නාසා ආයතනය මෙහෙයවන “Artemis (ආටෙමිස්)” වැඩසටහන, අභ්‍යවකාශ ගවේෂණයේ නව පරිච්ඡේදයක් ඇරඹීමට බලාපොරොත්තුවෙන් පසුවන ව්‍යාපෘතියක්. චන්ද්‍රයා ඉලක්ක කර ගනිමින් මීට වසර 50 කට පමණ පෙර ඇරඹූ “ඇපලෝ” වැඩසටහනටත් වඩා දැවැන්ත සහ සංකීර්ණ ක්‍රියාදාමයක් ලෙස “ආටෙමිස්” ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේවි.
එබැවින්, නාසා ආයතනයට අමතර ව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය. කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය, ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සහ තවත් සමාගම් කිහිපයක් “ආටෙමිස්” වැඩසටහන සමඟ සහයෝගී ව කටයුතු කරමින් සිටිනවා.
ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් සමඟ සැසඳීමේ දී “Artemis” වැඩසටහන විශේෂ වන කරුණු බොහෝමයක් තිබෙනවා. ඒ සියල්ල අපට මෙසේ සාරාංශගත කළ හැකි යි.
මෙවර මිනිසුන් සඳ වෙත යැවීමෙන් පමණක් ඔවුන් සෑහීමට පත් වන්නේ නැහැ. එහි රැඳී සිටීමට අවශ්‍ය පසුබිම පවා ඔවුන් සකසනු ඇති!
මෙහෙයුම් මාලාවක්
ඇපලෝ ව්‍යාපෘතිය මෙන් “Artemis” ක්‍රියාත්මක වන්නේත් මෙහෙයුම් මාලාවක් වශයෙන්. ඒවා කාර්ය මණ්ඩලයක් සහිත හෝ රහිත මෙහෙයුම් වශයෙන් සැලසුම් වන අතර, සඳ වටා කක්ෂයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදි කිරීම කෙරෙහිත් අවධානය යොමු වී තිබෙනවා.
දැනට “Artemis” ව්‍යාපෘතිය විස්තර වන්නේ අදියර තුනක් යටතේ යි. ඊටත් ඔබ්බෙන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධ තොරතුරු අපට හමු වුණත්, පෙර අදියරේ සාර්ථකත්වය මත ඉදිරි අදියර රඳා පවතිනවා. පළමු අදියර (Artemis I) සහ දෙවැනි අදියර (Artemis II) වෙන් වන්නේ පරීක්ෂණ පියාසැරි සඳහා යි.
Artemis I
කාර්ය මණ්ඩලයක් නොමැති ව ක්‍රියාත්මක වූ පළමු අදියර, පරීක්ෂණ පියාසැරියක් වශයෙන් 2022 නොවැම්බර් 16 වැනිදා සිදු වුණා. එහි දී ලෝකයේ බලවත් ම රොකට්ටුවක් වන “SLS (Space Launch System)” හි කාර්ය සාධනය පරීක්ෂා කළ අතර, එමඟින් අභ්‍යවකාශ ගත කිරීමට සූදානම් කොට තිබූ “Orion” නම් අභ්‍යවකාශ යානයේ ක්‍රියාවලියත් නීරික්ෂණයට බඳුන් වුණා. 2022 දෙසැම්බර් 11 වැනිදා “Orion” නැවත පෘථිවිය ට ළඟා වූ අතර, මෙහෙයුම් මාලාවේ දෙවැනි අදියර සඳහා අවශ්‍ය පදනම සපයා දුන්නා.
Artemis II
Artemis II යනු 2024 අගභාගයේ දී පමණ සිදු කිරීමට සැලසුම් කර ඇති අදියරක්. ව්‍යාපෘතියේ මෙම අදියර වඩාත් විශේෂ සහ ඓතිහාසික වන්නේ, ඊට කාර්ය මණ්ඩලයක් ඇතුළත් ව තිබීම යි. ගගනගාමීන් සිව්දෙනකු ගේ නම් ඒ සඳහා ප්‍රසිද්ධ කර තිබෙනවා.
නාසා ගගනගාමී සහ අණදෙන නිලධාරී රීඩ් වයිස්මන්, නියමු වික්ටර් ග්ලෝවර්, මෙහෙයුම් විශේෂඥ ක්‍රිස්ටිනා කෝච්, සහ ජෙරමි හැන්සන් එම සිව්දෙනා වන අතර, ජෙරමි හැන්සන් නියෝජනය කරන්නේ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය යි.
ආසන්න වශයෙන් දින දහයක පියාසැරියක් ලෙස සැලසුම් කර ඇති මෙම අදියරේ දී කාර්ය මණ්ඩලයේ අභ්‍යවකාශ ගවේෂණ හැකියාවන් පරීක්ෂා කිරීම, “SLS” රොකට්ටුව සහ “Orion” අභ්‍යවකාශ යානා ගගනගාමීන් සහිත ව පරීක්ෂා කිරීම, සහ චන්ද්‍රයා මතුපිට ඉදිරි මෙහෙයුම් කටයුතු සඳහා පදනම සකස් කර ගැනීම, යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත යි.
Artemis III
අදියර දෙකක් යටතේ සිදු වූ පරීක්ෂන ධාවනවල උච්චත ම අවස්ථාව තෙවැනි අදියරත් සමඟ එළඹෙනු ඇති. එය 2025 දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙහි දී ගමන් ගන්නා කාර්ය මණ්ඩලය සඳ මත ගොඩබැස්වීමට සැලසුම් කරන අතර, ඔවුන් සඳෙහි භූ විද්‍යාව අධ්‍යයනය කරමින් සාම්පල ලබාගැනීම, ඡායාරූප සහ වීඩියෝගත කිරීම්, නිශ්චිත විද්‍යාත්මක අරමුණු සපුරාලීම සඳහා වෙනත් දත්ත රැස් කිරීම වැනි කටයුතු සිදු කරනු ඇති.
තෙවැනි අදියරේ සාර්ථකත්වය මත “Artemis” ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු තීරණය වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒවා Artemis IV, Artemis V, ආකාරයෙන් නම් කළ හැකි වුවත්, මෙතැන් සිට අදියර යටතේ නොව ව්‍යාපෘතියට යෝජනා වී ඇති විශේෂ අංග වෙත පමණක් අවධානය යොමු කරමු.
“The Gateway”
Artemis වැඩසටහනේ වැදගත් ම අංගයක් වන “The Gateway”, සඳ වටා කක්ෂගත වන බහුකාර්ය මධ්‍යස්ථානයක් ලෙස හැඳින්විය හැකි යි. එය දිගු කාලීන ව චන්ද්‍රයා මතුපිටට ළඟාවන මිනිසුන් සඳහා අවශ්‍ය පහසුකම් සපයන අතර, වඩාත් ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ සඳහා වූ වේදිකාවක් ලෙසත් ක්‍රියා කරනු ඇති. නාසා ආයතනය වෙනත් වාණිජ සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ “The Gateway” ස්ථාපිත කිරීම සඳහා එක්වීමට අදහස් කරනවා.
මේ සියල්ලට ම වඩා ආකර්ෂණීය වන්නේ සඳ මත රැඳී සිටීමේ අපේක්ෂාව Artemis වැඩසටහන හරහා සඵල කර ගැනීමේ උත්සාහයක ඔවුන් නිරත වන නිසා යි. මෙහෙයුමේ අන් සියලු අංග සහ ක්‍රියාකාරකම්වලට වඩා අභියෝගයක් එල්ල වන අවස්ථාව වන්නේත් මේ අපේක්ෂාව යි.
“Artemis Base Camp”
සඳ මත කඳවුරක් ගොඩනැඟීම ඉතා දුෂ්කර ක්‍රියාවක්. නමුත්, තාක්ෂණික දියුණුව සහ අලුත් දැනුම් පද්ධති ගොඩනඟා ගැනීමට නම් අභියෝගවලට මුහුණ දිය යුතුම යි. යෝජිත චන්ද්‍ර කඳවුර ගොඩනැඟීමේ දී බලශක්ති උත්පාදක යන්ත්‍ර, වාහන සහ වාසස්ථානවල ව්‍යුහාත්කම කරුණු සම්බන්ධයෙන් අලුතෙන් ම සිතීමට සිදු වෙනවා.
සඳ මත මිනිසුන් ගොඩබැස්සවීමට මත්තෙන් පර්යේෂණ පියාසැරි දෙකක් (Artemis I සහ II) සැලසුම් වූ බව අප සඳහන් කළා. එසේ නම්, සඳ මත කඳවුරක් ඉදි කිරීම පෙර එහි ප්‍රායෝගිකත්වය වටහා ගැනීම සඳහා තවත් පර්යේෂණ මට්ටමේ මෙහෙයුම් කිහිපයක් අවශ්‍ය වනු ඇති. එබැවින්, සඳ මතුපිට වාසස්ථාන ගොඩනැඟීම 2030 ට පෙර ආරම්භ නොවන බව යි පැවසෙන්නේ. කෙසේ නමුත්, චන්ද්‍ර කඳවුරේ අවශ්‍යතා සැලසුම් වන ආකාරය සම්බන්ධ සංකල්පනීය කරුණු දැනටමත් එකතු වෙමින් පවතිනවා.
කඳවුරේ සන්නිවේදනය
“Lockheed Martin” සමාගමට අනුබද්ධිත ආයතනයක් වූ “Crescent Space”, අභ්‍යවකාශ මෙහෙයුම් මූලික කරගත් යටිතල පහසුකම් සඳහා ම වෙන් වූ ආයතනයක්. සඳ මත කඳවුරක් ගොඩනැඟීමේ දී සන්නිවේදන පද්ධතිය ගොඩ නඟන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට සැලසුමක් තිබෙනවා.
“ඔබ අලුත් මහල් නිවාසයකට යන විට මුලින්ම ඔබ ගේ දුරකථනය සහ අන්තර්ජාල පහසුකම් සම්බන්ධ කරගත යුතු බව සිතන්න. ප්‍රාරම්භක පියවර වන්නේ සන්නිවේදනය යි.”
“Crescent Space” හි ප්‍රධාන විධායක නිලධාරී ජෝ ලැන්ඩන්, සන්නිවේදන අවශ්‍යතාවේ වැදගත්කම පැහැදිලි කරන්නේ ඒ අයුරින්. ඔවුන්ට දැනටමත් අනාගත චන්ද්‍ර කඳවුරේ අන්තර්ජාල සහ GPS සපයන්නා බවට පත් වීමේ අවශ්‍යතාවක් තිබෙනවා. පෘථිවිය සහ චන්ද්‍රයා අතර බාධාවකින් තොර ව සබඳතා පවත්වා ගැනීම සඳහා එකමුතුව ක්‍රියා කරන කුඩා චන්ද්‍රිකා පද්ධතියක් තැනීම හරහා සන්නිවේදන අභියෝගය ජය ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
සූර්ය ශක්තියට වැඩි ඉඩක්
මීලඟ අභියෝගය වන්නේ බලශක්තිය යි. ඒ සඳහා සූර්ය ශක්තිය වැඩි වශයෙන් භාවිත කිරීමට නාසා ආයතනය අදහස් කරනවා. ඊට අවශ්‍ය සූර්ය පැනල සංවර්ධනය කිරීම සඳහා දැනටමත් ඔවුන් සමාගම් කිහිපයක් තෝරාගෙන තිබෙනවා. “Astrobotic” යනු ඉන් එක් සමාගමක්.
කඳවුර චන්ද්‍රයා ගේ දක්ෂිණ ධ්‍රැවය ආශ්‍රිත ව ගොඩනැඟීමට සැලසුම් කරන බැවින්, සූර්ය පැනල පිහිටුවන ආකාරය සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීමට සිදු වෙනවා. උක්ත සඳහන් ප්‍රදේශයට සූර්යයා යන්තම් ක්ෂිතිජයට ඉහළින් එබී බලන ආකාරයෙන් උදා වීම ඊට හේතුව යි. එබැවින්, සූර්ය පැනල සිරස් අතට පිහිටුවන්න සිදු වෙනවා.
මීටර් 18 ක් පමණ උසැති පුවරු ආකාරයේ සූර්ය පැනල කිලෝමීටර් කිහිපයක් විහිදෙන කේබල් හරහා සම්බන්ධ කිරීමට සමාගම අදහස් කරන අතර, මෙහෙයුම් කටයුතු සඳහා භාවිත කරන වාහනවලටත් සූර්ය පැනල සවි කිරීමට සැලසුම් කර තිබෙනවා.
ආන්තික පරිසරයක ගමනාගමනයත් අභියෝගයක්
කඳවුර ගොඩනැඟීමට අදහස් කරන ප්‍රදේශයේ සති දෙකක් දක්වා විහිදෙන අධි ශීත රාත්‍රි කාලයක් පවතින අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 170 දක්වා පහත වැටෙන බව සඳහන්. මේ ආන්තික පරිසර තත්ත්වයට දිගු කාලීන ව ඔරොත්තු දෙන අන්දමින් වාහන තැනිය යුතු යි. නාසා ආයතනය දැනටමත් මේ තාක්ෂණික අභියෝගය සමාගම් වෙත භාර දී තිබෙනවා.
Lockheed Martin සහ General Motors ඒ සඳහා හවුලේ දායක වන අතර, “Dynetics” සමාගම “Nascar” සමඟ එකතු වී සුදුසු රෝවරයක් තැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා. මෙම රෝවර්, පුද්ගලයන් දෙදෙනකු සඳහා ගමන් කිරීමට හැකි වන ආකාරයෙන් නිෂ්පාදනය කිරීමට නියමිත යි. අවශ්‍යතාව පරිදි රෝවරයට ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක වීමේ හැකියාව ගැනත් අවධානය යොමු කර තිබෙනවා.
“චන්ද්‍ර පස” අමුද්‍රව්‍යයක් ලෙස..?
අවසාන වශයෙන් කඳවුරේ කාර්ය මණ්ඩලයට “නිවස” මෙන් හැඟෙන වාසස්ථානයක් අවශ්‍ය වනු ඇති. නාසා ආයතනය ත්‍රිමාණ මුද්‍රණය පිළිබඳ විශේෂඥතාවයක් ලබා ඇති “Icon” සමාගමට ඩොලර් මිලියන 57.2 ක කොන්ත්‍රාත්තුවක් ලබා ඇත්තේ ඒ සඳහා යි.
උක්ත සමාගම එම මුදල් සඳ මත මාර්ග තැනීම, ගොඩබැස්වීමේ මං තීරු සැකසීම, සහ වාසස්ථාන තැනීමට අවශ්‍ය තාක්ෂණය දියුණු කිරීම සඳහා යොදවනු ඇති. ගොඩනැඟිලි තැනීමේ දී “චන්ද්‍ර පස” අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමේ හැකියාවත් සොයා බලනු ඇති.
මේ අතර “Lockheed Martin” වැනි සමාගම් පිම්බීමෙන් අභ්‍යන්තර පරිමාව වැඩි කළ හැකි වාසස්ථාන (Inflatable Space Habitat) පිළිබඳ සංකල්පයක් දියුණු කරමින් සිටිනවා. නිදන කාමර, මුළුතැන්ගෙය සහ විද්‍යාත්මක උපකරණවලට ඇවැසි අවකාශය, යන සියල්ල රාමුවක් මත සවි වන අන්දමින් සැලසුම් කිරීමට ඔවුන් අදහස් කරන බැවින්, වාසස්ථාන ජංගම විය හැකි යි.
ඉතින්, Artemis යනු අවුරුදු කිහිපයක් පුරා අදියරෙන් අදියර ක්‍රියාත්මක වන දැවැන්ත ව්‍යාපෘතියක්. මෙය සැලසුම් කළ ආකාරයෙන් ම සාර්ථක වුවහොත්, අඟහරු ග්‍රහයා මත සිදු කිරීමට නියමිත මෙහෙයුම් පවා තවදුරටත් දියුණු කිරීමේ අවස්ථාව උදා වෙනවා.