මව් සෙනෙහස පිළිබඳ ව ලොව විවිධ මතිමතාන්තර තිබෙනවා. අයෙක් තර්ක කරන්නේ එය හුදෙක් ආහාර සපයා ගැනීම සහ රැකවරණය කරණකොට ගෙන ඇතිවන මනෝභාවයක් පමණක් බව යි. එය වැඩුණු මිනිසා විෂයෙහි වෙනස් වන්නේ ඔවුන්ගේ ඇති ඉහළ බුද්ධි මට්ටම හා මතකය නිසා බැව් ඔවුන්ගේ තර්කය යි. කෙසේ නමුත් තවත් පිරිසක් පවසන්නේ මව් සෙනෙහස ඉන් ඔබ්බට ගිය, තිරිසන් සතුන්ගේ පවා මනස්වල සදාතනික මතක ඇති කරන ආදරණීය මනෝභාවයක් බව යි.
මේ කාරණාව පිළිබඳව වැඩිදුර පරයේෂණ පවත්වන්නට ලොව විද්‍යාඥයන් කිහිපදෙනෙක් ම කටයුතු කළා. හැරී හාර්ලෝ ඒ අතරින් ඉදිරියෙන් ම සිටිනවා. රීසස් වඳුරන් යොදාගෙන ඔහු සිදු කළ ඇතැම් පර්යේෂණ සම්මතයෙන් ඔබ්බට ගිය,අමානුෂික ඒවා බැව් සමහරකුගේ මතය යි.
සතුන් හා මිනිසුන් යන දෙකොටසට ම අදාළ පර්යේෂණ
හැරී හාර්ලෝ කලක පටන් මිනිස් දරුවන් හා මිනිසුන්ට සමීප නෑකම් කියන වඳුරන් හා චිම්පන්සි පැටවුන් සිය මව කෙරෙහි දක්වන ස්නේහය පිළිබඳ ව දැඩි අවධානයෙන් පසුවුණා. ඔවුන් සිය මව කෙරෙහි ස්නේහය දැක්වීමට හේතු නිසියාකර ව සොයාගන්නට ඔහුට අවැසි වුණා. මේ නිසා ඔහු රීසස් වඳුරන් හා, රෙදි වැනි දේවලින් තැනූ වැඳිරි අනුරූ භාවිතයෙන් අතිශය මතභේදාත්මක පර්යේෂණ රාශියක් සිදු කළා.
එකල ලොව විද්‍යාඥයන් බහුතරයකගේ පිළි ගැනීම වූයේ දරුවන් සිය මව්වරුන්ට ආදරය දක්වන්නේ හුදෙක් සිය පෝෂණ අවශ්‍යතා සපුරාගන්නට බව යි. මේ නිසා සමහර මනෝවිද්‍යාඥයන් මව්වරුන්ට අවවාද කළේ තම දරුවන් වුවමනාවට වඩා වඩාගෙන නොසිටින ලෙස යි. මෙමඟින් එම දරුවන් වැඩිටියන් වූ විටෙක ද මවගෙන් යැපෙන පුද්ගලයන් වනු ඇති බව ඔවුන් පිළිගත් මතය වුණා.
හාර්ලෝගේ පර්යේෂණවලින් හෙළි වූයේ අනෙකක්. ඔහු රැහැන්වලින් තැනූ වැඳිරි අනුරුවක්, කිරි ද සමඟින් වඳුරු පැටවකු අසල තබා, ඒ අසලින් ම කිරි නොමැති ව, රෙදිවලින් තැනූ තවත් වැඳිරි අනුරුවක් තැබූ විට, වඳුරු පැටවා කිරි සහිත රැහැන් අනුරුව පසෙක දමා රෙදිවලින් තැනූ අනුරුව වෙත සමීප වුණා. ඊට අමතර ව මවගෙන් වෙන් කොට තැබූ වඳුරු පැටවුන්ට සමාජීය හැකියා වර්ධනය කරගත නොහැකි වූ බව ද ඔහු ලොවට පෙන්වා දුන්නා.
හාර්ලෝගේ පර්යේෂණ කෙතරම් කුරිරු හා මතභේදාත්මක ලෙස හංවඩු ගැසුණ ද ඉන් කුඩා දරුවන්ට ස්පර්ෂය, ආදරය සහ මවගේ උණුසුම ද ඇවැසි බැව් ලොවට හෙළි වුණා.
හැරී හාර්ලෝ ගේ පසුබිම
හැරී හාර්ලෝ උපත ලැබුවේ 1905 වසරේ ඔක්තෝබර් මස 30 වනදා යි. ඔහුගේ උපන් නම ‘හැරී ඊශ්‍රායෙල්’ වූ අතර, අයෝවා හි ෆෙයාෆීල්ඩ් පෙදෙසේ හැදී වැඩුණු ඔහුට සොහොයුරන් තිදෙනෙක් වුණා. දක්ෂ දරුවෙක් වූ ඔහුගේ දිවියෙහි එක් අවදියක දී ඔහු කෙරෙහි ඔහුගේ මවගේ අවධානය සහ ආදරය දැක්වීම යම් පමණකට සීමා වූයේ, හැරීගේ සොහොයුරෙක් දැඩි ලෙස අසනීප වීම නිසා ඇයට ඔහු කෙරෙහි වැඩි අවධානයක් යෙදීමට සිදු වූ නිසා යි. මේ නිසා හැරී යම් සිත් තැවුලකට මෙන්ම තනිවීමකට ද ලක් වූ බැව් පසුකාලීන ව ඔහු ප්‍රකාශ කර තිබුණා.
සිය උසස් අධ්‍යාපනය සිදුකිරීම උදෙසා ස්ටැන්ෆර්ඩ් විශ්ව්විද්යාලයට අනුයුක්ත වූ හැරී හාර්ලෝ මුල දී ඉංග්‍රීසි සාහිත්‍යය හදාරන්නට වූවත්,එය එතරම් සාර්ථක වූයේ නැහැ. කෙසේ නමුත් මේ සමයේ දී ම ඔහුගේ සිත මනෝවිද්‍යාව කෙරෙහි ඇදී ගියා. සිය විෂය ධාරා වෙනස් කළ ඔහු එම විශ්වවිද්‍යාලයේ ම මනෝවිද්‍යාව හදාරන්නට වුණා. වසර ගණනාවක් මෙලෙස මනෝවිද්‍යාව හදරන අතරතුර ඔහුට බොහො දෙනෙක් කුඩා දරුවන් හා සත්ත්වයන් සිය මව කෙරෙහි ස්නේහයක් දක්වන්නේ ආහාර හා රැකවරණ අවශ්‍යතාව මත පමණක් යැයි යන ප්‍රකාශය අසන්නට ලැබෙනවා. මේ අවස්ථාවේ ඔහුගේ සිතෙහි උභතෝකෝටිකයක් උපන්නේ, තම දිවියේ යම් කලෙක, මවගේ ආදරය සීමා වීම නිසා තමන්ට වූ ළතැවිල්ල මීට පරිබාහිර බැව් හැඟී ගිය නිසා යි. ඒ අනුව එම කුකුස දුරු කරගැනීම සඳහා ඔහු පර්යේෂණ ආරම්හ කළා.
හාර්ලෝගේ ගුරුවරයකු වූ මහාචාර්ය ලුවිස් ටර්මන්, හාර්ලෝට යුදෙව් සම්භවයක් සහිත ඔහුගේ වාසගම වූ ‘ඊශ්‍රායල් ‘ යන්න භාවිත නොකොට ‘හාර්ලෝ’ ලෙස භාවිත කරන ලෙස යෝජනා කරනවා.ඒ අනාගතයේ ඔහුගේ පර්යේෂණ ප්‍රතිඵල සමාජගත වීමේ දී ඔහු යුදෙව්වෙක් වීම අවාසි සහගත විය හැකි බවට ටර්මන්ට හැඟී ගිය නිසා යි. හාර්ලෝ එය පිළිගන්නවා.
1930 වසරේදී සිය උපාධිය සම්පූරණ කර ගැනීමෙන් අනතුරු ව හාර්ලෝට මැඩිසන් හි විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ රැකියාවක් ලැබෙනවා. ඔහු ලොව පරසිදු, ‘මාතෘ ස්නේහ පර්යේෂණය’ සිදුකිරීම ආරම්භ කරන්නේ මෙහිදී යි.
රැහැන් මවගේ සහ පුළුන් මවගේ පර්යේෂණය
විස්කොන්සින් විශ්වවිද්‍යාලයට අනුයුක්ත වීමෙන් පසු හාර්ලෝ වසර 20 ක පමණ කාලයක් වෙහෙස වී වැඩ කළා. කෙසේ නමුත් එම කාලය තුළ, අති සාර්ථක පර්යේෂණයක් සිදු කරන්නට ඔහු හට නොහැකි වුණා. 1957 වසරේ දී ඔහු නිසි අයුරෙන් ‘මාතෘ ස්නේහය’ පිළිබඳ ව පර්යේෂණ කිරීම ආරම්භ කළේ ඉන් අනතුරුව යි.
ලිපියෙහි පෙර සඳහන් කළ අන්දමට එම කාලය වන විට ලොව බොහෝ විද්‍යාඥයන් පිළිගෙන තිබුණේ, ළදරුවන්ට මාතෘ ස්නේහය ඇතිවන්නේ ආහාර කරණකොටගෙන බව යි. මේ නිසා ලොව බොහෝ මව්වරුන්ට වෛද්‍ය උපදෙස් ලැබුණේ සිය දරුවා වුවමනාවට වඩා සුරතල් කිරීමෙන් වලකින ලෙස යි.
හැරී හාර්ලෝ කවදත් මෙම මතයට විරුද්ධව සිටි අයකු වූ අතර, 1957 වසර වන විට, පර්යේෂණයන් හි හොඳ අත්දැකීම් තිබූ ව්‍යක්ත අයකු බවට පත්ව තිබූ නිසා, ඔහු තනිව ම සිය පර්යේෂණ ආරම්භ කරන්නට අදහස් කළා. මේ සඳහා ඔහු තමන් රැකියාව කළ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයක් ම තෝරා ගත් අතර, මිනිසුන්ට සමීප ඥාතීත්වයක් ඇති රීසස් වඳුරන් තම නියැදි ලෙස තෝරා ගත්තා.
හාර්ලෝගේ පර්යේෂණ මාලාව
හාර්ලෝ සිය පර්යේෂණ මාලාව ආරම්භ කරමින් රීසස් වඳුරු පැටවුන් කිහිපදෙනෙක් සම්පූර්ණයෙන් සිය මවගෙන් වෙන් කොට, හුදෙකලාව තැබීමට කටයුතු කළා. මෙලෙස තනි කළ වඳුරු පැටවුන් තුවාල සිදු කර ගන්නටත්, බලා ගත් අත ඔහේ බලා සිටින්නටත් පටන්ගත් බැව් වාර්තාවල දැක්වෙනවා. කාලයාගේ ඇවැඑමෙන් ඔවුන් සමාජ ගත කළ විට එකිනෙකා හා හැසිරීමට උගෙන නොතිබූ අතර, අවසානයේ ආහාර නොගෙන සිට මිය ගියා.
මෙම වඳුරු පැටවුන් තනි කර සිටින විට, ආසන්නයේ වූ රෙදි කැබලිවල එල්ලෙමින් සිටිනු හාර්ලෝ නිරීක්ෂණය කළා. ඒ සාමාන්‍යයෙන් වඳුරු පැටවුන් සිය මවගේ ශරීරයෙහි එල්ලෙන ආකාරයෙනු යි. මේ අනුව ඉදිරි පර්යේෂණ කරන්නට ඔහු ඉටා ගත්තා. සිය දෙවන පර්යේෂණයේ දී ඔහු රැහැන්වලින් සහ, පුළුන් ඔබා රෙදි පාන්කඩවලින් වැඳිරි අනුරූ දෙකක් නිර්මාණය කර, වඳුරු පැටවුන් අසල තැබුවා.
සමහර අවස්ථාවල ඔහු රැහැන්වලින් තැනූ අනුරුව තුළ, සූප්පුවක් සහිත කිරි බෝතලයක් තැබුවේ, සූප්පුව තන පුඩුවක් අයුරෙන් සැකසූ පසුව යි. කෙසේ නමුත් ඔහු අධ්‍යයනය කළේ වඳුරු පැවවුන් වැඩිමනත් ම හැසිරෙන්නේ පුළුන් පිරවූ අනුරුව අවට බව යි. ඔවුන් එයට තුරුළු වී නිදා ගැනීමත් කළා. කිරි බෝතලය රැහැන් අනුරුව තුළ තැබූ විට, එහි ගොස් කිරි උරා බොන වඳුරු පැටවුන්, නැවතත් පුළුන් පිරවූ අනුරුව වෙත ගොස් නිදාගනු ඔහුට නිරීක්ෂණය වුණා. කලාතුරකින් හෝ පුළුන් පිරවූ අනුරුව තුළ කිරි තැබූ විට, වඳුරු පැටවුන් රැහැන් අනුරුව සම්පූර්ණයෙන් අමතක කළා.
හාර්ලෝ නිරීක්ෂණය කළ තවත් විශේෂත ම කරුණක් වූයේ මෙලෙස මව් අනුරුවක් සමඟ වැඩෙන්නට සැලැස්වූ විට වඳුරු පැටවුන් සැබෑ මව්වරුන් සමඟ හැදී වැඩෙන පැටවුන් තරමට ම, හොඳ ස්ථාවරත්වයකින් යුතුව හැදී වැඩෙන බව යි. විශේෂයෙන් එවැනි වඳුරු පැටවුන්, අනුරුව ද සමඟින් සමාජගත කළ විට ඔවුන් වටපිටාව නිරීක්ෂණය කොට, ඒවා ඉගෙනීම ඉතා හොඳින් සිදු කළ අතර, අනුරුව ඉවත් කළ විට බියෙන් වෙවුලා, හඬන්නට වුණා.
හාර්ලෝ වඳුරු පැටවුන් අනුරූ සමඟ තනිවම තබා මෙන් ම, කිහිප දෙනෙක් එක් ව තබා ද පර්යේෂණ සිදු කළා. මෙහිදී සැබෑ මවක් සමඟ පැටවුන් කිහිපදෙනෙක් තැබූ විට ඔවුන් ඉතා හොඳින් පරිසරයට අනුගත වී හැදී වැඩුණු අතර, පුළුන් අනුරුවක් සමඟ තැබූ පැටවුන් ද එසේ ම හොඳින් හැදී වැඩුණා. සැබෑ මවක් හෝ අනුරුවක් සමඟ තනි කළ වඳුරු පැටවුන් ආක්‍රමණශීලී හා බියසුළු වූ අතර, කිසිවක් නොමැතිව වැඩුණු පැටවුන්ට කිසිදු සාමාජයීය හැකියාවක් තිබුණේ නැහැ.
හැරී හාර්ලෝගේ මතබේදාත්මක හෙළිකිරීම
හැරී හාර්ලෝගේ පර්යේෂණ අනුව, කුඩා දරුවකුට වැඩීමේ දී, මවගේ ස්පර්ෂය අනවශ්‍ය බවට වූ මතය බිඳවැටුණා. දරුවන් සිය මවට ස්නේහය දක්වන්නේ ආහාර සපයා ගැනීම සඳහා නොවන බවට ඉන් ඔප්පු වුණා. මේ අනුව මතයක් ඉදිරිපත් කළ ඔහු, දරුවන් මවගෙන් විශේෂයෙන් ම බලාපොරොත්තු වන්නේ ‘ස්පර්ෂය හා සබැඳි ආරක්ෂාකාරී බව’ යන්න ලොවට ගෙන හැර පෑවා. දරුවන්ට නිසි ආදරණීය ස්පර්ෂය ලබා දුනහොත්, ඔවුන් නීරෝගී ව, සමාජයට හොඳින් අනුගත වෙමින්, මිත්‍රශීලී ව හැදී වැඩෙන බැව් ප්‍රකාශ කළ ඔහු, එම ස්පර්ෂය නොමැති ව හැදී වැඩෙන දරුවන් ආක්‍රමණශීලී මෙන්ම බියසුළු වන බැව් පෙන්වා දුන්නා.
හාර්ලෝට සිය පෞද්ගලික ජීවිතයේදී ද නිසි අයුරින් සමාජීය සම්බන්ධතා පවත්වා ගත නොහැකි වුණා. ඔහු තෙවරක් විවාහ වූ අතර, දෙවන බිරිය මිය යාමෙන් පසු නැවතත් විවාහ වූයේ පළමු බිරිය සමඟ යි. එමෙන් ම පසුකාලීනව සත්ත්ව අහිංසාවාදීන්ගෙන් ඔහු වෙත චෝදනා එල්ල වූයේ, වඳුරු පැටවුන් මාස ගණනක් අමානුෂික ලෙස වධ බන්ධනවලට ලක් කරමින් ඔහු සිදු කළ පර්යේෂණ ඉතාමත් පහත් ගණයේ සහ කෲර බැව් පවසමිනු යි. කෙසේ නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් හාර්ලෝ පැවසුවේ, සිය පර්යේෂණ මඟින් ලොව දරුවන් සියල්ලන්ට ‘ආදරය’ ලබා දිය යුතු බැව් තමන් ඔප්පු කළ බව යි. මෙමඟින් ලොව තනිවීමට හා කෲරත්වයට බඳුන් වන බොහෝ දරුවන්ගේ ජීවිත හොඳ මාර්ගයකට වැටෙනු ඇතැයි ඔහු විශ්වාස කළා.