2G, 3G, 4G කියන්නෙ අපේ දුරකථන ජාල සම්බන්ධතා එක්ක වැඩි වශයෙන් භාවිත වන, අපට අහලා පුරුදු වචන කිහිපයක්. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දියුණු වීමත් එක්කම වඩාත් පහසුවෙන් දත්ත සහ තොරතුරු හුවමාරු කරගැනීමේ වරප්‍රසාදය මුළු ලෝකයටම හිමිවුණා. 4G තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම කෙතරම් පහසු හා වේගවත් වී තිබෙනවා ද කියන එක අපි කවුරුත් දන්නා හඳුනන කරුණක්. නමුත් 4G තාක්ෂණයෙන් පමණක් සෑහීමට පත්වීමට මිනිසා කිසි විටෙකත් සූදානම් නැහැ. ඉතින් ඒ නිසා දියුණු කෙරුණු, 4G තාක්ෂණයටත් එහා වැඩකාරයෙක් තමයි 5G තාක්ෂණය කියලා කියන්නේ.
4G තාක්ෂණයෙන් යුත් ජංගම දුරකථන ඇමරිකා එක්සත් ජනපදයට හඳුන්වා දෙන්නේත් වර්ෂ 2010 තරම් මෑත අතීතයක දී යි. Snapchat පවා භාවිතයට පැමිණියේ වර්ෂ 2012 තරම් මෑත කාලයක යි. LTE ජාල සම්බන්ධතා ඇසුරින් වීඩියෝ ඇමතුම් ලබා ගැනීම ඇමරිකාවෙහි ප්‍රචලිත වන්නේත් වර්ෂ 2013 තරම් මෑත වකවානුවක යි. 4G තාක්ෂණයෙන් සිදු වූ සන්නිවේදනයෙහි වේගවත් වීම අපි අත්දැක තිබෙන දෙයක්. 5G තාක්ෂණය සඳහා වන අත්හදා බැලීම්වල සාර්ථක ප්‍රතිඵල භුක්ති විඳීමේ කැමැත්ත සියලු දෙනා තුළම පවතින්නේ 4G තාක්ෂණය ඒ තරම් වේගවත් නම් 5G තාක්ෂණ කෙසේ වේවිදැ යි පවතින බලාපොරොත්තුව නිසාවෙන්ම යි.
මෙතෙක් ආ ගමන් මඟ
5G හි පවතිනා G අකුරෙහි අර්ථය වන්නේ එය රැහැන් රහිත සන්නිවේදන පරම්පරාවක් වන්නේ ය යන්න යි. රැහැන් රහිත සන්නිවේදන ක්‍රියාවලිය ආරම්භ වන්නේ 1G තාක්ෂණයත් සමග යි. ඇනලොග් දුරකථන භාවිතයට පැමිණෙන්නේ මේ 1G තාක්ෂණය සමග යි. එය ඉන්පසුව 2G දක්වා වර්ධනය වනවා. ඒ සමග CDMA, GSM, සහ TDMA යන ඩිජිටල් සෙලියුලර් භාවිතය ආරම්භ වනවා. ඉන්පසුව 3G තාක්ෂණය හඳුන්වා දීමත් සමගම EVDO, HSPA, සහ UMTS භාවිතයට පැමිණෙන අතර එමඟින් එතෙක් තත්පරයට කිලෝබයිට් 200ක් (200kbps) පමණ වූ දත්ත හුවමාරු ධාරිතාව තත්පරයට මෙගාබයිට් (mbps) කිහිපයක් හුවමාරු කරගත හැකි අන්දමට වැඩිදියුණු වනවා.
ඉන්පසුව දියුණු වන 4G තාක්ෂණය ඔස්සේ WiMAX සහ LTE භාවිතයට පැමිණෙන අතර, 4G තාක්ෂණය හරහා තත්පරයට මෙගාබයිට් සිය ගණන් හුවමාරු කරගැනීමේ හැකියාව ලබා දෙනවා. මේ වන විට වැඩිදියුණුවීමට ලක්ව තිබෙන 4G තාක්ෂණය ඔස්සේ මේ වන විට තත්පරයකට ගිගාබයිට් දෙකක (2Gbps) ධාරිතාවයෙන් යුක්තව දත්ත හුවමාරු කරගැනීමේ හැකියාවක් පවතින අතරම 5G තාක්ෂණය ඔස්සේ බලාපොරොත්තු වන්නේ එය තත්ත්පරයට ගියාබයිට් 20 (20Gbps) දක්වා වර්ධනය කිරීමට යි. 5G තාක්ෂණයේ අපේක්ෂාව වන්නේ ජාල සබඳතා වඩා වේගවත් කිරීම, සහ වේගයෙන් දත්ත හුවමාරු කරගැනීමට හා වේගවත්ව ප්‍රතිචාර දැක්වීමට ඉඩ සලසා දීම යි. එසේම 5G තාක්ෂණය මඟින් අපේක්ෂිත තවත් අරමුණක් වන්නේ එක්වර උපාංගයන් කිහිපයක් ඔස්සේ අන්තර්ජාලය හා සම්බන්ධ වීමට ඉඩ සලසා දීම යි.
වැඩිදුර කියැවීමට: මුල්වරට 5G ගෙන එන Moto Z3 දුරකථනය
මොකද්ද මේ 5G?
5G තාක්ෂණය වූ කලී 4G තාක්ෂණයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වූවක් නොවේ. 5G ජංගම දුරකථන සඳහා 4G ජාලය සහ ආවරණපථය අවශ්‍ය වේ. 5G තාක්ෂණ සිය මූලාරම්භක සම්බන්ධතාවන් වන “non-standalone” ස්ථාපිත කිරීම සඳහා 4G තාක්ෂණය යොදාගත්තා. මේ වන විට “standalone” සම්බන්ධතා වෙත ලෝකය ගමන් කරමින් සිටියත් 5G තාක්ෂණය හරහා පමණක් ඇමතුම් ලබා ගැනීමේ ක්‍රමවේදයක් තවම සොයාගෙන නැහැ. ඒ අනුව දුරකථන ඇමතුමක් ලබා ගැනීමට අවශ්‍ය වේලාවට යළිත් වරක් 4G/3G/2G තාක්ෂණයන් වෙත මාරු වීමට ඔබේ ජංගම දුරකථනයට සිදුවනවා.
5G තාක්ෂණය කාණ්ඩ තුනක්, තත්ත්වයන් තුනක් යටතේ ක්‍රියාත්මක කළ හැකි බවට අනාවරණය කරගෙන තිබෙනවා. ඒ low, middle, සහ high යන ධාරිතාවන් තුන යටතේ යි. 4G තාක්ෂණය හරහා මෙගාහර්ට්ස් 20ක (20MHz) ධාරිතාවෙන් යුත් චැනල් 7ක් එකිනෙක සම්බන්ධ කර මෙගාහර්ට්ස් 140ක (140MHz) පරිමාවෙන් දත්ත පරිශීලනය කළ හැකියි. කෙසේ නමුත් ජංගම දුරකථනයක් උපරිම වශයෙන් භාවිත කරන්නේ මෙගාහර්ට්ස් 60ක් (60MHz) හෝ ඊට අඩු ප්‍රමාණයක් පමණයි. Low සහ mid-band 5G තාක්ෂණය යටතේ මෙගාහර්ට්ස් 100ක (100MHz) ධාරිතාවෙන් යුත් චැනල් 2ක් එකිනෙක සම්බන්ධ කර ක්‍රියාත්මක කරවීමට හැකියාව ලැබෙනවා. එසේම ඒ මත මෙගාහර්ට්ස් 20ක (20MHz ) ධාරිතාවෙන් යුත් 4G චැනල් 3ක් ක්‍රියාත්මක කරවීමටත් හැකියාව පවතිනවා. High-band 5G තාක්ෂණය යටතේ නම් මෙගාහර්ට්ස් 100ක (100MHz ) චැනල් 8ක් දක්වා භාවිත කිරීමේ හැකියාව පවතිනවා. 5G තාක්ෂණය මඟින් ලබාදෙන වේගය අත්විඳීමට නම් තරංග මාලාවන් හොඳින් ගමන් කළ යුතු වනවා.
Low-band 5G
ගිගාහර්ට්ස් 2ට (2GHz) අඩු සංඛ්‍යාතයන්හි දී Low-band 5G තාක්ෂණය ක්‍රියාත්මක වනවා. මෙය ඉතා පැරණි දුරකථන සහ TV චැනල භාවිත කරන සංඛ්‍යාතයක්. මේ ඔස්සේ වැඩි දුරකට දත්ත සම්ප්‍රේෂණය කළ හැකි වුවත් වඩා පුළුල් චැනල මේ ඔස්සේ සම්ප්‍රේෂණය කිරීම දුෂ්කර යි. එමනිසා Low-band 5G තාක්ෂණය වේගයෙන් අඩු ය.
Mid-band 5G
ගිගාහර්ට්ස් 2-10ත් (2 GHz – 10 GHz) අතර සංඛ්‍යාත පරාසයක Mid-band 5G තාක්ෂණය ක්‍රියාත්මක වනවා. ප්‍රධාන සම්ප්‍රේෂණ කුළුණේ සිට සැතපුම් භාගයක් පමණ දුරට මෙහි ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවනවා.
High-band 5G
ගිගාහර්ට්ස් 20-100ත් (20 GHz – 100 GHz) අතර සංඛ්‍යාත පරාසයක High-band 5G තාක්ෂණය ක්‍රියාත්මක වනවා. ප්‍රධාන සම්ප්‍රේෂණ කුලුණේ සිට අඩි 800ක් වැනි කෙටි දුරකට පමණ යි මෙහි ක්‍රියාකාරීත්වය සිදුවන්නේ. සාමාන්‍ය ජනතාව භාවිත කරන දුරකථන, පරිගණක, අයිපෑඩ් වැනි මෙවලම්වල භාවිත කරන මෘදුකාංග යෙදවුම් සඳහා මේ දක්වා High-band 5G තාක්ෂණයේ භාවිතයක් සිදු වී නැහැ.
5G තාක්ෂණයේ ප්‍රයෝජන මේවා යි
5G තාක්ෂණය හරහා කාර්මික ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් වනු ඇති බවට ඒ සම්බන්ධව පර්යේෂණ පවත්වන්නන් විශ්වාස කරනවා. 5G තාක්ෂණය වෙළඳපළට ළඟා වූ පසු Netflix වැනි යෙදවුම් හරහා ඉතා වේගයෙන් එහි අන්තර්ගතයන් බාගත කරගැනීමේ හැකියාව සාමාන්‍ය ජනතාවට ලැබීමට නියමිත යි. එසේම නව යෙදවුම් ඉදිරියේ දී වෙළඳපළට ළඟාවීමේ හැකියාව, 5G තාක්ෂණයේ ආගමනයත් සමග නොවැළැක්විය හැකි කරුණක්. වීඩියෝ ඇමතුම්වල පැහැදිලිතාව වැඩිවීම ද 5G තාක්ෂණය මගින් හිමිවීමට නියමිත තවත් වාසියක්. ෆයිබර් තන්තු මඟින් නිවාස කිහිපයකට එක බැගින් අන්තර්ජාල ප්‍රවේශය සපයන පද්ධති සකසා, එක් එක් නිවාසවලට රැහැන් රහිත මෝඩම් ලබා දී එකී මෝඩම් අදාළ ප්‍රධාන ෆයිබර් තන්තු පද්ධතියට සම්බන්ධ කර එමඟින් ජනතාවට 5G තාක්ෂණික ප්‍රවේශය ලබා ගැනීම සඳහා කටයුතු සම්පාදනය කිරීමේ හැකියාවක් පවතින බව දැනට අනාවරණය කරගෙන තිබෙන තාක්ෂණික කරුණක්.
අද වන විට ෆින්ලන්තය, ඇමරිකාව වැනි රටවල් කැමරා පද්ධති, වීඩියෝ ගේම් තාක්ෂණය සඳහා 5G තාක්ෂණය භාවිත කරනු දක්නට ලැබෙන අතර රියදුරන් නොමැති වාහන, රොබෝවරු සඳහා ද 5G තාක්ෂණය භාවිත කිරීමේ නැමියාවක් දක්නට ලැබෙනවා.
5G තාක්ෂණය මඟින් ඉතාම කුඩා මෙවලම් ඔස්සේ පවා අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාව සැපයීමට නියමිතව පවතිනවා. 5G තාක්ෂණය ස්ථාපිත වීමත් සමග අන්තර්ජාලය ඔස්සේ සිදු කරන සියලු කටයුතු වඩාත් පහසු වීමට ද නියමිත යි. එසේම අන්තර්ජාලය ආශ්‍රිත ආර්ථික කටයුතු වර්ධනය වීමටත් 5G තාක්ෂණයේ ආගමනය විශාල හේතුවක්. මෙහි සෞඛ්‍යමය පසුබිම දැනගන්න 5G විකිරණ ශරීරයට අහිතකර ද? ලිපිය බලන්න.