මේ මොහොත වන විට ශ්‍රී ලංකාව ඉන්නේ ඉතාමත් අවදානම්සහගත, ඉතිහාසයේ කිසිම දිනක මුහුණ නොදුන් මොහොතක බව අපි හැමෝ ම දන්න කරුණක්. මීට මාස කිහිපයකට පෙර ඇති වූ ආර්ථික අර්බුදයට නිසි විසඳුම් සෙවීමට ශ්‍රී ලංකාව තවමත් අපොහොසත් වීම නිසා ජනතාව ඉතාමත් දරුණු ජීවන අරගලයකට මුහුණ දෙමින් සිටිනවා. එහි උච්තච ම අවස්ථාව ලෙස එම පීඩනය පිට කරමින් ජනතාව පැවති ආණ්ඩුව ඉවත් කිරිමට පෙලඹීම දැක්විය හැකි යි. එය එතනින් අවසන් වෙයිද? මේ සිදු වූ ආර්ථික හා දේශපාලන අර්බුදය කවදා අවසන් වේවිද? මෙය බොහෝ දෙනා නඟන ප්‍රශ්නයක් අද අපි ඒ ගැන කතා කරමු.
ලෝකයේ රටවල් දෙස ආර්ථික විද්‍යාත්මකව බැලූවිට අපට පෙනෙන දේ තමයි රටක ආර්ථික අර්බුදයක් ඇති වූ විටක ඒත් සමඟ ම එහි දේශපාලන සහ සමාජ අර්බුද ද ඇති වන බව. ආර්ථික අර්බුදය මුලින් ම හට ගත් නිසා අපට ඒවා හට ගත් පිළිවෙළට ම මෙම අර්බුදවලට විසඳුම් සෙවීම අසීරු කරුණක්. ඒ වෙනුවට රටකට සිදු වෙනවා මුලින් ම තමන් මුහුණ දෙන දේශපාලන අර්බුදය විසඳාගෙන ස්ථාවර දේශපාලන වටාපිටාවක් රටේ ස්ථාපිත කරන්න.
ඉන් පසුව එම ස්ථාවර දේශපාලන ව්‍යූහය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය (Fiscal Policy), මහ බැංකුව නිවැරැදි ව ක්‍රියාත්මක කරන නිවැරැදි මූල්‍ය ප්‍රතිපත්තිය (Monetary Policy) සමඟ ගළපමින් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සිදු කළ යුතු යි. ආර්ථික අර්බුදයට විසඳුම් ලැබුණු පසු සමාජ අර්බුදයට ඉබේම විසඳුම් ලැබෙන එකයි සාමාන්‍යයෙන් සිදු වෙන්නේ. මෙවන් ආර්ථික අර්බුදයන්ට මුහුණ දුන් බොහෝ රටවලට ඉන් නැවත ගොඩ එමට නොහැකි වී සිටින්නේ අප සඳහන් කළ තමන් මුහුණ පා ඇති දේශපාලන අර්බුදය විසඳා ගැනීමට නොහැකි වීම මත යි.
දරුණු ආර්ථික අර්බුදය
පසුගිය මාර්තු මාසයේ දී පමණ සිට ශ්‍රී ලංකාවට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒත් සමඟම ඇති වූ දේශපාලන අර්බුදය අවසනයේ ඉතිහාසයේ කිසිම දිනෙක සිදු නොවුණු ආකාරයට පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම දක්වා ඇදී යන්නේ මෙරට ආර්ථික අර්බුදයට විසඳුම් තවමත් නොලැබුණු පසුබිමක යි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව අද වන විට දේශපාලනික ව අංශභාගයෙන් (political paralysis) පෙළෙන තත්ත්වයකට පත් ව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වේවා, වෙනත් ජාත්‍යන්තර සංවිධාන හෝ රටවල් වේවා ඔවුන් ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන්නේ රජයක් සමඟ යි.
ඔවුන් එහිදී තමන් උදවු කරන රටේ දේශපාලන ස්ථාවරත්වයක් පැවතීම අනිවාර්ය කරුණක් ලෙස සලකනවා. එසේ නොමැති නම් ඒ රටවල් ලබා ගන්නා ආධාර හෝ ණය මුදල් වෙනුවෙන් ඔවුන්ට ඇප වෙන්නේ කවුරුන් ද? ඔවුන් ලබා දෙන මුදල් හෝ වෙනත් ප්‍රතිලාභ හරහා රටේ අර්ථික අර්බුදය විසඳන බවට ඇප වීමට අනිවාර්යයෙන් ම රටක ආණ්ඩුවක් තිබිය යුතු යි. රටක දේශාපලන ස්ථාවරත්වයක් නොමැති නම් එවැනි අන්තර්ජාතික සංවිධාන ශ්‍රී ලංකාවට උදව් කරන්නට නොව සාකච්ඡා සඳහාවත් පැමිණෙන්නේ නෑ. ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් හැකි ඉක්මනින් ඇති විය යුතු බව අප පවසන්නේ ඒ නිසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සඳහා කාර්ය මණ්ඩල එකඟතාවකට කඩිනමින් පැමිණිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය දා පැවසුවා. අපේ රටේ නව පරිපාලනය කඩිනමින් ස්ථාපිත කර ස්වාධීන කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කතාබහ මේ මාසය තුළ අවසන් කිරීමට හැකි වනු ඇතැයි ද ඔහු කියා සිටියා. ඔහු එහිදී අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය කඩිනමින් ස්ථාපිත කිරීමේ වැදගත්කම යි.
රටක් ලෙස මුහුණ දී ඇති අර්බුදයේ තරම
“ඉහළ ණය ප්‍රමාණ වගේම සීමිත ප්‍රතිපත්ති අවකාශයකින් යුතු රටවල් අමතර පීඩනයකට මුහුණ දෙන්නට පුළුවන්. අනතුරු ඇගවීමේ සලකුණකට ඇති ඉතා සමීප උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බලන්න” යැයි ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පසුගිය දා කළ ප්‍රකාශය තුළ ද ගැබ් ව ඇත්තේ අප රටක් ලෙස මුහුණ දී ඇති අර්බුදයේ තරම යි.
විදේශ විනිමය අර්බුදයක් සමඟ සටන් කරන ශ්‍රී ලංකාව මිලියන 22ක් වූ සිය ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන හා ඖෂධ ආනයනය සඳහා ගෙවීම් කිරීමේ ගැටලුවක සිරවී සිටිනවා. උද්ධමනය 50% න් පමණ ඉහළ නගිද්දී වසරකට පෙර තිබුණාට වඩා 80% කින් පමණ ආහාර මිල වැඩි වී තිබෙනවා. මේ වසර තුළදී ශ්‍රී ලංකාවේ රුපියලේ වටිනාකම අමෙරිකානු ඩොලරය හා වෙනත් ගෝලීය වශයෙන් මුල් පෙළේ ඇති විනිමයට සාපේක්ෂව පසුබා තිබෙනවා. -bbc.com/sinhala
වර්තමානයේ ශ්‍රී ලංකාව ගමන් කරන්නේ ලෙබනනය හෝ වෙනිසුවෙලාව ගිය පාරේ ම බව යි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ. බීරුට්හි සිදු වූ පිපුරුමත් සමග ඇති වූ දරුණු ආර්ථික අර්බුදය නිසා එවකට අගමැති ව සිටි Hassan Diab ඉල්ලා අස් වීමත් සමඟ ලෙබනනය ද නිශ්චිත ස්ථාවර ආණ්ඩුවක් නොමැති ව දේශපාලනික අංශබාගයට වැටෙනවා.
ලෙබනන ආර්ථික අර්බුදය
ඔවුන් මාස 13ක් තිස්සේ එසේ සිට 2021 ජූලි මාසයේ දී නව රජයක් පිහිටුවා ගන්නවා. එහි අගමැතිවරයා ලෙසා ලෙබනනයේ ධනවත් ම පුද්ගලයකු වන Najib Mikati පත් වෙනවා. එනමුදු 2020 දී හට ගත් ලෙබනන ආර්ථික අර්බුදය අද වන විටත් එරටට විසදා ගැනීමට නොහැකි වී තිබෙන්නේ මෙලෙස වසරකට වැඩි කාලයක් ඔවුන්ට නිශ්චිත දේශපාලන ස්ථාවරත්වයක් පවත්වාගෙන යාමට නොහැකි ව තිබෙන නිසා යි.
එලෙස ම අප කලාපයේ ශ්‍රී ලංකාව වැනි ම ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානය ද දේශපාලනික ව්‍යාකූලත්වයකට පසුගිය කාලය පුරා ම මුහුණ දෙමින් සිටිනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට දැඩි විදේශ විනිමය හිඟයකට මුහුණ දෙමින් සිටි පාකිස්තානය මෙම වසරේ ඉන්ධන සහනාධාර ද ඉවත් කිරිම නිසා ඔවුන්ගේ ඉන්ධන මිල 90%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඒත් සමඟ ම ඔවුන්ගේ වාර්ෂික උද්ධමනය 12%ක් පමණ වෙනවා.
මෙම අර්බුදය පැමිණෙන අවස්ථාවේ පාකිස්තානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන්ට මෙම වසරේ අප්‍රේල් මාසයේ දී අගමැති ධුරයෙන් ඉවත් වීමට සිදු වූයේ ඔහුට විරුද්ධ ව ගෙනා විශ්වාසභංගය ඔහු පරාජය වීම නිසා යි. මේ වන විට පාකිස්තානය ජාතික සභාවකින් පාලනය වන අතර එය 2022 අගෝස්තු 13 වන දින විසුරුවා හැරිමට ද නියමිත ව සිටිනවා.
මේ අයුරින් ආර්ථික අර්බුදයක් මතු වූ හැම රටකට ම වාගේ රට තුළ මතු වූ දේශපාලන අර්බුදවලට මුහුණ දීමට සිදු ව ඇති බව අප දකිනවා. එසේම ඔවුන් එම ආර්ථික අර්බුදය විසඳා ගැනීමට තවමත් අපොහොසත් වී ඇත්තේ ශ්‍රී ලංකාවට මෙන් ම එම රටවල් වලට ද ස්ථාවර දේශපාලන පසුබිමක් රටේ ඇති කිරිමට අපොහොසත් වීම නිසා යි.
විදේශ විනිමය හා විදේශ සංචිත නොමැතිකම
අප කලින් කතා කළ පරිදි ම ශ්‍රී ලංකාවේ මේ ආර්ථික අර්බුදයට ඇත්තේ එකම එක හේතුව යි. ඒ විදේශ විනිමය හා විදේශ සංචිත නොමැතිකම යි. ඉතින් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ඇත්තේ ද එකම එක ක්‍රමය යි. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකතු වී එම ගැටලුවට පිළියම් සෙවීම යි. මේ වන විටත් අර්ජන්ටිනාව, ග්‍රීසිය වැනි රටවල් එම සංවිධානය සමඟ එකතු වී සාර්ථක ව ඔවුන්ගේ රටවල්වල ආර්ථික අර්බුදය විසඳා ගනිමින් සිටිනවා.
මෙවැනි විදේශ විනිමය හිඟයක් පියවා ගැනීම සඳහා ඇති ප්‍රධානත ම මාර්ගය එය වුවත් තවත් ක්‍රමයක් ලෙස විදේශ රටවල්වලින් ආධාර ලබා ගැනීම පෙන්වා දිය හැකි යි. රටවල් සමග ගනුදෙනු කිරීමේ දී භූ දෙශපාලනය (Geo – Politics) අනිවාර්යයෙන් ම බලපානවා. ශ්‍රී ලංකාවේ මේ විට පාලනය බලය හිමි පුද්ගලයා කවුරුන් වුව ද, ඔහුට අනිවාර්යයෙන් ම කුමන හෝ රටකට හෝ පාර්ශවයකට බර වීමට සිදු වෙනවා. එලෙස රටකින් උදව් ලබා ගැනීමට හෝ පෙර කී සංවිධානයකින් උදව් ලබා ගැනීමට රටකට අවශ්‍ය නම් කළ යුතු මුල් ම දේ වන්නේ දේශපාලනික ස්ථාවරත්වයක් හැකි ඉක්මනින් ඒ රට තුළ ගොඩ නැගීම යි.
ආර්ථික අර්බුදයේ අඳුරුත ම ප්‍රදේශ
දේශපාලනික ස්ථාවරත්වයක් නොමැති රටක් ඉදිරියේ දී මුහුණ පාන ආර්ථික අර්බුදයේ අඳුරුත ම ප්‍රදේශ අප තවමත් දැක නැහැ.තව ම අප රට මේ අර්බුදවලින් ගොඩ ඒමට පුළුවන් තත්ත්වයේ සිටිනවා. නමුත් දිගින් දිගට ම මෙලෙස දේශපාලනය අස්ථාවරභාවයේ රට සිටී ම ඉතාම භයානක යි.
ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ, එළැඹෙන 2023 වසරේ දී මෙරට ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් පහළ මට්ටමකට ඇද වැටෙනු ඇති බව යි.
බාහිරින් මුල්‍යාධාර සපයාගැනීම පමාවීම, ඉහළ යන වෙළෙඳ භාණ්ඩ මිල, දුර්වල ගෝලීය ආර්ථිකය මෙන් ම ණය අර්බුදය බැංකු පද්ධතිය වෙත පැතිරීම ද ශ්‍රී ලංකාව පිළිබඳ ආර්ථික පුරෝකථන ඉදිරිපත් කිරීමේ දී අවදානම් සහගත සාධක ලෙස ආසියානු සංවර්ධන බැංකුව හඳුනා ගෙන ඇති බව එම විශ්ලේෂණයෙන් පෙන්වා දෙනවා.
උද්ධමනය සමනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, ආදායම් මත පදනම් වූ මූල්‍ය ස්ථායිකරණය සහ වියදම් කපාහැරීම ආදී කරුණු ආර්ථිකය මන්දගාමී වීමට හේතු ලෙසයි ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ. මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ මේ වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 7.6කින් පමණ සංකෝචනය විය හැකි බව යි.
එසේ වුවහොත් ඉතිහාසයේ මෙරට අඩුම ආර්ථික වර්ධනය මේ වසරේ දී අපිට දැකගන්නට හැකියාව ලැබේවි. දේශාපලන ස්ථාවරත්වයක් ශ්‍රී ලංකාවේ කඩිනමින් ඇති කර රට මුහුණ දෙන මේ ආර්ථික අර්බුදය විසඳීමට ඉක්මනින් පිළියම් යෙදිය යුතු බව අප පවසන්නේ මේ හේතුව නිසා යි.
මේ හා සබැඳි තවත් ලිපි පහතින් කියවන්න.