වාමන ග්‍රහලෝක සංකල්පය ලොවට පැමිණියේ 21 වන සියවස මුල් භාගයේදී තාරකා විද්‍යාඥයින් විසින් ප්ලූටෝ ගේ කක්ෂයට ඔබ්බෙන් පිහිටි, අප සූර්යයා වටාම පරිභ්‍රමණය වන, ප්ලූටෝ හා සමානකම් ඇති කුඩා ග්‍රහ වස්තු කිහිපයක්ම සොයාගැනීම සමඟයි. මේ නිසා අවසානයේ ප්ලූටෝට ග්‍රහලෝකයක් වශයෙන් තිබූ තත්ත්වයත් අහිමි වුණා. ගුරුත්වාකර්ෂණ බලය හා ප්‍රමාණය සලකමින් ප්ලූටෝ හා මෙසේ සොයගත් අනෙකුත් කුඩා ග්‍රහලෝක් ‘වාමන ග්‍රහලෝක’ යන කුලකයට ඇතුලත් කරන්නට විද්‍යාඥයින් තීරණය කරනවා.
ග්‍රහලොවක් ගෝලාකාර ග්‍රහ වස්තුවක් ලෙස හැඳින්වූවාට ඇත්තෙන්ම එය නියමාකාර ගෝලයක් වන්නේ නැහැ. එහි තිරස් විෂ්කම්භය හා සිරස් විෂ්කම්භය බෝහෝ විට වෙනස් වනවා. පෘථිවිය වුවත් තිරස් අතින් මදක් නෙරා ගොස් තිබෙනවා. විද්‍යාඥයින් විසින් මෙතෙක් හඳුනාගෙන තිබෙන වාමන ග්‍රහලෝක අතරින් එකක් හැර අන් සියල්ලම ආසන්න වශයෙන් ගෝලාකාර වන අතර, එක් සාමාජිකයෙක් එම හැඩයෙන් අත්මිදී අණ්ඩාකාර ස්වභාවයක් ගෙන තිබෙනවා. අද අපි ඔබ වෙත් ගෙනා එන්නට අදහස් කරන්නේ එම අපූර්ව වාමන ග්‍රහලොව වන ‘හවුමෙයා’ ගැන තොරතුරුයි.
හවුමෙයා ගැන හැඳින්වීමක්
බිත්තරයක හැඩය ගත් හවුමෙයා තාරකා විද්‍යාඥයින් විසින් ස්පාඤ්ඤයේ සියෙරා නෙවෙඩා නිරීක්ෂණාගාරයහිදී හඳුනාගත්තේ 2003 වසරේදී වන අතර එය 2005 වසරේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. එම වසරේදීම මේ සතුව චන්ද්‍රයින් දෙදෙනෙකු ද ඇති බවත් සොයා ගැණුනා.
හවුමෙයා අප සෞරග්‍රහ මණ්ඩලය සතුව ඇති වේගයෙන්ම භ්‍රමණය වන ග්‍රහ වස්තුවක් ලෙස සැළකෙනවා. එය සිය අක්ෂය වටා එක වටයක් භ්‍රමණය වීමට ගත කරන්නේ පෘථිවි පැය 4 කටත් වඩා මදක් අඩු කාලයක්. එහි උපරිම විෂ්කම්භය කිලෝමීටර 1960ක් වන අතර අවමය කිලෝමීටර 996 ක් වෙනවා. මෙහි කක්ෂය ද ඉතා ඕවලාකාර එකක් වන අතර සූර්යයාට ආසන්නම වන විට එය අභ්‍යාවකාශ ඒකක 34ක් ද දුරස්ම වන විට අභ්‍යාවකාශ එකිකක 51 ද දුරින් පිහිටනවා. මේ කක්ෂය ඔස්සේ හවුමෙයා සූර්යයා වටා එක වටයක් භ්‍රමණය වීමට වසර 284 ක් ගන්නවා.
නාමකරණය හා සම්භවය
හවුමෙයා නිරීක්ෂණය කළ වනම එයට 2003 EL61 යන නාමය පටබැඳීමට විද්‍යාඥයින් පියවර ගත්තා. පසුකාලීනව මේ වාමන ග්‍රහලොවට දරුඵල හා සරු හාවය අයත් හවායි දෙවඟන වන හවුමෙයාට අනුකූලව නම් තබනු ලැබුවා.
කුයිපර් පටියට අයත් හවුමෙයා නිරීක්ෂණය වුණු අළුතම විද්‍යාඥයින් එය ප්ලූටෝ මෙන්ම පාෂාණ හා අයිස් වලින් සෑදී ඇති බවට අනුමාන කළා. කෙසේ නමුත් ප්ලූටෝ වලට වඩා හවුමෙයා වල සම්පූර්ණ බරින් අති බහුතරය පාෂාණමය වන බවත්, තුනී අයිස් ස්ථරයක් ඇති බවත් පසුකාලීනව සොයාගනු ලැබුණා. මතයක් ගෙන එමින් විද්‍යාඥයින් ප්‍රකාශ කළේ විශාල ග්‍රහ වස්තුවක් එහි ගැටීමෙන් හවුමෙයාහි අයිස් ස්ථරයෙන් වැඩි ප්‍රමාණයක් ඊට අහිමි වෙන්නට ඇති බවයි. මීට අමතරව එම ඝට්ටණය නිසා එහි අණ්ඩාකාර හැඩය හා ඉතා වැඩි භ්‍රමණ වේගය ප්‍රතිඵල වන්නට ඇති බවත් ඔවුන් විශ්වාස කරනවා.
හවුමෙයාගේ චන්ද්‍රයින්
හවුමෙයා සතුව කුඩා චන්ද්‍රයින් දෙදෙනෙක් සිටිනවා. මින් විශාලත්වයෙන් වැඩි හියාකා චන්ද්‍රයා ප්‍රමාණයෙන් හවුමෙයා මෙන් 1% ක් පමණ වෙනවා. වඩා කුඩා නමකා නම් චන්ද්‍රයා හියාකා මෙන් දස ගුණයකින් පමණ කුඩා වෙනවා.
හියාකා චන්ද්‍රයා හවුමෙයා වටා එක් වටයක් ගමන් කරන්නට දින් 49 ක් වැය කරනවා. නමකා චන්ද්‍රයා ඒ සඳහා දින 18 ක් ගන්නවා. මේ චන්ද්‍රයින් දෙදෙනාම සම්පූර්ණයෙන් පාහේ අයිස් වලින් නිර්මාණය වී ඇති අතර මේවායේ සම්භවය හව්මෙයා මත සිදු වූ ඝට්ටනයෙන් කැඩී ගිය අයිස් වලින් සිදු වූ බවට විද්‍යාඥයින් මත පළකරනවා.
හවුමෙයාගේ රතු ලපය
වාමන ග්‍රහලොවක් වුවද බ්‍රහස්පති ග්‍රහලොවේ මෙන්ම හවුමෙයාහිත් රතු ලපයක් පිහිටා තිබෙනවා. මේ රතු ලපය ඇති වීමට හේතුව තවමත් හරියාකාරවම තහවුරු කරගෙන නැතත් තරකා විද්‍යාඥයින් විශ්වාස කරන පරිදි එම ස්ථානය ඛණිජ වලින් හා තවත් කාබනික ද්‍රව්‍ය වලින් පොහොසත් ස්ථානයක් ලක්ෂණ පෙන්නුම් කරනවා. එසේත් නැතිනම් ස්ඵටිකීකරණය වූ අයිස් නිසාවෙන් ආලෝකය පරාවර්ථනය වීම සිදු වෙනවා. මේ පිළිබඳ තවත් මතයක් වන්නේ හවුමෙයාහි ඝට්ටනය වූවා යැයි සැළකෙන ග්‍රහ වස්තුව එම ස්ථානයේ දී ඝට්ටනය වන්නට ඇති බවත් එහි කොටස් හවුමෙයා ග්‍රහලොව තුළට කිඳා බැස රැඳෙන්නට ඇති බවත් යන කරුණයි.
හවුමෙයා හි වළල්ල
2017 වසරෙ මුල් භාගයේදී හවුමෙයා වාමන ග්‍රහලොව පෘථිවියේ සිට බලන විට ඈත පිහිටි තරුවක දර්ශන පථය අවුරමින් ඇදී ගියා. මේ නිසා එය වඩා හොඳින් නිරීක්ෂණය කිරීමේ හැකියාව පෘථිවි වාසීන්ට ලැබුණා. එහිදී මේ ග්‍රහ වස්තුව පිළිබඳව තවත් අසාමාන්‍ය හා අපූර්ව කාරණයක් අනාවරණය වුණා. තාරකා විද්‍යාඥයින්ට ලැබුණු දර්ශන අනුව හවුමෙයා සතුව ග්‍රාහක වළලක් තිබෙනවා. මෙය ගුරුත්වාකර්ෂණ බලය අඩු වාමන ග්‍රහලොවක් විෂයෙහි ඉතා අසාමාන්‍ය තත්ත්වයක් වන අතර නිර්ණය කර ඇති පරිදි පළලින් කිලෝමීටර 70 ක් පමණ වෙනවා. මෙය හවුමෙයා හි පිටත පෘෂ්ඨයෙන් කිලෝමීටර 1000ක් පමණ ඈතට වන්නට පිහිටා ඇති අතර හවුමෙයා ග්‍රහලොව මත සිදු වූවායැයි සැලකෙන ඝට්ටනයේ දී කැඩී ගිය ග්‍රාහක කැබලි වලින් නිර්මිත බවට විශ්වාස කෙරෙනවා.
හවුමෙයා පිළිබඳ තවත් රසවත් කරුණු
හවුමෙයා ප්ලූටෝ මෙන් 1/3 ක ස්කන්ධයක් දරනවා. එමෙන්ම එහි දීර්ඝතම විෂ්කම්භය කෙටිම විෂ්කම්භයට වඩා දෙගුණයකටත් වඩා වැඩියි. හවුමෙයාහි පෘෂ්ඨීය උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 241ක් පමණ වෙනවා. මීට අමතරව කුයිපර් පටියේ හමුවන තෙවන දීප්තිමත්ම වස්තුව ලෙස හවුමෙයා සැලකෙනවා. ඒ ප්ලූටෝ හා මකෙමකේ යන වාමන ග්‍රහලෝක වලට අමතරවයි. හවුමෙයාහි මතුපිට ප්ලූටෝහි චන්ද්‍රයෙක් වන චාරොන්ගේ මතුපිටට සමාන කමක් දක්වනවා.
හවුමෙයාගේ කක්ෂය සමහර අවස්ථාවන්හීදී ප්ලූටෝගේ කක්ෂය අතික්‍රමණය කරමින් සූර්යයාට වඩාත් ලං වෙනවා. මෙහි කක්ෂය පෘථිවිය ඇතුළු සෞරග්‍රහමණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක වලට වඩා ආනත වූ කක්ෂයක පවතිනවා.
කවරයේ පින්තූරය -Jin Zan/CC BY-SA 3.0