුව බැවින් 2005 ජනාධිපතිවරණය ව්‍යවස්ථානූකූල දෙවතාවට අදාල නොවන බව තර්ක කරමින් 2014 ජනාධිපතිවරණයට ද මොරාලෙස් තරග කරන ලදී. එම ජයග්රහණයෙන් පසුව තමන් 2019 දී දීර්ඝ දේශපාලනයට සමුදෙන බවත්, ආපන ශාලවක් පවත්වා ගෙන යමින් දිවි ගෙවීමට අදහස් කරන බවත් කීවේ ඔහුගේ සරල කම ගැන ලොවටම කියමිනි.
එහෙත් 2014 දී නැවත පත් වීමත් සමග මොරාලෙස් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවේ, ජනාධිපතිවරයාට දෙවරක් නැවත පත්වීමට හැකියාව ඇති කිරීමට ය. නමුත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණු මෙම සංශෝධනය සඳහා, ඒ සම්බන්ධව පැවැත්වූ ජනමත විචාරණයෙන් ලැබුණේ අනපේක්ෂිත පරාජයකි. එහෙත් මොරාලෙස් පරාජය පිළිගත්තේ නැත. ජනසම්මතවාදය හා ප්රජාතන්ත්රවාදය ගැන 2004 දී බොහෝ ධනාත්මක දේ පැවසූ මොරාලෙස් මෙවර ව්‍යවස්ථාදායක අධිකරණයේ පිහිට පැතීය. ඒ අනුව ව්‍යවස්ථාදායක අධිකරණය, බොලීවියානු ව්‍යවස්ථාවේ දෙවරකට වඩා නැවත පත්වීමට ඇති බාධකය මානව හිමිකම් කඩවීමක් බවත්, ජනාධිපතිවරයාට එවැනි බාධාවක් පැනවීම නිති විරෝධී බවත් තීන්දුකර සිටියා. ඒ අනුව ඊවෝ මොරාලෙස්ට 2019 දී නැවත වරක් ජනාධිපතිවරණයට තරග වැදීමට ව්‍යවස්ථාදායක අධිකරණය මඟින් ඉඩ ලබා දුන්නා. ඒ අනුව 2019 ඔක්තෝබර් 20 වෙනි දින ඊවෝ මොරාලෙස් ජනාධිපතිවරණයට තරග වැදුනා.
2019 ජනාධිපතිවරණය
බොලිවියානු ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයගැනීම නම් සුදුසුකම් දෙකකින් එකක් සම්පූර්ණ විය යුතු යි. එකක් නම් 50%කට වඩා වැඩි ඡන්ද ලබා ගත යුතු බව යි. එසේත් නොමැති නම් 40%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් හා ඊළඟ අපේක්ෂකයාට වඩා 10%ක වැඩි ඡන්ද ලබා ගත යුතු ය. මෙම නිර්ණායකයන් දෙකෙන් එකක් හෝ තෘප්ත නොකරන්නේ නම්, පළමු හා දෙවන අපේක්ෂකයා අතර දෙවැනි වටයක ඡන්දයක් පැවැත්විය යුතු ය. එහෙත් 2019 ජනාධිපතිවරණයේ ඡන්දවලින් 80% පමණ ගණන් කිරීමේ දී මෙම නිර්ණායකයන් දෙකම තෘප්ත නොකරන බව පෙනෙන්නට තිබුණු බවක් පැවසෙනවා. ඒ වන විට මොරාලෙස් 45%ක් ද ඔහුගේ ආසන්නම ප්‍රතිවාදියා වූ කාර්ලෝස් මේසා 38%කුත් ඡන්ද ලබාගෙන තිබුණා. ඒ අනුව, හිටි හැටියේම ඡන්ද ප්‍රකාශ කිරීම අත්හිටවනු ලැබුවා. ඔක්තෝබර් 24 වන දින මොරාලෙස් 47%ක ප්‍රතිශතයක් සහිතව, විරුද්ධ අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද 10%කට වඩා මඳක් වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කර සිටියත්, විරුද්ධ පක්ෂය ඊට විරුද්ධව නිරන්තරයෙන් උද්ඝෝෂනයේ යෙදුණේ එහි වංචාවක් සිදුව ඇති බව කියමින්.
මොරාලෙස්ගෙ ජයග්‍රහනය බ්‍රසීලය, ආර්ජන්ටිනාව, කොලොම්බියාව, එක්සත් ජනපදය, සහ යුරෝපා හවුල ප්‍රතික්ෂේප කළත් මෙක්සිකෝව, නිකරගුවාව, කියුබාව, පලස්තීනය, හා නොබැඳි ජාතීන්ගේ සමුළුව විසින් පිළිගනු ලැබුවා. ඒ අනුව මොරාලෙස් විසින් ඡන්ද ගණන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයකට කැමැත්ත ප්‍රකාශ කළා පමණක් නොව අක්‍රමිතාවක් සිදූ වී ඇත්නම් නැවත ඡන්දයක් පවත්වන බවත් ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ඇමරිකානු රාජ්‍යයන්ගේ සංවිධානය විසින් නොවැම්බර් 9 දින නිකුත් කෙරුණු මැතිවරණ වාර්තාව මඟින්, පැවති මැතිවරණයේ අතිමහත් අක්රමිතතා ඇති වී තිබූ බව හෙලිකළා. නොවැම්බර් 10 වන දින මොරාලෙස් නැවත ඡන්දයකට යන බව ප්‍රකාශ කළත් ඔහුට හමුදාවේ හා පොලීසියේ බලය අහිමි වූවා. හමුදාව මොරාලෙස්ට තනතුරෙන් ඉවත්ව යන ලෙස විධාන කළ අතර, ධුරයෙන් ඉවත් වූ මොරාලෙස් මෙක්සිකෝවට පලා ගියා.
ඇමරිකානු අත පෙවීම
එක්සත් ජනපදය යනු ලොව වටා ඇති ස්වභාවික සම්පත් කෙරෙහි සිය උකුසු ඇස නිරන්තරයෙන් යොමු කර සිටින රටක්. වෙනිසුවේලාවේ තෙල් සම්පත කොල්ලකෑමට, නිකලස් මදුරෝ එහි පාලනයෙන් ඉවත් කීරීමට කැස කවන එක්සත් ජනපදය, සිය උකුසු නෙත් බොලිවියාවට යොමා සිටින්නේ කලක පටන්. ලිතියම් ත්‍රිකෝණය ලෙස හඳුන්වන චිලිය, බොලිවියාව හා අර්ජන්ටිනාවෙන්, ලොව ලිතියම් සම්පතින් 60%ක්ම අයිතිය ඇත්තේ බොලිවියාවට යි. බොලිවියාවෙන් මෙම සම්පත් කොල්ලකෑමට තර්ජනයක්ව සිටි පිරිස අතුරින් මොරාලෙස් එක අයෙක්.
ඒ අනුව ඇමරිකානු මේ උත්සාහය හුදෙක් බොලිවීයාට ප්රජාතන්ත්රවාදය හෝ මානව හිමිකම ලබා දීම නොවන බව ළදරුවකට වුව ද වටහාගත හැකි කරුණක්. එක්සත් ජනපදය මොරාලෙස්ගේ පාලනය පිළිබඳ බොහෝ කලෙක පටන්ම සිටියේ ප්‍රියතාවයකින් නොවේ.
ලතින් ඇමරිකානු රටවල් තම වීරයා ලෙස සලකන්නේ සයිමන් බොලිවර්වය. ඔහු ලතින් ඇමරිකානු රටවල් ප්‍රංශ ආක්‍රමණයෙන් මුදා ගැනීමට සිය ජීවිතය කැප කළේ ය. බොලිවියාට ඒ නම ලැබුනේ බොලිවර්ට ගෞරවය පිණිස ය. ඔහු විසින් වරක් ප්‍රකාශ කළේ, කිසිවෙකුට දීර්ඝ කාලයක් බලයේ සිටීමට ඉඩ තැබීම හානිකර ප්‍රතිඵල ගෙනදෙන බව යි. යමෙකු දීර්ඝ කාලයක් බලයේ සිටීමෙන් මිනිසුන් ඔහුට ගෞරව කිරීමට පෙළඹෙන අතර නිරන්තරයෙන්ම ඔහුගේ නායකත්වය අපේක්ෂා කරන බවත්, එමඟින් කොල්ලකාරීබව හා කුරිරුකම මතුවන බවත් ඔහු ප්‍රකාශකර සිටියේ ය. සයිමන් බොලිවර්ගේ එම වචන වඩාත් උචිත වන්නේ බොලිවියාවේම ඊවෝ මොරායස්ට වීම දෛවයේ සරදමක් නොවේ ද?