විසි වන සියවස අග භාගයේ දී නම් වාමන ග්‍රහලෝක යන යෙදුම ලෝකයා ඒ තරම් අසා නොතිබුණු එකක් වන්නට ඇතුවාට නිසැකයි. ඒ කෙසේ නමුත් 21 වන සියවස උදාවත් සමඟම අප සෞරග්‍රහ මණ්ඩලයේ පිටතින්ම පිහිටා ඇති ග්‍රහලොව වූ ප්ලූටෝටත් එපිටින්, ඒ හා ප්‍රමාණයෙන් හා සැකැස්මෙන්ද යම්තාක් දුරකට සමාන ග්‍රහ වස්තූන් කිහිපයක් විද්‍යාඥයින් විසින් සොයාගැනීම සිදු වූ අතර, මේවා වාමන ග්‍රහලෝක වශයෙන් හඳුන්වන්නට යෙදුණා. අවසානයේ එතෙක් කල් ග්‍රහලොවක් ලෙස සැළකූ ප්ලූටෝත් වාමන ග්‍රහලෝක ගොන්නට වැටුණා.
තාරකා විද්‍යා දැනුම එකතු කිරීමට නොතිත් පිපාසයකින් පෙළෙන අප පාඨකයින්ගේ දැනුම වර්ධනය කිරීම උදෙසා මේ වාමන ග්‍රහලෝක අතරින් ප්ලූටෝ හා හවුමෙයා ගැන තොරතුරු අපි පසුගිය ලිපි දෙකකින් ඔබ වෙත ගෙන ආවා. වාමන ග්‍රහලොවක් වූ මකෙමකේ ගැනත් එවැනිම රසබර තොරතුරු රාශියක් අප සතුයි.
මකෙමකේ හඳුනාගැනීම
මකෙමකේ වාමන ග්‍රහලොව මුලින්ම නිරීක්ෂණය කරන්නට යෙදුණේ 2005 වසරේ මාර්තු මස දී තාරකා විද්‍යාඥයින් කිහිප දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමකුයි. මුලින්ම එයට 2005 FY9 නම ලැබුණු අතර තවත් වාමන ග්‍රහලෝක දෙකක් වන ඊරිස් හා හවුමෙයා සොයාගන්නේත් මකෙමකේ සොයාගන්නා ලද එම කණ්ඩායම විසින්ම යි.
මකෙමකේ නම් කොට ඇත්තේ පැසිෆික් සාගරයේ පිහිටන ඊස්ටර් දිවයිනේ රපානුයි වැසියන් අදහන, සරු භාවයට අධිපති දෙවියන් සිහිවීම පිණිසයි. රපානුයි විශ්වාස වලට අනුව මකෙමකේ දේවතාවා විසින් මිනිසා මවා ඇති බව කියැවෙනවා.
මකෙමකේහි විශාලත්වය හා තවත් වගතුග
අප සෞරග්‍රහ මණ්ඩලයේ පිටත ප්‍රදේශයේ දක්නට ලැබෙන දෙවන දීප්තිමත්ම ග්‍රහ වස්තුව ලෙස මකෙමකේ සැළකෙනවා. ප්ලූටෝ ඊට වඩා මදක් දීප්තියෙන් වැඩිව දිස් වෙනවා. මෙම වාමන ග්‍රහලොව කිලෝමීටර 1400ක පළලින් යුතු වන අතර එය දළ වශයෙන් ප්ලූටෝ මෙන් 2/3ක් තරම් වෙනවා. මකෙමකේහි කක්ෂය සමස්ථයක් වශයෙන් ප්ලූටෝ ගේ කක්ෂයට එපිටින් වැටී ඇති අතර තවත් වාමන ග්‍රහ ලොවක් වන ඊරිස්ට වඩා සූර්යයාට ආසන්නයෙන් පිහිටනවා. එසේ වුවත් එය කාලයක දී අනෙකුත් වාමන ග්‍රහලෝක වල කක්ෂයන් අතික්‍රමණය කර සූර්යයාට ළං වෙනවා. මකෙමකේ සිය කක්ෂය ඔස්සේ සූර්යයා වටා එක් වරක් පරිභ්‍රමණය වීමට වසර 310 ක කාලයක් ගන්නවා.
මකෙමකේ රතු පැහැයට හුරු දුඹුරු පැහැයෙන් යුතුව දිස් වෙනවා. මෙලෙස දිස් වීමට හේතුව එහි මතුපිට මීතෙන් ස්ථරයක් තිබීම යැයි විද්‍යාඥයින් අනුමාන කරනවා. ඒවා ඝණ තත්ත්වයෙන්, සෙන්ටිමීටරයක් පමණ දිග පළලින් යුතු පියලි ලෙස ඇතිරී ඇතැයි විශ්වාස කෙරෙනවා. මීට අමතරව මිදීමට ලක් වූ එතේන් හා නයිට්‍රජන් වායූන් ද මෙහි ඇති බවට සාධක හමු වී තිබෙනවා.
පසුගිය දිනෙක මකෙමකේ හොඳින් අධ්‍යයනය කිරීමට විද්‍යාඥයින්ට අවස්ථාව සැලසුණේ එය තාරකාවක් ඉදිරියෙන් ඇදී යාම නිසායි. එසේ නිරීක්ෂණය කිරීමේ දී එහි සැළකිය යුතු තරමේ වායුගෝලයක් නැති බව ඔවුනට හඳුනාගැනීමට හැකි වුණා. එමෙන්ම එය ඊරිස්ට වඩා දීප්තියෙන් වැඩි වූවත් ප්ලූටෝට වඩා දීප්තියෙන් අඩු බවත් ඔවුනට පෙනී ගියා. සෙරෙස් හැර අනෙකුත් සියළුම වාමන ග්‍රහලෝක මෙන්ම කුයිපර් පටියට අයත් මකෙමකේහි කක්ෂය ඉතමත් ඉලිප්සීය එකක් වෙනවා. සූර්යයාට ආසන්නම අවස්ථාවේ දී අභ්‍යාවකාශ ඒකක 38ක් තරම් දුරක් හිරුට ළං වන මෙය උපරිම වශයෙන් අභ්‍යාවකාශ ඒකක 53ක් සූර්යයාගෙන් ඈත් වෙනවා. මකෙමකේ ඉතාම වැඩි වේගයකින් සිය අක්ෂය භ්‍රමණය වන අතර එහි දිනයක් පෘථිවි දිනයකටත් වඩා අඩුයි. මකෙමකේ සිය අක්ෂය වටා එක වටයක් භ්‍රමණය වන්නට වැය කරන්නේ පැය 22.5 ක කාලයක් පමණයි.
මකෙමකේ ගේ චන්ද්‍රයා
මකෙමකේ මෙන්ම එය සතු චන්ද්‍රයා ද විශේෂිත ගුණාංග වලින් යුක්තයි. S/2015 (136472) ලෙස හඳුන්වනු ලබන මේ චන්ද්‍රයා MK 2 ලෙස ද හඳුන්වනු ලබනවා. මෙහි විෂ්කම්භය කිලෝ මීටර 160ක් වන අතර මකෙමකේ ගේ පිටත පෘෂ්ඨයෙන් කිලෝමීටර 20,900 තරම් දුරකින් පිහිටා තිබෙනවා.
මකෙමකේ මෙන් නොව එහි චන්ද්‍රයා ඉතා අඳුරු ස්වභාවයකින් දිස්වෙනවා. මෙයට හේතුව වශයෙන් දැක්වෙන්නේ එම චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලය දීප්තිමත් වායු ඝණ තත්ත්වයෙන් රඳවා තබාගැනීමට තරම් ප්‍රමාණවත් නොවීම යි. දුර්වල ගුරුත්වය නිසා විවිධ සංඝටක මේ චන්ද්‍රයා මතුපිට දී ඌර්ධවපාතනයට ලක් වෙනවා.
මකෙමකේ ගේ චන්ද්‍රයා හබල් දුරේක්ෂයේ පුළුල් ක්ෂේත්‍ර කැමරාවෙන් නිසි ලෙස නිරීක්ෂණය කිරීමට හැකි වූයේ අසාර්ථක උත්සාහයන් කිහිපයකට පසුව 2015 වසරේ අප්‍රේල් මස 3 වනදායි. මෙලෙස නිරීක්ෂණය කිරීමට අපහසු වී ඇත්තේ සෑම විටම පාහේ දීප්තිමත් මකෙමකේ විසින් සිය අඳුරු චන්ද්‍රයා තමන්ගේ ප්‍රහා මණ්ඩලය මඟින් ආවරනය කිරීම නිසා යි.
මකෙමකේ ගේ චන්ද්‍රයාගේ පථයේ ස්වභාවය පිළිබඳව දැනටත් පර්යේෂ්ණ කෙරෙනවා. MK2 චන්ද්‍රයාගේ පථයේ ස්වභාවය වෘත්තාකාර එකක් ලෙස අනාවරණය වුවහොත් එය නිර්මාණය වී ඇත්තේ ප්ලූටෝගේ චන්ද්‍රයින් 5 සෑදුණු ආකාරයටම මීට වසර ගණනාවකට පෙර සිදු වූ ඝට්ටනයක ප්‍රතිඵලයක් ලෙස යැයි විශ්වාස කළ හැකි බව විද්‍යාඥයින් පවසනවා. චන්ද්‍රයා සිය මවු වාමන ග්‍රහලෝකය වටා ගමන් කරන කක්ෂය වෘත්තාකාර එකකට වඩා ඉතා දැඩි ලෙස ඉලිප්සීය එකක් නම් එය අතීතයේ දී කුයිපර් පටියට අයත් නිදහස් වස්තුවක්ව තිබෙන්නට ද හැකියාව තිබෙන බවත්, පසුකාලීනව මකෙමකේ වාමන ග්‍රහලොව විසින් සිය ගුරුත්වාකර්ෂණයට යටත් කරගන්නට ඇති බවත් යන මතය වඩා නිරවද්‍ය විය හැකි බව ඔවුන් පවසනවා.
මකෙමකේත් හවුල් වූ, ‘ග්‍රහලොව‘ ක නිර්වචනය වෙනස් වීම
මකෙමකේ, ඊරිස්, හා හවුමෙයා සොයාගැනීමත් සමඟ එතෙක් සෞරග්‍රහ මණ්ඩලයේ 9 වන ග්‍රහලොව ලෙස නම් කර තිබූ ප්ලූටෝ පිළිබඳව තීරණයක් ගැනීමට විද්‍යාඥයින්ට සිදු වුණා. පැහැදිළිවම අළුතෙන් සොයාගත් ග්‍රහ වස්තූන් තුන හා ප්ලූටෝ ආසන්න වශයෙන් එක හා සමාන ගති ලක්ෂණ ප්‍රකට කළ අතර බ්‍රහස්පති, සෙනසුරු වැනි ඇස්ටරොයිඩ පටියෙන් පිටත පිහිටා ඇති යෝධ ග්‍රහලෝක වල ස්වභාවයට වඩා ප්‍රමාණයෙනුත්, ව්‍යුහයෙනුත් බොහෝ වෙනස් වුණා. මේ නිසා මේ කුඩා ග්‍රහලෝක තොගය ‘වාමන ග්‍රහලෝක’ ලෙස හඳුන්වන්නට විද්‍යාඥයින් තීරණය කරනවා. මීට කුයිපර් පටියට අයත් ප්ලූටෝ, හවුමෙයා, මකෙමකේ, හා ඊරිස් මෙන්ම ඇස්ටරොයිඩ පටියට අයත් සෙරසුත් ඇතුළත් වෙනවා.
ක්‍රි.ව 2006 දී ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය විසින් ‘වාමන ග්‍රහලෝක’ සංකල්පය කරලියට ගෙන ආ අතර යමක් ග්‍රහලෝකයක් වීමට නම් පහත සාධක සැපිරිය යුතු බවට තීරණය කෙරුණා.
“යම් ග්‍රහ වස්තුවක් ග්‍රහලොවක් ලෙස හැඳින්වීමට නම් එය අන් කිසිවක් වටා නොව සූර්යයා වටා පරිභ්‍රමණය විය යුතු අතර, තමන්ගේ ගුරුත්වයෙන් ගෝලාකාර බව රැකගැනීමට හැකියාව තිබීම මෙන්ම තමන් අවට විවිධ අභ්‍යාවකාශීය සුන්බුන් වලින් තොර විය යුතුය.” මෙලෙස සුන්බුන් වලින් තොර වන්නේ ශක්තිමත් ගුරුත්වයක් මඟින් ඒවා ඇදගන්නා නිසායි. මේ අවසානයට සඳහන් කළ කාරණාව සැපිරීමට අනෙකුත් වාමන ග්‍රහලෝක මෙන්ම ප්ලූටෝ ද අපොහොසත් වීම නිසා එය ද වාමන ග්‍රහලොවක් ලෙස තත්ත්වයෙන් පහත හෙළනු ලැබුවා.
කවරයේ පින්තූරය – pinterest.fr