අලුතෙන්ම නිකුත් කරපු සැම්සුන් සමාගමේ Note 7 එකට වෙලා තියෙන ප්‍රශ්නය ගැන මේ වෙනකොට ගොඩක් දෙනා දන්නවා ඇති. ලෝකේ තියෙන දියුණුම උපාංගයක් වුණත් Note 7 එකට පාවිච්චි කරන බැටරි යම් ප්‍රමාණයක ප්‍රශ්නයක් තියෙනවලු. මේ නිසා අලුතෙන් Note 7 එකක් ගත්තු හැම කෙනෙක්ටම ඒක ආපහු පෙට්ටියට දාල නියෝජිතයාට භාර දෙන්න කියලා සැම්සුන් සමාගම ඉල්ලීමක් කරලා තියෙනවා. මොකද මේ ප්‍රශ්නය එසේ මෙසේ එකක් නෙවෙයි, ඔබ සැම්සුන් ආයතනය කියන දේ ඇහුවේ නැතිනම් ඔබේ Note 7 එක පුපුරලා ගිහින් ලොකු හානියක් වෙන්න ඉඩ තියෙනවා.
මේ කතාව අහලා ගොඩක් දෙනා සැම්සුන් සමාගම ගැන තියෙන විශ්වාසය නැති කර ගන්න ඇති. මොකක්ද වුණේ කියලා ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කරලා නැති වුණත් සමහර බැටරි නියම ප්‍රමිතියට හදපු ඒවා නෙවෙයි කියලා මූලික පරීක්ෂණ වලින් තහවුරු වෙලා. ඒත් සැම්සුන් සමාගමට හිනා වෙන්න කලින් මතක තියා ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා; ඔබ පාවිච්චි කරන උපාංග හැම එකකම තියෙන ලිතියම් බැටරිත් මේ විදිහටම පුපුරලා යන්න පුළුවන්! වාසනාවකට එහෙම නොවෙන්න ආරක්ෂක ක්‍රම ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒත් සුළු අතපසුවීමක් වුණොත් මේ එකක හරි ක්‍රියාකාරීත්වය අඩාල වෙලා ඔබ හිතන්නේ නැති විදිහේ දරුණු අනතුරු ඇති වෙන්න පුළුවන්.
අපි අද මේ ලිපියෙන් කතා කරන්න යන්නේ සැම්සුන් සමාගමේ ප්‍රශ්නයටත් වඩා ලිතියම් බැටරි මේ තරම් භයානක ඇයි කියන එකයි. ඒ වගේම ඒ තරම් භයානක දෙයක් මේ තරම් පාවිච්චි වෙන්නේ ඇයි කියන එකත්, අපිට අනතුරක් වෙන්නේ නැතිව ඒවා තියාගන්න පාවිච්චි වෙන ක්‍රම ගැනත්, ඒ ක්‍රම වල සීමා මොනවාද සහ අනතුරු ඇති නොවෙන විදිහට අපි පරිස්සම් වෙන්නේ කොහොමද කියන එකත් දන්න සිංහලෙන් විස්තර කෙරෙනවා.
බැටරියක් කියන්නේ මොකක්ද?
බැටරියක් කියන්නේ කෝෂ එකක් හෝ කිහිපයක එකතුවකටයි. විදුලිය කාලයක් පුරා ගබඩා කරලා තියෙන උපාංගයක් කෝෂයක් කියලා සරලව හඳුන්වන්න පුළුවන්. බොහෝ විට රසායනික ශක්තිය පාවිච්චි වුණත් (රසායනික දේවල් උපයෝගී කරගෙන විදුලිය ගබඩා කරන කෝෂ), විදුලිය (විද්‍යුත් ශක්තිය) කාලයක් පුරා ගබඩා කරලා තියෙන ඕනෑම උපාංගයක් බැටරියක් කියලා සරලව හිතන්න පුළුවන්. කියද්දී පුදුම හිතුණත් පොම්ප කරලා ජලය රඳවලා තියලා අවශ්‍ය වුණාම ජල විදුලිය ගන්න හදපු ජල තටාකයක් පවා බැටරියක් කියලා හැඳින්වූවාට වැරැද්දක් නැහැ. ධාරිතාවයෙන් බැලුවාම ලොකුම බැටරි සේරම මේ වර්ගයේ ඒවා. තවත් ක්‍රම ගණනාවකට විදුලිය ගබඩා කරන බැටරි තියෙනවා.
අපි ඒ අතරින් රසායනික ක්‍රම පාවිච්චි වෙන බැටරි ගැන අවධානය යොමු කරමු. විදුලිය ගබඩා කරලා පස්සේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහට ලෝහ, කාබන්, ද්‍රාවණ සහ වායු වගේ දේවල් අතර ඇති වෙන රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රයෙන් රසායනික බැටරි නිර්මාණය කරනවා. බොහෝ විට අපි එදිනෙදා ප්‍රයෝජනයට ගන්න හැම බැටරියක්ම රසානික බැටරි. මේවා අතර එක පාරක් විතරක් පාවිච්චි කරන්න පුළුවන් බැටරි වගේම නැවත නැවත ආරෝපණය (චාජ්) කරලා පාවිච්චි කරන්න පුළුවන් බැටරිත් තියෙනවා.
ඉස්සර කාලේ එක පාරක් පාවිච්චි කරන්න පුළුවන් බැටරි විදුලි සැපයුම නැති ප්‍රදේශ වල ගොඩාක් ව්‍යාප්ත වුණා. නමුත් දැන් කාලේ හැම තැනම වගේ විදුලිය තියෙන නිසාත්, බැටරියෙන් ලැබෙන ශක්ති ප්‍රමාණය අඩු නිසාත්, නිතර අලුතෙන් ගන්න සිදු වෙන නිසාත්, දැන් වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නේ නැවත ආරෝපණය (charge) කරන්න පුළුවන් බැටරි තමයි. මේවා ඇත්තටම හොයාගෙන දශක ගණනාවක් ගිහින් තිබුණත් වැඩිපුර පාවිච්චියට ආවේ ළඟකදී ඉඳන්.
මෑත කාලීනව වයර් වලින් ප්‍රධාන විදුලියට සම්බන්ධ නොවී වැඩි කාලයක් තියා ගන්න අවශ්‍ය වෙන උපාංග විශාල ගණනක් භාවිතයට ඇවිත් තියෙනවා. ලැප්ටොප්, ටැබ්ලට් පරිගණක, ෆෝන් සහ ඩ්‍රෝන (Drones) මේ අතරින් ප්‍රධානයි. මේවා හැම එකකම අවශ්‍යතාව වෙන්නේ අඩුම බරක්, අඩුම පරිමාවක් තියෙන බැටරියකින් විශාල ශක්තියක් ලබා ගන්න පුළුවන් කම, නැතිනම් ඉහළ “විශිෂ්ට ශක්තියක්” තියෙන එක. (Specific Energy) මේක අපිට බැටරි කිලෝග්‍රෑම් එකකින් ලබා දෙන්න පුළුවන් ජූල් ප්‍රමාණය (Joules per kg) කියලා සරලව තේරුම් ගන්න පුළුවන්. ජූල් කියන්නේ ශක්තිය මනින ඒකකය.
මේ විදිහට අඩුම බරකින් සහ පරිමාවකින් වැඩිම ශක්තියක් ලබා ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ලිතියම් ලෝහය පාවිච්චි වෙන ප්‍රතික්‍රියා. මොකද ලිතියම් තමයි බරින් අඩුම ලෝහමය මූලද්‍රව්‍යය වගේම විද්‍යුත් ධනතාවයෙන් වැඩිම ලෝහය. මේ නිසා අපි කලින් කියපු උපාංග හැම එකකම වගේ දැන් පාවිච්චි වෙන්නේ ලිතියම් බැටරි.
ලිතියම් බැටරි
අපි අද නිතරම පාවිච්චි කරන්නේ ලිතියම් අයන බැටරි වුණත් මම මේ වන තුරු “ලිතියම් බැටරි” කියන වචනය පාවිච්චි කළේ ලිතියම් පාවිච්චි කරලා හදන තවත් බැටරි වර්ගයක් තියෙන නිසයි. ඒ තමයි ලිතියම් මූලද්‍රව්‍යය (Li) පාවිච්චි වෙන බැටරි. මේවායේ විශිෂ්ට ශක්ති ධාරිතාව ඇත්තටම ලිතියම් අයන බැටරි වලටත් වඩා වැඩියි. හැබැයි මේ බැටරිය එක වරක් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ලිතියම් බැටරි බොහෝ විට පාවිච්චි වෙන්නේ කැමරා වලට තමයි. වියදම සැර වුණත් වැඩි වාර ගණනක් ෆ්ලෑෂර් එක පාවිච්චි කරන්න පුළුවන් නිසා ඡායාරූප ශිල්පීන් මේ බැටරි පාවිච්චි කරනවා.
නමුත් අපි කලින් කියපු හැම උපාංගයකටම ආපහු චාජ් කරන්න පුළුවන් වෙන එක ලොකු අවශ්‍යතාවක්. මේ නිසා තමයි ලිතියම් මූලද්‍රව්‍යය වෙනුවට ලිතියම් අයනය (Li+) පාවිච්චි වෙන ලිතියම් අයන බැටරි වැඩිපුර ජනප්‍රිය වුණේ. මේ උපාංග හැම එකකටම බැටරියට සාපේක්ෂව විශාල ශක්තියක් අවශ්‍යයි. ප්‍රායෝගිකව යොදන්න පුළුවන් ලොකුම බැටරිය යෙදුවත් සාමාන්‍යයෙන් ලැප්ටොප් එකක් පැය 10කට වඩා පාවිච්චි කරන්න අමාරුයි. (ඩ්‍රෝන වල බැටරිය නම් අහසේ තියෙද්දී පැයක්වත් තියා ගන්න අමාරුයි) ඒ නිසා නිතර මාරු කරනවා වෙනුවට ධාරිතාව ටිකක් අඩු වුණත් චාජ් කරන්න පුළුවන් බැටරියක් තමයි වඩාත් හොඳ. (පැය 11ක් පාවිච්චි කරලා බැටරිය මාරු කරන ලැප්ටොප් එකක් වෙනුවට පැය 10ක් වැඩ කරලා බැටරිය චාජ් කරන ලැප්ටොප් එකක් හොඳයි නේද?)
ලිතියම් අයන බැටරි
ලිතියම් අයන පාවිච්චි වෙන බැටරි වර්ග ගණනාවක් තිබුණත් මේ හැම එකකටම පොදු ලක්ෂණයක් වෙන්නේ හැම වෙලාවකම තනි කෝෂයකින් සාපේක්ෂව ලොකු වෝල්ටීයතාවක් ලැබෙන එක. මේකට සාමාන්‍යයෙන් ඉලෙක්ටොනික උපාංග වලට පාවිච්චි වෙන ලිතියම් කොබෝල්ට් ඔක්සයිඩ් බැටරි (LiCoO) ඇතුළු බොහෝ වර්ග වල වෝල්ටීයතාව 3.6V සිට 3.8V දක්වා පරාසයක පවතිනවා. ලිතියම් අයන්* පොස්පේට් (LiFePO – *මෙතන අයන් කියන්නේ යකඩ මූලද්‍රව්‍යයට – iron) බැටරි වල වුණත් වෝල්ටීයතාව 3.2V වගේ ඉහළ අගයක්. මේ නිසා බොහෝ ඉලෙක්ට්‍රොනික් උපාංග වලට එක කෝෂයකින් ලැබෙන 3.7Vක විතර වෝල්ට් ප්‍රමාණය ප්‍රමාණවත්. අනෙක් බැටරි වර්ග පාවිච්චි කළා නම් කෝෂ කිහිපයක් අවශ්‍ය වෙනවා.
අනිත් දේ තමයි ලිතියම් අයන බැටරි වලින් එකවර ලොකු ධාරාවක් ලබා ගන්න පුළුවන් කම. විශේෂයෙන් ඩ්‍රෝන වලට අති විශාල ධාරාවක් අවශ්‍ය වෙනවා මෝටර් ක්‍රියා කරවන්න. වෙනත් වර්ග වල බැටරි වලින් ඒ වගේ ධාරාවක් ගන්න බැහැ. මෑතකදී ඩ්‍රෝන ජනප්‍රිය වුණේ මේ ලිතියම් අයන බැටරි (LiPo වර්ගයේ) නිසාමයි. කලින් තිබුණු බැටරි පාවිච්චි කළා නම් බර වැඩි නිසා පියාසර කරන්න බැරි වෙනවා.
ඉතින් මේ වගේ ප්‍රයෝජන ගණනාවක්ම තියෙන ලිතියම් අයන බැටරිය හැම උපාංගයකම පාවිච්චි වෙනවා. ලිතියම් අයන බැටරිය කියන්නේ මෑතක සොයා ගත් වටිනාම දේවල් වලින් එකක්. ඒත් මේ බැටරි වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ලිතියම් වල තියෙන ප්‍රතික්‍රීයකතාවය. ඒ නිසා ඇති වෙන ගැටළු ගැන දැන් කතා කරමු.
ලිතියම් අයන බැටරි වල අඩුපාඩු
ලිතියම් කියන්නේ ඉතාම වේගයෙන් ප්‍රතික්‍රියා කරන මූලද්‍රවයක්. ලිතියම් වලට ප්‍රතික්‍රියා කරන්න අපේ වායුගෝලයේ තියෙන වාතය වුණත් ප්‍රමාණවත්. ඒ නිසා බැටරිය ඇතුලේ තියෙන ලිතියම් අයන වාතය එක්ක ගැටෙන එක වළක්වන වැඩේ තමයි ලිතියම් අයන බැටරියක් නිර්මාණය කරද්දී තියෙන ප්‍රධානම අවශ්‍යතාව. ඒ සඳහා ඇතුලත බැටරිය වාතය නොඑන විදිහට හොඳින් පරිවරණය (ආවරණය) කරනවා. බාල බැටරි වල ප්‍රශ්න ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ මේ පරිවරණය බිඳ වැටෙන එකයි. ලිතියම් වාතය එක්ක ගැටුණු සැණින් ප්‍රතික්‍රියා කරලා ගිනි ගන්න නිසා බැටරිය පුපුරලා යනවා.
හොඳ තත්වයේ බැටරි වල වුණත් තියෙන දෝෂයක් තමයි මේ පරිවරණය ඒ තරම් ශක්තිමත් නැති එක. ඔබේ ෆෝන් එකේ බැටරිය ගලවන්න පුළුවන් නම් නිකමට අරගෙන බලන්න. සාමාන්‍යයෙන් බිම වැටුණට, පොඩ්ඩක් සීරුණාට ප්‍රශ්නයක් නැති වුණත් මේ බැටරි තියුණු උලක් වගේ දේකින් පහසුවෙන්ම සිදුරු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන බොහොම ප්‍රවේශම් වෙන එක වැදගත්. ඔබේ සාක්කුවේ තියෙන ෆෝන් එකේ බැටරියට තියුණු මොනවා හරි ඇනුනොත් අනිවාර්යයෙන්ම ගිනි ගන්නවා. නමුත් බොහෝ හොඳ බැටරි එකවර පුපුරලා යනවාට වඩා එක දිගට ගිනි ගන්න එක තමයි සිදු වෙන්නේ. (පුපුරන තරම් හානියක් නැතත් මේවා ගිනි ගනිද්දී පිට වෙන උෂ්ණත්වය නිසා ගොඩක් අනතුරු සිදු වෙන්න පුළුවන්) නමුත් ෆෝන් ඇතුලේ සීල් කරලා තියෙන බැටරියක් පුපුරා යන්න ඉඩකඩ වැඩියි.
අනික් ප්‍රශ්නය තමයි සැම්සුන් සමාගමේ Note 7 දුරකථනයට වෙලා තියෙන්නේ. ඒකට හේතුව ඊළඟ කොටසින් කියන්නම්. ලිතියම් අයන බැටරියක් උවමනාවට වඩා චාජ් වුණත් (Overcharge) පුපුරලා යන්න ඉඩක් තියෙනවා. ඒ වගේම රත් වෙලා තියෙනකොට චාජ් කරත් පුපුරන්න පුළුවන්. ඉක්මනින් චාජ් කරන්න ලොකු වෝල්ටීයතාවක් යොදා ගන්නකොට වුණත්, ලොකු ධාරාවක් ලබා ගන්නකොට වුණත් පුපුරන්න පුළුවන්. මේකට වැඩිපුරම හේතු වෙන්නේ වේගයෙන් චාජ් කරද්දී බැටරියේ ඇතුලේ හට ගන්නා වායු වර්ග වල පීඩනය. බැටරිය ඇතුලේ පීඩනය වැඩි වෙලා සිදුරු වුනොත් වාතය ඇතුලට ගිහින් ගිනි අරගෙන පුපුරලා යනවා. පිම්බුණු ලිතියම් අයන බැටරි පාවිච්චි කරන එක අනතුරුදායක වෙන්නේ ඒ නිසයි.
ඇයි එහෙනම් මගේ ෆෝන් එකේ බැටරිය පිපිරුණේ නැත්තේ?
කලින් ඡේදය කියවද්දී ඔබට වුණත් මේ තරම් කාලයක් ඔබේ උපාංගවල බැටරි පුපුරලා නොගියේ ඇයි කියලා හිතෙන්න ඇති. මේකට හේතුව මේ හැම භයානක කමක්ම පාලනය කරන්න විශේෂ ක්‍රම රාශියක් පාවිච්චි වෙන එකයි. ඒවායින් ප්‍රධාන ක්‍රම කිහිපයක් ගැන විස්තර පහළින් දැක්වෙනවා. කොහොම වුණත් මේවා හැම එකකම සීමා තියෙනවා කියන එක හොඳින් මතක තියා ගන්න ඕනේ. නුසුදුසු වැඩ කරන්න ගියොත් අනතුරක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.
ඉතා හොඳින් පරිවරණය කිරීම – හොඳ බැටරියක් ඇතුලට වාතය නොයන්න හොඳට පරිවරණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ පරිවරණය යම් දුරකට තාපයට, ගැස්සීම් වලට වගේම සීරීම් වලටත් ඔරොත්තු දෙන විදිහට නිර්මාණය කරනවා. ඇතුලතින් ලොකු පීඩනයක් ආවොත් පැලිලා යනවා වෙනුවට ටිකක් දුරට පිම්බෙන්න පුළුවන් විදිහටයි හදලා තියෙන්නේ. මේ නිසා සාමාන්‍ය පාවිච්චියේදී හොඳ වර්ගයේ උපාංගයකින් අනතුරක් වෙන්නේ කලාතුරකින්.
උවමනාවට වඩා චාජ් නොකිරීම – බැටරි යොදා ගන්න උපකරණයේ වගේම බැටරිය ඇතුලෙත් තියෙන සුවිශේෂී පරිපථ වලින් බැටරියේ ධාරිතාව ඉක්මවලා චාජ් වෙන එක වළකනවා. ඔබේ බැටරියේ ධාරිතාව 100% වෙන අවස්ථාව හරියට හඳුනා ගෙන චාජ් වෙන එක නවත්වන්නේ මේ පරිපථ වලින්. යම් තාක් දුරට මේ කාරණාවත් Note 7 එකේ ගැටළුවට බල පෑවා, මොකද බාල බැටරියේ පරිපථයෙන් දුරකතනයට ලබා දෙන දත්ත වැරදියි. අවශ්‍ය හරි ප්‍රමාණය එතකොට හඳුනා ගන්න බැරි නිසා වැඩිපුර චාජ් වෙලා බැටරිය පුපුරනවා.
නියමිත ධාරාව සහ වෝල්ටීයතාව ලබා දීම – ලිතියම් අයන බැටරියක් චාජ් කරද්දී මේ තරම් වැදගත් දෙයක් නැහැ. අපි කලින් කිව්ව විදිහට Note 7 එකේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ වැඩේ හරියට නොකරන එක. බැටරිය චාජ් වෙද්දී නිපදවෙන වායු වර්ග ආපහු උරාගෙන සමතුලිත වෙන්න පුළුවන් වේගයෙන් තමයි චාජ් කරන්න අවශ්‍ය. ඒත් ඉක්මණට උපාංග චාජ් කරන්න දැන් ලොකු ඉල්ලුමක් තියෙන නිසා ඉහළ වෝල්ටීයතා සහ ධාරා යොදාගෙන ඉක්මණින් බැටරි චාජ් කෙරෙනවා. හැබැයි මේක හරිම පරිස්සමෙන්, දැනගෙන කරන්න ඕන වැඩක්. උවමනාවට වඩා රත් වෙනවා නම් වෝල්ටීයතාව සහ ධාරිතාව අඩු කරලා ආරක්‍ෂිත මට්ටමට ගෙන එන්න අවශ්‍යයි. චාජ් වෙන්න ගහලා තියෙද්දී බැටරි පුපුරලා යන්නේ මේ වැඩේ හරියට නොකරන චාජර් පාවිච්චිය නිසා.
අධික ශක්තියක් එකවර ලබා ගැනීම – ලොකු කාර්යක්ෂමතාවක් අවශ්‍ය වැඩක් කරද්දී බැටරි රත් වෙන එක ඉලෙක්ට්‍රොනික් උපාංග පාවිච්චි කරන අපි කාටත් හුරුපුරුදු අත්දැකීමක්. ඕනෑම උපාංගයක් හදනකොට බැටරියෙන් ලබා ගන්න උපරිම ධාරාව ගැන හොඳ අවබෝධයක් උපාංග නිෂ්පාදකයාට තියෙන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට වඩා ලොකු ශක්තියක් ලබා ගන්නවා නම් බැටරිය රත් වෙනකොට ඒක සීමා කිරීම අත්‍යාවශ්‍යයි. හොඳ උපාංග වල මේ සීමා ඉක්මවා නොයන විදිහට ආරක්ෂක ක්‍රම පාවිච්චි වෙනවා. නමුත් බාල බැටරියක් යෙදුවොත් සමහරවිට ආරක්ෂිතයි කියලා හිතෙන ධාරාවවත් ලබා දෙන්න බැරිව පුපුරලා යන්න පුළුවන්. Note 7 එකේ අනිත් ප්‍රධානම ප්‍රශ්නය වුණේ මේ විදිහේ බාල බැටරියකින් ලොකු ධාරාවක් ගන්න ගිය එකයි. පිපිරීම් වැඩිම ගණනක් වාර්තා වෙන්නේ ලොකු කාර්යක්ෂමතාවක් අවශ්‍ය වැඩ කෙරෙන වෙලාවල් වලදී.
මේ නිසා Note 7 එකේ බැටරිය හෙමිහිට (අඩු ධාරාවක් සහ වැඩි කාලයක් යොදාගෙන) සහ අඩු ප්‍රමාණයකට (60% ක උපරිමයකට වගේ) චාජ් කරලා, ආපහු ලබා ගන්න ධාරාවේ උපරිමය සීමා කරලා යම් ආරක්ෂාවක් ලබා දෙන්න පුළුවන්. මේ වැඩේ කරන ඇප් වුණත් කිහිපයක්ම නිර්මාණය වෙලා තියෙනවා. ඒවා යොදාගෙන බාල බැටරියකට වුණත් යම් දුරකට ආරක්ෂිතව ක්‍රියා කරන්න පුළුවන්. නමුත් ඒක මොන තරම් දුරකට සාර්ථකද කියන එක නම් හිතලා බලන්න වෙනවා. ඔබට සාමාන්‍යයෙන් කරන්න තියෙන හොඳම වැඩේ දුරකතනය හදපු සමාගමට අවනත වෙන එකයි.
දැනුවත් කිරීම – මේ හැම දේම තිබුණත් ලිතියම් අයන බැටරිය භයානකයි කියන එක පාරිභෝගිකයන්ට දන්වන එකත් අනතුරු අඩු කර ගන්න හොඳම ක්‍රමයක්. බැටරිය මතුපිටත්, සමහර විට උපාංගය එක්ක ලැබෙන උපදෙස් පොතෙත් බැටරිය අනතුරු වලින් ආරක්ෂා කර ගන්න විදිහ ගැන සඳහන් වෙනවා. විශේෂයෙන් බාල චාජර් යොදා ගන්න එක, බැටරිය ගින්නට හෝ තද උණුසුමට නිරාවරණය කරන එක, සාමාන්‍ය කසල බඳුන් වලට දාන එක, බැටරි තැලීම, සිදුරු කිරීම සහ ආවරණය ඉවත් කිරීම වගේ දේවල් අනතුරුදායකයි කියලා සංකේත වලින් සහ වචනයෙන්ම වුණත් සඳහන් කෙරෙනවා. ඒවා නියමිත පරිදි පිළිපදිනවා නම් සාමාන්‍යයෙන් අනතුරු සිදු වෙනවා හරිම අඩුයි. යම් නිෂ්පාදකයෙක් දුරකථනය ආපසු එවන්න කියනවා නම් ඒකට අවනත වෙන එකත් මේ කොටසටම අයත්. මේ ලිපියෙන් අපි කරන්නෙත් ඔබව දැනුවත් කරන එකනේ. යකා වුණත් දැනගෙන ආශ්‍රය කරනවා නම් හානියක් නැහැ.
ඔබට මතකයට ගන්න තියෙන දේ
මේ ලිපිය කියවලා ඔබ පොදුවේ බැටරි ගැනත්, විශේෂයෙන්ම ලිතියම් බැටරි ගැනත් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා විශ්වාස කරනවා. අපි නිතරම පාවිච්චි කරන ලිතියම් බැටරි අපි හිතනවාට වඩා භයානකයි. නිවැරදි විදිහට පාවිච්චි කළේ නැතිනම් අපිට පහසුවක් සලසන උපාංග අපිටම අනතුරක් කරන්න හොඳටම ඉඩ තියෙනවා.
පොඩි කාලේ සාමාන්‍ය වියලි බැටරි ගලවලා ඇතුලේ තියෙන දේවල් නිරීක්ෂණය කරන එක බොහෝ දෙනාට තියෙන අත්දැකීමක්. අපිට දීලා තිබුණු එකම උපදෙස බැටරි අල්ලලා අත සෝදා ගන්න කියන එකයි. ඒ නිසා පරණ උපාංගයක තියෙන බැටරියක් ගලවලා බලන්න ඔබටත් හිතෙන්න පුළුවන්. නමුත් හොඳට මතක තියා ගන්න ලිතියම් බැටරියක් ගලවන්න ගියොත්, සිදුරු වුණොත් අනිවාර්යයෙන්ම ගිනි ගන්නවා. බොහෝ විට පුපුරලා යන්නත් පුළුවන්. මම මේ කියන දේ සැකයි නම් යූටියුබ් එකේ හරි, වෙනත් තැනක හරි බලලා ඔබම තහවුරු කර ගන්න.
ඒ නිසා ඔබේ දරුවන්ට වුණත් ඒ වගේ දේවල් ගැන කියා දෙන එක හරිම වැදගත්. දැන් කාලේ පොඩිම ළමයින් වුණත් ලිතියම් බැටරි පාවිච්චි වෙන උපාංග අවට නිතර සැරිසරනවා. පොඩි ළමයෙක් අතට මේ වගේ බැටරියක් ලැබුණොත් සිදුරු කරන්න, ගින්දරට අල්ලලා බලන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා. ප්‍රතිඵලය හරිම භයානක වෙන්න පුළුවන්. යම් දෙයක් වුණාට පස්සේ පිළියම් යොදන එකට වඩා දැනුවත් වෙලා පරිස්සම් වෙන එක හොඳයි නේද?
මේ ලිපිය share කරලා කවුරුත් දැනුවත් කරන්න ඔබට පුළුවන්. මේ ලිපිය ගැන ඔබේ අදහස් වගේම යම් මගහැරුණු දෙයක් තියෙනවා නම් ඒ ගැනත් අපේ ෆේස්බුක් එකේ අදාළ පොස්ට් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් දැනුම පිරුණු ලිපියකින් හමු වෙමු.
මුලාශ්‍රය: wikipedia