මාස දෙක තුනකට පෙර ශ්‍රී ලංකාවට සුළි සුළං, තද මෝසම් වැසි, නාය යාම්වලට මුහුණ දෙන්න සිදු වුණා වගේම පහුගිය අවුරුදු 14කට ඇතිවුණ ලොකුම ජල ගැලීම නිසා 213 දෙනෙකුට ජිවිත අහිමි වෙලා 600,000 දෙනෙකුට පමණ අවතැන් වීමට සිදුවුණා. ඒ නිසා සමහරුන්ට පුදුම හිතෙයි 2001න් පසුව ලංකාවට ආපු දරුණුම නියඟයත් දැන් ලංකාවට බලපාලෙ තියෙනවා කියලා කිව්වම. මේක අලුත් දෙයක් නෙමෙයි, දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අඩු වර්ෂාපතනයක් හෝ වර්ෂාපතනය ලැබිලාම නැති දරුණු නියං තත්වයක ඉඳලා තියෙනවා 2016 මුල සිටම.
වර්තමාන තත්වය
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව උතුරු, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලට අයත් දිස්ත්‍රික්ක 11ක් නියං තත්වයන්ට මුහුණ දීලා තිබෙනවා. මේ දිස්ත්‍රික්ක දිවයිනේ වියළි කලාපයට අයත් වන අතර ඒවාට ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව,යාපනය, මුලතිව්, කිලිනොච්චි, වවුනියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම, සහ අනුරාධපුර ඇතුළත් වනවා. මේ ප්‍රදේශවලට නිරිත දිග මෝසමෙන් බලපෑමක් නොවුණු නිසා වාර්ෂිකව ලැබෙන්න තිබුණු ධාරානිපාත වර්ෂාවෙන්වත් සහනයක් ලැබුණේ නැහැ.
වැඩිම බලපෑමක් ඇත්තේ උතුරු පළාතේයි. පවුල් 130,931කට අයිති පුද්ගලයින් 450,000ට වැඩි ප්‍රමාණයකට මේ නියඟය බලපාලා තියෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛනවලට අනුව පළාත් හතරෙන්ම පවුල් 243,683ක පුද්ගලයින් 850,000 පමණ, ජලය හා ආහාර හිඟ වීම අැතුළු නියඟයේ විපාකවලට මුහුණ දී සිටිනවා. මේ සංඛ්‍යාවන් මීට කලින් පැමිණි, පුද්ගලයින් 300,000කට පීඩා සිදු කර හෙක්ටෙයාර 110,000ක වගාවන් විනාශ කළ 2001 නියඟයටත් වඩා බරපතල බවයි දකින්න තිබෙන්නේ. තත්වය තවත් උග්‍ර වෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව උතුරු දිස්ත්‍රික්කවලට තව මාස කිහිපයකට වැසි නොලැබෙන නිසායි.
කාලයක් පැවති කාලගුණ රටා වෙනස්වී, වර්තමානයේ අැතිව තිබෙන උග්‍ර තත්වය ඇතිවීමට හේතුව දේශගුණ වෙනස්වීම් බව විශ්වාස කෙරෙනවා. ඇමරිකාවේ පාරිසරක දත්ත පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව 2017 ජනවාරි සහ අප්‍රේල් අතර කාලයේ උෂ්ණත්වය විසිවෙනි සියවසේ සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 0.95ක් වැඩිවී තිබෙනවා. මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේ ලෝක උෂ්ණත්වය 1880 සිට අද දක්වා කාලය තුළ වාර්තාගත දෙවන ඉහළම උෂ්ණත්වයයි.
නිසරු අස්වැන්න
2017 නියඟයෙන් ඇතිවුණු විශාලතම බලපෑමක් තමයි එදිනෙදා පාවිච්චියට සහ කෘෂිකර්මාන්තයට ඇති ජල හිඟ වී යාම. මේ ජල හිඟය නිසා ශ්‍රී ලංකාවේ කුඹුරු ඉඩම්වලින් 35% පමණ ප්‍රමාණයක් (කුඹුරු හෙක්ටෙයාර 804,838කින් හෙක්ටෙයාර 281,910ක්) පමණයි 2016 නොවැම්බර් මස වගා කෙරුණේ. ඒ පසුගිය අවුරුදු 30කට සිදු කෙරුණු අඩුම වගා කිරීමයි. ඊට අමතරව වියළි කාලගුණය නිසා මහ කන්නයේ (2016 සැප්තැම්බර් – 2017 මාර්තු) හෙක්ටෙයාර දහස් ගණනක වගාවන් විනාශ වුණා. ඒ නිසා ලෝක ආහාර වැඩසටහනද අනාවැකි පල කළ පරිදි 2017 මාර්තු මාසයේදී සහල් අස්වැන්න 63%කින් පහළ වැටුණා.
දිවයින පුරා ගෘහ මිලියන 1.8කට පමණ ප්‍රධාන ආදායම් මාර්ගය ගොයම් වගාව නිසා මෙය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ගොවිතැනට බරපතල ලෙස බලපානවා. ඔවුන් දැන් සාගින්න සහ ණය බර දෙකෙන්ම යට වෙලා. මානුෂීය අර්බුද වාර්තා කරන IRIN පුවත් ඒජන්සියට අනුව, නියං තත්වය ඇති ප්‍රදේශවල පුද්ගලයින් 80,000කට පමණ ජීවිතාරක්ෂක උපකාර අවශ්‍ය වීමට ඉඩ තිබෙනවා. තව මාර්තු මාසයේදී UNICEF සංවිධානය ඇස්තමේන්තු කළ අන්දමට දිවයින පුරා ළමයින් 365,232 ආහාර සහ ජල හිඟවලට මුහුණ පා සිටිනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන භෝගය සහල් නිසාත්, දැනට රජය සහල් නිෂ්පාදනයෙන් ස්වයං පෝෂණය වීම කෙරෙහි අවධානය යොමු කර ඇති නිසාත්, සහල් හිඟය දිවයින පුරාම දැනෙනු ඇති. බලපෑමකට ලක්ව ඇති එකම භෝගය සහල් පමණක් නෙවෙයි. සියලුම බෝගවල අස්වනු අඩුවීම නිසා රටේ ආහාර සැපයුම අඩාල වී, මිල ඉහළ ගොස් තිබෙනවා. එයින් අඩු ආදායම් පවුල්වල ආහාර සුරක්ෂිත භාවයට බලපෑම් ඇති වීමේ අවදානමක් පවතිනවා. අනෙකුත් වගාවන්ට වෙන්කරන ලද ඉඩම්වලින් 44% පමණයි පසුගිය නොවැම්බර් මාසය වන විට වගා කර තිබුණේ. ඒ වගේම කව්පි, රතු ළූණු සහ අල වගාවන්ද 20%ටත් වඩා අඩු වී තිබෙනවා.
ආහාර හිඟයන් වැළැක්වීම සඳහා එළඹෙන මාසවලදී අත්‍යවශ්‍ය ආහාර වර්ග ආනයනය මත බලාපොරොත්තු තැබීමට සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ වර්තමාන නියං තත්වය සහ වෙනස්වන කාලගුණ රටා නිසා පොල් නිෂ්පාදනයද අඩු වී තිබෙනවා. රටේ ප්‍රධාන අපනයන බෝගයක් වන පොල් වැඩිපුරම වගා කෙරෙන්නේ පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලයි. මේ දිස්ත්‍රික්ක දෙකම නියං තත්වයන්ට මුහුණ දෙන නිසා අනාගතයේ පොල් සහ පොල් නිෂ්පාදන අපනයනවලටත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්.
වෙනත් බලපෑම්
ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලශක්ති සම්පත ජල විදුලිය නිසා ජලාශවල අඩු ජල මට්ටම් ජල විදුලි නිෂ්පාදනය අඩු කරන අතර, ඒ නිසා තාප විදුලිය නිෂ්පාදනය ඉහළ දමන්නට සිදු වෙනවා. මේ සඳහා ඉන්ධන ආනයනයට යන වියදම නියං තත්වය නිසා රටේ ආර්ථිකයට දරන්න වෙන තවත් අමතර බරක්. නියඟය නිසා ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන වේගය කලින් අනුමාන කරන ලද අගයට වඩා සැලකිය යුතු මට්ටමකින් අඩු වනු ඇති. කෘෂිකර්මාන්තය දේශීය නිෂ්පාදිතයෙන් 8%ක් වන නිසා එහි සිදු වන පාඩු රටේ ආර්ථිකයට ප්‍රබල ලෙස බලපානු ඇති. ඉදිරි මාසවලදී වැසි ලැබුණත් මේ වසර තුළ කෘෂිකර්මාන්තය ප්‍රකෘති තත්වයට ඒමට නොහැකි වනු ඇති.
ශ්‍රී ලංකාව තුල නියඟය නිසා ඇතිවන තවත් ගැටලුවක් තමයි පොළොව ඛාදනය. ජලය නොමැතිව ශාක ආවරණය මිය ගිය පසු නිරාවරණය වන පොළොව සුළඟ සහ ජලය නිසා ඛාදනයට පත්වෙනවා. මෙමගින් උඩු පස් තට්ටුව අඩු වීම හේතුවෙන් පසේ සරුබව විශාල ලෙස අඩුවෙනවා. පසේ තෙතමනය අඩුවීමෙන් පසට ජලය උරාගැනීමද අපහසු වෙනවා. එම නිසා භූ ජල මට්ටමද අඩු විය හැකියි. මේ සියල්ල නිසා වගා බිම්වලට දැරිය නොහැකි හානි සිදු වීමට පුළුවන්.
රජයේ ප්‍රතිචාරය
ආහාර හිඟයන් පාලනය කිරීම සඳහා ආහාර සහ ජල ආධාර ඉන්දියාවෙන්, පකිස්ථානයෙන් සහ තායිලන්තයෙන් ලබාගෙන තිබෙනවා. සහල් ආනයන බදුද අඩුකර තිබෙනවා. මහා භාණ්ඩාගාරයෙන් නියඟයේ බලපෑමට ලක්වූ පවුල්වලට, විනාශ වූ වගා බිම් අක්කරයකට රු.10,000 බැගින් ලබාදෙනවා. ඊට අමතරව ආර්ථික අමාත්‍යාංශය මගින් ඒ ප්‍රදේශවලට පානීය ජලය ලබාදීම සඳහා රු. මිලියන 50ක් ලබාදී තියෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි ඔවුන් උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල පවුල් 24,000කට පානීය ජලය බෙදා හැරීමේ කටයුතුවල නිරත වෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව Roar වෙත සඳහන් කළ පරිදි ඔවුන් පිරිසිදු ජලය තොණ්ඩමාරු සහ මනල්කඩු සිට පයිප්ප මාර්ග හරහා යාපනය නගරය, නල්ලුර්, කොඩිකාමම්, කරාවෙඩ්ඩි, කයිතඩි, චාවකච්චේරි,නාවත්කුලි, කෝපායි, අචුවේලි, සන්දිලිපායි සහ චංකනායිවල නිවෙස්වලට බෙදා හරිනවා. යාපනයේ අනිත් ප්‍රදේශවලට පොදු පයිප්ප මාර්ග හරහා පානිය ජලය ලැබෙන බව ඔවුන් තව දුරටත් පැවසුවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව පසුගිය දින කිහිපය තුළ ඇති වූ වර්ෂාපතනයෙන්වත් ජලාශවල ජල මට්ටම සැලකිය යුතු මට්ටමකින් වැඩි වී නැහැ. වාරිමාර්ග දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එම්. තුරයිසිංහම් මහතා Roar වෙත පැවසු ආකාරයට, එයට හේතුව වී අැත්තේ රටේ අනෙක් ප්‍රදේශවලට වර්ෂාපතනය ලැබුණත් උතුර, නැගෙනහිර, උතුරු මැද පළාත්වලට වැසි ලැබීම ඉතා අවම වීමයි. කෙසේ නමුත් වගාවන් සඳහා ඇති තරම් ජලය නැගෙනහිර පළාතේ තිබෙන බවත් ඔහු පැවසුවා. “ජලාශවලින් 30% පමණ ජලය තිබෙනවා.” ඔහු කියා සිටියා.
යල කන්නයේ (2017 මැයි – අගෝස්තු) වගාව වෙනුවෙන් ලබාගත හැකි ජල ප්‍රමාණය මත සැලසුම් සකස් කරන බව ඔහු තව දුරටත් ප්‍රකාශ කළා. “සාර්ථක යල අස්වැන්නකට ජලාශවල ජල ප්‍රමාණයෙන් 50% වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යාමට පුළුවන් විය යුතුයි. දැනට පවතින ජල මට්ටම් අනුව මේ යල කන්නයේ කුඹුරුවලින් 50% පමණයි වගා කිරීමට හැකි වෙන්නේ. නියඟයක් තිබුණත් අපේ දෙපාර්තමේන්තුව වගාවන් ආරක්ෂා කිරීමට වෙහෙස මහන්සි වෙනවා.” තුරයිසිංහම් පැවසුවා.
විපත්තිය අවම කිරීම
හරිතාගාර වායු විමෝචනය අතරින් ශ්‍රී ලංකාව අවම තැනක සිටියත් ලොව පුරා සිදු වන දේශගුණ වෙනස්වීම් මෙරටටත් පහසුවෙන්ම බලපානවා. ශ්‍රී ලංකාව ඉතා මෑතකදී පෘථිවිය උණුසුම් වීම සහ දේශගුණ වෙනස්වීම් නිසා ඇතිවූ විශාල විපත් දෙකකට මුහුණ දුන්නා: සමහර ප්‍රදේශවල ජල ගැලීම්, අනෙක් ප්‍රදේශවල දිගු කාලීන නියඟයක්. මේවායින් ඇතිවන ගැටළු සහ ඒවාට මූලික වන හේතු අවම කිරීම පහසු නොවන්නේ ඒ සඳහා දේශීය වගේම ගෝලීය මට්ටමේ සැලසුම් අවශ්‍ය වන නිසයි. දීර්ඝ කාලීනව මේ විපත් නැවතිය හැක්කේ දේශගුණ වෙනස්වීම් පාලනය කිරීමෙන් පමණයි. නමුත් මෙයට හරිතාගාර වායු අධික ලෙස මුදා හරින රටවල් මූලික වූ උත්සාහයක් අවශ්‍යයි. මෙය තවත් අපහසු විය හැක්කේ ඇමරිකාව පසුගියදා පැරිස් සම්මුතියෙන් ඉවත් වීම සමගයි.
පෘථිවිය උණුසුම් වීමට එරෙහිව සටන් කිරීම හැරුණුකොට අපිට කළ හැකි අනික් දේ නම් මෙවන් විපත්වලට පෙර සුදානම් වී ඒවායේ විපාක අවම කර ගැනීමයි. මෙහිදී ගොවියන් සහ රාජ්‍ය නිලධාරින් දේශගුණ වෙනස්වීම්, ධරණීය ගොවිතැන් ක්‍රම යනාදිය ගැන දැනුවත් වීමත්, අවදානම් අයට අනතුරු ඇඟවීමට හා අාපදා කළමනාකරණයට නිසි පිළිවෙත් සකස් කිරීමත් අත්‍යාවශ්‍යයි. කාන්තාරකරණයට සහ නියඟයට එරෙහි වීමේ 22 වන ලෝක දිනයත් මෑතකදී සැමරූ අපි කවුරුත් එකමුතුව, මේ ස්වාභාවික විපත්වලට එරෙහි වීමේ අපේ හැකියාව ශක්තිමත් කර, අනාගතය සඳහා අපේ කැළෑ සහ වගා බිම් රැක ගැනීමට අදිටන් කර ගනිමු.
කවරයේ රූපය: Flickr/Charith Gunarathna
මෙය Roar Reports හි ඉංග්‍රීසියෙන් පළ වූ මුල් ලිපියේ සිංහල පරිවර්තනයකි.