ජීවත් වන කිසිම මිනිසෙක් ඩයිනෝසරයකුගේ ශබ්දය අසා නැත. නමුත්, තම පරිකල්පනය මෙහෙයවන චිත්‍රපට හා ශබ්ද නිෂ්පාදකයන්ටත්, මිහිතලය අනෙක් පස හරවන පුරාවිද්‍යාඥයන්ටත් පමණක් නොව ඔබටත් ඒ ගැන කුතුහලයක් ඇති බව මේ ලිපියට පිවිසීමෙන් ම පෙනේ. එසේ නම්, ඩයිනෝසරයන්ට තිබෙන්නට ඇත්තේ මොන වගේ හඬක් ද?
’ජුරාසික් පාක්’ ලොවට දුන් හඬ
ඩයිනෝසරයන්ගේ හඬ ගැන සිහිපත් කරද්දී ප්‍රථමයෙන් මනසට නැඟෙන්නේ ‘ජුරාසික් පාක්’ වැනි චිත්‍රපටවල අපට ඇසුණු ශබ්ද යි. ඒවා බොහොමයක් දැඩි ගෙරවුම් හඬක්.
හමු වී ඇති ෆොසිල අනුසාරයෙන් ඔවුන්ගේ පෙනුම ත්‍රිමාණ ලොවට ගෙන ආ විට, සිංහයා, කොටියා, කෝලා වලසා, අලියා වැනි සතුන්ගේ ශබ්ද හා ශරීර ප්‍රමාණ ගැන සලකා චිත්‍රපටයේ මිනිසුන් පසුපස හඹා එන ටී-රෙක්ස් ඩයිනෝසරයකුට එවන් භයානක හඬක් ලබා දීම සාධාරණ යැයි හැඟෙනවා.
මේ උභතෝකෝටික ප්‍රශ්නය ගැන ජුරාසික් පාක් චිත්‍රපටයේ ශබ්ද සැලසුම්කරු ගැරී රිඩ්ස්ට්‍රෝම් ගෙන් විමසූ විට ඔහු සිනාසෙමින් පවසා ඇත්තේ “ඒක චිත්‍රපටියක්නේ,” කියා යි.
ෆොසිල සාක්ෂිවලින් ලද හැකි තොරතුරු
ඩයිනෝසරයන්ගේ සැබෑ හඬ සොයා ගැනීම අපහසු කරුණක් බවට පත්ව ඇත්තේ ෆොසිල මඟින් එම තීරණය ගැනීමට ඇති අපහසුතාව නිසා යි. හිස් කබලේ ප්‍රමාණය, පපු කුහරයේ ප්‍රමාණය හැර, ඔවුන් ශබ්ද නඟන්නට ඇත්තේ කුමන දේහ අවයවයකින් ද යන්න ෆොසිල සාක්ෂි තුළ ඉතිරි වන්නේ නෑ. මන්ද, බොහෝ අවස්ථාවල ශබ්ද ජනනය කරන ව්‍යුහ නිර්මාණය වන්නේ මෘදු හෝ සවිමත් බවින් අඩු පටකවලින් නිර්මිත පේශි හෝ කාටිලේජවලින් නිසායි ඒ. ඒවා ෆොසිල සමඟ ඉතිරි වන්නේ නෑ.
හමු වී ඇති හිස් කබල්වල හැඩයෙන් යම් අදහසක් ගත හැකි යි. පැරසෝරොලෝෆස් (parasaurolophus) ලෙස හැඳින්වුණු ඩයිනෝසරයන්ගේ හිස් කබලේ දිගු කුහරයක් තිබී ඇති අතර, ඔවුන් ශබ්ද නඟද්දී තරංග අනුනාද වූ ආකාරය අනුමාන කිරීමට විද්‍යාඥයන්ට හැකි වී තිබෙනවා. නමුත් එය කටහෙඬ් ස්වභාවය අනුමාන කිරීමට ප්‍රමාණවත් වී නෑ.
එනමුත් මෙම වැදගත් ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීමෙන් මේ සතුන් එකල හැසිරුණු ආකාරය ගැන තොරතුරු ලද හැකි බැවින් විද්‍යාඥයන් උත්සාහය අත හැර නැහැ. ඒ සඳහා ඔවුන් ඩයිනෝසරයන්ට නෑකම් දක්වන, අද කාලයේ ජීවත් වන ජීවීන්ගේ ව්‍යුහ අධ්‍යයනය කරනවා.
කිඹුලාගේ හඬට සමාන විය හැකි ද?
ඩයිනෝසරයන් යනු උරග විශේෂයට අයත් සත්ත්ව කොට්ඨාශයක්. මේ නිසා අද ජීවත් වන උරගයන්ගේත්, ඩයිනෝසරයන්ගේත් පොදු පූර්වජයෙක් ගැන සලකා එම සතුන්ට තිබෙන පොදු ව්‍යුහ අනුව ඔවුන් හඬ නැගුවේ කෙසේ ද යන්න සනාථ කරගත හැකි වනු ඇති.
එවන් එක් කණ්ඩායමක් වන්නේ කිඹුලන්. කිඹුලන් සහ ඩයිනෝසරයන්ට වසර මිලියන 250කට පෙර සිටි පොදු පූර්වජයෙක් ද සිටිනවා. ටී-රෙක්ස් (‘ටයිරනෝසෝරස් රෙක්ස්’ සඳහා කෙටි නමක්) ඩයිනෝසරයන්ගේ ෆොසිලයක් හෝ ජුරාසික් පාක් චිත්‍රපටයේ නිරූපිත සතුන්ගේ හිස් කබල, හනු දෙස බැලූ කල මේ සමානතාව ඔබට සිහිපත් වනු ඇති.
කිඹුලන්ට ජලයේ රැළි නැංවිය හැකි තරම් අඩු සංඛ්‍යාත ගෙරවීමක් කළ හැකි යි. විශාල පරිමාණයේ සතුන් ද මෙවන් කුඩා සතුන් මෙන් ම අඩු සංඛ්‍යාත හඬවල් නැඟීමට යොමු වන අතර, සුවිසල් ඩයිනසෝරයන් ද කිඹුලකු කට වසාගෙන කරන ගෙරවීමට සමාන හඬක් නිකුත් කරන්නට ඇතැයි අනුමාන කරනවා.
හඬ සංඛ්‍යාතය තවත් පහළ නම්?
තවදුරටත් සංඛ්‍යාතය infrasound ලෙස හැඳින්වෙන පහළ සංඛ්‍යාත පරාසයක තිබුණා නම්, අධෝරක්ත කිරණ (infrared) ඇසට නොපෙනෙන්නා සේ ම, එය මිනිස් කනට නොඇසෙන්නට ඉඩ තිබුණා.
එවිට කිඹුලකුගේ හඬටත් වඩා ගැඹුරු හඬකින් ඇතිවන එම නාදය නිසා කනට බලපෑමක් නොවුණත්, මිනිස් සිරුරේ විශාල ප්‍රමාණයේ අවයව දෙදරීමකට ලක් විය හැකි යි. මේ නිසා කාල තරණය කොට ඩයිනෝසර යුගයට ගියහොත් පපුව සහ කකුල් වෙවුලා යාම සිදුවනු නියත යි. (කකුල් වෙවුළුවේ බියපත් වීම නිසා නොවේ!)
මෙය පහසුවෙන් පැහැදිලි කිරීම සඳහා විශාල ශබ්ද ඇති සංගීත සංදර්ශනයක් සිහිපත් කළ හැකි යි. ශබ්දය අධිකව, අඩු සංඛ්‍යාත ශබ්ද තරංග (ඩ්‍රම් ශබ්ද, මන්ද්‍ර ස්වර) නිකුත් වෙද්දී පපුව හෝ ඇඳුම් වෙව්ලන ආකාරය ඔබ අත්විඳ ඇති. අනුනාද වීම යනු මෙය යි. නමුත්, අධික ශබ්දයක් සහ වැඩි සංඛ්‍යාතයක් (උච්ඡ ස්වර) නිකුත් වෙද්දී එවන් කම්පනයක් පපුවට දැනෙන්නේ නෑ.
කුරුල්ලෝ ඩයිනෝසරයන්ගේ ළඟ ම ඥාතීහු ය
කිඹුලන් යනු මෙම අනුමාන කිරීම් සඳහා හොඳ ආරම්භයක් නමුත්, ඩයිනෝසරයන්ට වඩාත් ළඟ සත්ත්ව කොට්ඨාශයක් වන්නේ පක්ෂීන්. හමු ව ඇති ෆොසිල සහ කුකුළු ඇටසැකිලි අතර පපු කුහරය වැනි අංග තුළ සමානකම් තිබෙනවා. එනම්, ඩයිනෝසරයන් කුරුල්ලන් මෙන් සින්දු කීවා වෙන්නට පුළුවන් ද?
කුරුල්ලන්ට ගී ගැයීමට හැකි වී තිබෙන්නේ සුවිශේෂී වාචික ඉන්ද්‍රියයක් නිසා යි. බොහෝ පෘෂ්ඨවංශීන් ස්වරාලයෙන් (larynx) හඬ නැගුව ද පක්ෂීන්ට ඇත්තේ ගීනාලය (syrinx) ක්. එය පපු කුහරයේ හෘදයට ආසන්නයෙන් පිහිටා තිබෙන්නක්.
මෙම පිහිටීම නිසා ම ගී නාළයට වඩාත් කාර්යක්ෂම ව හඬ නිකුත් කළ හැකි යි. ඉතා කුඩා පක්ෂීන්ට පවා විශාල හඬක් නැගීමට හැකි වී ඇත්තේ එනිසා යි. එසේම, මේ ගීනාලයේ දොරටු දෙකක් තිබෙනවා. මේ නිසා පක්ෂීන්ට එකවර සංඛ්‍යාත දෙකක හඬක් නිකුත් කළ හැකි අතර, සංගීත ස්වර දෙකක් එකවර ගැයීමටත් ඔවුන්ට හැකියාව ලැබෙනවා.
කුරුල්ලන් යනු කුඩා ඩයිනෝසරයන් නම්, විද්‍යාඥයන් කිඹුලන් ගැන තකන්නේ මන්දැයි ඔබට සිතෙන්නට ඇති. එසේ කරන්නේ තව ම ගී නාළය මුලින්ම බිහි වූයේ කුමන පරිණාම අවධියක දී දැයි සොයා ගෙන නැති නිසා යි. හමුවී ඇති පැරණි ම ගී නාළය අවුරුදු මිලියන 67ක් පරණ එකක් වන අතර, ඒවා ද මෘදු අවයව බැවින් ෆොසිල සමඟ ඉතිරි වන්නේ නෑ.
විද්‍යාඥයන් දිනෙක ඩයිනෝසරයන්ට ගී නාළයක් තිබුණේ යැයි හඳුනාගතහොත්, ඇතැම්විට ඔවුන්ට තිබෙන්නට ඇත්තේ පියෑඹීමට නොහැකි විශාල පක්ෂීන්ට (පැස්බරා, එමු වැනි) තිබෙන්නා සේ සිවුරුවම් හඬ, උගුරෙන් කෑ ගැසීම (උදරයෙන් පමණ වෙර යොදා කරන හඬ), සහ ‘ක්ලක්’ හඬ විය හැකි යි. ඩයිනෝසරයාගේ ප්‍රමාණය විශාලවත් ම මෙම හඬ ගැඹුරු (අඩු සංඛ්‍යාත) විය හැකි යි.
ශබ්දය යනු, අතීත සතුන් සන්නිවේදනය කළ ආකාරය, ඔවුන් හැසිරුණු ආකාරය, ඔවුන් ජීවත් වූ ආකාරය ගැන සාක්ෂි සපයන වැදගත් සාධකයක්. එකල ලෝකයේ තිබූ ශබ්ද ගැන ප්‍රමාණවත් සාධක තවමත් සොයාගෙන නැතත්, ඒ වෙනුවෙන් කෙරෙන ගවේෂණ නිසා පොළොව යටින් මතුවන නව ස්වරාලයක් හෝ ගී නාළයක් එකල පරිසරයේ තිබූ ශබ්ද පිළිබඳ විස්තර රැසක් හඬ ගා කියනු ඇති.