Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෝටර් රථයක් හැදී තිබෙන්නේ මෙහෙමයි

මෝටර් රථයක්, එහෙමත් නැත්නම් වාහනයක්, කිව්වම වර්තමානයේ දරුවෙක් ඉපදිලා රෝහලේ ඉඳන් ගෙදරටත්, දිනෙක ඔහු හෝ ඇය මියගොස් ආදාහනාගාරයටත් දක්වා අපේ ජීවිතය හා බද්ධ වුණු දෙයක්. ඉතින් අපි අද වැඩි පූර්විකා නැතුවම වාහන ගැන කතා කරමු.

වාහනයක් ගත්තොත්, අපට පුළුවන් මේක සරලවම ප්‍රධාන පද්ධති තුනකට බෙදන්න.

  • එන්ජිම (engine)
  • සම්ප්‍රේෂණ පද්ධතිය (transmission system)
  • චැසිය සහ බොඩිය (vehicle body and chassis system)
Motor Vehicle

එන්ජිම

එන්ජිම ගත්තම, මේක ඇවිල්ලා වාහනයේ ප්‍රාථමික චාලකය. මේකෙන් තමා වාහනයට අවශ්‍ය ජවය නිපදවීම සිදු කෙරෙන්නේ. වාහනයක එන්ජිම කිව්වම, ඇත්තටම ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අනිවාර්යයෙන්ම යම් ඉන්ධනයක් දහනය කරලා ජවය නිපදවීම කරන්න ඕනෙ කියලා. ඒකට අපට පුළුවන් විදුලියෙන් ක්‍රියාකරන මෝටරයක් වුණත් භාවිතා කරන්න. දැන් වර්තමානයේ ජනප්‍රිය hybrid, එහෙමත් නැත්නම් දෙමුහුන් වාහනවල එන්ජිමක් වගේම මෝටර් එකුත් පාවිච්චි කරනවා. 

එන්ජින් වර්ග ගොඩක් තියෙනවා. සමහර වෙලාවට ඔයාලා අහලා ඇති inline 3/4/5/6 cylinders කියනවා. V8 / V6 කියලා කියනවා. අපි කවුරුත් ආසා කරන, ඒ වගේම මුළු රටක් ආදරය කරන අපේ සිංහ කොඩිය ගහගෙන, මේ පුංචි රටේ නම ලෝකයට ගෙනියන්න රේස් පදින ඩිලන්ත මාලගමුව පදින ලැම්බෝගිනි කාර් එකේ තියෙන්නෙත් V12 එන්ජින් එකක්. අපි අද එන්ජින් ගැන කතා කරන්න ගියොත් කෙළවරක් නම් දකින්න හම්බවෙන්නෙ නෑ. මොකද අපට කතා කරන්න තියෙනවා එන්ජිමක කොටස් ගැන, සහ එන්ජින් වර්ග ගැන. ඒක නිසා මම වෙනමම ලිපියකින් ඒ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

එන්ජිමකට කවදාවත් තනියම වැඩ කරන්න බෑ. ඒකට විවිධ වූ පද්ධතීන් රාශියක උදව් අවශ්‍ය කරනවා.

  • Fuel supply system
  • Ignition system
  • Cooling system
  • Lubrication system
  • Emission control system

ආදිය ඒ වගේ පද්ධතීන්.

එන්ජින් ක්‍රියා කරන සිද්ධාන්තයන් එක්ක 2 stroke, 4 stroke වගේම, එන්ජිමේ cylinder තියෙන විදිය එක්කත් එන්ජින් වර්ග කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, භාවිතා කරනු ලබන ඉන්ධන හා ඉන්ධන දහනය කරනු ලබන ආකාරය අනුවත් එන්ජින් ආකාර කිහිපයකට බෙදන්න පුළුවන්. ඒක නිසා අපි දැනට එන්ජිම ගැන කතා කරන නවත්තලා අපි දැන් transmission system එක ගැන කතා කරමු.

otto cycle engine
/How a Car Works

සම්ප්‍රේෂණ පද්ධතිය

Transmission system එක, එහෙමත් නැත්තං සම්ප්‍රේෂණ පද්ධතිය, තමයි වාහනයක හොඳම හරිය කරන්නේ. ඒ කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. මම කලින් එන්ජිම ගැන කතා කරද්දි කිව්වා මතකයි නේද එන්ජිමක් මඟින් ජවයක් නිපදවනවා කියලා? එහෙම ජවයක් එන්ජිම නිකන් තිබ්බා කියලා කවදාවත් ඇති වෙන්නේ නෑ. ජවය ඇතිවෙන්න නම් එන්ජිම කරකැවෙන්නේ ඕන. එහෙම එන්ජිම කරකැවෙනකොට යම් වේගයක් ඇති වෙනවා නේද? අපි ඒකට කියනවා engine RPM (Revolution Per Minute) කියලා. සමහර වාහනවල මේකට වෙනවම gauge එකකුත් තියෙනවා. 

ඉතින් මේ එන්ජිම කැරකෙන වේගය (speed) පරිවර්තනය කරනවා ව්‍යාවර්තයකට (torque). තේරෙන සිංහලෙන් කිව්වොත්, එන්ජිමේ වේගය අඩු කරලා හොඳ බලයක් නිපදවනවා. මේක කරන්නේ දැති රෝද (gear wheels) මඟින්. එහෙම වෙන විදිහ මම gearbox ගැන කතා කරන ලිපියෙදි පැහැදිලි කරන්නම්.

මේ transmission system එක එක එක වාහනවල තියෙන්නේ එක එක විදියට. ඒ තියෙන විදියත් එක්ක මේක කොටස් කිහිපයකට බෙදෙනවා.

  • Front engine front wheel drive
  • Front engine rear wheel drive
  • Front engine all wheel drive / four wheel drive
  • Mid engine rear wheel drive
  • Rear engine rear wheel drive
method of drive-train
/Alamy

මේවයින් පළවෙනි වර්ගය ගොඩක් වේලාවට දකින්න පුළුවන් අපි එදිනෙදා භාවිතා කරනු ලබන කාර්වල. මේකේ දෙවෙනි වර්ගය අපි නිතර දකින අපේ ලේලන්ඩ් බස් එකේ, ටිපර්වල, ලොරිවල දකින්න පුළුවන්. මේකෙ මම අන්තිමට කියලා තියෙන වර්ගය ගොඩක් වෙලාට දකින්න පුළුවන් highway එකේ මඟී ප්‍රවාහනය කරනු ලබන ජපන් හෝ කොරියන් බස්වල වගේම, මෑතක දී ධාවනයට එකතු වූ ඉන්දියානු බස්රථ කිහිපයක. ඒ වගේම ලෝකයේ වැඩිම නිෂ්පාදනයක් සිද්ධ වුණු, ලෝකයේ වගේම ලංකාවේත් ප්‍රසිද්ධ ෆොක්සගන් බීට්ල් මෝටර් රථයේ තියෙන්නෙත් මේ වගේ.

Transmission system එකේ රාජකාරිය කරන්න උපාංග කීපයකින් සැදුම්ලත් පද්ධතියක් අවශ්‍ය කරනවා.

transmission system FERD
/Different Types of Engineering
  • Clutch – Manual gear system එකක් තියෙන වාහනයක එන්ජිමයි, ගියර් බොක්ස් එකයි අතරමැද ඉන්නේ මෙයා. මෙයා කරන්න කරන්නේ රියදුරාට අවශ්‍ය කරන වෙලාවට එන්ජිමයි, ගියර් බොක්ස් එකයි අතර connection එක on and off කිරීම.
  • Torque converter – automatic gear system එකක් තියෙන වාහනයක, clutch එකේ වැඩේ කරලා දෙන්නේ අපේ මේ torque converter එක.
  • Gearbox – මෙන්න මේකෙන් තමයි වාහනය pick-up කරන්න, reverse කරන්න වගේම, වාහනය neutral කරන්නත් වගේ වැඩ ගොඩකට උදව් කරන්නේ. මේ ගියර් බොක්ස් එක අපි කවුරුත් දන්න විදියට auto හා manual ලෙස වර්ග දෙකකට බෙදෙනවා.
  • Propellar shaft – මම මෙන්න මේ කියන shaft එක හැම වාහනේම නෑ. මේක තියෙන්නේ front engine rear wheel drive වර්ගයේ වාහනවල. මේකෙන් කරන්නේ ගියර් බොක්ස් එකෙන් නිපදවන torque එක final drive unit එකට ලබා දෙන එක. මේකට u joint කියලත් කියනවා.
  • Final drive and differential unit – මේක ඇතුලෙ තියෙනවා crown wheel, pinion සහ differential unit එක. අපි final drive කියලා කියන්නේ crown wheel එකට සහ pinion එකට. මේ Pinion එක front engine front wheel drive වාහනවල දකින්න නෑ. මේක තියෙන්නේ front engine rear wheel drive වාහනවල. මේ final drive unit එකෙන් කරන්නේ, propeller shaft එකෙන් එන බලය අංශක 90කින් හරවලා drive axleවලට දීම. මේකේ differential කියන කොටස සම්බන්ධ වෙලා ඉන්නේ crown wheel එකත් එක්ක. Differential එකෙන් කරන්නේ වාහනය වංගුවක් ගන්නකොට වාහනයේ ඇතුල් පැත්තේ රෝද අඩු වේගයකිනුත් වාහනය වංගුවෙන් පිටත රෝද වැඩි වේගයකිනුත් කරකවන්න උදව් කරන එක. හරියට Army march-past එකක, හිතන්න එයාලා දකුණට හැරෙනවා කියලා ඔයාලා දැකලා ඇති දකුණු පැත්තේ පැත්තෙ කොනේම ඉන්න කට්ටිය හිමිට යන්නේ, එයාලගේ වම් අත පැත්තෙ කට්ටිය ලොකු වේගයෙන් ගමන් කරන්නේ, ඒ කියන්නේ දකුණු අත පැත්තේ කට්ටිය ළඟ ළඟ කකුල තියලා යනකොට, වම් අත පැත්ත කට්ටිය දිග අඩි තිය තිය ඇවිදින්නේ. අන්න ඒ වගේ වැඩක් මේ differential එකෙන් කරන්නේ.
final drive unit
/AutoExpose
  • Drive axle – මේකෙන් තමයි differential එකෙන් දෙන බලය රෝදවලට ලබාදෙන්නේ.
  • Drive wheels – drive axleවලින් ලබාදෙන බලය අරගෙන පාර, එහෙමත් නැත්තං පොළොවත් එක්ක ඝර්ෂණ බලයක් ඇති කරලා වාහනේ චලනය කරන්න උදව් කරන්නේ.

සෙල්ලම් නෑ නේද වැඩේ? තව චුට්ටක් ඉන්නකෝ…

දැන් වාහනයේ රෝද කැරකුනා කියලා අපට යන්න පුළුවන් ද? බෑ, තවම බෑ… මොකද රෝද හතර කැරකුනාට අපට තවම වාහනය හරවන්න බෑ. වාහනය නවත්තන්න බෑ. වලවල් තියෙන පාරක යන්න බෑ. අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වෙන්න බෑ. අඩුම ගානේ වාහනය start කරගන්නවත් බැහැ. ඒකට අපි මොකද කරන්නේ? ඒකට vehicle chassis system ගැන කතා කරලා අදහසක් ගනිමු.

Vehicle chassis system

chassis system with chassis component
/Britannica

වාහනයේ චැසිය, body එකට සම්බන්ධ වෙලා තමයි මම දැන් කියන ටික හැදෙන්නේ. එතකොට ඉහත දී කියපුවා සම්බන්ධ වෙලා තියෙන්නේ චැසියට නෙමේ ද යන ප්‍රශ්නය ඔබට එනවා ඇති. අපි automobile engineering ඉගෙනගන්නකොට engine system හා Chassis system කියලා කොටස් දෙකකට ඉගෙන ගන්නේ. මොකද එන්ජිමක් මඟින් බලය නිපදවීම සිදු කළත්, වාහනයේ චැසිය සහ බොඩිය චලනය කරනු ලබන්නේ transmission system එක මඟින් වගේම අනෙකුත් කොටස් ආධාර කරගනිමින් නිසා යි. ඒ වගේම සම්පූර්ණ වාහනයේ 80%ක පමණ කොටස් සවිවෙලා ඇත්තේ වාහන චැසියට හෝ body එකට යි.

  • Braking System – මේකෙන් කරන්නේ අපි කවුරුත් දන්නවා වගේ වාහනයේ වේගය අඩු කරන්න, වේගය පාලනය කරන්න, වාහනය නවත්තන්න වගේම, නවත්තල තියෙන වාහනයක් චලනය නොවන සේ ආරක්ෂා සහිතව නතර කරලා තියන්න (parking brake / hand brake).
  • Electrical system – වාහනය start කරන්න, හෙඩ්ලයිට්, බ්‍රේක්ලයිට්, සිග්නල් ලයිට්, රිවර්ස් ලයිට් පත්තු කරන්න, wiper system එක on/off කරන්න. ඒ වගේම වාහනවල තියන ECU (electronic control unit), එහෙමත් නැත්නම් වාහනවල තියෙන පරිගණක පාලන පද්ධති, ක්‍රියාකරවන්න විදුලි පද්ධතිය උදව් කරනවා.
  • Steering system – එහෙමත් නැත්නම් සුක්කානම් පද්ධතිය මඟින් සිදු කරනු ලබන්නේ වාහනයේ දිශාව පාලනය කරන එක.
  • Suspension system – මේකෙන් තමා වාහනයේ ගමන් කරන මඟීන්ට ඇතිවන අසමතුලිත බල පාලනය කරන්නේ.
  • Body and frame – මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක තමයි සියලුම පද්ධති එකලස් කරලා තියන්නේ. ඒ විතරක් නෙවෙයි, ඇතුළේ ගමන් කරන මඟීන්ට හා ඔවුන්ගේ බඩු භාණ්ඩවලට අව්වෙන් වැස්සෙන් මෙන්ම, සොර සතුරන්ගෙන් ආරක්ෂාව සලසනු ලබන්නේ මෙමඟින්.

දැන් ඉතින් අපිට දෙයියනේ කියලා වාහනේ යන්න පුළුවන්.

මම ඉදිරියටත් Roar සිංහල හරහා තවත් ලිපි මඟින් මෝටර් රථ තාක්ෂණය ගැන මූලික දැනුමක් ලබා දෙන්න උත්සාහ කරනවා. කොතන හෝ ප්‍රශ්නයක්, අපැහැදිලි තැනක් තියනවා නම් තියනවා නම්, මේ ලිපියට හෝ පොස්ට් එකට කමෙන්ට් එකකින් මාව දැනුවත් කරන්න. මම ඒ පිළිබඳව පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. ඊළඟ ලිපිය මඟින් මම බලාපොරොත්තු වෙනවා එන්ජින් එක ගැන කතා කරන්න.

ඒ වගේම ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනාත් ඉදිරිපත් කරනවා නම් ස්තුතිවන්ත වෙනවා.

මෝටර් රථ ඉංජිනේරු සිසුවෙකු විසින් සැකසුනු ලිපියකි. 

Related Articles