අවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය තුන සොයාගත් හැටි

රසායන විද්‍යාව හා ආවර්තිතා වගුව ගසට පොත්ත මෙන් බද්ධව තිබෙනවා. වර්තමානයේ අප භාවිතා කරන ආවර්තිතා වගුවේ විවිධ මූලද්‍රව්‍ය සියයකටත් අධික ප්‍රමාණයක් ඒවායේ ගුණ සලකා පිළිවෙලකට අනුව ශ්‍රේණිගත කොට තිබෙනවා.

දිමිත්‍රි මෙන්ඩලීෆ් – Alchetron

ආවර්තිතා වගුව නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ රුසියානු රසායන විද්‍යාඥයෙකු වූ දිමිත්‍රි මෙන්ඩලීෆ් ටයි. කෙසේ නමුත් එහි ඇති මූලද්‍රව්‍ය ඔහු සොයාගත් ඒවා නොවේ. ඒ එක් එක් මූලද්‍රව්‍ය ඉතිහාසය පුරා විවිධ කාල වල දී විවිධ විද්‍යාඥයින් විසින් සොයාගත් ඒවා වෙනවා. ඉන් සමහරක් සොයාගෙන ඇත්තේ මෙන්ඩලීෆ් මියගියාටත් පසුව යි. මේ නිසා කාලයත් සමග ආවර්තිතා වගුවේත් යම් යම් සංශෝධනය වීම් සිදු වුණා. මේ මූලද්‍රව්‍ය සොයා ගැනීමේ සමහර ඉතිහාස කතා වල ඇති රසවත් බව නිසාම ඒවා ලිපි පෙළකින් ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කළා.

හයිඩ්‍රජන්

istockphoto.com

ආවර්තිතා වගුවේ මුලින්ම හමුවන හයිඩ්‍රජන් සියලු මූලද්‍රව්‍ය අතරින්  සරලම පරමාණුක සැකැස්ම ඇති හා විශ්වයෙහි වැඩිපුරම හමුවන මූලද්‍රව්‍යය වෙනවා.

හයිඩ්‍රජන් වලට එහි නම ලැබී ඇත්තේ ග්‍රීක භාෂාවෙන් ජලයට කියන ‘හයිඩ්‍රො’ හා ගොඩනැගීම යන අර්ථය දෙන ‘ජෙනෙස්’ යන වදන් වල ආභාෂයෙනුයි. මෙහි පරමාණුක ක්‍රමාංකය 1ක් වන අතර පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 1.00794ක් වෙනවා. මෙහි ද්‍රවාංකය සෙල්සියස් අංශක ඍණ 259.34ක් වන අතර තාපාංකය සෙල්සියස් අංශක ඍණ 252.87ක්. හයිඩ්‍රජන් සතුව ප්‍රෝටියම්, ඩියුටීරියම්, හා ට්‍රිටියම් නමින් සමස්ථානික තුනක් ස්වභාවයේ පිහිටනවා.

හයිඩ්‍රජන් සොයාගැනීමේ ඉතිහාසය වසර ගණනාවක් ඈතට විහිදී යනවා. ක්‍රි.ව 1671 දී රොබට් බොයිල් නම් විද්‍යාඥයා විසින් යකඩ හා අම්ල සමග පරීක්ෂණයක් කරමින් සිටින විට හයිඩ්‍රජන් වායුව මුක්ත වී තිබෙනවා. ඒ ඔස්සේ යමින් පර්යේෂණ සිදු කළ හෙන්රි කැවෙන්ඩිෂ් හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. හයිඩ්‍රජන් මූලද්‍රව්‍යට එම නාමය ලබා දී තිබෙන්නේ ප්‍රංශ ජාතිකයෙකු වන ඇන්ටන් ලැවෝෂියර් විසිනුයි. හයිඩ්‍රජන් සතු විරල සමස්ථානික 2 වන ඩියුටීරියම් හා ට්‍රිටියම් පිළිවෙලින් 1932 හා 1934 වසර වල දී හැරල්ඩ් යුරේ හා අර්නස්ට් රදර්ෆඩ් විසින් සොයාගෙන තිබෙනවා. මින් ට්‍රිටියම් ඉතා අස්ථායී වෙනවා.

හීලියම්

dreamstime.com

ආවර්තිතා වගුවේ දෙවනුවට හමු වන මූලද්‍රව්‍ය වන හීලියම් උච්ච වායුවක්. මෙය හයිඩ්‍රජන් වලට පසුව විශ්වයේ බහුලවම හමුවන මූලද්‍රව්‍යය යි. විශේෂයෙන් සූර්යයා ඇතුලු තාරකා සමීපයේ හීලියම් වායුව පවතින අතර විසූවියස් යමහල් ද්වාරයෙනුත් හීලියම් වායුව මුක්ත වී තිබෙනවා.

හීලියම්හි පරමාණුක ක්‍රමාංකය 2 වන අතර පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 4.002602ක්. මෙහි ද්‍රවාංකය සෙල්සියස් අංශක ඍණ 272.2ක් වන අතර තාපාංකය සෙල්සියස් අංශක 268.93ක්. හීලියම්හි සමස්ථානික 8ක් දැකිය හැකි අතර ඉන් ස්ථායී වන්නේ 2ක් පමණයි.

හීලියම් මූලද්‍රව්‍ය ගවේෂණය කිරීමත් ඉතා අපූර්ව සිද්ධියක්. ක්‍රි.ව 1868 අගෝස්තු 18 වනදා පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වූ අතර එය ඉන්දියාවට හොඳින් දිස් වුණා. එය නැරඹීමට හා ඒ ඔස්සේ හිරු අවට වායුගෝලයේ ස්වභාවය නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රංශ විද්‍යාඥයෙකු වන පියරෙ ජැන්සන් ඉන්දියාවට පැමිණියා. හිරුගෙන් ලැබෙන ආලෝක තරංග ග්‍රහණය කොට පරීක්ෂා කිරීමේ දී ඔහුට තරංග ආයාමය නැනෝ මීටර 587.49ක් වන විශේෂ ආලෝක තරංග කිහිපයක් නිරීක්ෂණය වුණා. මෙය ඇතිවන්නේ කෙසේදැයි ජැන්සන්ට හරිහැටි හඳුනාගැනීමට නොහැකි වුණත් ඔහු අනුව යමින් ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයෙකු වන නෝර්මන් ලොක්යර් හිරුගෙන් එන එම ‘අද්භූත කදම්බය’ නැවත ග්‍රහණය කරගැනීමට සමත් වූ අතර, රසායන විද්‍යාඥ එඩ්වඩ් ෆ්‍රෑන්ක්ලන්ඩ් සමග එක්ව තවත් පර්යේෂණ සිදු කර එය ප්‍රතිඵල වන්නේ හඳුනා නොගත් මූලද්‍රව්‍යයක් ඔස්සේ හිරු කිරණ පැමිණීම නිසායැයි ප්‍රකාශ කරනවා. මේ මූලද්‍රව්‍ය සොයා ගැනීමට මුල් වූයේ හිරු නිසා හිරුට අධිපති ග්‍රීක දේවතාවා වන හීලියස්ගේ නම අනුසාරයෙන් එයට ‘හීලියම්’ යැයි නම් තැබෙනවා.

පෘථිවිය මත හීලියම් සොයාගැනීමට තවත් කාලයක් ගත වූ අතර ඉතාලි ජාතික විද්‍යාඥයෙකු වූ  ලුන්ගි පැල්මීරි විසින් 1882 වසරේදී විසූවියස් යමහලෙන් හීලියම් වායුව මුක්ත වන බව සොයාගන්නවා. කෙසේ නමුත් පෘථිවියේ හීලියම් පවතින බව විද්‍යාත්මකව තහවුරු කළේ ස්වීඩන ජාතික විද්‍යාඥයින් දෙදෙනෙකු වන පර් තියඩෝර් ක්ලීව් හා නිල්ස් ඒබ්‍රහම් ලැංගර් විසිනුයි.

පෘථිවි වායුගෝලයේ හීලියම් පවතින්නේ ඉතා අල්ප වශයෙන් හෙවත් එහි බරින් 0.0005%ක ප්‍රමාණයක පමණයි. පරිසරයේ හීලියම් ස්වභාවික වායුවක් වශයෙන් පවතිනු නිරීක්ෂණය වන්නේ  ක්‍රි.ව 1903 දී යි. ඇමෙරිකා එක්සත් ජනපදයේ කැන්සාස් හි ස්වභාවික වායු ළිඳක් විවෘත කිරීමක දී එහි දැල්වූ ගිණි දැල් නිවී යන්නට පටන්ගත අතර වැඩි දුර නිරීක්ෂණය කිරීමේ දී එහි ඇති වායුවෙන් 12% යම් කිසි උච්ච වායු ගුණ පෙන්වන වායුවක් බව සොයා ගැණුනා. ක්‍රි.ව 1905 වසරේදී එය හීලියම් බව තහවුරු වුණා.

ලිතියම්

dreamstime.com

ආවර්තිතා වගුවේ තෙවැනියට හමුවන්නේ ලොව සැහැල්ලුම ලෝහය වන ලිතියම් මූලද්‍රව්‍යය යි. ජංගම දුරකථන බැටරි, ගුවන් යානා තැනීමට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේදීත් ලිතියම් භාවිතා වෙනවා.

ලිතියම් හි පරමාණුක ක්‍රමාංකය 3 වන අතර පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 6.941ක්. ආවර්තිතා වගුවේ පළමු කාණ්ඩයට අයත් මූලද්‍රව්‍යයක් බැවින් මෙය ඉහළ ද්‍රවාංකයක් (සෙල්සියස් අංශක 180.5) හා තාපාංකයක් (සෙල්සියස් අංශක 1342ක්) දරනවා. ලිතියම්හි සමස්ථානික 10ක් ස්වභාවයේ පවතින මුත් ඉන් ස්ථායී වන්නේ 2ක් පමණයි.

geology.neab.net – පෙටලයිට් ඛණිජය

ලිතියම් මූලද්‍රව්‍යයට ද දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ක්‍රි.ව 1790 දී පමණ බ්‍රසීල ජාතිකයෙකු වන ජොසේ බොනිෆසියෝ ඩෙ අන්ඩ්‍රෙල්ඩා සිල්වා ස්වීඩනයේ දූපතක දී පෙටලයිට් ඛණිජය (LiAISi4O10) සොයාගන්නා අතර එම අළු පැහැති ඛණිජය ගින්නට දැමූ විට රතු පැහැයෙන් දැල්වුණා. ක්‍රි.ව 1817 දී ස්වීඩන ජාතික විද්‍යාඥයෙකු වන ඕගස්ට් අර්වෙඩ්සන් විසින් පෙටලයිට්හි කලින් හඳුනාගෙන නොතිබූ ලෝහයක් ඇති බව සොයාගත්තා. ඔහු එය ග්‍රීක භාෂාවේ පාෂාණ හඳුන්වන ‘ලිතොස්’ නම් වචනයට අනුව ‘ලිතියම්’ ලෙස නම් කළා. එසේ නමුත් ඔහුට එය සංශුද්ධ වශයෙන් නිස්සරණය කරගත නොහැකි වන අතර එහි ලවණයක් නිස්සාරණය කරගත හැකි වෙනවා. ක්‍රි. ව 1855 දී බ්‍රිතාන්‍ය ජාතික රසායන විද්‍යාඥයෙකු වූ ඔගස්ටස් මැට්හෙසන් හා ජර්මානු ජාතික රොබට් බන්සන් ලිතියම් ක්ලෝරයිඩ් මඟින් සංශුද්ධ ලිතියම් නිස්සාරණය කරනු ලැබුවා.

ආවර්තිතා වගුවේ ඉතිරි මූලද්‍රව්‍ය සොයාගත් ආකාර පිළිබඳව ඉදිරි ලිපි වලින් ගෙන එන්නට අපි සූදානම්.

කවරයේ පින්තූරය -wallpaperheat.com

Related Articles

Exit mobile version