Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඊලෝන් මස්ක් දිනක ලෝකයම අල්වා ගනු ඇති ද?

Minority Report චිත්‍රපටිය බලපු කෙනෙක්ට මතක තියෙන්න ඕන ඒකේ තියෙන අර රියැදුරෙක් නැති අධි තාක්ෂණික Lexus 2054 කාර් එක. ඇත්තටම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය මේ Lexus 2054 කාර් එක වගේ සංකල්පයක් තමයි අනාගතයේ මෝටර් රථයක් කියලා කියනකොට අපිට හිතට එන්නේ. ඇත්තටම ස්වයංක්‍රීයව අපිට යන්න අවශ්‍ය තැනට අපිව අරගෙන යන්න හැකියාව තියෙන, සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන මෝටර් රථ එදිනෙදා පාර තොටේ දකින්න තව කොයි කාලයක් යාවි ද? වැඩි අවිශ්වාසයක් නැතිව අපට කියන්න පුළුවන් ඊලොන් මස්ක්ගේ සැලසුම් හරිගියොත් 2030 වෙනකොට උඩ කිව්ව දේවල් තවදුරටත් විද්‍යා ප්‍රබන්ධ නොවේවි කියලා. දැන් මෙතනට ඊලොන් මස්ක් එන්නේ කොහොම ද? ඊලොන් මස්ක් තමයි විද්‍යා ප්‍රබන්ධයන් වල දකින්න තියෙන සංකල්පයන් නුදුරු අනාගතයේදීම එදිනෙදා ජීවිතේ සාමාන්‍ය දේවල් බවට පත් කරන්න සැලසුම් කරන්නේ.

ටෙස්ලා සමාගමේ විදුලි SUV රථය Model X නමින් එළිදැක්වුණි. (evtide)

ටෙස්ලා මෝටර් රථ

මේ වෙනකොට ඊලොන් මස්ක්ගේ ප්‍රධානතම ව්‍යාපෘති දෙකෙන් එකක් තමයි ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදන සමාගම. ලෝකේ පළමුවෙනි විදුලි මෝටර් රථය හඳුන්වා දුන්නේ ටෙස්ලා මෝටර්ස් සමාගම නෙවෙයි. එහෙම වුණත් විදුලි මෝටර් රථ ලෝකේ වාහනයක් මිල දී ගැනීමේ අවශ්‍යතාවය තියෙන ඕනෑම කෙනෙකුට ලබාගන්න පුළුවන් ආයෝජනයක් බවට පත් කරන, විදුලි මෝටර් රථ සාමාන්‍ය දෙයක් බවට පත් කරන පුරෝගාමියා වෙන්නේ ටෙස්ලා මෝටර් රථ සමාගම වෙන්න පුළුවන්. 2003 වසරේ දී ආරම්භ කරපු ටෙස්ලා සමාගම හරහා 2022 වෙනකොට ලෝකයේ වැඩි දෙනෙක්ට පහසු මිලකට ටෙස්ලා මෝටර් රථ මිල දී ගන්න අවකාශ සලසන එක තමයි මස්ක්ගේ ඉලක්කය. 2018 වසරේ දී Model 3 විදුලි මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු වලට ප්‍රමුඛත්වය දීලා තියෙන ටෙස්ලා සමාගම බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ මාර්තු වෙනකොට මාසයකට නව මෝටර් රථ 5,000 ක් බැගින් වෙළෙඳපොළට නිකුත් කරන්න. ඒ වගේම තමයි මේ අවුරුද්ද ඇතුළත දී ටෙස්ලා විදුලි මෝටර රථ වලට ස්වයංක්‍රීයව ධාවනය වීමේ හැකියාව ලබාදෙන ‘ඔටෝපයිලට්’ මෘදුකාංග යාවත්කාලීනයත් ලබාදෙනවා කියලා පොරොන්දුවක් පාරිභෝගිකයින්ට ලබාදීලා තියෙනවා. ඒ වගේම 2020 වනවිට එක් ආරෝපණයකින් කිලෝමීටර් දහසක් දුර ධාවනය කිරීමේ හැකියාව ටෙස්ලා නව මාදිලි වලට ලබාදෙන්නටත් මස්ක් බලාපොරොත්තු වෙනවා.

ටෙස්ලා විදුලි මෝටර රථ වලින් නවතින්න අදහසක් ඊලෝන් මස්ක්ට නැති බව පැහැදිලිවම පෙනෙන බව කියන්නට වුවමනායි. විදුලි බලයෙන් ධාවනය වන බස් රථ, කන්ටේනර් රථ වගේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ හැම පැත්තක්ම ආවරණය කරන්නත් අනාගතයේදී ටෙස්ලා මෝටර් සමාගම කටයුතු කරනු ඇති.

ස්වයංක්‍රීය ධාවන හැකියාවද ඉක්මනින්ම ටෙස්ලා මෝටර් රථ ලබාගනු ඇත (Motofakty)

තවත් සිත් ඇදගන්නා සුළු පොරොන්දුවක් ටෙස්ලා සමාගම ලබාදීලා තියෙනවා 2019 වසර වෙනුවෙන්. ඒ තමයි තමන්ගේ ප්‍රථම ස්වයංක්‍රීය ගුවන් සැරි මෝටර රථය වෙන Model F ඒ වනවිට ලෝකයට හඳුන්වා දෙනවා කියලා. හැබැයි පසුව දැනගන්නට ලැබුණා මේ අප්‍රේල් පළවෙනිදා මෝඩයාගේ දින විහිළුවක් විතරයි කියලා. ඒත් හැබෑවටම ගුවන් සැරි මෝටර් රථ යතාර්ථයක් වෙන දිනය ඉතාමත් ඈත වෙන්නට පුළුවන්ද?

අපි නම් හිතන්නේ නෑ. මොකද දින කීපයකට කලින් මස්ක් ගේ SpaceX සමාගම විසින් Falcon Heavy නම් රොකට්ටුව මගින් 2008 Tesla Roadstar කාර් එකක් අභ්‍යවකාශයට මුදාහැරියා. මේ වන විටත් දිලිසෙන රතු කාර් එකක් පෘථිවිය වටේ ගමන් කරමින් තියෙනවා.

ලෝකය අල්ලාගන්නට සැලසුම් නොතනන කෘත්‍රිම බුද්ධියක්

ඊලෝන් මස්ක් වගේම ස්ටීවන් හෝකින්ග්ස් වුනත් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ඒ හැටි සුභවාදී මතයක් දැරුවේ නැහැ කියන්න පුළුවන්. විශේෂයෙන්ම දියුණු කෘත්‍රිම බුද්ධියක් තුළින් මිනිස් වර්ගයාට වෙන්න පුළුවන් අයහපත ගැන මේ අය හිතුවා. ඒත් නව ලෝකයේ අනාගතය දිහා බලනකොට කෘත්‍රිම බුද්ධියක ඵල ප්‍රයෝජනයන් එහෙම අහක දාන්නත් බැහැ. අන්න ඒ නිසා තමයි ඊලෝන් මස්ක් ආරම්භ කරන්නේ OpenAI ආයතනය. මේ ලාභ නොලබන ආයතනයෙන් සිදුකරන්නේ කෘත්‍රිම බුද්ධිය මිනිස් වර්ගයාගේ අවසානය ලඟා නොකරන ආකාරයට, මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වන ආකාරයට මිත්‍රශීලී කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය කිරීම.

මිනිස් වර්ගයාට තර්ජනයක් නොවන කෘත්‍රිම බුද්ධියක් (Economy Archives)

දැන් ඇයි මේ ආයතනය ඊලෝන් මස්ක්ගේ අනාගත සැලසුම් වලට වැදගත් වෙන්නේ? අප කලිනුත් සඳහන් කළ විදියට 2020 ට පෙරාතුව තමන්ගේ විදුලි මෝටර් රථ සඳහා වඩාත් ඉහළ ස්වයංක්‍රීය හැසිරවුම් හැකියාවක් ලබාදෙන්නට ටෙස්ලා සමාගම බලාපොරොත්තු වෙනවා. එතකොට දීර්ඝ කාලීනව බලනකොට මිනිස් වර්ගයාට වඩාත් මිත්‍රශීලී කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය වී තිබීම ටෙස්ලා සමාගමේ අනාගත සැලසුම් වලට වගේම, SpaceX ව්‍යාපෘතියේ අනාගත සැලසුම් වලටත් එකසේ වැදගත්.

සොලාර් සිටි, පවර් වෝල් සහ භූගත උමං මාර්ග ජාලයන්

ලෝකයේ බලශක්ති අර්බුදයට තිරසර විසඳුමක් විදියට වගේම පුනර්ජනනීය බලශක්ති විකල්පයක් විදියටත් සූර්ය බලය භාවිතා කිරීම කියන්නේත් අද ඊයේ අහන්නට ලැබුණු සංකල්පයක් නොවෙයි. ලංකාවේ පවා මේ වෙනකොට ‘සූර්ය බල සංග්‍රාමය’ වගේ ව්‍යාපෘති ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඊලෝන් මස්ක් මේ අදහස තවත් පියවර කිහිපයක් ඉදිරියට ගෙන යනවා. ඒ පහසු මිලට තමන්ගේ නිවසටම පුනර්ජනනීය බලශක්තිය ලබාගැනීමේ හැකියාව ලබාදෙන සෝලාර් සිටි නිෂ්පාදන සහ පවර් වෝල් නමින් හැඳින්වෙන නිවසේ සවි කළ හැකි යෝධ බැටරියක් හඳුන්වා දෙමින්. මේ පවර් වෝල් බැටරිය සූර්ය බල පද්ධතිය හරහා ආරෝපණය කිරීමටත්, එයින් දිවා රාත්‍රී නිවසේ විදුලි බල අවශ්‍යතාවයන් පූරණය කරගැනීමටත් හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ ඔබේ ටෙස්ලා විදුලි මෝටර් රථය ආරෝපණය කරගැනීමත් ඊටම ඇතුළත් කියන එක!

ඒ අතරේදී ඊලොන් මස්ක්ගේ නවතම ව්‍යාපෘතිය වන Boring Company මගින් ප්‍රවාහන පහසුකම් සඳහා භූගත උමං මාර්ග ජාලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මස්ක් සිය අවධානය යොමුකොට තිබෙනවා. මේ මාර්ග තදබදයට විසඳුමක්!

මෙහෙම බලනකොට ඕනම කෙනෙකුට පැහැදිලිවම පෙනී යන කාරණයක් තමයි ඊලෝන් මස්ක්ගේ SolarCity, Tesla Motors, OpenAI, Power Wall, Boring Company වැනි ව්‍යාපෘතීන් හැම එකක්ම එකකට එකක් සම්බන්ධිත බව.

සමස්ත නිවසේ බලශක්ති අවශ්‍යතාවයන් සඳහා (tesla.com)

අනාගතයේ පුරෝගාමියා ඊලෝන් මස්ක් ද?

ඊලෝන් මස්ක්ගේ මේ හැම ව්‍යාපෘතියක්ම සම්පූර්ණ සැලසුමක අංගෝපාංගයන්. අනාගතයේදී පුනර්ජනනීය බලශක්තිය මහා පරිමාණයෙන් භාවිතා කරනා ලෝකයක, ඒ සඳහා අවශ්‍ය උවාරණයන්ගේ සිට එම බලශක්තිය ප්‍රයෝජනයට ගන්නා විදුලි මෝටර් රථ වල සිට හැම දෙයක්ම ලෝකයට සපයන්නා වෙන්නේ ඊලෝන් මස්ක් වෙන්න පුළුවන්.

ඊලෝන් මස්ක්ගේ Space Exploration Technologies Corporation නැතිනම් SpaceX ව්‍යාපෘතිය සහ අඟහරු ජනාවාස කිරීමේ සිට ඈත අභ්‍යවකාශය ජයගැනීමේ සිහිනය දක්වා දේවල් වෙනම විමසිය යුතු දේවල්.

අනාගතයේදී ඊලෝන් මස්ක් නමින් ප්‍රතිමා ඉදි නොවෙනු ඇති ද? බොහෝ විට ඉදිවෙන්නේ කෙදිනක හෝ බලය සිඳී නොයනා පවර් වෝල් බැටරියකින් බලගැන්වෙන දැවැන්ත ඊලෝන් මස්ක් හොලෝග්‍රෑම් වෙන්න පුළුවන්.

ඊලෝන් මස්ක් කියන්නේ අනාගතවාදියෙක් (commarts.com)

මූලාශ්‍ර:

.openai.com

solarcity.com

tesla.com

futurism.com

wired.com

theatlantic.com

Related Articles