Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොවිඩ්-19 සඳහා ඖෂධයක් අත්හදා බැලීම තාවකාලිකව නැවතේ

මැලේරියාව සඳහා ලබා දෙන ඖෂධයක් වන “හයිඩ්රොක්සික්ලොරොකින් ” (hydroxychloroquine) කොවිඩ් 19 වැළඳී ඇති රෝගීන්ට ලබා දීමත්, හයිඩ්රොක්සික්ලොරොකින් යොදාගෙන කොවිඩ් 19 සඳහා ඖෂධ නිපදවීම සම්බන්ධව කෙරෙන සියලුම පර්යේෂණත් නවතා දැමීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය දා තීරණය කර තිබෙනවා. ඒ බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ගේබ්‍රියෙසස් මැයි 25 වන දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

කොවිඩ් 19 වෛරසය වැළඳුනු ආසාදිතයන් අතරින් හයිඩ්රොක්සික්ලොරොකින් භාවිතා නොකරන්නන්ට සාපේක්ෂව භාවිතා කරන්නන් අතර වැඩිපුර මරණ හා හදවත සම්බන්ධ සංකූලතා ඇතිවන බව පර්යේෂණ වාර්තාවලින් හෙළි වී තිබෙනවා. ඒ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඖෂධය කොවිඩ් 19 සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගැනීම තාවකාලික තහනම් කර තිබෙනවා. මෙය ආරක්‍ෂිත පියවරක් බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව ඉදිරි පර්යේෂණ තවදුරටත් ක්‍රියාත්මක බව ද සඳහන් කරනවා.

කොරෝනාවෛරසය සඳහා පැරණි ඖෂධ අත්හදා බැලීම 

රෙම්ඩිසිවියර් (nursinginpractice)

කොරෝනාවෛරසය හේතුවෙන් මේ වන විට (ජුනි 1 දා වන විට) ලෝකය පුරා 371,700කට වැඩි පිරිසක් මරණයට පත් වී තිබෙනවා. නමුත් මේ වන තුරු ඒ සඳහා ප්‍රතිකාර කළ හැකි ඖෂධයක් නිෂ්පාදනය කිරීමට කිසිදු රටකට හැකියාව ලැබී නෑ. වර්තමානය වන විට ලොව පුරා විවිධ ඖෂධ වර්ග 150කට වැඩි ප්‍රමාණයක් පිළිබඳ පර්යේෂණ සිදු කෙරෙමින් පවතින අතර සමහර ඖෂධ සාධනීය ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. 

කොරෝනාවෛරසයට එරෙහිව අත්හදා බලමින් තිබෙන බොහෝමයක් ඖෂධ දැනට පවතින ඒවා වීම ද විශේෂත්වයක්. ඉබෝලා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා නිපදවූ ප්‍රතිවෛරස ඖෂධයක් වන රෙම්ඩිසිවියර්, මැලේරියාව සඳහා වන හයිඩ්රොක්සික්ලොරොකින්, හා එච්.අයි.වී වෛරසයට ලබා දෙන ඖෂධ යුගලයක් වන ලොපිනවියර් සහ රිටොනවියර් ද ඒ අතර වෙනවා. නමුත් මෙම ඖෂධවලින් ප්‍රතිකාර කිරීමේ දී සාර්ථක වූ බවට ප්‍රමාණවත් සාක්ෂ්‍ය මේ වන තුරු ලැබී නෑ.

රෝගීන් 96000ක් පදනම් කරගනිමින් කළ පර්යේෂණය 

හයිඩ්රොක්සික්ලොරොකින් (cdn)

ලෑන්සෙට් වෛද්‍ය සඟරාව විසින් රටවල් කිහිපයක රෝහල්ගත කර සිටින කොරෝනා වෛරස් ආසාදිතයන් 96,000ක් යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයක දී හයිඩ්රොක්සික්ලොරොකින් භාවිතා කරන කොරෝනාවෛරස් ආසාදිතයන් එය භාවිතා නොකරන ආසාදිතයන්ට වඩා වැඩිපුර මරණ හා හදවත සම්බන්ධ සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවයකින් පෙළෙන බව හෙළිකරගෙන තිබෙනවා. ඔවුන් තුළ අසාමාන්‍ය හෘද ස්පන්දන රටාවක් ඇති වන අරිත්මියා තත්ත්වයක් ඇති වී හදිසි හෘදයාබාධයකට ගොදුරු වී  මිය යාමේ ඉහළ සම්භාවිතාවක් ඇති බව ද තහවුරු කරගෙන තිබෙනවා.

කෙසේ නමුත් ගෙන ඇති තීරණය තාවකාලික වන අතර තවත් පර්යේෂණ මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. එම පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේ දී මෙම ඖෂධය කොරෝනාවෛරසයට එරෙහිව භාවිතයට ගැනීම හෝ නොගැනීම පිළිබඳව ස්ථිර තීරණයකට එළඹීමට නියමිත යි.

හයිඩ්රොක්සික්ලොරොකින් ප්‍රවර්ධනය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්

හයිඩ්රොක්සික්ලොරොකින් බෙහෙත ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින්ට ලබා දීමට තමන් නිර්දේශ කරන බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා. (itv)

කොරෝනාවෛරසය ව්‍යාප්තවීමත් සමගම මෙම ඖෂධය පිළිබඳව ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාබහක් හේතුවෙනු යි. ඔහු අවස්ථා කිහිපයක දීම සඳහන් කරන්නේ හයිඩ්රොක්සික්ලොරොකින් බෙහෙත ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින්ට ලබා දීමට තමන් නිර්දේශ කරන බව යි. තමන් ද වෛරසය ආසාදනය වීමෙන් වැළැකීම සඳහා දෛනිකව හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් ඖෂධය ලබාගන්නා බව ද වරෙක ඔහු සඳහන් කරනවා.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ඇමෙරිකා එක්සත් ජනපද වෛද්‍ය සභාවේ මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද විවේචනයට බඳුන් වූ අතර වෛද්‍ය උපදෙස් නොමැතිව මෙම ඖෂධය භාවිතා කිරීම භයානක බව ඔවුන් පෙන්වා දෙනවා. නමුත් එම අදහස් පිළිනොගන්නා ජනාධිපතිවරයා මෙම ඖෂධය භාවිතා කිරීමෙන් කොරෝනාවෛරස වසංගතයට සාර්ථකව මුහුණ දිය හැකි බව ප්‍රකාශ කරනවා. ඔහුව අනුකරණය කරන රටවල් කිහිපයකම දේශපාලඥයන් හයිඩ්රොක්සික්ලොරොකින් කොරෝනාවලට එරෙහිව භාවිතය සුදුසු බවට යම් යම් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.

හයිඩ්රොක්සික්ලොරොකින් කොවිඩ් 19 සඳහා නිර්දේශ කරන බ්‍රසීල ජනාධිපතිවරයා 

වෛරසය පිළිබඳව උදාසීන අදහසක් දක්වන බ්‍රසීල ජනාධිපතිවරයා (bangkokpost)

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙන්ම තම රටේ වෛරස ව්‍යාප්තිය පිළිබඳව වගකීමක් නොගන්නා රාජ්‍ය නායකයෙක් ලෙස බ්‍රසීල ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝව ලෝක ජනමාධ්‍ය විසින් හඳුන්වනු ලබනවා. ඔහු ද මීට ප්‍රථම තම රටේ වෛරසය ආසාදිත රෝගීන්ට හයිඩ්රොක්සික්ලොරොකින් ලබා දෙන ලෙස ප්‍රකාශ කර තිබෙනවා. නමුත් එරට සෞඛ්‍ය අංශ එම ප්‍රකාශය බැහැර කරනවා. මෙම ඖෂධය කොවිඩ් 19 වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමට නුසුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබිය දී පවා එය යොදාගෙන තවත් අත්හදාබැලීම් කරන ලෙස බ්‍රසීල ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

තවදුරටත් කියවන්න – කොරෝනාවටත් වඩා බ්‍රසීලයට වින කරන ජනපති – බොල්සොනාරෝ 

කවරයේ පින්තූරය -cnn

මූලාශ්‍රයයන්: 

Reuters.com

bbc.com

Related Articles