යම්කිසි ඖෂධයක් වෙළඳපලට නිකුත් කිරීමට පෙර සායනික අත්හදාබැලීම්වලින් සාර්ථක ප්‍රතිපල පෙන්විය යුතු ය. නිසි සායනික අත්හදාබැලීම් සිදුකර නොමැති ඖෂධවල ගුණ අගුණ නිගමනය කිරිම, සහ ජනතාවට එම ඖෂධ නිකුත් කිරීම ඉතා භයානක කාර්යයකි. අනෙක් අතට, ඖෂධ නිපදවන සමාගම් ද අසාර්ථක සායනික අත්හදාබැලීම් ඇතැම්වා යට ගැසීමට උත්සාහ කරන්නේ එමඟින් ඔවුන්ගේ කිර්තිනාමයට හානියක් වේ ය යන බිය නිසා ය. නමුත් මේ සම්බන්ධ නීති හා ආචාරධර්මයන් නිසා එවැනි සිදුවීම් බොහොමයක් ලොවට අනාවරණය වෙයි. මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ, එලෙස දරුණු ලෙස අසාර්ථක වූ සායනික අත්හදාබැලීම් 5ක විස්තරයකි.
මිනෙසෝටා විශ්වවිද්‍යාලයයේ Seroquel අත්හදාබැලීම
“මගේ පුතා ඩෑන්, මීට වසර පහකට පමණ පෙර මිනෙසෝටා විශ්වවිද්‍යාලයයෙන් සිදුකළ සායනික අධ්‍යයනයක දී මියගියා. ඔහුගේ මරණයට පෙර කිසිදු රෝග විනිශ්චයක් සිදුකළේ නැහැ. මම මාස පහක් තිස්සේ ඔහුව ඉන් ඉවත්කර ගන්නට දැරූ උත්සාහය අසාර්ථක වුණා”
සිය පුත්‍රයාගේ අකල් මරණයෙන් පසු මේරි වයිස් මෙම පණිවිඩය ලොවට පතුරුවාහැරියේ, ලෝකයම මවිත කරවමිනි.
වසර 2003 දී මේරි වයිස්ගේ පුත් ඩෑන් මාකින්සන් භින්නෝන්මාදය නම් දරුණු මානසික රෝගය නිසා වෛද්‍ය ආයතනයකට ඇතුළත් කරන ලද්දේ ප්‍රතිකාර සඳහා ය. ඔහුගේ වෛද්‍යවරයා වූයේ මිනෙසෝටා විශ්වවිද්‍යාලයයේ මනෝවෛද්‍ය අංශයේ මහාචාර්ය, වෛද්‍ය ස්ටීවන් ඕල්සන් නම් අයෙකි. මුල දී ඔහුගේ කැමැත්ත රහිතව ඔහුව වෙනත් නේවාසික ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කෙරුණ ද පසුව ඔහු එයින් නිදහස් කර පළමු ආයතනයටම ඇතුළත් කෙරුනේ, ඔහු එම ආයතනයෙන් ලබාදෙන සියලු වෛද්‍ය උපදෙස් පිළිපදින පොරොන්දුව මත ය.
ඉන් ටික කලකට පසු වෛද්‍ය ඕල්සන් ඔහුව බහුජාතික ඖෂධ සමාගමක් වන AstraZeneca සඳහා මිනෙසෝටා විශ්වවිද්‍යාලයයෙන් දියත් කළ, භින්නෝන්මාදය සඳහා දෙන ඖෂධයකට සායනික අත්හදාබැලීම් සිදුකරන වැඩසටහනකට යොමුකළේ ය. ඩෑන් මාකින්සන් මෙම අත්හදාබැලීමෙන් ඉවත්කරගන්නට ඔහුගේ මවට අවශ්‍ය වූ නමුත් පර්යේෂකයින් ඔහු දිගින් දිගටම සායනික අත්හදාබැලීමට යොදා ගත්තේ, එයින් ඉවත්වුවහොත් පෙර කි නේවාසික ප්‍රතිකාර ආයතනයකට යොමුකරන බවට තර්ජනය කරමිනි. සිය දරුවා සියදිවි නසාගැනීමට ඉඩ ඇතැ යි මේරි වයිස් පර්යේෂක කණ්ඩායමට අනතුරු ඇඟවූවත්, ඔවුන් එය ගණනකට ගෙන නැත. අවසානයේ, 2004 වසරේ මැයි මස 08 දින මාකින්සන් දිවි තොරකාර ගත්තේ ය.
සිය පුතුගේ වියෝවට වගකිවයුත්තේ මිනෙසෝටා විශ්වවිද්‍යාලයයේ බලධාරීන්යැ යි මේරි වයිස් චෝදනා කළත් බලධාරීන් විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කෙරිණි. නමුත් වසර ගණනක් තිස්සේ ඇදීගිය පෙත්සම් හා නඩු හමුවේ මිනෙසෝටා විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ ආචාරධර්ම පිළිබඳ ගැටළුව කරළියට පැමිණි විට මේරි වයිස්ට හා රජයට වන්දි හා දඩ ගෙවන්නට වෛද්‍ය ඔල්සන්ට සහ AstraZeneca සමාගමට සිදුවූ අතර, මානසික රෝගයකින් පීඩා විඳින්නන් සායනික පර්යේෂණ සඳහා යොදාගැනීම සම්බන්ධ නීති අණපනත් රජය විසින් දැඩි කෙරිණි.
ප්‍රංශ Biotrial ඛේදවාචකය
ප්‍රංශ ඖෂධ සමාගමක් වන Biotrial සමාගම 2016 ජනවාරි මාසයේ දී, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ මනා සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු පුද්ගලයින් පිරිසක් කාංසාව, වේදනාව, හා ඔක්කාරය ආදී රෝග ලක්ෂණවලට ප්‍රතිකාර ලෙස නිපදවන ලද නව ඖෂධයක සායනික පර්යේෂණයක් සඳහා බඳවාගත්තේ ය. ඉන්, හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට අදාළ ඖෂධය උපරිම මාත්‍රාවකින් ලබාදුන් දවසේ එක පුද්ගලයෙකු රෝගී වී රෝහලට ඇතුළත් කළ නමුත්, පසුවදා ඔහුගේ ප්‍රගතිය පිළිබඳ සොයා නොබැලූ ආයතනය අනෙක් පුද්ගලයින් පස්දෙනාට ද ඖෂධය ලබාදුනි. ඉන් සුළු වෙලාවකට පසු රෝහලෙන් දැනුම් දුන්නේ රෝගීව සිටි පුද්ගලයාගේ තත්ත්වය බරපතල බව යි. එදිනම ඔහුගේ මොළය මියගොස් ඇති බව පසුව ආරංචි විය. දෙවැනි මාත්‍රාව ලබාගත් පුද්ගලයින් 5න් හතරදෙනෙකු ද රෝගී වීම නිසා රෝහලට ඇතුළත් කිරීමට සිදුවිය. වෛද්‍යවරුන් පවසා තිබුණේ ඉන් තිදෙනෙකුටම සුව කළ නොහැකි ලෙස මොළයට හානි වී ඇති බව යි. සායනික පර්යේෂණය එවිට නවතා දැමුණි.
පරීක්ෂණ සිදුවෙද්දී, එක් ප්‍රංශ පුවත් නාලිකාවක් වාර්තා කළේ මෙම ඖෂධය පූර්ව අත්හදාබැලීම් සඳහා මුලින්ම සුනඛයින්ට ලබා දුන් බවත්, එම සුනඛයින් මොළයට හානිවීම සහ මරණයට මුහුණ දුන් බව යි. එසේ තිබිය දී එම ඖෂධය මිනිසුන්ට ලබා දුන්නේ ඇයි ද යන ප්‍රශ්නය මතුවිය. රජය මෙයට මැදිහත් වූ අතර අදාළ ඖෂධය සඳහා වන සියලු පර්යේෂණ කටයුතු අත්හිටවනු ලැබිණු අතර පර්යේෂණයට සහභාගීවූවන්ට වන්දි ලබාදෙන ලදී.
උදෑසන අපහසුතාවයට තැලිඩොමයිඩ්
තැලිඩොමයිඩ් නමැති ඖෂධය පළමුවරට නිෂ්පාදනය කරන ලද්දේ මූලික වශයෙන් නින්ද නොයෑමේ ප්‍රතිකාර කිරීම සඳහා ය. අද වෙද්දී මෙම ඖෂධයේ භයානකකම දන්නා මුත් 1960 දශකයේ දී බොහෝ දෙනා ඒ පිළිබඳව දැන සිටියේ නැත. ’61 වෙද්දී ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරයෙකු මෙම ඖෂධය ගැබිණි කාන්තාවන්ගේ උදෑසන අපහසුතාවලට ද ප්‍රතිකාරයක් ලෙස ලබාදීම ඇරඹුවේ ය. ගැබිණි කාන්තාවන් එය භාවිතයේ ප්‍රතිපලයක් ලෙස එකල උපත ලැබූ ළමුන් 10,000කට අධික සංඛ්‍යාවක් ආබාධිතභාවයට පත්විය.
පේටන්ට් බලපත්‍ර හා ඖෂධය අනුමත කිරීමේ අදියරේ දී පර්යේෂකයන් සතුන් යොදා ගනිමින් මෙම ඖෂධය පරීක්ෂා කර ඇති නමුත් එමඟින් සතුන්ට විශාල බලපෑමක් නැතැ යි නිරීක්ෂණය කර තිබුණි. එමෙන්ම මෙම ඖෂධය අධික මාත්‍රාවලින් ලබා ගැනීම වුව ද මරණීය නොවූ බැවින් එය ආරක්ෂිතයැ යි නිගමනය කෙරුණු අතර, 1956 වන විට එය ලොව පුරා බෙදාහැරීම ඇරඹුණි. ඖෂධ සමාගම සහතික වූයේ එහි කිසිදු අතුරු ආබාධයක් නැති බව යි. කළලවලට සිදුවෙන හානිය පිළිබඳව අනාවරණයෙන් පසු, 1962 දී මෙම ඖෂධය වෙළඳපොළෙන් ඉවත් කෙරිණි.
ඖෂධ නියාමනය සඳහා වූ නීති ශක්තිමත් කිරීමට තැලිඩොමයිඩ් සිදුවීම විශාල හේතුවක් බවට පත්වුණි.