Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සල්ෆියුරික් යොදා ගෙන මළ සිරුරු විනාශ කළ දාම ඝාතකයා

ගෙවුණු සියවසක පමණ කාලය තුළ ලෝකයේ විවිධ රටවල්වලින් දාම ඝාතකයන් පිළිබඳ පුවත් වාර්තා වී තිබෙනවා. ඒ අතුරින් සමහර දාම ඝාතකයන්, ඝාතන සිදුකිරීම සඳහා අමුතු ම ආකාරයේ ක්‍රම අනුගමනය කළ බව වාර්තා වූවා. තවත් සමහර දාම ඝාතකයන් සිදුකළ ඝාතන සදාකාලික ව වළලා දැමීම සඳහා උත්සාහයක යෙදුණා. මෙම ලිපියේ කතා නායකයා වන ජෝන් ජෝර්ජ් හේග් ඉහත දෙවන වර්ගයට අයත් වන දාම ඝාතකයෙක්. 1940 දශකයේ දී ඝාතන කිහිපයක් සිදු කළ මෙම පුද්ගලයා එම ඝාතන සැඟවීම සඳහා සල්ෆියුරික් අම්ලය යොදා ගෙන මළ සිරුර විනාශ කරන්නට තරම් උපක්‍රමශීලී වුණා. මෙතැන් සිට දිගහැරෙන්නේ ජෝන් හේග් පිළිබඳ කතා පුවත යි. 

ජීවිතයේ මුල් අවධිය 

1909 ජූලි 24 වැනිදා එංගලන්තයේ ස්ටැම්ෆර්ඩ් හිදී ජෝන් හේග් උපත ලැබුවා. ඔහුගේ පියා රොබට් හේග් වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. මව එමිලි හඩ්සන් රෙපරමාදු ආගමික නිකායකට සම්බන්ධ වී වැඩ කළා. එනිසා ජෝන්ට කුඩා කාලයේ සිට ආගමානුකූල දිවි පෙවතක් ගත කිරීම සිදුවුණා. නව යොවුන් විය පසු කරද්දී ජෝන් ආගමික කටයුතුවලින් ඈත් වුණා. එය එමිලිගේ අප්‍රසාදයට හේතු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජෝන් සිය මව වුණු එමිලි සමඟින් නිතර ම දබර කර ගත්තා. එලෙස නිතර ම සිය මව සමඟ දබර කරගැනීම හේතුවෙන් ජෝන් දඩබ්බර දරුවකු බවට පත්වුණා. 

ජෝන් හේග් කුඩා කාලයේ දී – gettyimages.com

 

රැකියාවකට පිවිසීම 

සිය පියා මෙන් ඉගෙනීමට දක්ෂයකු වුණු ජෝන් මෝටර් රථ කාර්මික ශිල්පියකු වීමට සිහින දුටුවා. එනිසා ඒ සම්බන්ධ ව වැඩි දුර ඉගෙන ගැනීමට ඔහු කල්පනා කළා. ඒ අතරතුර ශාස්ත්‍රීය සංගීතය සහ පියානෝ වාදනය පිළිබඳ ව ප්‍රගුණ කළ ජෝන් ගායන ශිල්පියකු සහ වාදන ශිල්පියකු වශයෙන් ද කටයුතු කළා. එකල ඔහු සංගීත ප්‍රසංග සඳහා ද සහභාගි වුණා. එම අවධියේ දී ජෝන්ට තවත් අපූරු වාසනාවක් පෑදුණා.

ඒ සිය පියාගේ මිතුරකුගේ මාර්ගයෙන් මෝටර් රථ සමාගමක ආධුනික මෝටර් රථ කාර්මික ශිල්පියකු ලෙසින් රැකියාව කිරීමට අවස්ථාව ලැබීම යි. එවකට 19 හැවිරිදි වියේ පසුවුණු ජෝන් වසරක පමණ කාලයක් එම රැකියාවේ නිරත වුණා. ඉන් පසුව එහි ප්‍රධානියකු සමඟ ඇතිකරගත් ගැටුමක් හේතුවෙන් ඔහු සිය රැකියාවට සමු දුන්නා. 

ජීවිතය අවුල් ජාලාවක් බවට පත්වීම 

මෝටර් රථ සමාගමේ රැකියාවෙන් ඉවත් වුණු ජෝන්ට රක්ෂණ සහ වෙළෙඳ සමාගමක රැකියාවක් හිමි වුණා. ඔහු වසරක පමණ කාලයක් කිසිදු ගැටලුවකින් තොර ව එහි රැකියාව කළා. එලෙස කාලය ගත වෙද්දී  ජෝන්ට අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවුණා. ඒ සමාගම සතුව තිබුණු මුදලක් සොරකම් කළා යැයි සැකපිට ඔහු රැකියාවෙන් නෙරපා දැමීම යි.

එසේ සිය දෙවන රැකියාවට සමු දෙද්දී ජෝන් 21 හැවිරිදි වියේ පසුවුණා. සිය මුල් රැකියාවන් ද්විත්වයේ දී විඳින්නට සිදුවුණු අමිහිරි අත්දැකීම් නිසා ජෝන් වෙනත් කෙනකු යටතේ වැඩ කිරීමට අකමැත්තකින් පසු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු තමන්ගේ ම ව්‍යාපාරයක් ආරම්භ කළා.ව්‍යාජ ලියකියවිලි සකස් කර ආරම්භ කළ එම ව්‍යාපාරය වැඩිකල් යන්නට පෙර සාර්ථක වුණා.

ජෝන් හේග් -medium.com

 

ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටි අතරතුර ජෝන් එක්තරා තරුණියක් සමඟ හිතවත්කමක් ඇති කර ගත්තා. එම හිතවත්කම වැඩි කල් යන්නට පෙර ආදරයක් බවට පෙරළුණා. බියට්‍රිස් හැමර් නම් එම තරුණිය සමඟ ජෝන් විවාහ දිවියට ඇතුළත් වුණේ 1934 ජූලි 6 වැනිදා යි. ඔවුන් දෙපළ විවාහ වී මාස 5ක් පමණ ගතවෙද්දී ජෝන් විශාල කරදරයකට මුහුණ දුන්නා.

ඒ ව්‍යාජ ලියකියවිලි සකස් කර ආරම්භ කළ ඔහුගේ ව්‍යාපාරය නීති විරෝධී එකක් බව හෙළිදරවු වුණු නිසා යි. ඉන් පසුව අත්අඩංගුවට ගැනුණු මෙම තරුණයාට මාස 15ක සිරදඬුවමක් උරුම වුණා. එම සිදුවීමෙන් කලකිරීමට පත්වුණු බියට්‍රිස් සිය සැමියා වුණු ජෝන්ගෙන් දික්කසාද වුණා. එනිසා ජෝන්ගේ ජීවිතය අවුල් ජාලාවක් බවට පත්වුණා.

ධනවතෙක් ළඟ සේවයට 

මාස 15ක කාලයක් සිර දඬුවම් විඳි ජෝන් ඉන් නිදහස් වී පැමිණ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ ඔහුගේ මිතුරකු සමඟ යි. එම අවධිය වන විට ජෝන් කනස්සල්ලෙන් කාලය ගත කළා. ඒ ඔහුට බියට්‍රිස් නිතර ම  මතකයට නැගුණු නිසා යි. එලෙස කාලය ගත වෙද්දී ජෝන් සහ මිතුරා කරගෙන ගිය කුඩා ව්‍යාපාරය සාර්ථක වුණා.

ඉන් සැලකිය යුතු තරම් ලාභයක් ලැබෙද්දී ජෝන්ට යළිත් යහපත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදා වුණා. නමුත් ඔහුගේ ජීවිතයේ එම සතුට සැනසීම වැඩිකල් තිබුණේ නැහැ. ඒ ජෝන්ගේ ව්‍යාපාරික සගයා  හදිසි අනතුරකින් මරණයට පත්වීම නිසා යි. ඉන් අනතුරු ව ව්‍යාපාරය අත්හැර දැමූ ජෝන් ලන්ඩන් නගරයට ගියා. ලන්ඩනයට ගිය ජෝන් විලියම් මැක්ස්වාන් නම් ධනවත් ව්‍යාපාරිකයාගේ රියදුරා ලෙසින් සේවයට එක් වුණා.

යළිත් සිර දඬුවම්

මැක්ස්වාන්ගේ රියදුරා ලෙස සේවය කළ ජෝන්ට සැලකිය යුතු තරම් මාසික පඩියක් හිමිවුණා. ඔහු ඒ වන විට තදින් ම සූදුවට ඇබ්බැහි වී සිටියා. එනිසා ඔහුට අමතර මුදලක් අවශ්‍ය වුණා. එම මුදල සොයාගැනීම සඳහා ඔහු ව්‍යාජ සොලිසිටර්වරය

කු ලෙසින් සේවය කළා. ඒ අයුරින් යළිත් නීතිවිරෝධී කටයුත්තක යෙදී සිටි ජෝන් පොලිසියට හසුවුණා. ඊට පෙරත් ඔහු නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ වී දඬුවම් ලබා තිබුණු නිසා මෙවර ඔහුට වසර 4ක සිර දඬුවමක් නියම වුණා. එදා ජෝන් වසර කිහිපයක් සිර දඬුවම් විඳිමින් සිටිය දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණා. එනිසා ඔහුට නියමිත කාලයට පෙර නිදහස ලැබුණා. නිදහස ලැබීමෙන් පසුව ද ඔහු නීතිවිරෝධී වැඩවල නිරත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට යළිත් වරක් සිරගත වීමට සිදුවුණා.

පළමු ඝාතනයට පසුබිම සැකසෙයි 

සිර දඬුවම් විඳීමට යළිත් වරක් සිදුවුණු නිසා ජෝන් දැඩි ලෙස කෝපයට පත්ව සිටියා. සිර දඬුවම් විඳිමින් සිටි කාලයේ ඔහුට ඇලෙක්සැන්ඩ්‍රේ සාරෙට් නම් ප්‍රංශ මිනීමරුවා පිළිබඳ අසන්නට ලැබුණා. එම මිනීමරුවා තමන් ඝාතනය කළ මිනිසුන්ගේ සිරුරු සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය භාවිතයෙන් විනාශ කළ බව අසා ජෝන් පුදුමයට පත්වුණා. ඔහුට එය අත්හදා බැලීමට අවශ්‍ය වුණා.

ඒ වන විට සිරගෙදර සිටි ජේලර්වරයකු සමඟින් ඔහු මිතුරු වී සිටියා. එම ජේලර්වරයාට අල්ලසක් ලබාදුන් ජෝන් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය අඩංගු කුප්පියක් ගෙන්වා ගත්තා. ඉන් පසුව සිර කුටියට පැමිණෙන මීයකු අල්ලා ගෙන උගේ සිරුරට සල්ෆියුරික් අම්ලය දමා පරීක්ෂණය සිදු කළා. මීයාගේ සිරුර විනාඩි 30කින් පමණ දිය වී ගියා. ඒ අයුරින් කාලය ගෙවී යද්දී ජෝන්ට යළිත් නිදහස ලැබුණා. ඉන් පසු ඔහු ඉංජිනේරු සමාගමක රැකියාවකට එක් වුණා. 

AuPalais no Twitter: "Le 10 avril 1934, Maître Georges-Alexandre Sarrejani  est guillotiné en public à l'entrée de la prison d'Aix-en-Provence par le  bourreau M Anatole Deibler. Ce fut la dernière exécution à
ඇලෙක්සැන්ඩ්‍රේ සාරෙට් නඩු විභාගයක දී- twitter.com

 

සාර්ථකව එම රැකියාවේ නිරතවෙමින් සිටි ජෝන්ට 1944 වසරේ මුල් භාගයේ එක්තරා දිනයක අහම්බයකින් විලියම් මැක්ස්වාන් නම් ධනවත් ව්‍යාපාරිකයා යළි මුණ ගැසුණා. එහි දී විලියම් සමඟ ඔහුගේ මාපියන් ද සිටියා. ඒ මොහොතේ විලියම් සිය මාපියන්ට ජෝන් හඳුන්වා දුන්නා. ඉන් පසු එම පිරිස රාත්‍රී ආහාරය ගැනීම සඳහා අවන්හලකට ගොඩ වුණා.

ඉන් පසුව සිදුවුණු කතාබහේ දී විලියම්ගේ පියා සිය ව්‍යාපාර ආරම්භ කළ ආකාරය සහ ඒවා විලියම්ට පවරාදුන් ආකාරය පිළිබඳ පවා සඳහන් කළා. එය ඇසූ මොහොතේ සිට ජෝන් කල්පනා කළේ සූක්ෂම අයුරින් විලියම්ගේ දේපළ පවරාගන්නා ආකාරය පිළිබඳව යි. එනිසා ජෝන් තව තවත් විලියම්ට සමීප වෙමින් ඔහුගේ විශ්වාසය දිනා ගත්තා.  

පළමු ඝාතනය 

විලියම්ගේ විශ්වාසය දිනා ගන්නා අතරතුර ඔහුට හිමි ඉඩකඩම් පිළිබඳ ව තොරතුරු සොයා ගැනීමට ජෝන්ට හැකි වුණා. ඉන් පසු ඔහු එයින් ඉඩම් කිහිපයකට ව්‍යාජ ලියකියවිලි සකස් කළා. එහි දී විලියම් මෑතක දී මිල දී ගත් ඉඩම්වලට පමණක් ව්‍යාජ ලියකියවිලි සකස් කිරීමට ඔහු තීරණය කළා. ඒ විලියම්ගේ මාපියන් එම ඉඩම් පිළිබඳ නොදැන සිටි නිසා යි. ව්‍යාජ ලියකියවිලි සකස් කර ගැනීමෙන් අනතුරු ව විලියම් හොර රහසේ ම මරා දැමීමට ජෝන් තීරණය කළා. 1944 සැප්තැම්බර් 9 වැනිදා ජෝන් ඔහුගේ නිවසට විලියම් කැඳවාගෙන ගියා. ඒ මත්පැන් සාදයක් සඳහා යි. 

එම සාදය අතරතුර විලියම් පමණට වඩා මත්පැන් පානය කරද්දී ජෝන් මත්පැන් ස්වල්පයක් පානය කළා. ක්‍රමයෙන් විලියම්ගේ සිහිය විකල් වෙද්දී ක්‍රියාත්මක වුණු ජෝන් ඔහුගේ හිසට පහර දී මරණයට පත් කළා. ඉන් අනතුරුව මියගිය විලියම්ගේ සිරුර සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය අඩංගු විශාල බඳුනකට දමා විනාශ කළා. විලියම් අතුරුදහන් වී දින කිහිපයක් ගත වෙද්දී ඔහුගේ මාපියන් ජෝන් හමුවීමට පැමිණියා. ඔවුන් සිය පුත්‍රයා පිළිබඳ විමසූ විට ජෝන් පවසා සිටියේ දෙවන ලෝක යුද්ධයේ අනිවාර්ය හමුදා සේවයට කැඳවීම පිළිබඳ බියට පත්වුණු නිසා විලියම් ස්කොට්ලන්තයට පලා ගිය බව යි.

තවත් ද්විත්ව ඝාතනයක් 

දෙවන ලෝක යුද්ධය නිමාවට පත්වුණත් විලියම් සිය නිවසට නොපැමිණීම පිළිබඳ ඔහුගේ මාපියන් කලබලයට පත්වුණා. එනිසා ඔවුන් ජෝන් හමුවී සිය පුත්‍රයා පිළිබඳ නිතර නිතර විමසන්නට වුණා. එය ජෝන්ට මහා හිසරදයක් වුණා. එයින් ගැලවීමට විලියම්ගේ මාපියන් ඝාතනය කිරීමට ඔහු තීරණය කළා. ඒ සඳහා සැලසුමක් සකස් කළ ජෝන් එක්තරා දිනයක විලියම්ගේ මාපියන් හමුවීමට ගොස් පවසා සිටියේ එදින විලියම් ස්කොට්ලන්තයේ සිට ආපසු පැමිණීමට නියමිත බවයි. ඉන් පසු ඔහු කැඳවාගෙන ඒම සඳහා ජෝන් සහ විලියම්ගේ මාපියන් නිවසින් පිටත් වුණා. එම ගමන අතරතුර ජෝන් උපක්‍රමශීලී ව ඔවුන් සිය නිවස වෙත කැඳවා ගෙන ගියා. එහි දී ඔවුන්ට මත් පෙති අඩංගු බීම ලබා දී හිසට පහර දී ඝාතනය කළා. මළ සිරුරු සල්ෆියුරික් අම්ලය යොදා ඉන් පසු විනාශ කළා.  

විලියම් මැක්ස්වාන්ගේ මව – gettyimages.com   

 

සුඛෝපභෝගී ජීවිතයක් ගත කරයි 

විලියම් සහ ඔහුගේ මාපියන් මරා දැමීමෙන් පසු ඔවුන් සතුව තිබුණු සියලු ම දේපළ හොර රහසේ අයිති කර ගත් ජෝන් සුපිරි පැලැන්තියේ නව නිවසක් මිල දී ගෙන සුඛෝපභෝගි ජීවිතයක් ගත කළා. එම කාලයේ ඔහු අත දිගහැර මුදල් වියදම් කළා. සුරාවට සහ සූදුවට ඇබ්බැහි වී සිටි ජෝන්  යහමින් මුදල් වියදම් කරමින් නාස්තිකාර ජීවිතයක් ගත කළා. 

ඒ අයුරින් වසර කිහිපයක් ගත වෙද්දී ජෝන් සතු ව තිබුණු මුදල් ක්‍රමයෙන් අවසන් වන්නට පටන් ගත්තා. එනිසා ඔහු නැවත වරක් බිල්ලක් ගැනීමට මාන බලමින් සිටියා. එක්තරා දිනක පුවත්පතක් බලමින් සිටි ජෝන් විකුණන්නට තිබුණු නිවසක් පිළිබඳ දැන්වීමක් දුටුවා. එම නිවසේ විස්තර දුටු ජෝන් එය අයිති පුද්ගලයා විශාල ධනවතකු බවට අනුමාන කළා. ඉන් පසුව ඔහු සිය ගොදුර සොයාගෙන එම නිවස වෙත ගියා. 

තවත් යුවළකට දිවි අහිමි වෙයි 

ජෝන් මිලදී ගැනීමට ගිය නිවස අයිති ව තිබුණේ ආචාර්ය ආර්චිබෝල්ඩ් හෙන්ඩර්සන්ට යි. ජෝන් ධනවතකු මෙන් සැරසී එම නිවසට ගොස් හෙන්ඩර්සන් සහ ඔහුගේ බිරිය රොසාලි සමඟ හොඳින් කතාබහ කරමින් මිතුදමක් ඇතිකර ගත්තා. කුඩා කල සිට දක්ෂ පියානෝ වාදකයකු වුණු ජෝන් ඔවුන්ගේ නිවසේ තිබුණු පියානෝව වාදනය කළා. එම පියානෝ වාදනය ඇසීමෙන් පසුව හෙන්ඩර්සන් මහතා සහ එම මහත්මිය ජෝන් කෙරෙහි විශාල පැහැදීමක් ඇතිකර ගත්තා. ඉන් පසුව ජෝන් බොරු හේතුවක් කියමින් නිවස මිලදී ගැනීමට මාස කිහිපයක් කල් ඉල්ලා සිටියා. එහි දී ඔහු පවසා සිටියේ විදේශගත ව සිටින ඔහුගේ බිරිය පැමිණෙන තුරු නිවස මිලදී ගැනීමට නොහැකි බවයි. 

ඒ අතරතුර කාලයේ නිතර ම හෙන්ඩර්සන්ගේ නිවසට ගිය ජෝන් ඔවුන් සමඟ තව තවත් මිතුරු වුණා. එම ගමන් බිමන් අතරතුර හෙන්ඩර්සන් සහ ඔහුගේ බිරිය පරලොව යැවීම සඳහා ඔහු පිඹුරුපත් සකස් කළා. ආචාර්ය හෙන්ඩර්සන් හමුවේ අසත්‍ය තොරතුරු රැසක් පැවසූ ජෝන් තමන් නව නිර්මාණකරුවෙක් බව ද පවසා තිබුණා. 1948 පෙබරවාරි 12 වැනිදා හෙන්ඩර්සන් හමුවන්නට ගිය ජෝන් සිය නවත ම  නිර්මාණය නැරඹීමට සිය නිවසට එන මෙන් ආරාධනා කළා. එම ගමන සඳහා හෙන්ඩර්සන් සූදානම් වන අතරතුර ජෝන් ඔහුගේ රිවෝල්වරය හොරකම් කළා. 

ඉන් පසුව ඔවුන් දෙදෙනා ක්‍රෝලි ප්‍රදේශයේ පිහිටා තිබුණු ජෝන්ගේ නිවස වෙත ගියා. ජෝන් එහි දී  සොරකම් කළ රිවෝල්වරය භාවිත කරමින් හෙන්ඩර්සන්ට වෙඩි තබා මරා දැමුවා. ඉන් අනතුරුව මළ සිරුර සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ ගිල්වා තබා රොසාලි මහත්මියට දුරකථනයෙන් කතා කරමින් පවසා සිටියේ හෙන්ඩර්සන් මහත්මයාට හදිසි අසනීපයක් ඇතිවුණු බව යි. ඒ මොහොතේ යළිත් හෙන්ඩර්සන්ගේ නිවසට ගිය ජෝන් රොසාලි කැඳවාගෙන සිය නිවසට පැමිණියා. ඉන් පසු ඇයටත් වෙඩි තබා මරා දැමීමෙන් පසු සිරුර සල්ෆියුරික් අම්ලයේ ගිල්වා විනාශ කළා. එලෙස හෙන්ඩර්සන් සහ ඔහුගේ බිරිය මිය යාමෙන් පසුව ඔවුන්ට අයත්ව තිබුණු සියලු ම දේපළ ව්‍යාජ ලියකියවිලි මඟින් අත්පත් කරගැනීමට ජෝන්ට හැකිවුණා.

හෙන්ඩර්සන් යුවළ- gettyimages.com

 

අවසන් ගොදුර 

ජෝන්ට අවසන් වශයෙන් ගොදුරු වුණේ ඔලිව් ඩුරන්ඩ්-ඩිකන් නම් ධනවත් වැන්දඹු කාන්තාව යි. ඒ වන විට ඉංජිනේරුවකු වශයෙන් පෙනී සිටි ජෝන් අසත්‍ය තොරතුරු පවසමින් ඔලිව් මහත්මිය සිය වසඟයට ගත්තා. සිය ගායන සහ පියානෝ වාදන හැකියාවෙන් ප්‍රයෝජන ගත් ජෝන් නිතරම  ඔලිව් මහත්මියගේ නිවසට ගොස් එහි තිබුණු පියානෝව වාදනය කළා.

ඒ අයුරින් කාලය ගෙවී යද්දී ඔලිව් මහත්මිය සිය පෞද්ගලික තොරතුරු පවා ජෝන් හමුවේ පවසා සිටියා. එහි දී ඇය සතු ව තිබුණු දේපළ පිළිබඳ තොරතුරු ද අනාවරණය වුණා. තමන්ට අවශ්‍ය කරන තොරතුරු දැනගැනීමෙන් පසු ඇය ද ඝාතනය කළ ජෝන් මළ සිරුර සල්ෆියුරික් අම්ලයේ ගිල්වා විනාශ කළා. ඉන් පසුව ඔලිව් මහත්මිය සන්තකයේ තිබුණු දේපල සොරකම් කළා. 

ඔලිව් මහත්මිය – gettyimages.com

 

පොලිසියට කොටුවීම 

ජෝන් අතින් මරණයට පත්වුණු හෙන්ඩර්සන්ට රෝස් නමින් සහෝදරියක් සිටියා. ඇය අතුරුදහන් වුණු සිය සහෝදරයා පිළිබඳ තොරතුරු සොයන්නට පටන් ගත්තා. එහි දී හෙන්ඩර්සන්ගේ නිවසට නිතර ම පැමිණි ජෝන් පිළිබඳ ඇයට තොරතුරු අනාවරණය වුණා. ඉන් අනතුරුව ඇය රහස් පොලිසියේ සිටි මිතුරකුට  ජෝන් පිළිබඳ තොරතුරු සෙවීම භාර කළා.

එම නිලධාරියා ජෝන් කිහිප වරක් සිර දඬුවම් විඳි කෙනක් බව සොයා ගත්තා. එය රෝස්ගේ සැකයට හේතු වුණා. එනිසා ඇය සිය සහෝදරයා අතුරුදහන් වීමට ජෝන්ව සැක කළා. ඇයගේ සැකය ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය නොසිතූ මොහොතක ජෝන්ගේ නිවස පරීක්ෂා කළා. එවිට සල්ෆියුරික් අම්ලය යොදා සිරුරු විනාශ කර ස්ථානවල තිබී මිනිස් අස්ථි කොටස් හමුවුණා. ඉන් පසු ජෝන් සැකපිට අත්අඩංගුවට ගත්තා.

පොලිසිය ජෝන්ගේ නිවස පරීක්ෂා කළ අවස්ථාව – gettyimages.com

 

අවසානය 

අත්අඩංගුවට ගෙන මුලින් ම සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ජෝන් නිශ්ශබ්ද ව සිටියා. නමුත් පොලිස් නිලධාරින්ට ඔහු අපරාධකරුවකු බව ඒත්තු ගියා. එනිසා ඔවුන් විවිධ උපක්‍රම අනුගමනය කරමින් ජෝන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළා.

අවසානයේ දී ජෝන්ට සියල්ල පාපෝච්චාරණය කිරීමට සිදුවුණා. සටකපට පුද්ගලයකු වුණු ජෝන් තමන්ට තිබුණු මානසික ආබාධයක් නිසා එම ඝාතන සිදුකළ බව ඒත්තු ගැන්වීමට උත්සාහ කළා. 

ඝාතන පිළිබඳ පළවුණු පුවත්පත් වාර්තා – gettyimages.com

 

ජූරි සභාවක් ඉදිරියේ ජෝන්ට එරෙහි ව නඩු විභාගයක් පැවැත්වුණා. එම ජූරිය ඉදිරියේ ජෝන් පවසා සිටියේ තමන් මිය ගිය සෑම කෙනකුගේ ම සිරුරින් ලේ කෝප්පය බැගින් පානය කළ බවයි. ඔහු එවැනි කතා කියමින් තමන්ට මානසික ආබාධයක් ඇති බව ඔප්පු කිරීමට උත්සාහ කළා.

එසේම ඔහුගේ නීතිඥයා ද විවිධ තර්ක ඉදිරිපත් කරමින් එය ඔප්පු කිරිමට උත්සාහ කළා. ජූරි සභාව ඔහුගේ උපායා හසු වුණේ  නැහැ. එනිසා ජෝන් එල්ලා මැරීමට ඔවුන් ඒකමතික ව තීරණය කළා. ඒ අනුව 1949 අගෝස්තු 10 වැනිදා ජෝන් එල්ලා මරා දැමුණා. 

ජෝන් නඩු විභාගය අතරතුර – gettyimages.com

කවරයේ ඡායාරූපය- ජෝන් හේග් - medium.com

මූලාශ්‍ර:

allthatsinteresting.com

wakefieldexpress.co.uk

medium.com 

Related Articles