ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ඉල්ලීම පරිදි උණ්ඩියල් සහ හවාලා වැනි අවිධිමත් ක්‍රම හරහා විදේශ මුදල් හුවමාරු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සහ දැනට සිදු වන විමර්ශන පුළුල් කිරීමට පොලිස්පතිවරයා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර ඇති බව පසුගියදා වාර්තා විය.
හවාලා සහ උණ්ඩියල් ක්‍රම මඟින් ඩොලර් මිලියන දහයකට අධික මුදලක් දෛනික ව මෙරටට ලැබෙන බවට කරුණු අනාවරණය වෙමින් ඇතැයි මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.
ඉතාලිය, ඩුබායි, එංගලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව මෙන් ම යුරෝපා සංගමයට අයත් රටවල් බොහොමයක සිටත් මෙම නීති විරෝධී ක්‍රම මඟින් මුදල් ගනුදෙනු සිදු වන බව එහි දී තොරතුරු අනාවරණය ව ඇත.
ඩොලර් මිලියන දහයකට අධික මුදලක්
මේ වන විට උද්ගත වී ඇති ආර්ථික අර්බුදය, විශේෂයෙන්ම විදේශ විනිමය සංචිත හිඟය, සමඟ මාස කිහිපයක් තිස්සේ උණ්ඩියල් සහ හවාලා වැනි මුදල් හුවමාරු ක්‍රම සම්බන්ධයෙන් රට තුළ කතාබහක් මතු වී ඇත. මෙවැනි අවිධිමත් ක්‍රම ඔස්සේ මුදල් හුවමාරු කිරීමට පුද්ගලයන් පෙලඹීමට බලපාන කරුණු ගණනාවක් තිබෙන අතර මේ ලිපියෙන් ඒ පිළිබඳ ව විමසා බලමු.
උණ්ඩියල් සහ හවාලා
බොහෝ රටවල විසිරී සිටින පුද්ගලයන්ගෙන් සැදුම්ල ත් ජාලයක් හරහා ක්‍රියාත්මක වන උණ්ඩියල් සහ හවාලා යනු බැංකු හෝ වෙනත් විධිමත් ආයතනයක මැදිහත් වීමකින් තොර ව රටවල් දෙකක් හෝ කිහිපයක් අතර මුදල් හුවමාරු කිරීමේ ක්‍රම වේ.
උදාහරණයක් ලෙස A (මුදල් යවන්නා), B ( A ජීවත් වන රටේ උණ්ඩියල් හෝ හවාලා තැරැව්කරු), C (මුදල් ලබන්නා ජීවත් වන රටේ උණ්ඩියල් හෝ හවාලා තැරැව්කරු), සහ D (මුදල් ලබන්නා) යනුවෙන් පුද්ගලයන් සිවු දෙනෙක් ගනිමු. ඉන් A සහ B එක රටකත්, C සහ D තවත් රටකත් ජීවත් වේ. මෙහිදී A, D ට යැවීමට අවශ්‍ය මුදල B ට ලබා දෙයි. පසුව, B, A එවන මුදල ලබා ගැනීම C ට ලබා දෙයි. C, එම මුදල අදාළ රටේ මුදල් ඒකකයෙන් D ට ලබා දෙයි. B, D ජීවත් වන රටේ පවත්වාගෙන යන සිය බැංකු ගිණුමක තිබෙන තැම්පතුවලින්, C වැනි පුද්ගලයකුගේ මැදිහත් වීමෙන් තොරව අදාළ මුදල D ට ලබා දෙන අවස්ථා ද ඇත.
කිසිදු ලිපි ලේඛනයක් හෝ වෙනත් ආකාරයක සටහන් කිරීමකින් තොර ව රහස් කේතයක් (Password) හෝ විස්තරයක් මත පදනම් ව සිදු වන මෙම ගනුදෙනු හුදෙක්ම විශ්වාසය ඉදිරියට යන්නකි. මෙම ගනුදෙනුවලදී දේශ සීමා හරහා භෞතික ව මුදල් හුවමාරුවක් සිදු නොවන අතර, බැංකුවක් හෝ වෙනත් බලයලත් මුදල් හුවමාරු කරන ආයතනයක මැදිහත් වීමක් ද එහිදී සිදු නොවේ.
මෙවැනි ක්‍රම භාවිත කරන්නේ කවුරුන් ද?
විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන් නිත්‍යානුකූල මෙන් ම නිත්‍යනුකූල නොවන අරමුණු සඳහා ද මේ ක්‍රම ඔස්සේ මුදල් හුවමාරු කරනු ලැබේ. බොහෝ විට විදෙස් ශ්‍රමිකයන් සිය මව් රටේ සිටින පවුලේ අයට මුදල් යැවීම සඳහා, ආනයන සහ අපනයන කටයුතුවල නිරත වන පුද්ගලයන් මුදල් ගෙවීම හෝ අයකිරීම සඳහා, දෙමව්පියන් විදෙස් රටවල අධ්‍යාපනය ලබන දරුවන්ට මුදල් යැවීම සඳහා, බැංකු ක්ෂේත්‍රය එතරම් ප්‍රචලිත නොවූ රටවල් සහ ප්‍රදේශ අතර මුදල් හුවමාරු කිරීම සඳහා මෙවැනි අවිධිමත් ක්‍රම භාවිත වේ.
අවිධිමත් මුදල් හුවමාරු ක්‍රම භාවිතයට හේතු
උණ්ඩියල් සහ හවාලා වැනි අවිධිමත් මුදල් හුවමාරු ක්‍රම භාවිත කර මෙරටට මුදල් එවා ඇති, මේ වන විට විදෙස් රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් සම්බන්ධ කරගැනීමට ද එහිදී “Roar සිංහල” අපිට හැකි වුණා. ඔවුහු බැංකු හරහා මුදල් ගනුදෙනු නොකිරීමට සහ අවිධිමත් ක්‍රම හරහා මෙරටට මුදල් එවීමට තමන් පෙලැඹීම සඳහා බලපෑ හේතු කිහිපයක් සඳහන් කළ හ.
මේ වන විට ජපානයේ රැකියාවක් කරන ශ්‍රී ලාංකිකයෙක් සඳහන් කළේ ඔහු අවස්ථා කිහිපයක දී අවිධිමත් ක්‍රම හරහා සිය මව්පියන්ට සහ පවුලේ අයට මුදල් එවූ බව යි. ඊට ප්‍රධානත ම හේතුව ජපන් මුදක් ඒකකය වන “යෙන්” සඳහා මෙරට බැංකු ලබා දෙන රුපියල් වටිනාකමට වඩා වැඩි වටිනාකමක් අදාළ තැරැව්කරුවන් ලබා දීම බව ද ඔහු සඳහන් කළේ ය. ඔහු පැවැසුවේ, අදාළ ක්‍රම හරහා මෙරටට මුදල් එවූ කාලය වන විට “යෙන්” එකක් සඳහා මෙරට බැංකු ලබා දුන් මුදල රුපියල් 1.70ක් බව යි. කෙසේ වෙතත් උණ්ඩියල් සහ හවාලා තැරැව්කරුවන් හරහා මුදල් එවීමේ දී යෙන් එකක් සඳහා රුපියල් 1.90ත් රුපියල් 2ත් අතර වටිනාකමක් ලැබුණු බව ඔහු පැවැසුවේ ය.
ශිෂ්‍ය වීසා මත විදෙස්ගත වූ අය
බොහෝ විට අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වන පුද්ගලයන් ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා මෙරට දී ණය ලබා ගනී. මේ ආකාරයට විදෙස්ගත වන පුද්ගලයන් බොහෝ දෙනෙක් අදාළ රටේ අධ්‍යාපන කටයුතුවල නිරත වන අතරවාරයේ අර්ධකාලීන රැකියාවල ද නිරත වෙති. ඉන් ලැබෙන වැටුප ආහාරපාන, නවාතැන් සහ වෙනත් අවශ්‍යතා සඳහා මෙන් ම මෙරට දී ලබා ගත් ණය මුදල් ආපසු ගෙවීම සඳහා ද යොදා ගනී.
“මම ශිෂ්‍ය වීසා මත ජපානයට ආවේ ලක්ෂ 40කට ආසන්න මුදලක් වැය කරලා. ඒ මුදල සපයා ගන්න මට ණය ගන්න වුණා ශ්‍රී ලංකාවේ දි. ඉතින් ඒ ණය මං ගෙවන්න ඕනෑ. ණය ගෙවන්න මගේ මව්පියන්ට හැකියාවක් නැහැ. ජපානයේ සිසුන්ට බැංකු හරහා මුදල් යවන්න බැහැ. එහෙම මුදල් යැව්වා ම ඔවුන් හොයනවා අපි කරන රැකියාවෙන් මේ රටේ වියදමත් දරාගෙන ලංකාවටත් මුදල් යවන්නේ කොහොමද කියලා. ඒ නිසයි මේ ක්‍රමය හරහා මුදක් හුවමාරු කරන්නේ.” ඔහු කියයි.
කෙසේ වෙතත් සමහර රටවල් ඒවායේ ශිෂ්‍ය වීසා මත රැඳී සිටින පුද්ගලයන්ට සතියකට රැකියාවක නිරත විය හැකි උපරිම පැය ගණනක් නියම කර තිබේ. එම පැය ගණන තුළ පමණක් රැකියාවක් කිරීමෙන් ලබා ගත හැකි මුදල සියලු අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බැවින්, එක් ස්ථානයක නොව ස්ථාන කිහිපයක රැකියා කිරීමට බොහෝ දෙනකුට සිදු වේ. රැකියා කිහිපයක යෙදීම බොහෝ රටවල ශිෂ්‍ය වීසා මත රැඳී සිටින පුද්ගලයන්ට තහනම් ය.
මේ තත්ත්වය තුළ රැකියා කිහිපයක් සිදු කර මුදල් උපයා ගත්තත්, බැංකුවක් හරහා මෙරටට මුදල් එවීමට ඔවුන්ට හැකියාවක් නැත. ඊට හේතුව ඔවුන් බැංකු හරහා ගනුදෙනු කරන මුදල් ප්‍රමාණය පිළිබඳ ව එරට බලධාරීන් අවධානය යොමු කිරීම යි. එක රැකියාවකින් උපයා ගත හැකි මුදලට වඩා මුදල් ප්‍රමාණයක් බැංකු හරහා මෙරටට එවීමෙන් ඔවුන්ගේ වීසා අවලංගු වීමේ අවදානමක් ද ඇත. මේ නිසා එවැනි පුද්ගලයෝ උණ්ඩියල් සහ හවාලා වැනි ක්‍රම භාවිත කරමින් මෙරටට මුදල් එවති.
රුපියලේ අගය කෘත්‍රිමව පාලනය කිරීම
අස්ථාවර මූල්‍ය ප්‍රතිපත්ති ද, දේශපාලනික පසුබිම ද මෙරට බැංකු පද්ධතියට විදෙස් ප්‍රේෂණ ලැබීම අඩුවන්නට බලපෑ මූලික හේතුවකි. ඩොලරය රුපියල් 200 සීමාවේ බලහත්කාරයෙන් රඳවා ගැනීම නිසාත්, පාලකයන් තම මුදල් සොරකම් කරන්නේ ය යන හැඟීම ඇතිවීම නිසාත්, විදෙස්ගත ශ්‍රමිකයන් තමන්ට අවාසිදායක යැයි හැඟී ගිය ශ්‍රී ලංකා බැංකු පද්ධතියට තම ශ්‍රමයෙන් උපයාගත් මුදල් එවීම නතර කළ බව බෝහෝ ශ්‍රමිකයන් පවසන කරුණකි. ඒ වෙනුවට විදෙස් විනිමයට වැඩි මිලක් ගෙවූ උණ්ඩියල්, හවාලා වැනි ක්‍රම වෙත තමන් යොමු වුණු බව ඔවුහු පවසති.
රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවැතියත් මෙරට මහා බැංකුව එහි වටිනාකම කෘත්‍රිමව පාලනය කළ අයුරු ඔබට මතක ඇතිවාට සැක නැත. ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම තීරණය වීමට ඉඩ නොහැරියහොත් දරුණු ප්‍රතිවිපාක ඇති විය හැකි බව ආර්ථික විද්‍යාඥයන් ඇතුළු පාර්ශව ගණනාවක් 2020 වසරේ මුල් භාගයේ සිට පෙන්වා දුන්නත්, ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල පා කිරීමට තීරණය කළේ 2022 වසරේ මාර්තු මාසයේදී ය. ඒ දක්වා ඩොලරයේ වටිනාකමට සාපේක්ෂ ව ප්‍රමාණවත් වටිනාකමක් රුපියල්වලින් නොලැබුණු බැවින් බැංකු හරහා මෙරටට මුදල් එවමින් සිටි පුද්ගලයෝ පවා අවිධිමත් ක්‍රම ඔස්සේ මුදල් මෙරටට එවීමට පෙලැඹුණ හ.
මැද පෙරදිග රටක සේවය කළ, මේ වන විට මෙරටට පැමිණ සිටින පුද්ගලයෙක් ඒ සඳහන් කළේ මෙසේය:
“මැද පෙරදිග ඉතා අසීරු රැකියාවක් කළාට අපිට විශාල වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒ වැටුපෙන් ඒ රටේ ජීවත් වෙලා ගෙදරටත් සල්ලි එවන්න ඕනි. ඉතින් බැංකුවෙන් ලැබෙනවාට වැඩිය පොඩි මුදලක් හරි ලැබෙන නිසා තමයි මං හවාලා ක්‍රමය හරහා මුදල් එව්වේ” යනුවෙනි.
අවිධිමත් ක්‍රම පසුපස ඇති අහිතකර තත්ත්වය
විදෙස්ගත ශ්‍රමිකයන් තම ඉපැයීම් මෙරටට එවීමට භාවිත කරන නිත්‍යනුකූල නොවන මේ උන්ඩියල් සහ හවාලා මුදල් හුවමාරු කරන ක්‍රම මුදල් විශුද්ධිකරණ ක්‍රම දෙකක් ලෙසට හඳුන්වයි. මුදල් විශුද්ධිකරණය යන්නෙන් අදහස් වන්නේ කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් පිළිගත හැකි තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය යි. මෙහිදී කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් යන්නෙන් අදහස් වන්නේ ඉපයු ආකාරය අනාවරණය කළ නොහැකි හෝ නිත්‍යනුකූල නොවන ආර්ථික කටයුතුවලින් උපයා ගන්නා මුදල් ය.
ජාත්‍යන්තර වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම, අවි ආයුධ ජාවාරම, ගණිකා සේවය සඳහා දරුවන් අලෙවි කිරීම සහ, විවිධ ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියාවල නිරත වී අනිසි ලෙස මුදල් උපයන පුද්ගලයන් ඒ මුදල් හුවමාරු කිරීම සඳහා අවිධිමත් මුදල් හුවමාරු ක්‍රම භාවිත කරන බව ප්‍රසිද්ධ කරුණකි. එවැනි නීති විරෝධී ක්‍රියා හරහා උපයා ගන්නා මුදල්, නීතියේ රැහැනට හසු වීමෙන් තොරව විවිධ ව්‍යාපාරවල ආයෝජනය කිරීම සඳහා ඔවුන්ට හැකි වී ඇත්තේ මෙවැනි අවිධිමත් හුවමාරු ක්‍රම නිසාවෙනි.
පොලිසියෙන් විශේෂ ඒකකයක්
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදය වඩාත් උග්‍ර වීමට රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයේ සැලකිය යුතු අඩු වීම ප්‍රධාන හේතුවක් බව ශ්‍රී ලංකා මහ බැංකුව හඳුනාගෙන ඇත. බැංකු පද්ධතියෙන් පරිබාහිර ව උණ්ඩියල් සහ හවාලා වැනි ක්‍රම භාවිතයෙන් විදෙස් මුදල් මෙරටට එවීම විදේශ විනිමය ප්‍රමාණය අඩු වීමට බලපා ඇති කරුණකි. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් සහ, මහ බැංකුවේ අධිපතිවරයාගේ ඉල්ලීම පරිදි එවැනි ක්‍රම ඔස්සේ මුදල් හුවමාරු කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය යටතේ විශේෂ පොලිස් ඒකකයක් පත් කිරීමට පොලිස්පතිවරයා පසුගියදා පියවර ගෙන තිබිණි.
බැංකු පද්ධතියෙන් පිටත හවාලා සහ උණ්ඩියල් වැනි අවිධිමත් ක්‍රම ඔස්සේ නීති විරෝධි ලෙස විදෙස් මුදල් හුවමාරු කිරීම් සහ බැංකු පද්ධතියෙන් පිටත ක්‍රම ඔස්සේ විදේශගත ශ්‍රමිකයන් කරන විදෙස් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් මේ යටතේ විමර්ශනය කිරීමට නියමිත ය. ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය තිව්‍ර වීමට ප්‍රධාන සාධකයක් ලෙස රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයේ සැලකිය යුතු අඩුවීම බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත.
අවිධිමත් විදේශ විනිමය හුවමාරු කටයුතු මැඬ පැවැත්වීමට 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනතේ 3 සහ 4 වැනි වගන්ති මඟින් විදේශ මුදල්වල මූලාශ්‍රය හෝ උපයාගත් ආකාරයට අණාවරණය කර ගැනීමට විමර්ශන සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් සමඟ සම්බන්ධිකරණය සිදු කිරීමට ද මෙම විශේෂ පොලිස් ඒකකය කටයුතු කරනු ඇත.
ඊට අමතර ව, අවිධිමත් විදේශ විනිමය හුවමාරු කටයුතු මැඩපැවැත්වීමට 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණ පනතේ ප්‍රතිපාදන යටතේ විදේශ මුදල්වල මූලාශ්‍රය/ උපයා ගත් ආකාරය අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය මහා බැංකුවේ අදාළ නිලධාරීන් සමග කටයුතු කරන බව ද පොලිසිය නිවේදනය කරයි. පොලිසිය ජනතාව ගෙන් ඉල්ලා සිටියේ අවිධිමත් ක්‍රම භාවිතයෙන් මුදල් හුවමාරු කිරීම වෙනුවට බැංකු පද්ධතිය හරහා මුදල් හුවමාරු කිරීමට කටයුතු කරන ලෙස යි.
විදෙස් ශ්‍රමිකයන් මෙරටට මුදල් එවීම පහළ වැටුණේ ඇයි? ලිපියත් කියවන්න.
උන්ඩියල් – හවාලා හුවමාරු ක්‍රම ආර්ථිකයට වින කරන හැටි ලිපිය මෙතැනින් කියවන්න.