පසුගිය ජූලි 29 වනදා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය උතුරු කොරියාව විසින් සිදු කරන ලද මිසයිල අත්හදා බැලීමක් හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළා.
එම ප්‍රකාශය මගින් විදේශ අමාත්‍යාංශය කියා සිටියේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක් කෙරෙන පරිදි උතුරු කොරියාව විසින් සිදු කරන එදිරිවාදීකම් දැඩිව හෙළා දකින බවයි. එමෙන්ම සියලු දෙනාගේ ආරක්ෂාව සහ සාමය සළකා මෙවන් ක්‍රියා නතර කරන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටියා.
උතුරු කොරියාව පසුගිය වසර කිහිපය තුළ විවිධ අවස්ථාවල මිසයිල අත්හදා බැලීම් සිදු කළ ද ශ්‍රී ලංකාව ඒ කිසිදු අවස්ථාවක ඒ පිළිබඳ ප්‍රකාශ නිකුත් කළේ නැහැ. ඒ හේතුවෙන් මෙම ප්‍රකාශය විශේෂ තැනක් ගන්නවා.
මෙම ප්‍රකාශය නිකුත් කිරීමට ආසන්නම හේතුව වූයේ ඉකුත් ජූලි 28 වනදා උතුරු කොරියාව විසින් සිදු කරන ලද අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල (Inter Continental Ballistic Missile – ICBM) අත්හදා බැලීමක්. මෙය ඔවුන් විසින් සිදු කරන ලද දෙවැනි ICBM අත්හදා බැලීම වුණා. පළමු වරට ඔවුන් ICBM අත්හදා බැලීමක් සිදු කළේ පසුගිය ජූලි 4 වනදායි.
ජූලි 28 වනදා සිදු කළ අත්හදා බැලීමෙන් අනතුරුව උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදය ද සිය මිසයිලවල විදුම් පරාසය තුළ පිහිටා ඇති බව මෙම අත්හදා බැලීමෙන් පැහැදිලි වන බවයි.
තම මිසයිලවලින් “ඕනෑම ස්ථානයකට ඕනෑම වෙලාවක” පහර දිය හැකි බවට කිම් ජොන්ග්-අන් වහසි බස් දොඩා තිබුණා.
න්‍යෂ්ඨික යුධ හිස් ගෙන යාම
මෙම මිසයිලය විනාඩි 47 ක කාළයක් අහසේ රැඳී තිබූ බව ඇමරිකානු, දකුණු කොරියානු සහ ජපන් වාර්තා සඳහන් කළා. එය සැතපුම් 2,300 ක් පමණ ඉහළට පියාසර කොට ආපසු හැරී ජපානයේ හොක්කයිදෝ දූපත ආසන්නයෙන් මුහුදට පතිත වී තිබුණා. මෙම මිසයිලයේ ගමන් පථය තිරස් අතට වැඩි කළේ නම් කිලෝ මීටර 10,000 ක දුරක් වුවද එයට ගමන් කළ හැකි වන බව අනුමාන කෙරෙනවා.
උතුරු කොරියානුවන් න්‍යෂ්ඨික යුධ හිසක් රැගෙන යාම සඳහා අවශ්‍ය තාක්ෂණය දියුණු කරගෙන ඇත් ද යන්න පිළිබඳ අදහසක් මෙම මිසයිල අත්හදා බැලීම තුළින් ද ලැබෙන්නේ නැහැ. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක බුද්ධි ඒජන්සිය (Defense Intelligence Agency) මෑතක දී අවධාරණය කළේ එම ඉලක්කය උතුරු කොරියානුවන් විසින් තවත් වසරක් තුළ දී සපුරා ගැනීමේ ඉඩක් ඇති බවය.
කෙසේ නමුත් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය ප්‍රකාශ කළේ මෙම මිසයිල අත්හදා බැලීම උතුරු ඇමරිකාවට තර්ජනයක් නොවන බවය.
මෙම ප්‍රකාශය මෙවර සිදු කරන ලද අත් හදා බැලීම සම්බන්ධයෙන් සත්‍යයක් විය හැකි වුවද (න්‍යෂ්ඨික යුධ හිසක් ගෙන යාමේ තාක්ෂණය තවම උතුරු කොරියාවට නොමැති හෙයින්) අනාගතය සම්බන්ධයෙන් එම ප්‍රකාශය සත්‍යය නොවිය හැකි බව ඇතැම් විශේෂඥයින් අනතුරු අඟවා තිබුණා.
නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වෙත අදහස් දැක්වූ දකුණු කොරියාවේ සෝල් නුවර ක්යුන්ග්නාම් සරසවියේ ආරක්ෂක විශ්ලේෂක කිම් ඩොන්ග්-යුබ් සඳහන් කළේ ඒවා විසින් ගෙන යනු ලබන යුධ හිසෙහි ප්‍රමාණය මත එම මිසයිලවල විදුම් පරාසය වෙනස් වුවද, උතුරු කොරියාව විසින් අත් හදා බලන ලද මිසයිලවලට කිලෝ මීටර 9,000 – 10,000 ක් දුර ගමන් කළ හැකි බවයි.
මෙම පරාසයන් සැළකූ විට පෙනී යන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ද ප්‍රධාන නගර රැසකට මෙයින් තර්ජනය කිරීමේ හැකියාව පවතින බවයි.
ලංකාවටත් ළඟා විය හැකි මිසයිල
විදේශ අමාත්‍යාංශය විසින් කරන ලද නිවේදනයත් සමඟ ම උතුරු කොරියානු ප්රශ්නය පිළිබඳ උනන් දු ශ්‍රී ලාංකිකයන් අතරින් විවිධ අදහස් මතු වුණා. එයින් සමාජ මාධ්‍යවල කතාබහට ලක් වූ එක් අදහසක් වූයේ මෙසේ ප්‍රකාශ නිකුත් කිරීම අනවශ්‍ය බවත් එයින් සිදු වන්නේ අනවශ්‍ය අවධානයක් ශ්‍රී ලංකාව වෙත යොමු වීම බවත්.
මෙම අදහස හිතලුවක්, එසේත් නැත්නම් සිතින් මවාගත් කරුණක්, මෙන් පෙනුණ ද මෙහිදී එක් කරුණක් පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. එනම්, උතුරු කොරියානු මිසයිලවල පරාසය තුළට මේ වනවිට ලංකාව ද ඇතුලත් ව තිබීමයි. විශේෂයෙන් ම KN-08 සහ ටයෙපොඩොන්ග්-2 මිසයිල පරාසයන් තුළ ශ්‍රී ලංකාව ද පිහිටා තිබෙනවා.
උතුරු කොරියාව සිය ප්‍රධාන ප්‍රතිවාදීන් ලෙස සළකනු ලබන්නේ ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාවයි. එහෙයින් ප්‍රකාශයක් නිකුත් කළ පමණින් ලංකාව පිළිබඳ විශේෂ අවධානයක් ඔවුන් තුළ ඇතිවේ යයි සිතීමට අපහසුයි. නමුත් ඉදිරියේදී සිදුවන මිසයිල අත් හදා බැලීම් හෝ වෙනත් ප්රකෝපකාරී ක්‍රියා පිළිබඳ ශ්‍රී ලංකාවේ ක්‍රියාමාර්ග අනුව මෙම තත්ත්වය වෙනස් විය හැකියි.
චීන – ඇමරිකානු ගැටුම
ශ්‍රී ලංකාවේ මෙම ප්‍රකාශය දැකිය යුත්තේ වියුක්තව එක් රටක් විසින් කළ ප්‍රකාශයක් ලෙස නොව කලාපීය දේශපාලනය තුළ සිදු වූ එක් සිද්ධියක් ලෙසයි. ඇතැම් විට ශ්‍රී ලංකා බලධාරීන් ඒ පිළිබඳ එතරම් අවධානයක් යොමු නොකළා වීමටත් පිළිවන්. නමුත් මෙම ප්‍රකාශය මතු වන්නේ ශ්‍රී ලංකාව හම්බන්තොට වරාය පිළිබඳ චීනය සමඟ ගිවිසුමකට පැමිණීමත් සමඟ වීම අමතක කළ යුතු නොවන කරුණක්.
2015 දී බලයට පත් ශ්‍රී ලංකා රජය ඇමරිකානු හිතවාදී මතයක සිටින නමුත් පසු කාළීනව චීනය සමඟ ද ඔවුනගේ මිත්‍රත්වය යළි වර්ධනය කරගත්තා. මෙය සිදු වන්නේ ඇමරිකාව සහ චීනය උතුරු කොරියානු ප්රශ්නය සම්බන්ධයෙන් මත ගැටුමකට මැදිවන පසුබිමකයි.
ජූලි 28 වනදා සිදු කරන ලද අත්හදා බැලීමෙන් පසුවද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට බරපතල ලෙස චෝදනා කරමින් කියා සිටියේ උතුරු කොරියන් මිසයිල වැඩපිළිවෙල කෙරෙහි චීනය දක්වන උදාසීනතාව එම වැඩපිළිවෙල දිගටම කරගෙන යාමට රුකුලක් වී ඇති බවයි. මෙම ප්රශ්නය පිළිබඳ චීනයට කිසිත් නොකර සිටීමට තමන් ඉඩ නොදෙන බව ද ට්‍රම්ප් කියා සිටියා.
උතුරු කොරියාව සිය විදේශ වෙළෙඳාමෙන් විශාල පංගුවක් චීනය සමඟත්, තරමක කොටසක් රුසියාව සමඟත් සිදු කරනවා. රුසියාව ද බටහිර සම්බාධකවලට ලක් ව ඇති හෙයින් චීනය උතුරු කොරියාවට ඉතා වැදගත් වී තිබෙනවා. ට්‍රම්ප් මෙම ප්‍රකාශයන් කරන්නේ එම පසුබිම තුළයි.
කෙසේ නමුත් ඊට පිළිතුරු දෙමින් චීනය කියා සිටියේ උතුරු කොරියානු ප්රශ්නය තමුන් විසින් නිර්මාණය කළ එකක් නොවන බවයි. එහෙයින් සියලු දෙනා එක්ව එම ප්රශ්නය විසඳාගත යුතු බව එරට කියා සිටියා.
මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට අවශ්‍යව තිවෙන්නේ තමන් සියලු බලවේග සමඟ හොඳහිත පවත්වාගනිමින් කටයුතු කරන බව පෙන්වීමටයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාව විසින් නිකුත් කරන ලද ප්‍රකාශය තුළින් චීනයේ ස්ථාවරයට වඩා ඇමරිකාවේ ස්ථාවරයට සමීප බවක් පෙන්නුම් කෙරෙනවා.
කලාපයෙහි රටවල් කිහිපයක් මෙසේ උතුරු කොරියාව හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කළහොත් එය උතුරු කොරියාවට එරෙහි අනාගත ඇමරිකානු ක්‍රියාමාර්ග සාධාරණීකරණය කිරීම සඳහා වුවද යොදා ගැනීමේ ඉඩකඩ තිබෙන බව අප අමතක නොකළ යුතුයි.
මේ අයුරින් බලන විට ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහිව නිවේදන නිකුත් කිරීම එක්වරම සිනහවට තුඩු දෙන දෙයක් ලෙස බොහෝ දෙනෙකුට පෙනුනත් එහි සැඟවුණ පැතිකඩක් ද තිබෙන බව කියන්නට පුළුවන්.
Cover Image: ජූලි 28 වනදා සිදු කළ මිසයිල අත්හදා බැලීම (KCNA)