Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ අන්තර්කාලීන අයවැය කෙසේ විය යුතුද?

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විටත් පවතින්නේ ඉතාමත් අසීරු අඩියක යි. එය වර්තමාන තත්ත්වයට පත්වන්නට හේතු වී ඇත්තේ දශක ගණනාවක් තිස්සේ අනුගමනය කළ ඉතා දුර්වල රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, බාහිර සාධක වාසි දායක ලෙස හසුරුවා නොගැනීම, අදූරදර්ශී සහ වැරදි බදු කපා හැරීම් සහ මුදල් අච්චුගැසීම වැනි කාරණා ගොන්නකු යි. මෙය වඩාත් තීව්‍ර කිරීමට ලෝක ආර්ථික අර්බුදය ද හේතු වී තිබෙනවා.

වර්තමානයේ ශ්‍රී ලංකාව සිටින ස්ථානය අනුව මෙහි අනාගතය දෙස අසුබවාදී ඇසකින් බැලීම ඉතා පහසු වන අතර, සුබවාදී ලෙස බැලීම ඉතා අපහසු වී තිබෙනවා. කෙසේ නමුත් මේ තත්ත්වයෙන් මිදීම සඳහා පසුගිය මාස කිහිපයේ දී ම බලධාරීන් ක්‍රියාමාර්ග කිහිපයක්ම ගැනීමට උත්සාහ කළා. මේ වන විටත් වර්තමාන බලධාරීන් ඒ සඳහා උත්සාහ ගනිමින් සිටින අතර, ඒවා සමහරකගේ සාර්ථකභාවය පිළිබඳ විවේචන තිබුණත් යම් සාධනීය ලකුණු ද අතරින් පතර පෙන්නුම් කර තිබෙනවා. මෙලෙස ක්‍රියාවට නැංවීමට උත්සාහ කරන නවත ම සාධකයක් ලෙස ‘අන්තර්කාලීන අයවැය’ හඳුන්වා දිය හැකි වෙනවා. ශ්‍රී ලංකාවට මේ ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සාධනීය ලෙස යොදා ගත හැකි වන්නට නම් මෙම අයවැය කුමනාකාර විය යුතු ද? කුමන කාරණා අන්තර්ගත විය යුතුද? යන්න පිළිබඳ ව මේ ලිපියෙන් සාකච්ඡා කරන්නට අප බලාපොරොත්තු වෙනවා.

මෙම සතියේ උද්ධමන වගුවේ තෙවැනි තැන ශ්‍රී ලංකාවට – https://twitter.com/steve_hanke

 

ඉතිහාසය ගැන පසු විපරමක් – ශ්‍රී ලංකාවේ අයවැය ප්‍රතිපත්තිවල වෙනසක් අවැසි ඇයි?

නිදහස ලබා ගැනීමෙන් පසු ගත වූ වසර 74 ක කාලයෙන් බහුතරයක ශ්‍රී ලංකාව අනුගමනය කළ අයවැය ලේඛනවල ආදායම් සහ වියදම් අතර විශාල පරතරයක් තිබුණා. මෙලෙස රාජ්‍ය වියදම්, ආදායම්වලට සාපේක්ෂ ව ඉතා ඉහළ නිසා, මෙම අයවැය හිඟය පියවා ගන්නට ඒ ඒ කාලවල සිටි බලධාරීන් විදෙස් ණය ගන්නට පියවර ගත්තා. මේ නිසා බැලූ බැල්මට රට ඉතා විශාල ආර්ථික අවදානමකට ලක්වන බැව් සමාන්‍ය මහජනයාට සහ පහළ රාජ්‍ය නිලධාරීන්ට  නොපෙණුනු අතර, ඔවුන් රිසි පරිදි ඉන්ධන වැනි අනෙකුත් අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ පමණක් නොව අත්‍යවශ්‍ය නොවන ආනයනික භාණ්ඩ පවා භාවිත කරමින් සිය දිවිය පහසුවෙන් ගෙන ගියා. 

කෙසේ නමුත් මේ ණය පොලිය ද සමඟ නැවත ගෙවිය යුතු වූ අතර, එලෙස ලබා ගත් ණයවලින් කොටසක්, අනාගතයේ විදෙස් ආයෝජන එන ව්‍යාපෘතිවලට ආයෝජනය කර, විදේශ විනිමය මෙරටට අද්දවාගැනීමට කටයුතු කර, ඒවායින් මේ ණය වාරික සහ පොලිය ගෙවනු වෙනුවට මෙහි බලධාරීන් තවත් විශාල ණයක් ගෙන, ඉන් කොටසකින් පළමු ණය ගෙවා දැමීමට කටයුතු කළා. මේ නිසා වසරින් වසර මෙරට ණය බර වැඩි වුණා. මෙම ණය බෝම්බය 2022 වසර වන විට පුපුරා ගොස් තිබෙනවා. එනිසා ණය වාරික හෝ ගෙවා ගැනීමට නොහැකි තරමට මෙරට ආර්ථිකය ණය කන්දක සිර වී තිබෙනවා. රජයේ මූල්‍ය ප්‍රතිපත්තිවල සය අයවැයෙහි කැපී පෙනෙන වෙනසක් අවශ්‍ය වන්නේ එබැවිනු යි. ආර්ථික විද්‍යාව සම්බන්ධ විද්වතුන් පවසන අන්දමට, වර්තමානය වන තුරු ශ්‍රී ලංකාව අනුගමනය කළ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිවලින් මිදී, ඉතා සාධනීය වෙනසකට බඳුන් කළහොත්, වැඩි කල් නොගොස්  මෙරටට ආර්ථික වශයෙන් නැවත නැඟී සිටීමේ නොහැකියාවක් නැහැ.

නියම විසඳුම බදු වැඩි කිරීම ද? පරිභෝජනය අවම කිරීම ද?

වර්තමානය වන විට ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඉතාමත් පහළ යි. මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකය ලොව දුර්වලත ම ආර්ථිකයක් ලෙස හංවඩු ගැසී තිබෙනවා. සමස්ත ලෝකය හා සසඳන විට මේ වන විට ශ්‍රී ලංකාව පවතින්නේ අන්ත දරිද්‍රතා මට්ටමක යි. මේ නිසා මෙරට භාණ්ඩාගාරයට ලැබෙන මුදල් කෙසේ හෝ වැඩි කරගත යුතු වෙනවා.

මේ සඳහා ගත හැකි වඩාත් පහසු ම පියවර වන්නේ 2019 වසරේදී ආණ්ඩුව හඳුන්වා දුන් බදු කපාහැරීම් නැවත බලාත්මක කිරීම යි. එම අඩිතාලම දමා ගැනීමෙන් අනතුරු ව ඉදිරි පියවර ගැන සිතිය හැකි අතර, කෙසේ නමුත් මෙලෙස ගන්නා පියවර, සමාජයේ දරිද්‍රතා මට්ටමෙන් පහළ සිටින අයට තවත් බරක් නොවී ක්‍රියාත්මක කළ යුතු ඒවා ද විය යුතු වෙනවා. මේ නිසා වක්‍ර බදු වැඩි නොකර, සෘජු බදු වැඩි කිරීම සිදු කළ යුතු වෙනවා. කොටින් ම, ආදායම මත පදනම් ව මෙරට සෘජු බදු ගෙවීමට සුදුසු පුද්ගලයන් ප්‍රමාණය වැඩි කෙරෙන ආකාරයේ ප්‍රතිපත්ති හඳුන්වා දිය යුතු වෙනවා.

තෙල් නැතිව තෙල් සංස්ථාව කෝටි හතලිහක අතිකාල ගෙවලා – sinhala.lankanewsweb.net

 

රජයට ලැබෙන ආදායම් වියදම් කිරීම ද අරපරෙස්සමෙන් සිදු කළ යුතු වන අතර, ශ්‍රී ලංකා රජය සතු දැඩි ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන කිහිපයක් ම තිබීම මේ කාරණාව ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රධානත ම බාධාවක් සේ හඳුනා ගත හැකි යි. මේවායේ ඉතා අකාර්යයක්ෂ්ම, උදාසීන සහ නාස්තිකාරී ක්‍රියා පිළිවෙත් වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වී ඇති අතර, කිසිදු පලදායීතාවක් නැති අතිකාල ගෙවීම්, බෝනස් මුදල් ගෙවීම් සහ අනවශ්‍ය ලෙස සේවක බඳවා ගැනීම් වැනි තත්ත්ව නිසා ඒවායින් ලැබෙන සේවය, උපයන ආදායම්වලට වැඩා වැඩි මුදලක් ඒවා වෙනුවෙන් යොදවන්නට සිදුවී තිබෙනවා. මේ නිසා වහා ම අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගෙන, ඒවා ප්‍රතිව්‍යුහගත කළ යුතු ම වෙනවා.

දුම්රිය වෘත්තීය සමිති පවසන අන්දමට දෙපාර්තමේන්තුවේ රියැදුරන් නියාමකයන් ඇතුළු පිරිසකගේ අතිකාල අතිවිශාල ය. වසරකට අතිකාල පිණිස සාමාන්‍යයෙන් රුපියල් කෝටි 250ක් පමණ වැය වනවා. මාසිකව වැටුප් හා අතිකාල සඳහා පමණක් වන රුපියල් කෝටි 101කට අධික මුදලක් ද ඒ අතර වනවා. දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය මාසික ආදායම වන්නේ කෝටි 22ක පමණ මුදලක්. මේ ඉතා අකාර්යයක්ෂ්ම, උදාසීන සහ නාස්තිකාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන ආයතන සඳහා එක් උදාහරණයක් පමණ යි. 

වසරකට දුම්රියේ අතිකාල පිණිස සාමාන්‍යයෙන් රුපියල් කෝටි 250ක් පමණ වැය වනවා. සාමාන්‍ය මාසික ආදායම කෝටි 22යි – www.silumina.lk 

 

පසුගිය දශක දෙකෙහි ශ්‍රී ලංකා ආර්ථිකය සලකන කල්හී ඇත්තෙන් ම යම් ප්‍රමාණයකින් රටක් වශයෙන් වූ වියදම් අප අඩු කර ගෙන තිබෙනවා. කෙසේ නමුත් ඒ අඩු වීම්වලට හේතු වී ඇත්තේ කෙමෙන් කෙමෙන් කැස කැවෙමින් තිබූ මේ ණය සහ ආදායම් අඩු වීමේ ගැටලුව යි. කෙසේ නමුත් රටක් වශෙන් අප වියදම් අවම කර ගෙන තිබෙන්නේ, හිසේ රදයට කොට්ටය මාරු කරන ආකාරයට යි. එක් පසෙකින් රටට විදෙස් විනිමය ලබා දෙන, භාණ්ඩ සහ සේවා සඳහා යොදන මුදල් ක්‍රමයෙන් කපා හරිද්දී අනෙක් පසින්, කිසිදු පල ප්‍රයෝජනයක් නොමැති චන්ද්‍රිකා වැනි දේ කක්ෂ ගත කරන්නට, ගොඩනැඟිලි ඉදි කරන්නට එමෙන් කිහිප ගුණයක් මුදල් වැය කර තිබෙනවා. මේ නිසා ඉහත කපාහැඊම් වලින් කිසිදු පල ප්‍රයෝජනයක් වී නැහැ. ශ්‍රී ලංකාව සතු සීමිත ආර්ථික සම්පත් එක් පසෙකින් විශාල ලෙස නාස්ති වන විට, අත්‍යවශ්‍ය වියදම් කපා හරිමින්, අනෙකුත් ක්ෂේත්‍ර ඉතිරි කර දෙන මුදල්වල වටිනාකම මේ වන විට නැති වී තිබෙන අතර, වහාම මේ ක්‍රමය වෙනස් විය යුතු වෙනවා.

ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම

ශ්‍රී ලංකාවේ යම් ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුවා සේ ම, සම්පත් බෙදී යාමත් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු වෙනවා. වර්තමානය වන විට අප සතු සීමිත සම්පත් බහුතරය පවතින්නේ උපරිම ප්‍රයෝජනය ගත හැකි තැන් වල නොවෙයි. සම්පත් අවශ්‍ය, අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ සපයන ආයතන සම්පත් හිඟතාවෙන් පෙළෙද්දී, තවමත් සම්පත් නාස්ති කරන ආයතන රටෙහි පවතිනවා. විශේෂයෙන් සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවලට දැඩි සම්පත් හිඟතාවක් පවතිනවා. එලෙස කාරණා සිදුවෙද්දී සමහර සුබසාධක වියදම් සහ සම්පත් ඒවා අවශ්‍ය නොවන පුද්ගලයන් අතරට ගොස් නාස්ති වීමට ද ලක් වෙනවා. මේවා නිසි ලෙස නැවත සථානගත කිරීම වහාම සිදු කළ යුතු වෙනවා. කෙටියෙන් ම පැවසුවහොත් සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවාවලට අදාළ යෙදවුම් නිසි ලෙස යෙදවිය යුතු අතර, ඒවා සඳහා වන යෙදවුම් අතිරික්ත යෙදවුමක් ඇති ක්ෂේත්‍රවලින් ගත යුතු වෙනවා. කෙසේ නමුත් මේ අතර ම, සුබසාධනය වැනි කටයුතු ද විශාල ප්‍රමුඛතාවකින් කරගෙන යා යුතු වෙනවා.

Budget
මින් මතු මෑතක දී තැනෙන සියලු අයවැය, මේ අන්තර්කාලීන අයවැය අනුසාරයෙන් තැනිය යුතු වෙනවා – corporatefinanceinstitute.com

මී ළඟට සිදුවෙන්නේ කුමක් ද?

2022 වසරේ අයවැය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නොමැති වීම නිසා, රජය 2022 වසර සඳහා අන්තර්කාලීන අයවැයක් හඳුන්වා දීම මෑතකදී ම සිදුවනු ඇති. එය මේ නොවැම්බර් මස 2023 වසර සඳහා වූ අයවැය ඉදිරිපත් කරන තුරු ක්‍රියාත්මක වනු ඇති. කෙසේ නමුත් මින් මතු මෑතක දී තැනෙන සියලු අයවැය, මේ අන්තර්කාලීන අයවැය අනුසාරයෙන් තැනිය යුතු වෙනවා. ඒ මඟ යා යුතු ද වෙනවා. මෙරට ආර්ථික වශයෙන් කෙමෙන් කෙමෙන් සවිමත් කරන්නට ඇති හොඳ ම මාර්ගය එය යි. කෙසේ නමුත් එම අයවැය නියමාකාරයෙන් තැනීමේ දී සහ ක්‍රියාත්මක කිරීමේදී බලධාරීන්ට අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදුවනු ඇති. විශේෂයෙන් වර්තමාන ක්‍රමවේදයන්ට හුරු වී සිටින, වර්තමානයේ වැඩි වාසි ලබන පාර්ශව, මේ වෙනස්කම් නිසා තමන්ට ලැබෙන වාසි අවම වන විට, විවිධ හේතු ඉදිරිපත් කරමින් ඊට එරෙහි ව නැගී සිටිනු ඇති. කෙසේ නමුත් ඒවාට අනුකූල වුවහොත් රට තව තවත් ආගාධයට යනු ඇති. කශේරුකාව කෙළින් තබා ගෙන, විනිවිද භාවයකින් යුක්ත, සාර්ථක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ හැකියාව බලධාරීන්ට ලැබුණහොත්, මෙරට ඉක්මනින් ම වර්තමාන ආර්ථික ආගාධයෙන් මිදෙනු ඇති.

 සිංහල අනුවාදය: දිනිඳු ඒකනායක 

මුල් ලිපියට:

https://roar.media/english/life/current-affairs/what-srilanka-interim-budget-looks-like

 

 කවරයේ පින්තූරය - Roar Media/Jamie Alphonsus  

Related Articles