ස්වභාවිකව මිනිසෙකුගේ උප්පත්තිය සිදු වන විට සිය පියාගේ හෝ මවගේ ජාන විවිධ අනුපාත වලින් මිශ්‍ර වීමෙන් අතර මැදි ස්වභාවයන් සහිත දරුවන් උපදිනවා. මේ නිසා සහෝදරයන් දෙදෙනෙකුවත් මා පිය දූ දරුවන්වත් සර්ව සම වන්නේ නැහැ. සම නිවුන්නු බිහි වන්නේ යුක්තානුව අහම්බයකින් දෙකට බෙදීම නිසායි. එවිට එකම ජාන කිටුව කළල දෙකට බෙදී යාම නිසා ඉතා ආසන්න ලෙස සර්වසම දරුවන් දෙදෙනෙක් බිහි වෙනවා. නමුත් සම නිවුන්නු යුගලක් ඔවුන්ගේ දෙමවුපියන්ට සිතූ පමණින් ලබන්නට බැහැ. සම නිවුන්නු එකිනෙකා ආසන්න වශයෙන් සර්ව සම සමාන වුවත් දෙමවුපියන්ට සමාන වන්නේ නැහැ.
මිනිසා ඒක ලිංගික සත්ත්වයෙක් නිසා කිසි ලෙසකින් ස්වභාවික ලෙස මවු ජීවියෙකුට සර්වසම දුහිතෘ ජීවියෙක් ලබාගන්නට බැහැ. ලෝකයේ ජීවත් වන අනෙකුත් ඒක ලිංගික ක්ෂීරපායී සත්ත්වයින් සලකන විට මේ ධර්මතාවය ඔවුන්ටත් පොදුයි. ඒත් යම් කිසි අවශ්‍යතාවයකට එවැනි ජීවියෙකුගේ සර්වසම පිටපතක් ගන්නට අවශ්‍යතාවයක් ඇති වුණොත්? අතීතය පුරා එවැනි අවශ්‍යතා ඇති වී තිබෙනවා සහ මේ වන විට ශාක මෙන්ම එවැනි සතුනුත් නවීන තාක්ෂණයේ පිහිටෙන් ‘පිටපත්’ කර තිබෙනවා. මෙසේ සර්වසම ජානමය පිටපත් ගැනීම හඳුන්වන්නේ ‘ක්ලෝනකරණය’ නමින්. වර්තමානය වන විට ශාක ක්ලෝනකරණය කිරීමනම් ඒ තරම් දුලබ දෙයක් නොවන අතර ‘පටක රෝපණය’ එක් ජනප්‍රිය ශාක ක්ලෝනකරණ ක්‍රමයක්. සමාජීය හා සදාචාරාත්මක හේතු මත තවමත් මානව ‘පිටපත්’ ගෙන නොමැති නමුත් ඒ පිළිබඳව ඉතාම මත භේදාත්මක හා උණුසුම් කතා බහ ඇති වී නැත්තේ නැහැ.
සත්ත්ව ක්ලෝනකරණ ක්‍රමවේද
වර්තමානය වන විට යම්කිසි සත්ත්වයෙකුගේ ජානමය ‘පිටපතක්’ ලබාගැනීමට හෙවත් ක්ලෝනයක් ලබා ගැනීමට ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. ක්ලෝනකරණ ක්‍රමයක් යැයි ආසන්නව හැඳින්විය හැකි ක්‍රමවේදයක් ලෙස මුලින්ම ඉදිරිපත් වූ ක්‍රමය වන්නේ කෘත්‍රීම කළල ද්වීකරණ ක්‍රමවේදයයි. මෙය සම නිවුන්නුන් බිහිවීමේ ක්‍රමවේදයට ඉතාම සමානයි. මේ ක්‍රමවේදයේදී සම නිවුන්නු බිහි වන්නා සේම සංසේචිත ඩිම්බයෙන් කළලය බිහි වූ වහාම එය කෘත්‍රීමව දෙකට බෙදනු ලබනවා. පෙට්‍රි දීසියක් මත තබා කළලය වෙන් කර ස්වාධීන සෛල දෙකක් ලෙස වෙන් වෙන්ව වැඩීමට සලස්වා ඒවා ගර්භාෂ දෙකක තැන්පත් කර වෙනම විකසනය වීමට ඉඩ හරිනවා. එතැන් පටන් ස්වභාවික ලෙස කළලය හා භ්‍රෑණය වැඩෙනවා. කළල දෙකම එකම යුක්තානුවකින් පැමිණි නිසා ජානමය අතින් ඒවා සමාන වෙනවා. මෙය ඒ තරම් දියුණු ක්‍රමවේදයක් නොවන අතර ලැබෙන දුහිතෘ ජීවීන් සම නිවුන්නුන් තරමට පමණක් සමාන ලක්ෂණ පෙන්වනවා.
සැබෑම ක්ලෝනකරණ ක්‍රමයක් හෙවත් මාතෘ ජීවියෙකුගේ පිටපතක් ලබාගත හැකි ක්‍රමවේදයක් ලෙස වැඩියෙන්ම යොදා ගැනෙන Somatic cell nuclear transfer (SCNT) හෙවත් දෛහික සෛල වල න්‍යෂ්ඨීය ද්‍රව්‍ය ඩිම්බයක තැන්පත් කිරීමේ ක්‍රමවේදයේදී සත්ත්ව දෛහික සෛලයක් ගෙන එහි න්‍යෂ්ඨිය වෙන් කර ඒ විශේෂයටම අයත් සත්ත්වයෙකුගේ ඩිම්බයක තැනපත් කිරීම සිදු කෙරෙනවා. මෙහිදී දෛහික සෛල න්‍යෂ්ඨිය ඩිම්බ සෛලයේ තැන්පත් කිරීමට පෙර ඩිම්බයේ න්‍යෂ්ඨික ද්‍රව්‍ය ඉවත් කරන අතර මෙසේ තැන්පත් කළ වහාම එම ඩිම්බය සංසේචිත එකක් සේ හැසිරෙන්නට පටන් ගන්නවා. මේ ‘යුක්තානුව’ කළලයක් සේ විකසනය වන්නට පටන් ගන්නා අතර එය සුදුසු ගර්භාෂයක තැන්පත් කළ පසු සාමාන්‍ය කළලයක් සේ වැඩෙන්නට පටන් ගන්නවා. මින් උපදින දුහිතෘ ජීවියා තනිකරම ජානමය වශයෙන් දෛහික සෛලය ලබා දුන් මාතෘ ජීවියාට සමාන වෙනවා. මීට අමතරව තවත් නවීන ක්‍රමද වර්තමානය වන විට අත්හදා බැලෙමින් තිබෙනවා.
සත්ත්ව ක්ලෝනකරණයේ ඉතිහාසය හා ‘ඩොලී’
ක්ලෝනකරණයට වසර 80 ක පමන ඉතිහාසයක් තිබෙනවා. කෘත්‍රීම කළල ද්වීකරණය පිළිබඳ 19 වන සියවසේ අග භාගයේ පටන් විද්‍යාඥයින් කතා කළත් එකළ ඒවා ඒ තරම් ප්‍රායෝගික ලෙස සැලකුණේ නැහැ. මේ අතර හාන්ස් ස්පියර්මන් නම් විද්‍යාඥයා විසින් 1938 වසරේදී අපූරු අදහසක් ඉදිරිපත් කරනවා. එනම් ඩිම්බයක න්‍යෂ්ඨිය ඉවත් කොට ඒ වෙනුවට තවත් න්‍යෂ්ඨියක් ඇතුළු කොට එය කළලයක් හැටියට වැඩෙන්නට දී බැලීමයි.ක්‍රි.ව 1952 දී රොබට් බ්‍රිග්ස් හා තෝමස් කින්ග් විසින් ගෙඹි බිත්තරයක් ක්ලෝන කිරීමට උත්සාහ දැරුවද එය සාර්ථක වන්නේ නැහැ. නමුත් 1970 වසරේදී ජෝන් බී. ගුර්ඩන් නම් විද්‍යාඥයා ගෙඹි බිත්තරයක් ක්ලෝනකරණයට ලක් කර ඉස්ගෙඩියෙකුගේ මට්ටමට ගෙන එන්නට සමත් වෙනවා.
ක්ෂීරපායී සතුන් ක්ලෝනකරණයට අත්පොත් තබන්නට විද්‍යාඥයින්ට සාර්ථකව හැකි වුණේ 1975 දී පමණයි. එම වසරේදී ඔවුන් හාවෙකුගේ යුක්තාණුවකට සාර්ථකව ජාන හුවමාරුවක් කිරීමට සමත් වෙනවා. ඒ කෙසේ වෙතත් එතැනින් එහාට විකසනය සත්‍ය ගර්භාෂයක සිදු විය යුතු නිසා හා එය නිසියාකාරව කිරීමට තරම් එවක තාක්ෂණය දියුණු වී නොතිබූ නිසා පරීක්ෂණය ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රි.ව 1984 හා 1987 වසර වලදී තාක්ෂණයේ දියුණුවත් සමඟ කළල වල ජානමය ද්‍රව්‍ය හුවමාරු කිරීම මඟින් පිළිවෙලින් බැටළුවෙකු හා ගවයෙකු උත්පාදනය කර ගැනීමට විද්‍යාඥයින් සමත් වෙනවා.
ක්‍රි.ව 1996 දී නිපදවුණු ‘ඩොලී’ නම් බැටළු පැටවා එතෙක් සිදු කළ සියළුම ක්ලෝන වලට වඩා ඉතා සුවිශේෂී වන්නේ එම සත්ත්වයා වැඩිහිටි දෛහික සෛලයක ජාන මඟින් තැණුනු පළමුවැනිම සත්ත්වයා වීම නිසායි. වැඩිහිටි බැටළු දෙනකගේ ස්ථන ග්‍රන්ථියකින් ගත් අලිංගික සෛලයක තිබූ ක්‍රෝමසෝම ඩිම්බ සෛලයක ප්‍රතිස්ථාපනය කොට යුක්තානුවක්, කළලයක් හා භ්‍රෑණයක් ලෙස වැඩෙන්නට සැලැස්වීම මඟින් අවසානයේ මේ විද්‍යාත්මක ප්‍රාතිහාර්යය කිරීමට විද්‍යාඥයින් සමත් වෙනවා. මෙතැනදී යොදාගත්තේ Somatic cell nuclear transfer (SCNT) ක්‍රමයයි. එතැන් පටන් මේ ක්‍රමයෙන්ද අනෙකුත් ක්‍රම වලටද විවිධ සතුන් සාර්ථකව ක්ලෝනකරණය කර නිපදවා තිබෙනවා.
ඩොලී ගේ ජීවිතය
ඩොලී ක්‍රි.ව 1996 ජූලි 5 වනදා ස්කොට්ලන්තයේ රොස්ලින් විද්‍යාතනයේදී උප්පත්තිය ලබන්නේ පරීක්ෂණ රැසක ප්‍රතිඵලයක් ලෙස සය හැවිරිදි බැටළු දෙනකගේ වැඩිහිටි සෛලයකින් තැණුනු ඇගේ පිටපතක් ලෙසයි. මාස කිහිපයඉ ගත වූ පසු එම ආයතනය විසින් ඩොලී ව ලොවට හඳුන්වා දෙනවා.ආරම්භයෙදී ඉතා දැඩි ලෙස ලෝකයේ අවධානය දිනාගත්තත් ඇයට සාමාන්‍ය ජීවිතයක් ලබා දීමට රොස්ලින් ආයතනය තීරණය කරනවා. පැටවුන් 6 දෙනෙක් ලැබීමේ වාසනාව ඇයට හිමිවූවත් ජීවිත කාලය පුරාවට රෝගාබාධ කිහිපයකින් ම පෙළුණු ඇය සය වියැතිව සිටියදී 2003 පෙබරවාරි මස 14 වනදා මිය යනවා.
මානව ක්ලෝනකරණය
පසුගිය දශක දෙක තුළ ලෝකයේ කතා වුණු උණුසුම්ම මාතෘකාවක් ලෙස මනව ක්ලෝනකරණය ගත හැකියි. මානව ක්ලෝනයක් නිෂ්පාදනය කිරීම ලොව වෙසෙන පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට, ආරක්ෂාවට තර්ජනයක් වන නිසාත් හා තවත් සමාජීය හා සදාචාරාත්මක හේතු ගණනාවක් නිසාත් ලෝකයේ බහුතරයක් විද්‍යාඥයින් විසින් බැහැර කර තිබෙනවා. නමුත් ඉතිහාසයේ යම් තැන් වල මානව ක්ලෝනයක් නිෂ්පාදනය කිරීමට උත්සාහ දැරූ අවස්ථා වාර්ථා වී තිබෙන අතර තවමත් නිල වශයෙන් ඒ කිසිවක් සාර්ථක වූ බවක් සඳහන් වී නැහැ.
සත්ත්ව ක්ලෝනකරණයේ වාසි අවාසි
සත්ත්ව ක්ලෝනකරණය ක්‍රියාත්මක කිරීමෙන් වාසි හා අවාසි යන දෙකම සිදු වෙනවා. දෛහික සෛල යොදාගෙන ක්ලෝනකරණය සිදු කිරීම නියමාකරයෙන් ප්‍රගුණ කරගතහොත් අවශ්‍යතාව ඇති තැන් වලදී සර්ව සම සත්ත්වයින් ලබා ගැනීමද වඳ වී යාමේ තර්ජනයට ලක් වූ හෝ වඳ වී ඇති සත්ත්ව විශේෂ පවා නැවත බෝ කර ගැනීමට හැකි වීම මේ ක්‍රමයේ ඇති බලවත්ම වාසි වෙනවා.
ක්ලෝනකරණයේ බලවත්ම අවාසි සමූහයක්ද තිබෙනවා. මේ ක්‍රමයේදී විකෘති ඇති වීමේ අවධානම වැඩියි. ඒ වාගේම දුහිතෘ ජීවියාගේ ප්‍රතිශක්තීකරණයත් බොහෝ විට අඩාල තත්වයක පවතිනවා. හොඳම උදාහරණය වශයෙන් ‘ඩොලී’ ගේ දායක මව සිය සෛලය දායක කරන විට සය හැවිරිදිව සිටි අතර උපතේදී ඩොලීගේ සෛල වල ඇති වර්ණදේහ ආරක්ෂා කරන කොපු බඳු ටෙලොමියරයන් සාමාන්‍ය පැටවෙකුට වඩා කෙටිව පිහිටා තිබුණා. සාමාන්‍ය ජීවියෙකුගෙ උප්පත්තිය වන විට ශක්තිමත්ව තිබෙන මේවා වයසට යන විට කෙටි වී දුර්වල වෙනවා. මේ නිසා ඩොලී උපතින්ම සය වියැති බැටළුවෙකුගේ සෞඛ්‍ය තත්වයෙන් සිටි බවට සමහරු මත පළ කළා. ඒවා නිෂ්ප්‍රභ කිරීමට විද්‍යාඥයින්ට නොහැකි වුණේ සාමාන්‍ය බැටළුවෙකුගේ ආයු අපේක්ෂාව වසර 10-12 ක් වුවත් ලෙඩ රෝග ගණනාවකටම ලක්වී ඩොලී සය වියැතිව මිය යාම නිසායි.
සත්ත්ව ක්ලෝනකරණය මේ මොහොත වන විටත් පර්යේෂණ පැවැත්වෙන විෂය පථයක්. අද දිනට වඩා ඒ ගැන බොහෝ දේ මතු අනාගතයේදී සාකච්ඡා වෙනු ඇති.
(කවරයේ පින්තූරය-phys.org)