ආර්ථික පරිසරයත් එක්ක ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල වර්තමාන තත්ත්වය

ඔබ වෙත ගෙන ආවේ

කාලයක් තිස්සේ පැවති යුද්ධයෙන් පස්සේ 2010 – 2015 කාලයේදී ශ්‍රී ලංකාව 6.4%ක ස්ථායී ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගන්නට සමත් වුණා. කොහොම වුණත් මේ වෙනකොට නම් අපේ රටේ ආර්ථිකය ඒ තරම් හොඳ තත්වයක නෙවෙයි තියෙන්නේ. එක දිගටම ගල් මුල් දමලා ගහනවා වගේ එක පිට එක ආපු ස්වභාවික ව්‍යසන විශාල ගණනක් නිසා රටේ සම්පත් වගේම වැදගත් යටිතල පහසුකම් පවා විනාශ වෙලා ගියා. නරක දේශගුණය නිසා 2015 වන විට 4.8%ක තිබුණු ආර්ථික වර්ධන වේගය 2016 වන විට 4.4% දක්වා පහත වැටුණා විතරක් නෙවෙයි, 2017 පළමු කාර්තුව වෙද්දී 3.8%ක ඇස්තමේන්තුගත වර්ධන වේගයක් දක්වා මෙය තවත් පහළ බැහැලා තියෙනවා. මේ විදිහට ආර්ථිකය දුර්වල වීම ප්‍රධාන වශයෙන්ම හේතු වුණේ කෘෂිකාර්මික නිෂ්පාදනය පහත වැටීමයි: උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වල වරින් වර ඇති වුණු දරුණු නියං සහ ජල ගැලීම් නිසා වගා විශාල ප්‍රමාණයක් විනාශ වෙලා ගියා. මේ සියල්ල හේතුවෙන් 2016 දී 4% ව පැවති උද්ධමනය මේ වර්ෂය වන විට 6% දක්වා ඉහළ ගිහින්. දිගටම නරක කාලගුණ විපර්යාස ඇති වුණොත් ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතුවලට තවදුරටත් බලපෑම් එල්ල වෙලා උද්ධමන වේගය තවත් ඉහළ යාවි කියලා පෙරැයීම් සිදු කර තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතයේ ණය අනුපාතිකය (debt-to-GDP ratio) අතිනුත් කලාපයේ රටවල් අතරින් ඉදිරියෙන්ම ඉන්නා රටක්: 2016 වන විට ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 75%ක මට්ටමේ පැවතුණා. කොහොම නමුත් ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව මෙරට රැකියා වියුක්තිය නම් 2016 දී 4.4% සිට 2017 පළමු කාර්තුව වන විට 4.1% දක්වා අඩු වෙලා තියෙනවා.

ඉතින් මේ පවතින ආර්ථික පරිසරයත් එක්ක ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇතුළු වෙනත් ආර්ථික ක්ෂේත්‍රවලට තරමක් අපහසු කාලයක් ගෙවන්න සිදු වෙලා ඇති කියා හිතෙන එක සාධාරණයි. මේ ලිපියෙන් Roar අපි උත්සාහ කරන්නේ රටේ තෘතීයික ක්ෂේත්‍රය 2017 දී පවතින තත්වය ගැනත්, ඔවුන් අපේක්ෂා කරන වර්ධනය සහ මුහුණ දෙන්නට ඉඩ ඇති අභියෝග ගැනත් සාකච්ඡා කරන්නයි.

බැංකු ක්ෂේත්‍රය

www.zenithangle.com

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු ගණනාවක වාර්තා අනුව බැලුවාම 2017 අවුරුද්දේ ජූනි මාසය වන විට බොහෝ බැංකු ධනාත්මක ණය වර්ධනයක් (positive loan growth) පෙන්නුම් කරන එක ගැන සතුටු වෙන්න පුළුවන්; කොහොම වුණත් මේ වර්ධනය 2016 අවුරුද්දේ සමාන කාලයක් එක්ක සංසන්දනය කළාම යම් අඩු වීමක් පෙන්නුම් කරනවා. මෑත කාලීනව යටිතල පහසුකම් ව්‍යාපෘති ප්‍රමාණය ඉහළ යාමට සමගාමීව ඉහළ යන ණය ගැනීම් ප්‍රමාණය පැමිණෙන්නේ ඉදිකිරීම් සහ නිවාස ණය වගේම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන් යන ක්ෂේත්‍රවලින් බව පෙනෙන්නට තියෙනවා. මේ නිසා බැංකුවල ණය වාර්තාවලට දැනෙන පීඩනය ඉහළ ගිහින් තිබුණත් එයින් තමන්ගේ ලාභය අවම වීම වළක්වා ගැනීමට පියවරක් විදිහට තාක්ෂණය වැඩි වැඩියෙන් භාවිතයට ගැනීමෙන් බැංකු ශාඛාවල සේවක පිරිස අවම කර ගන්නත්, නව ශාඛා විවෘත කිරීම මන්දගාමී කරන්නත් බැංකු ගණනාවක්ම පියවර අරගෙන තියෙනවා. බැංකු කටයුතු සිදු කරගෙන යන්න තිබෙන පරිසරය මේ තත්වය යටතේ වැඩි අභියෝග ප්‍රමාණයකට මුහුණ දීලා තිබුණත් විවිධ කටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ නංවා ගන්නත්, ණයවර ගුණාත්මකභාවය (credit quality) ඉහළ නැංවීම තුළින් ඉහළ දළ හා ශුද්ධ කාර්යසාධන රහිත ණය (higher gross and net non-performing loans) පාලනය කරන්නත් පියවර අරගෙන තියෙනවා. මේ තත්වය නිසා වෙනත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව බැංකු ක්ෂේත්‍රය තුළ ආකර්ෂණීය ව්‍යාපාරික කොටස් මත ප්‍රතිලාභ (Return on Equity) නොකඩවා ලැබෙන තත්වයකුත් ඇති වෙලා.

මූල්‍ය ක්ෂේත්‍රය

goto.com

බැංකු ක්ෂේත්‍රයේ යම් වැඩිදියුණු වීමක් දකින්න ලැබුණත් මූල්‍ය ක්ෂේත්‍රයේ නම් පෙනෙන්න තියෙන්නේ තරමක පසුගාමී බවක්. ශ්‍රී ලංකාවේ බලයලත් මූල්‍ය ගණුදෙනු සමාගම් (LFCs) වල කාර්යසාධනය ඉතා ඉහළ පොලී අනුපාත සහ ප්‍රතිපත්ති වෙනස්කම් නිසා නරක අතට හැරිලා. විශේෂයෙන්ම මෝටර් වාහන ක්ෂේත්‍රයේ ඉහළ බදු අය කිරීම්, ණය-වටිනාකම් අනුපාතය ඉහළ නැංවීම වගේ දේවල් මෙම තත්වයට විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා. මූල්‍ය සමාගම්වල ප්‍රධාන ණය අංශයක් වගේම බොහෝ විට ඒවාට ඉතාම වැදගත් ආදායම් මාර්ගයක් වන ලීසිං සහ වෙනත් කල්බදු මිල දී ගැනීම් පහත වැටී තිබෙනවා දකින්න පුළුවන්. මීට අමතරව ඉහළ ප්‍රාග්ධනයක් පවත්වා ගෙන යා යුතු බවට මෑත කාලයේ මහ බැංකුවෙන් ලබා දුන් උපදෙස් නිසාත් මූල්‍ය සමාගම්වලට අතිරේක පීඩනයකට මුහුණ දෙන්න සිදු වෙලා. මේ තත්වය අඩු වත්කම් පදනමක් සහ විවිධාංගීකරණය අවම ණය වාර්තා පවතින මූල්‍ය ආයතනවලට විශේෂයෙන්ම බලපෑම් කරන්න ඉඩක් තියෙන බව කියවෙනවා.

කල්පවතින පාරිභෝගික භාණ්ඩ සහ ක්ෂණික භාවිත පාරිභෝගික භාණ්ඩ

මහ බැංකුවෙන් පවත්වා ගෙන යන දැඩි මූල්‍ය ස්ථාවරය නිසා ඉහළ යමින් පවතින පොලී අනුපාතික, ඉහළ බදු අනුපාතික සහ ඒවායේ ප්‍රතිඵලයක් ලෙස කුටුම්භවල බැහැර දිය හැකි ආදායම් (household disposable income) අවම වීමත් එක්ක මේ ක්ෂේත්‍රයේ ආයතනවල කාර්යසාධනය අඩු වී තිබෙන බවක් දැක ගන්න පුළුවන්. පෞද්ගලික ක්ෂේත්‍රයේ ණය වර්ධනය තවමත් ඉහළ මට්ටමක පැවතුණත් පොලී අනුපාත ඉහළ යාම නිසා පහළ යාමේ ප්‍රවණතාවකුත් හඳුනා ගත හැකියි. පොලී අනුපාත විචලනය වීම ගෘහ භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ සහ ඉලෙක්ට්‍රොනික් උපාංග ඇතුළු කල්පවතින පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රයටත් බලපෑම් සිදු කර තිබෙනවා. ක්ෂණික භාවිත පාරිභෝගික භාණ්ඩ (Fast Moving Consumer Goods) ක්ෂේත්‍රයත් කුටුම්භවල බැහැර දිය හැකි ආදායම් අවම වීම නිසා සහ බදු ප්‍රතිපත්තිය නිසා යම් පසුබැසීමකට ලක් වෙලා.

අතිරික්ත ණය වර්ධනයක් විදිහට දැනට සලකා ඇති තත්වය ගැන මහ බැංකුවේ වර්තමාන ස්ථාවරය තවදුරටත් පවත්වා ගනීවි කියලා හිතන්න පුළුවන් නිසා කෙටි කාලීනව මේ ක්ෂේත්‍රයේ ඉදිරි දැක්ම මන්දගාමීව පවතියි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. කොහොම නමුත් දිගු කාලීන වශයෙන් ගත්තාම ජනවිකාස (demographic) වෙනස්වීම් සහ උපත් අනුපාතික ඉහළ යාම හේතුවෙන් ජනගහන වර්ධන වේගය ඉහළ යාම වගේ කාරණා නිසා  මේ ක්ෂේත්‍රය යළිත් වර්ධනය වේවි කියාත් අපේක්ෂා කෙරෙනවා.

හෝටල් සහ සංචාරක කර්මාන්තය

marvelloussrilankalk.blogspot.com

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දිගටම ඉහළ වර්ධනයක් පෙන්නුම් කරනවා. අයහපත් කාලගුණ තත්ත්ව සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව්‍යකරණය වැනි බාධක මධ්‍යයේ වුණත් මේ වර්ෂය තුල සංචාරක ආගමන ප්‍රමාණය මිලියන 2.2 ඉක්මවා යාවි කියලා සංචාරක අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. 2017 වර්ෂයේ මුල් භාගයේ ඉහත කියපු හේතූන් නිසා සංචාරක ආගමන අවම වී තිබුණු තත්වයට සාපේක්ෂව මෙය සුභවාදී කාරණාවක් කියා හඳුන්වන්න පුළුවන්.

ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන හෝටල් කර්මාන්තකරුවන් බොහෝ දෙනෙක් පවතින හෝටල් නවීකරණය කිරීම, කාමර හා පහසුකම් ඉහළ නැංවීම හා නව හෝටල් ආරම්භ කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගනිමින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයෙන් ඇති වන ඉල්ලුම් සපුරාලන්න කටයුතු කරනවා. අලුතින් හෝටල් ඉදිකිරීම වැඩිපුරම දැකගත හැකි වෙන්නේ සංචාරකයන් අතීතයේ සිටම ප්‍රිය කරන දකුණු පළාතේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතවයි. කොහොම නමුත් කොළඹ නගරය තුල නාගරික හෝටල් කාමර ප්‍රමාණයේත් විශාල වර්ධනයක් දැක ගන්න ලැබෙනවා. දේශීය වගේම විදේශීය හෝටල් සන්නාම විශාල ප්‍රමාණයක් අගනුවර ආශ්‍රිතව සිදු වෙන හෝටල් ප්‍රමාණය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියට දායක වෙනවා.

සංචාරක කර්මාන්තයේ වර්ධනය නිසා හෝටල් අතර පවතින තරඟකාරීත්වයේත් වර්ධනයක් දකින්න පුළුවන්. හෝටල්වල කාමර අලෙවිය ඉහළ යාම වගේම පුහුණු ශ්‍රමිකයන් සොයා ගන්න තියෙන අපහසුව නිසාත් සංචාරක ක්ෂේත්‍රයට මූල්‍යමය වශයෙන් පීඩනයක් ඇති වී තිබෙනවා. මේ තරඟකාරී බව තවත් දිගු කාලයක් පවතින බවත් පෙනෙන්නට තියෙනවා. 2017 – 2019 කාලය අතරතුර අන්තර්ජාතික ජනප්‍රිය හෝටල් ජාල ගණනාවක් සිය ශාඛා මෙරට විවෘත කරන්න සැලසුම් කිරීමත් එක්ක කොළඹ මහා නගරය තුල පවතින හෝටල් කාමර සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

සංචාරක කර්මාන්තය අනිත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව හොඳ මට්ටමක පැවතුණත් දැනට ලැයිස්තුගතව තිබෙන ජනප්‍රිය හෝටල්වල මෙහෙයුම් සීමාව අවම වීමක් සිදු වී තිබෙනවා. මේ නිසා ඔවුන්ගේ සමස්ත ලාභ ලැබීම් අඩු වෙලා. මේ තත්වය බොහෝ දුරට මෑත කාලයේ ඇති වුණු අයහපත් කාලගුණ තත්වයේ බලපෑම් කියලා හිතන්න පුළුවන්: බොහෝ රටවල් ශ්‍රී ලංකාවට ස්වභාවික විපත් කාලය අතරතුර පැමිණීම ගැන අනතුරු හැඟවීම් නිකුත් කළ නිසා කාමර වෙන් කිරීම් අවලංගු කිරීමත්, කාමර අලෙවිය අවම මට්ටමක පැවතීමත් නිතර දකින්න ලැබුණා.

කොහොම නමුත් කුඩා ප්‍රමාණයේ, ලැයිස්තුගත නොවූ සංචාරක නිකේතන, නැවතුම්පොළවල් සහ Bed & Breakfast කාණ්ඩයේ ආයතන මෑත කාලීනව ඉහළ ආකර්ෂණයක් දිනා ගෙන තියෙනවා. AirBnB වැනි අන්තර්ජාලය ආශ්‍රිත පීඨිකා මේ තත්වයට ලොකු බලපෑමක් කර තිබෙන බව පැහැදිලියි. ගවේෂණාත්මක සංචාරයේ යෙදෙන පිරිස් ආකර්ෂණය කර ගැනීම මගින් 2017 වර්ෂය තුලදී ඉහළ දියුණුවක් ලබා ගෙන තිබෙන කුඩා නිකේතන ක්ෂේත්‍රයේ තමයි මේ වන විට රටේ සමස්ත හෝටල් කාමර ප්‍රමාණයෙන් 50%ක පමණ ප්‍රමාණයක් පවතින්නේ.

සමස්තයක් වශයෙන් ගත්තාම සංචාරක කර්මාන්තය දිගින් දිගටම සංචාරක පැමිණීම් අතින් ඉහළ දියුණුවක් ලබමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ක්ෂේත්‍රයක් කියා බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. කොහොම නමුත් දැනට පවතින විශාල සහ ජනප්‍රිය හෝටල්වලට නම් කෙටි කාලීනව හෝ ලාභ අවම වීමේ ගැටළුවකට මුහුණ දෙන්න සිදු වීමේ ගැටළුවක් පවතිනවා.

CFA යනු මූල්‍ය ක්ෂේත්‍රයේ ලෝක මට්ටමේ ඉහළම පිළිගැනීමෙන් යුතු සුදුසුකමයි. 2018 ජූනි මස පැවැත්වෙන ඇතුලත්වීමේ විභාගය සඳහා අයැදුම්පත් දැන් කැඳවනු ලැබේ. ෆේස්බුක් ඔස්සේ හෝ +94 77 366 1931 දුරකතන අංකයෙන් CFA Sri Lanka අමතන්න

කවරයේ පින්තූරය: www.lamudi.lk

Related Articles

Exit mobile version