දන්නා මූලද්‍රව්‍ය පිටුපස ඇති රසවත් ඉතිහාස කතා 7ක්

විද්‍යාව සහ ඉතිහාසය කියන්නේ බොහො ම රසවත් විෂය පථයන් දෙකක්. එම විෂය පථ දෙක එකට ගත් විට රසවත් බව තවත් වැඩි වෙනවා. ඉතිහාසය පෝෂණය කිරීමෙහි ලා විද්‍යාව ඉටු කොට ඇති කාර්යභාරය අති විශාල යි. සරලව ම ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය පිටුපස ඇති ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් පමණක් වුණත් අපට කරුණු රාශියක් සොයාගත හැකි යි. ඒ අනුව මූලද්‍රව්‍ය කිහිපයක් පිටුපස ඇති රසවත් ඉතිහාස කතා කිහිපයක්  ඔබ හමුවට ගෙන එන්නයි මේ සූදානම.

 මායාකරුවන්ගේ අභිරහස් පාෂාණය

 වර්තමානයේදී බේරියම් මූලද්‍රව්‍යය සහ බේරියම් ආශ්‍රිත සංයෝග විවිධ කර්මාන්ත සහ නිෂ්පාදන සඳහා භාවිත කරනවා. සෞඛ්‍යමය ගැටලු සඳහාත් බේරියම් ආශ්‍රිත සංයෝගවලින් මනා ප්‍රයෝජනයක් ලැබෙන බව සඳහන් වෙනවා. බේරියම් කියන්නේ මිනිසුන් මධ්‍යකාලීන යුගයේ පවා හොඳින් දැන සිටි මූලද්‍රව්‍යයක්. එය අද අපි දන්නා ආකාරයට වඩා වෙනස් ආකාරයකින් එදා ප්‍රයෝජනයට ගත් බවක් පෙනී යනවා.

 මධ්‍යකාලීන යුගයේ ඉතාලියේ බොලොග්නා ප්‍රදේශය අවට එක්තරා සිනිඳු පාෂාණ විශේෂයක් දක්නට ලැබී තිබෙනවා. කෙටි කාලයක් ආලෝකයට නිරාවරණය වීමට ඉඩ හැර අඳුරේ තැබූ විට අඳුරේ පවා බැබළීමේ හැකියාවක් එම පාෂාණ විශේෂයේ තිබූ බව සඳහන් වෙනවා. මෙම සුවිශේෂී ගුණාංගය නිසා අදාළ පාෂාණ විශේෂය ආදි රසායනඥයන් සහ මායාකාරියන් අතර ජනප්‍රිය වී තිබුණා.  

බේරියම් අඩංගු ඛනිජයක් – gemstonebuzz.com

 1600 ගණන්වලදී මේ පාෂාණ විශේෂය “බොලොග්නා පාෂාණ” වශයෙන් හඳුන්වන්න පටන් ගත්තා. ලෝහ රත්තරන් බවට හැරවිය හැකි සහ අමරණීයත්වයට පවා හේතු වන “පාරස මණිය” (philosopher’s stones) බොලොග්නා පාෂාණ විය හැකි බව ඇතැම් අය සැක පහළ කළා. බොලොග්නා පාෂාණවල තිබූ අද්භූත ගුණාංග එවැනි අදහස් තීව්‍ර කිරීමට හේතු වූ බව සිතිය හැකි යි. රත් කිරීමේදී එම පාෂාණ අමුතු රතු පැහැ දීප්තියකින් බැබළීමත් ඔවුන් අද්භූතයැ යි සැලකූ ගුණාංගවලින් එකක්.

 එකල සපත්තු සාදන්නකු මෙන් ම අර්ධ කාලීන රසායනඥයකු වූ වින්සෙන්ටියස් කැසි‍යෝරොලස් බොලොග්නා පාෂාණ භාවිතයෙන් විවිධ අත්හදා බැලීම් සිදු කළා. ඔහු අනෙකුත් ලෝහ රත්තරන් කිරීමේ සිට අමරණීයත්වය ලැබිය හැකි අමෘතයක් නිර්මාණය කිරීමට පවා බොලොග්නා පාෂාණ යොදා ගැනීමට උත්සහ කළා. ඔහු සම්පූර්ණයෙන් ම අසාර්ථක වූ අතර, තවත් අවුරුදු 200ක් බොලොග්නා පාෂාණයට මායා කර්මය සමඟ සම්බන්ධ වූ අමුතු මෙවලමකට එහා ගිය වැදගත්කමක් ලැබුණේ නැහැ.

1774 වනවිට කාල් ෂීලේ නම් විද්‍යාඥයා බොලොග්නා පාෂාණ කිසියම් ස්වාධීන මූලද්‍රව්‍යයක් විය හැකි බව සැක කළා. ඒ අනුව මායාකාරියන්ගේ  අමුතු දිදුළන පාෂාණ විශේෂය බේරියම් බව පසු කලෙක හඳුනා ගත්තා.

සූර්යග්‍රහණයක් අතරතුර නිකුත් වූ කහ පැහැ ආලෝකය හීලියම් අනාවරණය කරගැනීම සඳහා ඉවහල් වුණා – listverse.com 

ජය පැරදුමක් නැති “හීලියම්” තරගය

 කිසියම් දැනුමක් හෝ සොයා ගැනීමක් මුලින් ම ලේඛනගත කිරීමෙන් හෝ පැහැදිලි කිරීම මඟින් එහි ගරුත්වය තමා සතුකර ගැනීමේ තරගකාරී සිදුවීම්වලින් විද්‍යාවේ ඉතිහාසය පිරී පවතිනවා. හීලියම් මූලද්‍රව්‍යයක් ලෙස ලෝකයට අනාවරණය කිරීම යන කාරණයේදී තනි ජයග්‍රාහකයකු අර්ථ දැක්වීම තරමක් අසීරු යි.

 19 වන සියවස අග භාගයේ දී සූර්යයාගේ විමෝචන වර්ණාවලිය ගැන පර්යේෂණ පැවැත්වෙමින් තිබුණා. එම පර්යේෂණ හොඳින් ම සිදු කළ හැක්කේ සූර්යග්‍රහණයක් පවතින අවස්ථාවකදී බව විද්‍යාඥයන් විශ්වාස කළා. 1868 දී පියරේ ජූල්ස් සේසාර් ජැන්සන් ඉන්දියාවේ සිට සූර්යග්‍රහණයක් නරඹමින් සිටිය දී, අමුතු ම ආකාරයේ කහ පැහැති එළියක් වැසුණු සූර්යයා වටා විහිදෙන බව දුටුවා. මෙම කහ එළිය කුමක්දැයි නිශ්චය කර ගැනීම සඳහා එය තව දුරටත් අධ්‍යයනය කළ යුතු බව ඔහු තීරණය කළා.

 ජූල්ස් ජැන්සන් ලෝකයට ඉතා වැදගත් අනාවරණයක් කිරීමට පිඹුරුපත් සකසමින් සිටිය දී, අරුම පුදුම අහම්බයක් ලෝකයේ තවත් තැනක සිදු වෙමින් තිබුණා. ජෝසප් නෝමන් ලෝකියර් නමැති තවත් විද්‍යාඥයෙක් ජූල්ස් පරිදි ම සූර්යග්‍රහණය අතරතුර දර්ශනය වූ අමුතු කහ පැහැති ආලෝකය නිසා කුතුහලයට පත් ව සිටියා. පසුව මොවුන් දෙපළ ලහි ලහියේ තම සොයා ගැනීම් ලේඛනගත කොට ප්‍රංශ විද්‍යා ඇකඩමියට යැවීමට යුහුසුළු වුණා. දෙපාර්ශවයේ ලිපි ලේඛන ඇකඩමියට ලැබුණෙත් එක ම දිනයක දී බව පැවසෙනවා. ආරම්භයේ දී ඔවුන්ගේ සොයා ගැනීම් පිළිගැනීමට ලක් නොවුණත්, හීලියම් මූලද්‍රව්‍යය ලෝකයට අනාවරණය කිරීමේ ගෞරවය විද්‍යාඥයන් දෙපළ අතර පසුකලෙක සමසේ බෙදී ගියා.

ටංස්ටන් අඩංගු වොල්ෆ්‍රමයිට් ඛනිජයක් – staplefordminmet.co.uk 

ටංස්ටන්-වොල්ෆ්‍රම් අරගලය

ආවර්තිතා වගුව පරික්ෂා කිරීමේ දී එහි ඇති සමහර සංකේත මූලද්‍රව්‍යයේ නාමය සමඟ නොගැළපෙන බවක් ඔබ නිරීක්ෂණය කර තිබෙනවා ද? අදාළ මූලද්‍රව්‍යයේ සංකේතය ලතින් පරිවර්තනයෙන් පැමිණීම එයට හේතුව යි. උදාහරණයක් ලෙස රිදී මූලද්‍රව්‍ය අපි ඉංග්‍රීසියෙන් “සිල්වර්” වශයෙන් හැඳින්වූවත්, එහි ලතින් නාමය වන්නේ “ආර්ජෙන්ටම්” යන්න යි. ඒ අනුව ආවර්තිතා වගුවේ රිදී මූලද්‍රව්‍ය සංකේතවත් වන්නේ “Ag” නමින්. මේ වෙනස්කම සම්බන්ධයෙන් විවාදයක් නොමැති අතර, සංකේතය වෙනස් වුණත් “Ag” සඳහා “සිල්වර්” නාමය භාවිත වෙනවා. එහෙත්, ටංස්ටන් වෙත පැමිණීමේදී යම් විවාදයක් මතු වෙනවා.

 ටංස්ටන්වල රසායනික සංකේතය වන්නේ “W”. ඉංග්‍රීසි භාෂාව ව්‍යවහාර වන රටවල ටංස්ටන් යන නාමය භාවිත වුණත්, ලෝකයේ අනෙකුත් බොහෝ පාර්ශවයන් ටංස්ටන් හැඳින්වූයේ “වොල්ෆ්‍රම්” හෝ “වුල්ෆ්‍රම්” යනුවෙන්. “W” සංකේතයෙන් දැක්වෙන මූලද්‍රව්‍ය සඳහා තනි නමකට පැමිණීම පහසුවෙන් සිදු වූවක් නොවෙයි. මූලද්‍රව්‍යයක් ලෙස ටංස්ටන් මුලින් ම වෙන් කර ගත්තේ “වොල්ෆ්‍රමයිට්” නම් ඛනිජය හරහා යි. එම ඛනිජයේ නම ආශ්‍රයෙන් සෑදුණු “වොල්ෆ්‍රම්” නාමය ටංස්ටන් සඳහා භාවිත කිරීම 2005 වර්ෂය දක්වා ම පැවතුණා. විශේෂයෙන් ම ස්පාඤ්ඤ විද්‍යාඥයන් අවධාරණය කළේ ටංස්‍ටන් උදෙසා ඇති නිල තොරතුරුවලින් “වොල්ෆ්‍රම්” නාමය අත් නොහැරිය යුතු බව යි.

 තවමත් ටංස්‍ටන් සඳහා “වොල්ෆ්‍රම්” නාමය ඉංග්‍රීසි භාෂාව ව්‍යවහාර නොකරන විද්වතුන් භාවිත කිරීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ටංස්ටන් මුලින් ම නිස්සාරණය කර ගැනීමට සමත් වූ ඩෙල්හුයර් සහෝදරයන්ගේ අපේක්ෂාව වුණෙත්, තමා අනාවරණය කර ගත් මූලද්‍රව්‍යය සඳහා “වොල්ෆ්‍රම්” නාමය භාවිත කිරීම යි. ඉංග්‍රීසි නොවන විද්‍යාඥයන් දිගින් දිගට ම ටංස්ටන් සඳහා “වොල්ෆ්‍රම්” නාමය නිල වශයෙන් තබා ගැනීමට උත්සහ කළත්, ඔවුන් පරාජයට පත් වුණා. කෙසේ නමුත්, භාවිතයෙන් ඈත් වූ නාමය සිහිපත් කරමින් “W” අක්ෂරය තවමත් ටංස්ටන් මූලද්‍රව්‍යයේ රසායනික සංකේතය ලෙස භාවිත වෙනවා.

අතීතයේදී රත්‍රන්වලටත් වඩා වැඩි අගයක් ඇලුමීනියම් වලට ලැබී තිබුණා – ec.europa.eu 

රත්‍රන් වලටත් වැඩිය වටින ඇලුමීනියම්

 අතීතයේදී සංශුද්ධ තත්ත්වයෙන් ඇලුමීනියම් නිස්සාරණය කර ගැනීමේ තාක්ෂණික ක්‍රමවේද එතරම් දියුණුවට පත් ව තිබුණේ නැහැ. එබැවින් 1825 තරම් ඈත කාලයේ දී ඇලුමීනියම් ඉතා වටිනා ලෝහයක් ලෙස පැවතුණා. මුලින් ම එක්තරා ඩෙන්මාර්ක් ජාතික රසායන විද්‍යාඥයකු ඉතා කුඩා ප්‍රමාණවලින් ඇලුමීනියම් නිස්සාරණය කර ගැනීම සඳහා ක්‍රමයක් සකස් කළා. 

 1845 වන තෙක් මූලික ගුණාංග අධ්‍යයනය කිරීමට තරම්වත් සෑහෙන ඇලුමීනියම් ප්‍රමාණයක් නිස්සාරණය කිරීමේ ක්‍රමවේදයක් දියුණු කොට තිබුණේ නැහැ. එකල මෙම ලෝහයේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල අමෙරිකානු ඩොලර් 1200ක් පමණ වූ බව පැවසෙනවා. එය අද වටිනාකමට සමාන කළහොත්, ඩොලර් 33,650කට සමාන වෙනවා. 

 1880 කාලයේදී ඇලුමීනියම් නිස්සාරණය කිරීමේ ක්‍රම තවත් වර්ධනය වීමෙන් පසු ඇලුමීනියම් භාවිතය වඩාත් පුළුල් වීම ඇරඹුණා. එතෙක්, ඇලුමීනියම් සඳහා ඇදහිය නොහැකි වටිනාකමක් ලබා දීමට මිනිසුන් පුරුදු ව සිටියා. උදාහරණයක් ලෙස ප්‍රංශයේ නායකත්වය දැරූ තුන්වන නැපෝලියන් රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ඇලුමීනියම් භාණ්ඩ භාවිත කළේ ඔහුගේ වටිනාම අමුත්තන් සඳහා පමණ යි. නිතිපතා පැමිණෙන සාමාන්‍ය අමුත්තන් සඳහා ඔහු ලබාදී ඇත්තේ රන් සහ රිදීයෙන් තැනූ පිඟන් භාණ්ඩ පමණ යි!

 ඩෙන්මාර්කයේ රජ කෙනකු පවා තම ඔටුන්න සඳහා ඇලුමීනියම් භාවිත කළ බව සඳහන් වෙනවා. පැරීසියේ උසස් සමාජ තලවල කාන්තාවන් තම තත්ත්වය පෙන්වීම සඳහා ඇලුමීනියම් ආභරණ භාවිත කිරීමේ ප්‍රවණතාවකුත් එකල තිබුණා. 

 ඇලුමීනියම් මහා පරිමාණයෙන් නිස්සාරණය කිරීමේ ක්‍රමවේද දියුණු කිරීමත් සමඟ ඇලුමීනියම් සඳහා තිබූ අසාමාන්‍ය වටිනාකම වේගයෙන් පහළ වැටීම ඇරඹුණා. අද ඇලුමීනියම් යනු විවිධ කර්මාන්ත සහ ව්‍යුහ තැනීම සඳහා භාවිත කරන සුලබ ලෝහයක්.

ෆ්ලෝරීන් වායුව – thoughtco.com 

ෆ්ලෝරීන් සමඟ මාරාන්තික සටනක්!

 ෆ්ලෝරීන් පිළිබඳ ප්‍රථම නිරීක්ෂණ 1500 ගණන්වලදී සිදු වූ බවට සැලකෙනවා. ෆ්ලුවොස්පාර් නම් ඛනිජය අම්ල සමඟ ප්‍රතික්‍රියා කරන බව 1670 දී පමණ වීදුරු කර්මාන්තයේ යෙදෙන්නකු අහම්බයෙන් සොයා ගත්තා. ඉන්පසු ආවර්තිතා වගුවට තවත් අලුත් මූලද්‍රව්‍යයක් එක් කිරීමේ හැකියාව ගැන අධ්‍යයන ඇරඹුණා. කෙසේ නමුත්, ෆ්ලෝරීන් හුදෙකලා ද්‍රව්‍යයක් ලෙස වෙන් කර ගැනීම ඉතාම දුෂ්කර සහ මාරාන්තික ක්‍රියාවලියක් ලෙස සැලකුණා.

 ෆ්ලුවොස්පාර් සමඟ සංයුක්තව ඇති කිසියම් දෙයක් මෙම ප්‍රතික්‍රියාව සඳහා හේතු වන බව කාල් ෂීලේ නිගමනය කළා. ඒ අනුව 1771 වසර වන විට ෆ්ලෝරීන් වායුව අනාවරණය කර ගැනීමේ පර්යේෂණ තවත් දැඩි වුණා. ෆ්ලෝරීන් කියන්නේ ඉතා විෂ සහිත ළා කහ පැහැ වායුවක්. 1886 දී ෆර්ඩිනන්ඩ් ෆ්‍රෙඩ්රික් හෙන්රි මොයිසාන් ෆ්ලෝරීන් වායුව වෙන් කර ගැනීමට සමත් වුණත්, එම ක්‍රියාවලිය අතරතුර ඔහු බොහෝ අසනීප සහ තුවාලවලට ලක් වුණා. ෆ්ලෝරීන් විෂ වීමෙන් සෙමෙන් සෙමෙන් සුවය ලැබීමට මොයිසාන් සමත් වුණත්, ඔහුට තම වැඩ කටයුතු සිවු වරක් පමණ නතර කිරීමට සිදු වුණා.

 ෆ්ලෝරීන් වායුවෙන් ඔහුගේ ශරීරයට බරපතල හානි සිදුවූ අතර, නොබෙල් ත්‍යාගය ලබා මාස කිහිපයකට පසු ඇපෙන්ඩිසයිටිස් රෝගය නිසා අවසන් හුස්ම හෙළුවා. හෙන්රි මොයිසාන් ඇපෙන්ඩිසයිටිස් රෝගය නිසා මිය නොගියත්, ෆ්ලෝරීන් වායුව ඉදිරියේ ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහුගේ ආයුෂ ස්වභාවයෙන් ම කෙටිවීමේ අවදානමක් පැවතුණු බව කියැවෙනවා.

 හෙන්රි මොයිසාන් පමණක් නොව තවත් විද්‍යාඥයන් කිහිප දෙනකු ෆ්ලෝරීන් වායුව වෙන් කර ගැනීමේ උත්සාහ දැරුවා. හම්ප්‍රි ඩේව් පවා ෆ්ලෝරීන් පරීක්ෂණයක් අතරතුර ඇස් සහ ඇඟිලිවලට සිදුවූ ස්ථිර හානි නිසා පීඩා වින්දා. අයර්ලන්ත ජාතික රසායනඥයන් වන තෝමස් සහ ජෝර්ජ් නොක්ස් ද ෆ්ලෝරීන් හුදකලා කිරීමට උත්සාහ කළ අතර, අවසාන ප්‍රතිඵලය වශයෙන් එක් අයකු මිය ගියා. බෙල්ජියම් ජාතික රසායන විද්‍යාඥයකු ද ෆ්ලෝරීන් සම්බන්ධ පර්යේෂණ නිසා මිය ගිය අතර ප්‍රංශ රසායනඥ ජෙරොම් නිකල්ස්ට ද එවැනි ම ඉරණමක් අත් වුණා. ආරම්භයේ පටන් ම ෆ්ලෝරීන් වායුව විද්‍යාඥයන්ට අත් කර දුන්නේ එවැනි කටුක ඉරණමක්.

සීතල යුද්ධය සහ ක්‍රිප්ටන්

 සීතල යුද සමයේ දී එක්සත් ජනපදය සහ රුසියාව යුදමය, ආර්ථික සහ දේශපාලනමය වශයෙන් එකිනෙකා ගැන බොහොම සෙවිල්ලෙන් පසු වුණා. රුසියාව නිපදවන න්‍යෂ්ඨික ආයුධ ගැනත් බටහිර රටවලට තිබුණේ නොනවතින කුකුසක්. විටෙක රුසියාව විසින් කොතරම් වේගයෙන් න්‍යෂ්ඨික ආයුධ නිපදවනවා ද යන්න ගැන සෙවීමට එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවලට අවශ්‍ය වුණා. ඒ සඳහා ඔවුන් අමුතු ම ක්‍රමවේදයක් අනුගමනය කරමින් ක්‍රිප්ටන් වායුවේ Kr-85 නම් විකිරණශීලි සමස්ථානිකය මේ සඳහා යොදා ගත්තා.

 න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක මඟින් ක්‍රිප්ටන් වායුව නිපදවෙන නිසා රුසියානු පාර්ශවයෙන් වායුගෝලයට මුදා හරින ක්‍රිප්ටන් වායු ප්‍රමාණය ගණනය කිරීමෙන් එම තොරතුරු ලබා ගැනීමට බටහිර පාර්ශවය සමත් වුණා.  

විද්‍යාවේ දියුණුවත් සමඟ මූලද්‍රව්‍ය කෘත්‍රිම ව නිපදවීමේ උත්සාහ ඇති වුණා. ඇමරීසියම්, කියුරියම්, බර්ක්ලියම්, කැලිෆෝනියම් යනු එලෙස කෘත්‍රිම ව නිර්මාණය කල මූලද්‍රව්‍ය කිහිපයක්. මෙම ක්‍රියාදාමය ඉතා සංකීර්ණ සහ දුෂ්කර ක්‍රියාවලියක්. ඉදිරි මූලද්‍රව්‍ය නිපදවීම සඳහා වැඩි නියුට්‍රෝන සාන්ද්‍රණයක් අවශ්‍ය වීමත් මෙම දුෂ්කරතාවට හේතු වුණා. පෘථිවියේ ප්‍රමාණවත් තරම් නියුට්‍රෝන සාන්ද්‍රණයක් පවත්වා ගත හැකි ක්‍රමයක් වන්නේ තාප න්‍යෂ්ඨික පිපුරුමක හදවතට ගමන් කිරීම යි.

අමෙරිකාව අත්හදා බැලූ හයිඩ්‍රජන් බෝම්බය නිසා අලුත් මූලද්‍රව්‍ය දෙකක් ආවර්තිතා වගුවට එකතු වුණා – airspacemag.com 

හයිඩ්‍රජන් බෝම්බයෙන් උපන් මූලද්‍රව්‍ය

 1952 නොවැම්බර් 1 වෙනිදා එක්සත් ජනපදය ලොව ප්‍රථම හයිඩ්‍රජන් බෝම්බය පැසිෆික් සාගරයේ දී අත්හදා බැලුවා. එය අවස්ථාවක් කර ගත් එක්සත් ජනපද ගුවන් හමුදාවේ එක් ගුවන් නියමුවෙක්, බෝම්බ පිපුරුමෙන් නිකුත් වූ වලාව හරහා පියාසර කළා. ගුවන් යානයේ පියාපත් වල සවිකර තිබූ උපාංගවලින් න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු කර ගැනීමට ඔවුන් සමත් වුණා. න්‍යෂ්ඨික අපද්‍රව්‍ය එක්සත් ජනපදයට යැවීමෙන් පසු තවත් මූලද්‍රව්‍ය දෙකක් වෙන්කර ගැනීමට විද්‍යාඥයන්ට හැකි වුණා. පසුව එම මූලද්‍රව්‍ය පිළිවෙළින් අයින්ස්ටයිනියම් සහ ෆර්මියම් යනුවෙන් නම් කළා.

කවරයේ ඡායාරූපය: නිර්මාණශීලි ලෙස සැකසූ ආවර්තිතා වගුවක කොටසක් - interestingengineering.com

මූලාශ්‍ර: listverse.com

bbc.co.uk

sciencefocus.com 

Related Articles

Exit mobile version