Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාව කක්ෂගත කළ බරින් අඩුම චන්ද්‍රිකාව – කලාම්සැට් V2

දැනට අභ්‍යවකාශගත කර ඇති චන්ද්‍රිකා අතරින් බරින් අඩුම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. මෙම වසරේ ජනවාරි මාසයේ 24 වන බ්‍රහස්පතින්දා ප.ව 11. 30ට පමණ මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ඉන්දියානු අභ්‍යවකාශ විද්‍යාඥයන් සමත් වෙනවා.

කලාම්සැට් V2 ලෙස චන්ද්‍රිකාව නම් කර තිබෙනවා. ඒ ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක් මෙන්ම අභ්‍යවකාශ විද්‍යාඥයෙක් ලෙසත් ලෝ පතළ ආචාර්ය අබ්දුල් කලාම්ට උපහාරයක් වශයෙන්.

චන්ද්‍රිකාවේ බර කි.ග්‍රෑ 1.2ක් තරම් අඩු අගයක්. “ස්පේස් කිඩ්ස් ඉන්ඩියා” (Space Kidz India) නම් ඉන්දියානු තරුණ විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් පෞද්ගලික ආයතනයක් මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර තිබෙනවා. එය කක්ෂගත කිරීම සඳහා ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (Indian Space Research Organization) සහාය ඔවුන්ට ලැබී තිබෙනවා.

තව ද සන්නිවේදන චන්ද්‍රිකාවක කාර්යයභාරය ඉටුකරන කලාම්සැට් V2 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා Polar Satellite Launch Vehicle නම් රොකට්ටුව භාවිතා කර තිබෙනවා.

ඉන්දියානු තරුණ තරුණියන්ගේ වැඩක්

කලාම්සැට් V2 නිර්මාණය කළ ශිෂ්‍ය කණ්ඩායම (Firstpost)

මාස කීපයකට පෙර, ගුවන් විදුලි විකාශන කටයුතු සඳහා භාවිතා කිරීමේ අරමුණෙන් ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ස්පේස් කිඩ්ස් ඉන්ඩියා ආයතනයේ ශිෂ්‍ය කණ්ඩායමක් තම ව්‍යාපෘතියක් වෙනුවෙන් ලෝකයේ කුඩාම චන්ද්‍රිකාව නිර්මාණය කිරීම ආරම්භ කරනවා.

සෙ.මී 10ක් දිග ඝනක හැඩති චන්ද්‍රිකාවක් ලෙස මෙය නිර්මාණය වෙන අතර එහි බර ලෙස සදහන්ව ඇත්තේ ග්‍රෑම් 1200ක්. මේ ව්‍යාපෘතිය සඳහා මාස ගණනාවක් පර්යේෂණ කර ඇති නමුත් චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට පටන්ගෙන එය අවසන් කිරීම දක්වා ගත වී ඇති කාලය දින හයක් පමණ යි.

මීට පෙර, එනම් 2017 වසරේ දී නාසා ආයතනයේ අනුග්‍රහයෙන් එක්තරා ශිෂ්‍ය කණ්ඩායමක් මීටත් වඩා අඩු බරකින් යුක්ත (ග්‍රෑම් 64ක් පමණ බරින් යුක්ත) චන්ද්‍රිකාවක් උප කක්ෂගත කරනවා. නමුත් කලාම්සැට් V2 චන්ද්‍රිකාව දැනට කක්ෂගත කළ බරින් අඩුම චන්ද්‍රිකාව ලෙස වාර්තා තබා තිබෙනවා.

චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සඳහා ඉන්දියානු රුපියල් මිලියන 1.2ක් වැය වී ඇති අතර එය කක්ෂගත කිරීමේ සම්පූර්ණ වියදම් දරා තිබෙන්නේ ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය යි.

ඉන්දියානු තරුණ සිසුන් පරිගණක තාක්ෂණයට මෙන්ම අභ්‍යවකාශ විද්‍යාවට ද අති දක්ෂතාවයක් දක්වන බව ලෝක ප්‍රසිද්ධ කරුණක්. ගූගල්, ඇපල්, මයික්‍රසොෆ්ට් මෙන්ම නාසා ආයතයේ ද ඉන්දියානු තරුණ පිරිස් බොහොමයක් සේවය කරනවා.

මේ වන විට ඉන්දියානු ශිෂ්‍යන් විසින් චන්ද්‍රිකා 9ක් කක්ෂගත කර තිබෙනවා. තව ද අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ මේ නිපැයුම මඟින් අනාගත ඉන්දියානු පාසල් දරුවන්, විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් වීමට පොළඹවනු ඇති බව යි.

ඉන්දියානු පර්යේෂණ සංවිධනයේ අත හිත

චන්ද්‍රිකාව නිර්මාණය වෙමින් (BBC)

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ දායකත්වය මෙම ව්‍යාපෘතියට ලැබී ඇති අතර එය කක්ෂගත කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත්තේ මෙම සංවිධානය හරහා යි. ඒ සඳහා මෙම ආයතනය සිසුන්ගෙන් කිසිදු මුදලක් අය කර නොගැනීම ද විශේෂ කරුණක් ලෙස සඳහන් කළ හැකි යි.

තවද පෞද්ගලික ආයතනයක් විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය විසින් කක්ෂගත කළ ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය සදහන් කළ හැකි යි.

මෙම කක්ෂගත කිරීමෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරන පර්යේෂණ සංවිධානය පවසා සිටින්නේ ඉන්දියාවේ ඕනෑම ශිෂ්‍ය කණ්ඩායමකට නව චන්ද්‍රිකා නිර්මාණය කිරීමට තමන් අරාධනා කරන බවත්, ඒවා කක්ෂගත කිරීමේ සම්පූර්ණ කාර්යයභාරය තම සංවිධානය විසින් ඉටු කරන බවත්. ඒ තරුණ ප්‍රජාව අතර අභ්‍යවකාශ තාක්ෂණය ජනප්‍රිය කරවීමේ අරමුණෙන්.

මේ වෙනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි අඩුම බරක් සහිත චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සම්බන්ධයෙන් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයට හා එය සැලසුම් කළ දක්ෂ තරුණ ශිෂ්‍යන්ට තම සුභ පැතුම් පිරිනමා තිබෙනවා.

කක්ෂගත  කිරීමේ අරමුණ

වැඩ කටයුතු අවසන් කළ පසු චන්ද්‍රිකාව (The Logical Indian)

මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අරමුණ වන්නේ ගුවන් විදුලි කටයතු සඳහා ප්‍රයෝජනයට ගැනීමට යි. තව ද වාණිජමය නොවන සන්නිවේදන කටයුතු සඳහා අත්හදා බැලිමටත් නියමිතව පවතිනවා.

ඊට අමතරව මෙම කක්ෂගත කිරීමෙන් ඉන්දියානු පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට අනාගත අභ්‍යවකාශ ඉංජිනේරුවන් වීමේ අරමුණක් හා, ඒ වෙනුවෙන් කටයුතු කිරීමේ උද්යෝගයක් ලබා දීම ද තවත් එක් අරමුණක් ලෙස සඳහන් කළ හැකි යි.

කක්ෂගත කිරීම

කක්ෂගත  කිරීම (Fossbytes)

ඉන්දියානු අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානයට අයත් අන්ද්‍රා ප්‍රදේශ්හි සතිෂ් ධවාන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දී මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කර තිබෙනවා.

කක්ෂගත කිරීම සඳහා භාවිතා කර තිබෙන්නේ Polar Satellite Launch Vehicle (PSLV) නම් චන්ද්‍රිකා රැගෙන යන යානය යි. චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා එහි 46 වෙනි ගමන් වාරය යි ක්‍රියාත්මක වී තිබෙන්නේ. කලාම්සැට් V2 චන්ද්‍රිකාව රැගෙන ගිය එම රොකට්ටුව ටොන් 260ක බරකින් යුක්ත යි.

කවරයේ පින්තූරය - Gulf News

මූලාශ්‍රයයන්:

yourstory.com

ndtv.com

pacekidzindia.in

isro.gov.in

bbc.com

Related Articles